කලාවේ තේරුම කුමක්ද? – The Meaning of Art

827

ලෝක ප්‍රකට කලා ඉතිහාසඥයකු, කලා හා සාහිත්‍ය විචාරකයකු දාර්ශනිකයකු හා කවියකු ද වන මහාචාර්ය හර්බට් රීච් විසින් රචිත The Meaning of Art කෘතිය තුළින් කලාව පිළිබඳවත් එහි තේරුම කුමක්ද යන්න පිළිබඳවත් එහි විය යුතු හැඩය හා අන්තර්ගතය පිළිබඳවත්, කලාව ආරම්භක යුගයේ සිට අද දක්වා වූ ඉතිහාසයක් පූර්ණ වශයෙන් සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේය. එහි සිංහල පරිවර්තනය ‘කලාවේ තේරුම කුමක්ද? කෘතිය ඉකුත්දා මුද්‍රණයෙන් නිකුත් විය. කෘතහස්ථ ලේඛකයකු, පරිවර්තකයකු මෙන්ම විචාරකයකු වන සේනාරත්න වීරසිංහ විසින් පරිවර්තනය කරන ලද එම කෘතියෙහි පෙරවදනින් උපුටා ගත් කොටසක් පහත පළවේ.

මානව ඉතිහාසය පුරා ම මිනිසා කලාව යනු කුමක් ද යන්න ගැනත්, කලාවේ තේරුම කුමක් ද යන්න ගැනත් සිතන්නට වූ බව පැවසිය හැකිය. මිනිසා තම දෛනික අවශ්‍යතාවන් වෙනුවෙන් ඇඳුම් පැලඳුම්, විවිධ භාණ්ඩ හා උපකරණ නිපදවා ගැනීමේ සිට ඒවායේ පවත්නා ද්‍රව්‍යාත්මක වටිනාකම්වලට, වඩාත් උචිත වූ නිර්මාණාත්මක ලක්ෂණ එකතු කරමින් යම් සතුටක් ලබා ගත්තේය. එසේ ම ඉතිහාසය පුරා ම තමන් රැඳී සිටි සම්ප්‍රදායන්ගෙන් බැහැර වන්නට උත්සාහ කරමින්, තම මුතුන් මිත්තන්ගේ හා පූර්වගාමීන්ගේ සම්ප්‍රදායන් හා ගැටෙමින් ඉතාමත් ප්‍රායෝගික මෙන් ම පෙරළිකාර කලාවක් බිහිකිරීමට ගන්නා ලද උත්සාහය ද කැපී පෙනෙයි.

කලාවේ තේරුම කුමක්ද? - The Meaning of Art

පොදුවේ කලාව යන්නෙන් හැඳින්වෙන්නේ කුමක් ද යන්න ගැන සිංහල විශ්වකෝෂයෙහි දක්වා ඇති අදහස වෙත මඳකට යොමු වෙමු. කලාවේ විවිධ ස්වරූපයන් දීර්ඝව ගෙන හැර දක්වන විශ්වකෝෂය කලාව යන්න විග්‍රහ කරමින් ‘යම් කාර්යක කුසලතාවක් ලබන්නා තැනැත්තා, ශිල්පියකු නැතහොත් කලාකරුවකු ලෙස හඳුන්වනු ලැබේ’ යනුවෙන් සඳහන් කරයි. එහෙයින් කලාව ගැන හැඳින්වීම සඳහා ඒ ගැන පුළුල් අයුරින් සාකච්ඡා කළ යුතුව ඇති බව අප අමතක නොකළ යුතුය.

කලාව යනු මිනිසා සුවපත් කිරීමේ මාර්ගයක් ලෙසින් අතීත ග්‍රීකයෝ දුටහ. මිනිසා තුළ පවත්නා සුඛ දුක්ඛ සංවේදිතාවන් කම්පනයකට පත්කර, කිසියම් භාව විරේචනයක් කලාව මගින් සිදු කළ හැකි බව ඔවුහු විශ්වාස කළහ. එහෙත් ප්ලේටෝ නමැති ග්‍රීක දාර්ශනිකයා පෙන්වා දුන්නේ මිනිසා භාව විරේචනය ඔස්සේ සුවපත් කළ නොහැකි බවත් කලාකරුවා මෙහි දී ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ බුද්ධියටත් මනසටත් වන බවත්ය. හොඳ ම කලා නිර්මාණ සඳහා විෂය විය යුත්තේ දර්ශනය හෙවත් සත්‍ය සොයා යාමේ කර්තව්‍යයයි. කලාව යනු දෙවියන් සතු කාර්යයක් ලෙසින් සැලකීමට ද ඔහු සිතුවේය.

‘කලාවට අධිපති වූ මියුසස් දේවතාවියගෙන් මිනිස්සු ප්‍රබෝධයට පත්වෙති. හොඳ නිර්මාණයක් බිහිවන්නේ කලාව නිසා නොව මිනිසාට දිව්‍යානුභාවය ආවේශ වූ නිසාය. කලාව යනු යථාර්ථවාදී පදනමක් රහිත දෙයකි. උදාහරණයක් ලෙසින් දැක්වුවහොත් වඩුවා විසින් නිපදවනු ලබන ඇඳ දෙවියන් වහන්සේ විසින් සාදන ලද කාල්පනික ඇඳක අනුකරණයක් වන්නේය. නිර්මාණකරුවාගෙන් සිදුවන්නේ දෙවැනි වරට එය අනුකරණය කිරීමකි. චිත්‍ර කලාකරුවා විසින් කරනු ලබන්නේ වඩුවා අනුකරණය කිරීමකි. මෙහි දී දෙවියන්, මිනිසා සතු වූ බුද්ධිය තාවකාලිකව ඔහුගෙන් ඉවත්කොට, කලාකරුවා දෙවියන්ගේ පණිවිඩකරුවා බවට පත් කර ගන්නා බව ප්ලේටෝ පෙන්වා දුන්නේය. එය එසේ වුව ද කලාකරුවා තුළ සාමාන්‍ය පුද්ගලයකුට වඩා බලයක් හා හැකියාවක් පවතින බව ඔහු පිළිගත්තේය. සමහර කවීන් පවසන්නේ සත්‍ය නොවන බවත් ඔවුන් පවසන දේ හොඳ හෝ නරක යැයි කිව නොහැකි මුත් කලාකරුවාට ජනමතය වෙනස්කොට තමන්ට රිසි මඟ යැවීමේ සක්‍යතාවක් පවතින බවත් ඔහු පිළිගත්තේය. එහෙත් තමාගේ ආදර්ශවත් රාජ්‍යයට සාහිත්‍යකරුවන් වැද්ද නොගන්නා බව ඔහු පැවසුවේය.

ප්ලේටෝගේ සිසුවකු වූ ඇරිස්ටෝටල් කලාව යන්න නිර්මාණාත්මක කාර්යයක් ලෙසින් සලකා ඇති අතර නිර්මාණාත්මක ආසාව හා හැකියාව මිනිසා තුළ උපතින් ම පවතින බව ප්‍රකාශ කළේය. අනුකරණය කිරීමේ ආසාව මිනිසා තුළ කුඩා වියේ සිට ම පවතින හෙයින් ඒ සහජ ආසාව ඔස්සේ කලාව බිහිවෙන බවත් මිනිසා සතුන්ගෙන් වෙන් වෙන්නේ ඒ නිසා බවත් ඔහු පැවසුවේය. සිය පොයටික්ස් (කාව්‍ය ශාස්ත්‍රය) කෘතිය ඔස්සේ ඇරිස්ටෝටල් පෙන්වා දෙන්නේ කලාව සමාජයට අත්‍යවශ්‍ය අංගයක් වන බවය.

අප ඉහත කෙටියෙන් සඳහන් කළ පරිදි කලාව යනු නිර්මාණාත්මක ක්‍රියාවලියක් වන මුත් එය හුදු පුද්ගල පරිකල්පන ශක්තියෙන් හෝ කිසියම් තනි පුද්ගලයකුගේ මොළයෙන් පහළ වන අද්භූත කාර්ය සංසිද්ධියක් නොවේ. කලාව පහළ වන්නේ සමාජය තුළය. එහෙයින් එහි පවත්නා සමාජ පරිස්ථිතිය ගැන අප උනන්දු විය යුතුය. කලා නිර්මාණය වෙතින් උද්ගත වන සමාජ බලවේග මොනවා ද යන්න ගැන සියුම්ව සලකා බලා ඒවා ඇගැයිය යුතු බව ප්‍රංශ විචාරකයකු වූ එච්. ඒ. ටයිනි පෙන්වා දී ඇත්තේය. කලා නිර්මාණයක වටිනාකම රැඳෙන්නේ එයින් කලාකරුවා ජීවත්වන සමාජය කොතරම් දුරට පිළිබිඹු වී ඇත් ද යන කරුණ මත බව ඔහු සඳහන් කළ අතර සිග්මන් ප්‍රොයිඩ් නමැති මනෝවිiාඥයා සඳහන් කළේ කලා නිර්මාණයෙන් හෙළිකෙරෙන මිනිසාගේ මානසික පරිස්ථිතිය වඩා වැදගත් වන බවය. ඔහු අනුව කලාකරුවා හා ඔහුගේ නිර්මාණය අගය කිරීම පිණිස කිසියම් මනෝ විශ්ලේෂණයකට බඳුන් කළ යුතුව ඇත. මාක්ස්වාදී විචාරයට අනුව කලාකරුවාගේ මනස සකස් වන්නේ ඔහු කළ හැප්පීමට පත්වන සමාජය ඔස්සේය. ඒ අනුව කලාව යනු මිනිසුන් ජීවත් වන සමාජය ගැන, මිනිසා චලනය කරවන බහු විධ බලවේග ගැන, ඥානය ලබාදෙන එක් උපක්‍රමයක් වන්නේය. මිනිසාගේ සමාජ පැවැත්ම කරණකොට ගෙන කලාව කලින් කලට වෙනස් වන්නේය. සමාජ පැවැත්ම යනු මිනිසා අනෙකුත් මිනිසුන් සමග සම්බන්ධතාවන් පවත්වා ගනිමින් ජීවිතය ගෙනයාම සඳහා කරනු ලබන අරගලය වන්නේය. එහෙයින් කලාව මගින් හුදු සමාජ පිළිබිඹුවක් හෙවත් කැඩපතක් යන්නට වඩා වැඩි යමක් වෙත අප කැඳවාගෙන යා යුතුය. සමාජයේ සාරසාරතාව පිළිබඳව එහි පවත්නා යථාර්ථය කුමක් ද යන්න පිළිබඳව විවේචනාත්මක දෘෂ්ටියක් කලාවෙන් පිළිබිඹු විය යුතු වන්නේය. එහෙත් කලාව පිළිබඳ මේ වැදගත් සංකල්පය බෙහෙවින් උචිත වන්නේ සාහිත්‍යය, නාටකය හා සිනමාව වැනි අනෙකුත් ප්‍රවර්ගයන් කෙරෙහි වන බවත් චිත්‍ර කලාව, මූර්ති කලාව හා සංගීතය වැනි සියුම් කලාවන් කෙරෙහි මේ සංකල්පය ආදේශ කරන්නට යෑමේදී යම් යම් ගැටලු මතුවන බවත් සමහර විචාරකයෝ පෙන්වා දෙති. එවැනි සියුම් කලාවන්ට ආවේනික වූ යම් හැඩයන්, ආකෘතික නියාමයන් වැනි විශේෂතාවන් පවත්නා නිසා ඒ කෙරෙහි ද අප අවධානය යොමු කළ යුතු බව ඔවුහු තවදුරටත් පවසති.

ලෝක ප්‍රකට කලා ඉතිහාසඥයකු, කලා හා සාහිත්‍ය විචාරකයකු, දාර්ශනිකයකු හා කවියකු ද වන මහාචාර්ය හර්බට් රීඩ් විසින් ලියන ලද The Meaning of Art නමින් ප්‍රකට මේ කෘතියෙන් කලාව ගැනත්, එහි තේරුම කුමක් ද යන්න ගැනත්, එහි විය යුතු හැඩය හා අන්තර්ගතය පිළිබඳවත්, කලාව ආරම්භක යුගයේ සිට අද දක්වා වූ ඉතිහාසයත්, පූර්ණ වශයෙන් සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේය.

හර්බට් රීඩ් 1893 වර්ෂයේ දෙසැම්බර් 4 වැනි දින එක්සත් රාජධානියේ මුස්කෝට්හි උපත ලබන්නේය. ඔහු ‘සමකාලීන කලාව පිළිබඳ ඇකඩමියේ’ සමාරම්භකයකු මෙන් ම කලා ඉතිහාසඥයෙක් කලාව හා සාහිත්‍යය විචාරකයෙක්, දාර්ශනිකයෙක් හා කවියෙක් ද වන්නේය. කාල් ජූංග් සහ ජීන් පෝල් සාත්‍රෙ කෙරෙහි ද ඔහු විශේෂ ඇල්මක් දැක්වුවේය. කලා විචාරයේ දී විටෙක ඔහු මාක්ස්වාදී දෘෂ්ටියෙහි එන සමහර අදහස් බැහැර නොකළ අතර එහි දී ඇන්ටනි බ්ලන්ට් වැනි මාක්ස්වාදී විචාරකයන් දැක්වූ ජීව විiාත්මක පදනම සම්බන්ධ සමහර අදහස්වලට එරෙහි විය. සාන්දෘෂ්ටිකවාදී මත ප්‍රකාශයෙක් වශයෙන් ද ප්‍රකට වූ රීඩ් මහතා එංගලන්තයේ නූතන කලාකරුවන් අතර ද ප්‍රමුඛයෙක් බවට පත්විය. එඩින්බරෝ විශ්වවිiාලයේ කලාව පිළිබඳ මහාචාර්යවරයා වූ ඔහු කලක් හවාර්ඩ් විශ්වවිiාලයේ ද මහාචාර්ය පදවිය දැරුවේය. මුල් යුගයේ දී ඔහු වික්ටෝරියා හා ඇල්බට් කෞතුකාගාරයේ සංරක්‍ෂකයකු ලෙසින් සේවය කර මනා අත්දැකීම් ඇත්තෙක් විය.

හර්බට් රීඩ් මහතාගෙන් ලියැවුණ කෘති රැසක් ද සාහිත්‍යය හා කලාව අරබයා ලෝක ප්‍රකට විචාරකයන්ගෙන් ලියැවුණ අගනා කෘති රැසක් ද මගේ පුස්තකාලයෙහි ඇත්තේය. සාහිත්‍ය කෘති පරිවර්තනය මෙන් ම සාහිත්‍ය රසිකයා තුළ විචාරාවබෝධය වර්ධනය පිණිස යම් යම් කෘති සම්පාදනය කිරීම ද මම මගේ අරමුණක් කොට දකිමි. එවැනි කෘති කිහිපයක් පසුගිය කාලයේදී මවෙතින් සිංහල සාහිත්‍යයට එක් වුණ අතර ඒවා කෙරෙහි ඉමහත් රසික අනුග්‍රහයක් දක්නට ලැබුණේ මා නොසිතූ පරිද්දෙනි. එහෙයින් හොඳ නවකතා මෙරට පාඨකයන්ට හඳුන්වාදීම ද, නිර්මාණ අධ්‍යයනයට හා විචාරයට ඔවුන් යොමු කරවීම ද, මේ යුගයේ සිදුවිය යුතු වැදගත් මෙහෙවරක් ලෙසින් දකිමි.
ලේඛක – සේනාරත්න වීරසිංහ
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment