කලාපයේ කිරුළ සොයා ශ්‍රී ලංකාව සුපිරි සටනේ

293

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය දැන් සුපිරි ගමනක් ආරම්භ කර තිබේ. ඒ සුපිරි කණ්ඩායම් හතර අතරය. මූලික වටයේ මෙන්ම සුපිරි වටයේද ආරම්භය “බී” කාණ්ඩයටය. ඒ අනුව එම කාණ්ඩයේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙක අතර සටනින් සුපිරි වටය ඇරඹිණි. එහි පෙරමුණ ගත්තෝ ඇෆ්ගනිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙති. ඒ අනුව මූලික වටය මෙන්ම සුපිරි හතර වටයද ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ඊයේ (03 වැනිදා සෙනසුරාදා) සාජා හිදී තරග වැදීමට නියමිතව සිටියේය.

ශ්‍රී ලංකාව මෙවර සාජා බලා ගියේ ප්‍රථම වතාවටය. ඊට හේතුව ඔවුන් සහභාගි වූ මූලික වටයේ තරග දෙකම පැවැත්වුණේ ඩුබායිහිදීය. ඉන් එකක් ශ්‍රී ලංකාව ජය ගත්තේය. අනෙක පරාජය විය. පරාජය වුණේ ඇෆ්ගනිස්තානයටය. එදා ඩුබායි හිදී මූලික වටයේ පරාජය වූ ඇෆ්ගනිස්තානයට එරෙහිව මෙදා සුපිරි වටයේ යළි සටනකි.

මූලික වටයේ ශ්‍රී ලංකාව ජය ගත්තේ බංග්ලාදේශයට එරෙහිවය. එය මෑත කාලයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අමතක නොවන තරගයකි. ගොඩක් ඈතට නොගොස් පසුගිය තරග කිහිපයේ තතු විමසා බැලීමේදී මෙම ජයග්‍රහණය දෙවෙනි වන්නේ නායක දසුන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එලව එලවා පහර දුන් තරගයට පමණි. කොහේවත් නොතිබූ ජයග්‍රහණයක අයිතියක් අවසන් පන්දු 18ට තුළ දසුන් මෙරට ඉදිරියේ ලියා තැබීය. එදා වීරයා වූ දසුන් මෙදා බංග්ලාදේශයේ ද පැතුම් සුන් කර දැම්මේය. ඒ කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණ සහයද සමගිනි. එහෙත් මෙම තරගය ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයට වඩා සුවිශේෂී එකකි. මෙදා ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශය ද තරග කළේ “මියෙම්වා රැකෙම්වා” සටනකි. පරාද වන කණ්ඩායමට කද මළු ඔතා ගෙන පසුදා සිය රට බලා යෑමට සිදු වී තිබුණි. සුපිරි හතරට එන්නට නම් එය ජයග්‍රහණය කළ යුතුවම තිබුණි. ඊට අමතරව එම තරගය උණුසුම් කළ තවත් දෙයක් ඉන් දින කිහිපයකට පෙර සිදු වී තිබුණි. ඒ නායක දසුන් ශානක ඇෆ්ගනිස්තාන තරගයෙන් පසුව කළ ප්‍රකාශයක් නිසාය. ඇෆ්ගනිස්තානයට වඩා පහසුවෙන් බංග්ලාදේශය පරාජය කළ හැකි කණ්ඩායමක් බව දසුන් එදා කියා සිටියේය. ඊට හේතුව ලෙස ඔහු දැක්වූයේ ලෝක මට්ටමේ පන්දු යවන්නන් බංග්ලාදේශයේ අඩු බව කියමිනි. 2018 වසරට පෙර පැවැති තරගයකදී නයි නැටුම් නිසා දෙරට අතර ඇතිව තිබූ ශීතල යුද්ධය මේ ප්‍රකාශයත් සමග නයින් සිටින තුඹසකට ගල් ගැසුවා මෙන් ඇවිලී ගියේය. නයාට ගසා පොල්ල වරද්දා ගන්නට එපා යැයි කියමනක් ද තිබේ. එහෙම තත්ත්වයක් උඩ නයින් සිටින තුඹසකට ගල් ගැසුවොත් ඇති විය හැකි ප්‍රතිඵලය කවර අතක් ගනීවිද? ඔවුන් එළව, එළවා පහර දෙනු ඇති.

ශ්‍රී ලංකාවද එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තුව සිටියේය. ඊට එරෙහිව කණ්ඩායමේ සැලසුම් සැදුවේය. ඩුබායි සටන අතිශය උණුසුම් වූයේ එසේය.

බංග්ලාදේශය එම තරගයට පිවිසියේ අලුත්ම උපක්‍රම සමගිනි. ආරම්භක පිතිකරණයේ පටන් එසේය. එමෙන්ම ඒ සියලු සැලසුම් හිතුවාටත් වඩා සාර්ථක විණි. ලකුණු 184ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට ශ්‍රී ලංකාවට උරුම විය. එය අසීරුය. එහෙත් කර අරින්නට බැරිය. කෙසේ හෝ දිනිය යුතුමය. නැති නම් නයි විසෙන් කණ්ඩායම අකර්මණ්‍ය වන්නට තිබිණි. එහෙත් කුසල්ට වාසනාවේ මහිමය හිමි විය. නිපන්දු, උඩ පන්දු බිම දැමීම් හමුවේ ඔහු අළු ගසා නැගිට්ටේය. ශ්‍රී ලංකා ඉනිම ඔහු වටා ගොණුවෙද්දී ජයග්‍රහණය පිළිබඳව යම් සේයාවන් මතු වන්නට විය. එහෙත් දසුන් සහ කුසල් අතරින් කුසල් දැවී ගියේය. නායකත්වයේ ඉනිමක නිරත වූ දසුන් ද ක්‍රීඩාංගණයෙන් නික්ම යද්දී චාමිකගෙන් ද සහායක් ලැබිණි. ඔහු ද දැවී ගිය පසු නැවතත් බංග්ලාදේශ ප්‍රේක්ෂකයන් අතරින් නයි නැටුම් පණ ගසා එන්නට විය. එහෙත් අසිතගේ සිත ජයග්‍රහණයටමය. ඔහු මේ තරග රටාවට කුළුඳුල් ය. ජාත්‍යන්තර වරම් හිමි වූයේ එදාය. එහෙත් අසිත සිය මංගල සටන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට මංගල සිරියක් ගෙන දෙමින් ජයග්‍රහණය උදා කර දුන්නේය. බංගලි නයි නැටුම් පමණක් නොව බංගලි කයිවාරු ද නැවතිණි.

ශ්‍රී ලංකා සැලසුම් ක්‍රියාත්මක වී සැනසුම් සුසුම් හෙළන්නට ඉඩ ලැබිණි. දසුන් ගේ ප්‍රකාශය පස්සෙන් එළව එළවා වාග් ප්‍රහාර එල්ල කළ බංග්ලාදේශ ක්‍රීඩකයන්, නිලධාරීන් ඇතුළු එරට ප්‍රේක්ෂකයන්ට දසුන් ලා එදා පිටියේදී පස්සෙන් එළවා පහර දී යස පාඩමක් කියා දුණි. දසුන්ගේ ප්‍රකාශයට ඔවුහු පිළිතුරු ලෙස නොයෙක් ආඩපාලි කිවූහ. දැන් ඒ සියල්ල පුස්සක් වී ඇත. පිට්ටනියේදී බලා
ගමු යැයි කීහ. ඊට පිට්ටනියේදීම උත්තර ලැබුණි. තව ටිකකින් වෙන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කෑවෝ යැයි කීමටය. එහෙත් වචනයෙන් කී දෙය ක්‍රියාවෙන් ඔප්පු විණි. ඒ නිසා නයින්ගේ දෂ්ටනයක් නම් නොවිණි. නැත්නම් වන්නේ 2018 වසරේ මෙන්ම මෙවරද ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වී හිස් අතින් ගෙදර ඒමටය.

දැන් නම් තිබෙන්නේ සුපිරි සටනකි. ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ පකිස්තානය එහි ප්‍රතිමල්ලවයෝ වෙති. (සමාවෙන්න මේ සටහන තබන අවස්ථාව වන විට පකිස්තානය සහ හොංකොං තරගයේ ජය පරාජයේ තීරණය ලැබී නැත.) එහෙත් පකිස්තානය එම තරගයෙන් ජය ගනු ඇතැයි යන උපකල්පනය මත මෙසේ සටහන් කළෙමු. මොකක් හෝ කරුමයක් පඩිසන් දී හැරෙන්නට පකිස්තානයට ඉන් ජය හිමි නොවන්නට හේතුවක් නැත.

සුපිරි සටනේ ශ්‍රී ලංකාවට නියමිත අනෙක් තරග පැවැත්වෙන්නේ ලබන බදාදා සහ බ්‍රහස්පතින්දාය. ඒ පකිස්තානය සහ ඉන්දියාව සමගය. එම තරග අතිශය තියුණු වෙනවා ඇත. ඔවුහු ලේසියෙන් නොපරදිති. එසේම ලෝක ක්‍රිකට් පිටියේ දැවැන්තම ප්‍රතිමල්ලවයන්ගේ සටන ලෙස සැලකෙන ඉන්දියාව සහ පකිස්තානය අතර තරගය අද (04 වෙනිදා) ඩුබායි හිදී පැවැත්වේ. ඒ අනුව පකිස්තානය සහ ඉන්දියාව යන කණ්ඩායම් දෙකෙන් කවුරුන් අද තරගය පැරදුණද ඔවුන් ශ්‍රී ලංකාව හමුවට එන්නේ එම තරගයේ පරාජයේ වාඩුවද අපෙන් ලබා ගැනීමටය. ඒ නිසා අප හමුවේ දැන් ඇත්තේ විශේෂ පීඩනයකි. ඒ පීඩනය හසුරුවා ගැනීමට දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කරන්නේ කෙසේද යන්න මත සුපිරි වටයෙන් අවසන් මහ තරගයට වරම් හිමිවීම තීරණය වේ.

සැබැවින්ම ශ්‍රී ලංකාව අභියෝග එල්ල කළ යුත්තේද මේ සුපිරි වටයේ සිටින කණ්ඩායම් වැනි කණ්ඩායම්වලට මිස බංග්ලාදේශයට හෝ නේපාලයට හෝ මාලදිවයිනට නොවේය. එවැනි රටවලට අභියෝග කිරීම ලෝක මට්ටමේ සිටින අපේ රටට තරම් නොවේ. ලෝක කුසලාන දෙකක්, ආසියානු කුසලාන පහක්, ආසියානු කුසලාන තරගාවලියේ වැඩිම අවසන් තරගවරම් දිනූ කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් පිටියේ වැජඹෙන කණ්ඩායමකි. එවැනි රටක් බංග්ලාදේශය සමග එල්ලී ඔවුන් තම පරම ප්‍රතිවාදියා කර ගන්නට ගියහොත් ශ්‍රී ලංකාවට ඒ අතීතයේ හිමිව තිබූ තේජස සිඳී යෑමේ ආරම්භය එය වේ. කොයි මොහොතකවත් ශ්‍රී ලංකාව සුළුවෙන් තකන්න එපා යැයි ලෝක ක්‍රිකට් පිටියේ වීරයන් වූ බ්‍රයන් ලාරා අදටත් කියන්නේ ඒ නිසාය. ස්කොට් ස්ටයිරිස් ද එම මතයේම සිටිමින් පසුගිය දා ශ්‍රී ලංකාවට පක්ෂව කතා කළේය. මෙවර තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස එක්ව සිටින සන්ජේ මන්ජේකාර්ද ශ්‍රී ලංකාව පැත්තෙන් සිට ගත්තේය. ඊට පෙර මහේල ජයවර්ධන දැන් තම තත්ත්වය ප්‍රදර්ශනය කළ යුතු අවස්ථාව ශ්‍රී ලංකාවට උදා වී ඇතැයි කීවේය. මෙසේ නොයෙක් දීරිගැන්වීම් මෙන්ම තමාගේ තරම ගැනද බාහිර පාර්ශ්වයන් ශ්‍රී ලංකාවට මතක් කර දුන්නේය. සුපිරි වටයේ සුපිරි ගමනක් යන්නට ඒ මතක් කිරීම්ද සිහියටගත හොත් මහත් අගනේය.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment