කල්ලංචිය පොලිස් සැරයන්ට අමානුෂික ලෙස පහරදුන්දෙදෙනා අත්අඩංගුවට

761

තම රාජකාරිය නිම කර නිවෙස බලා ගමන් කරමින් සිටි මිහින්තලේ, කල්ලංචිය පොලීසියට අනුයුක්තව රාජකාරි කළ සැරයන්වරයෙකුගේ ගමන් මඟ හරස් කර, එම නිලධාරියාට අමානුෂික අයුරින් පහර දුන් පුද්ගලයන් දෙදෙනෙකු පෙරේදා (24 දා) අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.

කල්ලංචිය පොලිස් සැරයන්ට අමානුෂික ලෙස පහරදුන්දෙදෙනා අත්අඩංගුවට

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම, සියඹලාස්වැව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනකු බව පොලිසිය කියයි.

පහර කෑමට ලක්ව තුවාල ලැබූ කල්ලංචිය පොලීසියට අනුයුක්තව රාජකාරි කළ එම සැරයන්වරයා මේ වන විට කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලීසිය ප්‍රකාශ කළේය.

පුද්ගලයන් දෙදෙනෙකු විසින් අමානුෂික ලෙස පොලිස් නිලධාරියෙකුට පහර දෙන බවට පසුගිය 23දා පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලැබුණු තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයකදී, මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්වූ බව පොලීසිය කියයි.

පහර කෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා 23 දා පස්වරුව දක්වා රඹෑව මාර්ග බාධකයේ රාජකාරි කර, එය නිමවීමෙන් අනතුරුව නිවස කරා ගමන් ගන්නා අතරතුර මෙලෙස පහර කෑමට ලක්ව ඇතැයි පොලීසිය සඳහන් කළේය.

පුත්තලම ත්‍රිකුණාමලය ඒ 12 ප්‍රධාන මාර්ගයේ මිහින්තලේ සීප්පුකුලම, කරුවලගස් හින්න විහාරස්ථානය ආසන්නයේ දී එම සැරයන්වරයා මාර්ගය ආසන්නයේ පිහිටි වෙළෙඳ සලක් වෙතට ගමන් කිරීමට යාමේදී, මෙම ආරවුල හටගෙන ඇතැයි ද පොලීසිය කියයි.

මෙම බහින්බස්වීම දුරදිග යාම හේතුවෙන් ගැටුම හට ගත් අවස්ථාවේදී, සැරයන්වරයා හට සැකකරුවන් දෙදෙනා බිම පෙරලාගෙන පහරදී දුන් බවත් ඒ අසල සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ගැටුම වැළැක්වීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ වූ බව සිද්ධිය දුටු පිරිස් පැවසූහ.

මෙම පහරදීම සිදු කරන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කළ පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් එම සිදුවීම පටි ගත කර පසුව එය සමාජ මාධ්‍යවලටද මුදා හැර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (25දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත, මිහින්තලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් උප පො.ප. ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

අනුරාධපුර විශේෂ පර්සි කුරුනේරු, මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment