කලාප කාර්යාල 101ක් ඉදිරිපිට ගුරු – විදුහල්පතිවරු හෙට විරෝධතාවේ

71

ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවට අදාළ 3/2 ලබාදීම, දෙමාපියන්ට අධ්‍යාපනික බරපැටවීම, විදුහල්පති සේවයට අදාළ ඇමති අනුකමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබා නොදීම නිසා හෙට (12දා) පස්වරු 2.00ට අධ්‍යාපන කලාප කාර්යාල 101ක් ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා “දිවයින”ට ඊයේ (10 දා) පැවසීය.

එසේම, ලබන 26 වැනිදා සියලුම ගුරු – විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කර දැවැන්ත විරෝධතාවකට කොළඹට කැඳවන බවද හෙතෙම කීය.

ජෝෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“ගුරු – විදුහල්පති ගැටලුව විසඳන්න ආණ්ඩුව උනන්දුවක් දක්වන්නේ නැහැ. අහිංසක දෙමාපියන්ට අධ්‍යාපනික බර පටවලා ඔවුන්ට ඒවා දරාගන්න බැහැ. යළි විරෝධතාව දක්වන්න තීරණය කළේ ඒ නිසයි. දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි මේ විරෝධය දක්වනවා.

සුබෝධනී වාර්තාව හරහා ලබාදුන් පොරොන්දුව වහා ක්‍රියාත්මක කරන ලෙසත්, වැටුප් අර්බුදය විසඳන ලෙසත් බලකරමින් හෙට අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිටට එකතු වන ලෙස ශ්‍රී ලංකා ගුරු- විදුහල්පති සංගමයද ඉල්ලා සිටී.

අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරුදු අල් කමරූන් විද්‍යාලයේ 9 වැනිදා සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කෙරිණි.

මෙහිදී කතා කළ ශ්‍රී ලංකා ගුරු සේවා සංගමයේ උප ලේකම් ඒ. අදම්බාව මහතා,

“මේ ආණ්ඩුව අද වෙනකම් අපිව රැවැට්ටුවා. අපේ ශක්තිය 12 වැනිදා හා 26 වැනිදා පෙන්වනවා. 2021 අරගලයේ ප්‍රතිඵලයක් ලෙස සුබෝධනී නමින් වාර්තාවක් නිර්මාණය වුණා. ඒ හරහා අපිට නිසි වැටුප් වැඩිවීමක් ලබාදෙන බවද පොරොන්දු වුණා. ආණ්ඩුව දැන් ඒ පොරොන්දුව නොසලකා හැරලා යැයි කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment