කලිසම සහ සරම – (කාබනික රසායන ය)

1289

මේ වෙලාවේදී මේ රටේ පාරවල් දිගේ විරෝධතා ව්‍යාපාර දෙවර්ගයක් පැවැත්වේ. පළමුවන විරෝධතාවය මාස හතර පහකට වඩා දීර්ඝ වන අතර එය මෙහෙයවනු ලබන්නේ මේ රටේ තිබෙන ගුරු සංගම් කිහිපයක් අතරින් වඩාත් බලගතු සංගමයේ ප‍්‍රධානියා වන ආඥාදායක ජෝෂප් ස්ටාලින් මැතිතුමා විසිනි. (එතුමා අප සමග තරහ වුවද ගුරුවරුන්ගේ සටන ගැන අපට ගෞරවයක් තිබේ.) දෙවැනි විරෝධතා ව්‍යාපාරය වූකලී රසායනික පොහොර ඉල්ලා ශ‍්‍රී ලංකාවේ ගොවි ජනතාව විසින් දියත් කර ඇති ව්‍යාපාරයකි. මෙයට නායකයෙක් නැත. තැන තැන කට්ටිය සෙට්වී කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද මෙන් පෙනෙන පඹයකු ඉස්සර කරගෙන පෙලපාළි පවත්වා පඹයා පිළිස්සීමෙන් විරෝධතාවය එදා දවසට අවසන් කරනු ලැබේ. මෙවැනි ගොවි පෙළපාලියක් දෙස ඈත සිට බලන්නකුට පෙනෙන්නේ එහි නායකයා මහින්දානන්ද අලූතගමගේ ලෙසය. එහෙත් පෙළපාලිය ලංවන විට ඉස්සරහින් එන්නේ මහින්දානන්ද අලූත්ගමගේ නොව පඹයකු බව පෙනීමෙන් ආණ්ඩුවේ විනාශය ප‍්‍රාර්ථනා කරන අයගේ සිත් බිඳී යයි. මේ ගොවි පෙළපාලි විවිධ මුහුණුවරින් දැකිය හැකිය. ඇතැම් පෙළපාලියක ඉල්ලීම වන්නේ රසායනික පොහොරය. ඊළඟ පෙළපාලියේ ඉල්ලීම වන්නේ කාබනික පොහොරය. කාබනික පොහොර වේවා රසායනික පොහොර වේවා ගොවිතැනට යොදාගත හැකි කවර හෝ මළඉලව්වක් හැකි ඉක්මනින් ලබාදෙන ලෙස තව පිරිසක් ඉල්ලති. මෙහිදී වඩාත් යථාර්ථවාදී වන්නේ වගාව සඳහා කවර හෝ මළඉලව්වක් ඉල්ලන තුන්වන පිරිසය. රටේ පවතින පොහොර හිඟය සහ බෝග වගා කර ගැනීමට නොහැකිව නන්නත්තාර වන ගොවි ජනතාවගේ අවශ්‍යතාවයේ සැබෑ නියෝජනයක් ලෙස කවර හෝ මළඉලව්වක් ඉල්ලන පිරිස පෙන්වා දිය හැකිය. තිස් අවුරුදු යුද්ධයේ සාර්ථකම කොටස හෙවත් සමාප්ති ජවනිකාව ඉදිරිපත් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසිනි. යුද්ධයේ අවසන් මාස කිහිපයේදී ත‍්‍රිවිධ හමුදාව යොදවා අතොරක් නැතිව කොටි සංවිධානයට ගහගෙන – ගහගෙන යෑම ඔහු පටන් ගත්තේය. මේ නිසා ප‍්‍රභාකරන්ට සිදුවූයේ යට ඇඳුමක්වත් නැතිව නන්දිකඩාල් කලපුව හරහා පැන යෑමටය. එසේ පැනයන අතර ක්‍රදිි ත්‍සරු එකකට හසුවූ හෙතෙම ප‍්‍රාණය නිරුද්ධ වී නිරුවතින් වැටී සිටියදී යුද හමුදාවට හමුවූ බවත් යුද හමුදාව විසින් ඔහුගේ විලි වැසීම සඳහා අමුඩයක් අන්දවන ලද බවත් එම අමුඩය ගැසූ ලේන්සුව සුප‍්‍රකට රූපවාහිනි යුද වාර්තාකරුවකුගේ ලේන්සුවක් බවත් අපගේ වැටහීමය. මේ පිළිබඳ වෙනත් කතාද තිබෙන්නට පුළුවන. කෙසේ හෝ වේවා මේ ආණ්ඩුව රසායනික පොහොර වලින් කාබනික පොහොරවලට මාරුවීමේදී ක‍්‍රියාකරන ලද්දේ කොටින්ට එරෙහිව කෙරුණු අවසන් සටනේ දී ක්ෂණික ප‍්‍රහාර ඉතා කෙටි කලක් තුළ එල්ල කර යුද්ධය අවසන් කළා හා සමානව ඒ ක්ෂණයකින් ය. ඒ නිසා වැඬේ අප්සෙට් විය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා කියන පරිදි ආණ්ඩුව කාබනික පොහොරවලට මාරුවීමට ගත් ක්ෂණික තීරණය සමාන වන්නේ කලිසම මැසීමට පෙර සරම ගැළවීමටය. අඩුගානේ කලිසම මසා තිබුනා නම් සරම ගැළවූ පුද්ගලයාට හෙලූවැල්ලෙන් සිටීමට සිදුවන්නේ විනාඩියකට අඩු කාලයකි. එහෙත් කලිසම මැසීමට පෙර සරම ගැළවූ විට කලිසම මසන තෙක් පැය ගණනාවක් නිරුවතින් සිටීමට අදාළ පුද්ගලයාට සිදුවේ. කාබනික පොහොර සිද්ධියේදී සරම ගලවන විට ආණ්ඩුව කලිසම මැසීමට තබා කලිසම් රෙදි ගැනීමටවත් සිතා සිටියේ නැත. ඔවුන් රෙදි මිලට ගැනීමට පිටකොටුවට යන්නේ සරම අයිතිකරුවා නිරුවතින් බලා සිටියදීය.

 රසායනික පොහොර යනු ඉතාම භයානක උවදුරක් බව අපි පිළිගනිමු. මීට අවුරුදු සීයකට පෙර මේ රටේ ගොවි ජනයාට රසායනික පොහොර හෝ වල් නාශක තිබුනේ නැත. කුඹුරුවල පැලවෙන කුඩමැට්ට, තුනැස්ස, තුන්හිරිය, ගිරාපලා වැනි වල් පැල නැසීම සඳහා ඔවුන් සතුව රසායනික නොවන අවේනික ක‍්‍රම තිබිණ. එසේම මේ කියන කාලයේදී මැහි තෙල් ගැහිල්ලක් ද නැත. දැන් සිටින තරම් ගොයම් මැස්සන් වී ඇටයේ සාරය උරාබීම පිණිස කුඹුරු වෙත පියඹා ආවේද නැත. ගොයම් පැලය සාරවත් කරගැනීම සඳහා යූරියා හෝ වෙනත් රසායනික පොහොරක් යෙදීම එකළ තිබුනේ නැත. රසායනික පොහොර වෙනුවට ඔවුහු හරක් කටු පොහොර ඇතුළු කාබනික පොහොර වර්ග පාවිච්චි කළහ. අප මේ කියන්නේ අවුරුදු සීයකට පෙර අතීතය ගැනයි. ඊට අවුරුදු පන්සීයකට පෙර ජීවත්වූ මේ රටේ ගොවිරාළලා කුඹුරු ගොවිතැනේදී කිසිදු පොහොරක් යෙ¥ බවට කිසිදු සාක්ෂියක් නැත. එකල බහුල වශයෙන් පාවිච්චි කරන ලද්දේ ගොඩ වී නමැති වී වර්ගයයි. මෙය කුඹුර සී සෑමෙන් තොරව සහ වතුර බැඳීමෙන් තොරව නිකන්ම නිකන් මඩ ගොඬේ නිකන්ම පැලවෙන වී වර්ගයකි. මීට අවුරුදු පන්සීයකට පෙර මේ රටේ ජනගහනය දෙලක්ෂය ඉක්මවූයේ නැත. එක ගමක ගෙවල් සීයක්වත් තිබුනේ නැත. බත් ගිල දැමීමට තිබූ කටවල් ප‍්‍රමාණය ස්වල්ප වූ බැවින් එකළ රසායනික හෝ කාබනික පොහොර හෝ නැතිව අව්ව සහ වැස්ස පමණක් ප‍්‍රයෝජනයට ගනිමින් වගා කිරීමට මේ රටේ ජනතාවට හැකිවිය. අද වනවිට මේ රටේ ජනගහනය දෙකෝටි විසිලක්ෂය ඉක්මවා තිබේ. කොරෝනා කාලයේදී දරුවන් නොහදන ලෙස විවිධ අය විසින් කරන ලද ඉල්ලීම් පිළිබඳව කිසිදු තැකීමක් ගෘහ මූලිකයන් තුළ තිබුනේ නැත. මේ රටේ ආහාර පිණිස ඇරෙන කටවල් ගණන මේ ආකාරයෙන් වැඩිවන විට ඉදිරි අනාගතයේදී අස්වැන්න වැඩිකර ගැනීමට රසායනික පොහොර නොව පොටෑසියම් සයනයිඞ් යෙදීමට සිදුවුවත් පුදුම නොවන්න. තේ වගාවෙන් පිරුණු මධ්‍යම කඳුකරයේ තේ පැලවලට ගසන ආසනික් සහ කැඞ්මියම් අඩංගු රසායනික පොහොර වැසි සමයේදී හටගන්නා සෝදාපාළුව නිසා ගංගාවලට එක්විය. එම ගංගාවල ජලයෙන් ගොවිතැන් කිරීම නිසා කැඞ්මියම් සහ ආසනික් කැවී මේ රටේ ගැමි ජනයා වකුගඩු රෝගීන් බවට පත්වූහ. සුද්දා තේ වගාව පටන් ගන්නා කාලයේදී කිසිදු රසායනික පොහොරක් ගැසුවේ නැත. එහෙත් මීට අවුරුදු හැට හැත්තෑවකට පෙර ලංකාවට රසායනික පොහොර හඳුවන්වාදීමත් සමගම එම පොහොර තේ කන්දට ද ගියේය. මේ පුවත්පත ප‍්‍රතිපත්තියක් වශයෙන් බහුජාතික සමාගම්වල රසායනික පොහොර සමග එකට සිටගන්නේ නැත. එසේම භයානක ක්ෂුද්‍ර ජීවීන් සිටින චීන කාබනික පොහොර සමගද එකට සිට ගන්නේ නැත. අපගේ අරමුණ හැකි ඉක්මනින් පොහොර ප‍්‍රශ්නය විසඳෙනු දැක්මය.

advertistmentadvertistment
advertistmentadvertistment