කලු කඩේටත් වඩා දරුණු ඔන්ලයින් කඩවල ගේම් මෙන්න

846

තාක්ෂණය යොදා ගනිමින් ගනුදෙනු කිරීම භාණ්ඩ අලෙවි කිරීම හා මිලදී ගැනීම ලෝකයට මෙන්ම ලංකාවටද නුහුරු දෙයක් නොවේ. නමුත් කොරෝනා වසංගතය සමඟ මාර්ගගත ක‍්‍රමයට ගනුදෙනු කිරීමේ නව පෙරළියක් සිදුව ඇති බව නොරහසකි. සංචරණ සීමා පැනවීමත් සමඟම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා, විදුලි උපකරණ, විවිධ රූපලාවන්‍ය ආලේපන ආදී සියල්ලම අලෙවි කරන බවට අන්තර්ජාලය තුළ වූ වෙබ් අඩවි හරහා බොහෝ දැන්වීම් පළවිය. මුල් කාලයේ නගරයේ සුපිරි වෙළෙඳසල්වල භාණ්ඩ අලෙවි කිරීමේ උපක‍්‍රමයක් ලෙස මේ ඔන්ලයින් ක‍්‍රමවේදය කරලියට පැමිණියද අද වන විට නගරයේ සුපිරි සාප්පු සංකීර්ණයේ ඇති දෑ මෙන්ම ගමේ කුඩා සිල්ලර කඬේ ඇති දෑද ඔන්ලයින් ක‍්‍රමයට ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසී ඇත.
 
 පසුගිය වසර දෙකක කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම එළවළු පලතුරු ද ඔන්ලයින් ක‍්‍රමයට ඇණවුම් කර නිවසට ලබාගැනීමට බොහෝ වෙළෙඳසල්, පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබුණි. ඇතැම් ප‍්‍රසිද්ධ වෙළෙඳසල් හා සාප්පු සංකීර්ණවල ඔන්ලයින් භාණ්ඩ විකිණීමේ සේවාව අත්හිටුවා දමා ඇත්තේ එම ආයතනයට දැරිය නොහැකි තරම් ඇණවුම් ප‍්‍රමාණයක් දවසකට ලැබෙන නිසා බව එවැනි සාප්පු සංකීර්ණ කිහිපයක සේවකයන්ගෙන් විමසූ විට දැනගත හැකි විය. එයින් පැහැදිළි වන්නේ පාරිභෝගිකයන් මාර්ගගත ක‍්‍රමයට භාණ්ඩ ලබා ගැනීමට දැඩි රුචිකත්වයක් දක්වන බවයි. කොරෝනා පළමු රැල්ලේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා, එළවළු, පලතුරු ආදිය ලබා ගැනීමට ජනතාවට ඕනෑ තරම් අවස්ථා ලබා දී තිබූ අතර දෙවන රැල්ල ආරම්භයත් සමඟ එළවළු පලතුරු සහ අත්‍යවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන්, ආලේපන, විසිතුරු බඩු භාණ්ඩ ආදියද විකිණීමේ ප‍්‍රවණතාවයක් ඇතිවිය. මේ වන විට සමාජ මාධ්‍ය, මුහුණු පොත, අන්තර්ජාලය තුළ විවිධ වූ නිෂ්පාදන හා භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන වෙබ් පිටු, විවිධ සමූහ සහ විවිධ නම්වලින් පිහිටුවූ ආයතන රැසක් බිහිවී ඇත. ඔන්ලයින් ක‍්‍රමයට භාණ්ඩ අලෙවි කරන (සමාජ මාධ්‍ය තුළින්) තෝරාගත් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන් කිහිපදෙනකුගෙන් එම ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් අපි තොරතුරු විමසා සිටියෙමු.
 
 මේ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගිය සංචරණ සීමා පැනවීමත් සමඟ රූපලාවන්‍යාගාරයේ නිෂ්පාදන ඔන්ලයින් ක‍්‍රමවේදය හරහා අලෙවිකිරීමට කටයුතු කළ තරුණියක් පැවසූ අදහස්ය.
 
 ‘‘කොරෝනා පටන් ගන්න කලින් මම රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගිය කෙනෙක්. සංචරණ සීමා පැනවීමත් සමඟ පාරිභෝගිකයන්ට අපිත් එක්ක සෘජුව ගනුදෙනු කරන්න බැරි වුණා. ඒකට විසඳුමක් විදියට තමයි මම ෆේස්බුක් හරහා මගේ රූපලාවන්‍යාගාරයේ නම භාවිත කරමින් පේජ් එකක් නිර්මාණය කර ගත්තේ. ඒකට මගේ රූපලාවන්‍යාගාරයේ තියෙන නිෂ්පාදන පිළිබඳ විස්තර මිල ගණන් ඇතුළත් කළා. බොහෝ තරුණ තරුණියන් ඒ නිෂ්පාදන ඇනවුම් කළා. සමහර අවස්ථාවල තැපෑල හරහාත් තවත් අවස්ථාවක කුරියර් ක‍්‍රමයටත් අපි පාරිභෝගිකයන්ට මේ නිෂ්පාදන අලෙවි කළා. නිෂ්පාදනය මිල වගේම ප‍්‍රවාහන ගාස්තුව හැටියට ද මුදලක් ලබා ගත්තා.”
 
 කෙසේ නමුත් අන්තර්ජාලය මුහුණුපොත හා සමාජ මාධ්‍ය හරහා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙන්ම ස්වයං රැකියාවල නිරත වන්නන්ටද තම නිෂ්පාදන අලෙවි කිරීමට අවස්ථාව ලැබී තිබුණි.
 
 ‘‘මම සරසවි ශිෂ්‍යයාවක්. කොරෝනා කාලෙ ගෙදරටම වෙලා ඉඳිද්දී මගේ හැකියාවෙන් ප‍්‍රයෝජන ගන්න ඕනේ කියලා මට හිතුණා. මම කැමතියි චිත‍්‍ර අඳින්න. ඉතින් මම චිත‍්‍ර ඇඳලා මුලින්ම ෆේස්බුක් එකට ෆොටෝ දාන්න පටන් ගත්තා. ඒවට හොඳ ප‍්‍රතිචාර හම්බුන නිසා මගේ නමින් පේජ් එකක් පටන් ගත්තා. පස්සේ කිහිප දෙනෙක් මට එයාලගේ ෆොටෝ ඇඳලා දෙන්න කියලා ඉල්ලීම් කළා. මේ වෙද්දි මම චිත‍්‍ර සීයක් දෙසීයක් විතර අලෙවි කරලා තියෙනවා” ඒ ඔන්ලයින් ක‍්‍රමයට තම හැකියාවන් මිල කළ සරසවි ශිෂ්‍යාවකගේ කතාවයි.
 
 මෙලෙස දස දහස් ගණන් වෙළෙඳුන් හා පාරිභෝගිකයන් ඔන්ලයින් සාප්පු සවාරියේ වාසිසහගත බව විඳ ගනිද්දී එයින් උපරිම පල නෙළා ගන්නා පිරිසක්ද නැතුවා නොවේ.
 
 
 * සියලූ භාන්ඩ හොදද නරකද
 
 ඔන්ලයින් ක‍්‍රමවේදය හරහා නිවසට ගෙන්වා ගන්නා ලද ආහාර භාණ්ඩවල හා එළවළු පලතුරුවල ගුණාත්මක භාවය පිළිබඳව බොහෝ ගැටලූ ඇති වූ බවට පාරිභෝගිකයන් පවසයි. ඒවා ප‍්‍රවාහනය කිරීමේදී තැලීම් පොඩි වීම් සිදුවීම හා නිසි ප‍්‍රමිතියකින් තොර වීම මූලිකම ගැටලූව වී ඇත. එමෙන්ම කල් ඉකුත් වූ භාණ්ඩ ද ඇතැම් පාරිභෝගිකයන්ට ලැබී තිඹුණි. ඇතැම් නිෂ්පාදනවල කල් ඉකුත් වීමේ දිනය, නිෂ්පාදන දිනය, මිල සම්බන්ධ තොරතුරු මකා දමා තිබෙන අවස්ථාද ඇත. එමෙන්ම පිටකොටුවෙන් ලබාගන්නා ජංගම දුරකථන උපාංග, සුවඳ විලවුන්, රෙදිපිළි සහ අනෙකුත් භාණ්ඩ පවා වැඩි මුදලට අලෙවි කිරීමටද ඇතැම් වෙළෙන්දෝ කටයුතු කරති. එලෙසම බොහෝ විට කාන්තා ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ද මේ ප‍්‍රශ්නය ඇති වේ. නිරූපණ ශිල්පීන් යොදා ගනිමින් ප‍්‍රදර්ශනය කළ ඇඳුම් ඇණවුම් කළ පසු ලැබෙන්නේ තමා බලාපොරොත්තු වූ ඇඳුම නොවන බවට තරුණියන් පවසයි.
 
 ‘‘facebook එකේ ලස්සනට තියනවා දැකලා ඕඩර් කළාට ලැබුණාම ඒ පාට වත් ඒ විදිහවත් ඇ`දුමට තිබුණෙ නැහැ. ඒ එම ආයතනයෙන් ප‍්‍රශ්න කරද්දි කිව්වේ ඇඳුමේ ලස්සන තියෙන්නෙ අඳින කෙනාගෙ ඇෙඟ් හැඩෙත් එක්ක කියලා. ඒ වගේමයි කියලා තියෙන තරම් ගුණාත්මක විදිහට මේ ඇඳුම් නිෂ්පාදනය කරල නෑ. සමහර රෙදි ගොඩක් බාල රෙදි වර්ග. ඒ වුණාට විශාල මුදලක් අය කර ගන්නවා.”
 
 ‘‘මම hot shaper belt එකක් ඕඩර් කරේ ෆේස්බුක් එකේ තිබුණු පේජ් එකකින්. එයාලා කියපු විදිහටම ප‍්‍රමාණය මැනලා දුන්නත් මට ලැබුණේ ළංකරන්නවත් බැරි පොඩි ප‍්‍රමාණයක එකක්. ඒ ගැන දිගින් දිගටම අදාළ පුද්ගලයන්ගෙන් විමසීම් කරද්දී නැවත මාරු කිරීමක් සිදු කරන්න බෑ කියලා කියල මට කිව්වා. ඒ වෙනුවෙන් විකල්පයක් වත් ඉදිරිපත් වුණේ නෑ. මං දිගින් දිගටම කෝල් කරන හින්ද මගේ නම්බර් බ්ලොක් කරල දැම්මා. ඒ කියපු පේජ් එක ක්ලෝස් කරලා ටික කාලෙකට පස්සේ ඒ නිෂ්පාදනම විකුණන්න අලූතෙන්ම පේජ් එකක් පටන් අරගෙන තියෙනවා මම දැක්කා.”
 
 මේ ඇණවුම් කළ භාණ්ඩවල ගුණාත්මකභාවය පිළිබඳව ඇතැමුන් දැක්වූ අදහස් වේ. අලෙවිකරුවන් විසින්ම සකසාගත් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා අදාළ නිෂ්පාදන හොඳ බවට පාරිභෝගිකයන්ට ඒත්තු ගැන්වීම මෑතකදී බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන, කේශ වර්ධන තෙල් වර්ග හා ශරීරයේ නිසි හැඩය හා බර පවත්වා ගැනීමට විවිධ නිෂ්පාදනයන් වැඩි වශයෙන් අලෙවි විය. නමුත් ඒ නිෂ්පාදන සියල්ලම සෞඛ්‍යාරක්ෂිත බවින් හා ප‍්‍රමිතියකින් යුතු ඒවා ද යන්න ප‍්‍රශ්නයකි. ඇතැම් නිෂ්පාදනවලට පිළිගත් වෛද්‍යවරයකුගේ හෝ අදාළ ක්ෂේත‍්‍රය පිළිබඳ දැනුමැත්තෙකුගේ පවා අනුමත කිරීමේ සහතිකයක් නැත. එසේ වුවත් පාරිභෝගිකයන් කිහිප දෙනකු එම නිෂ්පාදන හොඳ බව අදාළ දැන්වීම් යටින් සඳහන් කර තිබේ. මේවා බොහෝ විට අදාළ නිෂ්පාදනය විකුණන පුද්ගලයන් විසින්ම සකසා ගත් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ලබා දුන් ප‍්‍රතිචාරයි. එසේ නොමැති නම් මුදල් ලබා දෙමින් ලබාගත් ප‍්‍රතිචාරයි. අනෙකුත් පාරිභෝගිකයන්ගෙන් යහපත් ප‍්‍රතිචාර ලැබෙන බව දුටු විට තමාට ද මෙම නිෂ්පාදනය සුදුසු යැයි තීරණය කරන පිරිස ඒවා මිලදී ගැනීමට පෙළඹේ.
 
 * තිබෙන්නේ ඇත්තම මිලද
 
 මුහුණු පොත හරහා මෙන්ම අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන්නන්ගේ ප‍්‍රමාණය ගැනිය නොහැකි තරම්ය. විවිධ භාණ්ඩ හා නිෂ්පාදන අලෙවි කිරීමට ඇති බව ඔවුන් පවසන්නේ සිත් ඇදගන්නා සුළු ඡායාරූප ද සමගිනි. නමුත් මෙම බොහෝ දැන්වීම් තුළ අදාළ භාණ්ඩ හෝ නිෂ්පාදනවල විකුණුම් මිල සඳහන් කර නොමැත. ඒවා මිලදී ගැනීමට විමසන පිරිසට විකුණුම්කරුවන් කියා සිටින්නේ ඉන්බොක්ස් හරහා අවශ්‍ය තොරතුරු දැනුම් දෙන බවය. ප‍්‍රසිද්ධියේ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කර හැකි නම් ඒවායේ මිල ගණන් සටහන් නොකරන්නට හේතුවක් නැත. මේ සම්බන්ධයෙන් තෝරාගත් නිෂ්පාදනයක් මිලදී ගැනීමට විමසූ පිරිසගෙන් අපි ප‍්‍රශ්න කළෙමු. සම පැහැපත් කරන ආලේපනයක් යැයි කියමින් ප‍්‍රසිද්ධ නළු නිළියන්ගේ ඡායාරූප පවා පළකරමින් තිබූ වෙබ් පිටුවක අදාළ නිෂ්පාදන මිල ගණන් සටහන් නොකිරීමට හේතුව ලෙස දක්වා තිබුණේ ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට භාණ්ඩ ප‍්‍රවාහනයට යන මුදල වෙනස් නිසා ස්ථීර මිලක් සටහන් කිරීම අපහසු බවයි.
 
 
 * ඉල්ලන සයිස් එකට වඩා පොඩියි.
 
 වෙළෙඳසලේ පවතින මිලට වඩා අඩුවෙන් ජංගම දුරකථන රන් ආභරණ සහ වෙනත් භාණ්ඩ අලෙවිකරුවන් ද මෙම ඔන්ලයින් ව්‍යාපාරිකයන් අතර වෙයි. බොහෝවිට තනි පුද්ගලයන් ලෙස භාණ්ඩ අලෙවි කරන්නන්ගෙන් හා ලියාපදිංචිය සනාථ නොකළ ආයතනවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී කල්පනාකාරී වන ලෙසට පොලිසිය පවා මහජනතාවට දැනුම් දී තිබේ.
 
 සොරකම් කරගන්නා ලද ජංගම දුරකථන සහ ස්වර්ණාභරණ, ගෘහ උපකරණ ආදිය අඩු මුදලට විකුණා මුදල් ලබා ගන්නා පුද්ගලයන් ලබා දී ඇති තොරතුරු සියල්ල ව්‍යාජ ඒවාය. පසුව ඔහුව සම්බන්ධ කර ගැනීමට ගැනීමට ලබාදුන් දුරකථන අංක ද වැඩ නොකිරීම නිසා පාරිභෝගිකයන් මහත් අපහසුතාවලට පත්වේ. නමුත් මෙම සොරකම් කරන ලද දුරකථන හෝ අනෙක් භාණ්ඩවල ඉමි අංකය සහ විස්තර පොලිසිය සතු නිසා ඇතැම් අවස්ථාවල මිලදී ගත් පුද්ගලයන්ට ද නීතියට හසුවීමට ඇති ඉඩකඩ වැඩිය. එම නිසා භාණ්ඩ සහ ජංගම දුරකථන ආදිය ගෙන්වීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය.
 
 * පාරිභෝගිකයන්ගේ දුරකථන අංක, ලිපින ලබා ගනිමින් වංචා සිදු කිරීම
 
 අන්තර්ජාලය හරහා ඇණවුම් කරනු ලබන භාණ්ඩ නිවසට ගෙන්වා දීමට දුරකථන අංකය, නම සහ ලිපිනය ආදී තොරතුරු ලබාදිය යුතු වේ. බොහෝ විට මෙම භාණ්ඩ ගෙන එනු ලබන්නේ කුරියර් සර්විස් හරහාය. එවැනි අවස්ථාවල දුරකථන අංක සහ ලිපිනය ලබා දීමේදී කල්පනාකාරී විය යුතුය. ඇතැම් පුද්ගලයන් භාණ්ඩ රැගෙන නිවසට පැමිණ නිවසේ ඇති දේ පවා සූක්ෂම ලෙසින් සොරකම් කර ගනිමින් පළා යයි. එමෙන්ම ඇ`දුම් පැළදුම් රූපලාවන්‍ය නිෂ්පාදන හා ආලේපන ඇනවුම් කිරීමේදී තරුණ තරුණියන් වඩාත් ප‍්‍රවේශම් විය යුතුය. ශරීරයේ හැඩය සහ ප‍්‍රමාණය බලාගැනීමට අවශ්‍ය යැයි පවසා සම්පූර්ණ ඡායාරූපයක් ලබා දෙන ලෙස පවසමින් කාන්තාවන්ගේ ඡායාරූප විවිධ වෙබ් අඩවිවල පළ කරන පුද්ගලයන් පිළිබඳව ද මේ දිනවල තොරතුරු වාර්තා වේ. එම නිසා පුද්ගලික තොරතුරු සහ ඡායාරූප ලබා දීමේදී වඩාත් ප‍්‍රවේශම් විය යුතුය.
 
 * මිල ගනන්වල විශාල වෙනසක්.
 
 මේ වන විට ලංකාවේ බොහෝ ජනප‍්‍රිය භාණ්ඩ අලෙවි කිරීමේ වෙබ් අඩවි කිහිපයක් ඇත. මේවා අන්තර්ජාතික සමාගම් සමඟ සම්බන්ධතා පවත්වමින් මෙරටට භාණ්ඩ ගෙන්වන සමාගම් ය. ඉතා අඩු මුදලක් සටහන් කර තිබෙන භාණ්ඩ පවා මිලදී ගැනීමේදී බොහෝ කල්පනාකාරී විය යුතුය. ඒවා මෙරටට ගෙන්වීමට වැයවන බදු මුදල පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුය. එමෙන්ම අන්තර්ජාතික යැයි පවසන සමාගම් පවා අඩු මුදලට ලබාගත් බාල බඩු විකිණීම සිදුකරන බවට බොහෝ දෙනකු චෝදනා කරයි පිටරට සිට අලූතින්ම ගෙන්වනවා යැයි පවසා ජපානය, කොරියාව වැනි රටවල ඉවත දමා ඇති ජංගම දුරකථන, අනෙකුත් භාණ්ඩ ගෙනැවිත් අලූත්වැඩියා කර ජනතාව මුළා කරමින් විකුණන සමාගම් කිහිපයක්ම කොළඹ හා ප‍්‍රසිද්ධ නගර කිහිපයක් ආශ‍්‍රිතව නිර්මාණය වී තිබේ.
 
 ‘‘මම ප‍්‍රසිද්ධම සමාගමකින් ෆෝන් එකට චාජර් එකක් හෑන්ඞ්ෆ‍්‍රී එකක් ඕඩර් කළා. හැබැයි මම ඕඩර් කරපු පාට නෙමෙයි ලැබුණේ. පාට ප‍්‍රශ්නයක් නෑ කියලා හිතලා පාවිච්චි කරන්න අරගෙන ටික දවසකින් චාජර් එක පිච්චිලා ගියා. නැවත ඒ සමාගමට ඒ පිළිබඳව දැනුම් දුන්නත් එයාල වගකීම භාරගන්න සූදානම් වුණේ නෑ. අලූතෙන් එකක් ගෙනල්ලා දෙන්න අමතර මුදලක් අය කර ගන්න වෙනවා කියලා කිව්වා.” මේ ඔන්ලයින් ක‍්‍රමයට ජංගම දුරකථන උපාංග ගෙන්වාගත් තරුණයකුගේ අත්දැකීමයි.
 
 * බාල වර්ගයේ භාණ්ඩ වටිනා භාණ්ඩ ලෙස පෙන්වයි
 
 අද වන විට කුරියර් සේවය හරහා මෙන්ම විවිධ පුද්ගලයන් හරහා ද භාණ්ඩ ප‍්‍රවාහනය සිදු කරනු ලබයි. මෙලෙස භාණ්ඩ රැගෙන එන්නන් අතරමඟදී අදාළ පාර්සල් විවෘත කර ඒවාගේ ඇති දේවල් සොරකම් කර ඇති බවට පාරිභෝගිකයන් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළට තොරතුරු මුදා හැර තිබුණි. මුදල් ගෙවා ඇති භාණ්ඩ ඇණවුම් රැගෙන එන්නන් ගේ දුරකථන අතරමගදී ක‍්‍රියා විරහිත වන අවස්ථාද ඇත.
 
 ‘‘මම ප‍්‍රසිද්ධ එකකින් කෑම එකක් ඕඩර් කරලා කාඞ් එකෙන් ගෙවීම් කළා. ඕඩර් එක අරන් එනවා මැප් එකෙන් පෙන්නුවත් අතරමගදී ඩිලිවර් කරන කෙනා කරන කෙනා ඕඩර් එක කැන්සල් කළා. මම හිතුවේ ඉන්ටර්නෙට්වල ප‍්‍රශ්නයක් කියලා. මං පස්සේ පුද්ගලයාට කෝල් කරද්දි ෆෝන් එක වැඩ කරේ නැහැ. කෑම එක සකස් කරපු හොටෙල් එකට දැනුම් දුන්නහම එයාලා කිව්වා මේ සම්බන්ධයෙන් වගකීමක් දරන්න බෑ කියලා. ඇණවුම් කළ එළවළු, පළතුරු, බීජ වර්ග, රස කැවිලි වර්ග, ආහාර පාන වර්ගවල ප‍්‍රමාණය අඩුවක් ඇති බවද ඇතැම් පාරිභෝගිකයන් පවසයි. ඒවා ප‍්‍රවාහනය කිරීමේදී විවිධ පුද්ගලයන් විසින් සොරකම් කර ඇති නිසා එහි වගකීම තමන් භාර නොගන්නා බව බොහෝ නිෂ්පාදන අලෙවිකරුවන් පවසා තිබේ. නමුත් භාණ්ඩය ඇණවුම් කිරීමේ සිට පාරිභෝගිකයාට ලැබෙන තුරුම අලෙවිකරුවන් හෝ ආයතනය එම භාණ්ඩය සම්බන්ධයෙන් වගකිව යුතුය. ඇතැම් පිරිසක් කුරියර් සේවයට යැයි කියා විශාල මුදලක් අය කර ගත්තද සැබෑවටම එම භාණ්ඩ රැගෙන එන්නේ අදාළ විකුණුම් ස්ථානයේම සේවකයන් විසිනි. තවත් පිරිසක් භාණ්ඩවල මිල අඩු බව සඳහන් කළ ද ඒවා මිලදී ගැනීමේදී සහන ලැබීමට නම් ඔවුන් පෙන්වාදී ඇති ප‍්‍රමාණ ඉක්මවමින් මිලදී ගත යුතුය. සංචරණ සීමා පවතින දිනවල හාල් හාල්, තුනපහ වැනි සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන් මෙම උපක‍්‍රමය යොදවා ඇත. අනෙකුත් වෙළෙඳසල්වලට වඩා මිල අඩු බව පැවසීම සමඟ වැඩි පාරිභෝගිකයන් පිරිසක් භාණ්ඩ ඇණවුම් කිරීමට පෙළඹේ. ඔවුන් ඇණවුම් ලබා දී එය ස්ථිර කළ පසු වැඩි මුදලක් වැය වුවත් එයට හේතුව විමසූ විට සඳහන් කරන්නේ අදාළ සහන සැලසෙන්නේ අඩුම තරමින් හාල් කිලෝ 10ක් වත් මිලදී ගතහොත් පමණක් බවයි. නැවත එම ඇණවුම් අවලංගු කිරීමට අවස්ථාවක් නොවන නිසා පාරිභෝගිකයන් පාඩුව විඳ දරා ගනිමින් භාණ්ඩ මිලදී ගනී.
 
 
 * කාඞ් එකෙන් ගෙවීම් කරන්නේ, බැංකුවට සල්ලි දාන්නේ පරිස්සමෙන්
 
 ඇතැම් නිෂ්පාදන ලබාදීමට නම් අත්තිකාරම් මුදලක් හෝ සම්පූර්ණ මුදලම බැංකුවට දමා රිසිට් පතක් එවන ලෙසට පාරිභෝගිකයාට දැනුම් දෙයි. නමුත් එම රිසිට් පත ලැබුණු පසු ලබාදුන් දුරකථන අංක, ෆේස්බුක් ගිණුම අක‍්‍රීය වී ඇති අවස්ථා බොහෝය. නිවසේදීම රැකියාවක් කරන්නට අතහිත දෙනවා යැයි පවසමින් සමාජ මාධ්‍ය තුළ බොහෝ දැන්වීම් හුවමාරු වෙයි. එක්තරා පුද්ගලයකු ස්වයං රැකියා සඳහා පහන්තිර නිෂ්පාදනය කරන්නන් අවශ්‍ය බවත් ඒ සඳහා රුපියල් විසිදහසක් වැනි මුදලක් බැංකුවේ තැන්පත් කළ යුතු බවත් සඳහන් කරමින් විශාල මුදල් වංචාවක් කර තිබේ.
 
 කොරෝනා සමඟ රැකියා අහිමිව නිවෙස් තුළ සිටින බොහෝ දෙනකු මෙවැනි ජාවාරම්කරුවන්ට හසු වේ. මේ එලෙස වංචනික පුද්ගලයකුට හසු වූ මහේෂිගේ කතාවයි.
 
 ‘‘මගේ ගම මොණරාගල. ගෲප් එකක ගිය පෝස්ට් එකක් දැකලා අපේ ගමේ කතාකරන්න බැරි ජෝඩුවකට ගෙදර ඉඳන්ම මේ තිර හදන වැඬේ කරන්න මං කතා කරලා දුන්නා. ඒ මිනිස්සුන්ට උදව්වක් විදිහට. මේ මනුස්සයට කතා කරාම කිව්වා රුපියල් 20000 ක් ඕන කියලා කම්පැණියට බැඳෙන්න. අනේ අර කතා කරන්න බැරි ජෝඩුව ම`ගුල් මුද්ද උගස් කරලා සල්ලි දුන්නා මේක කොහොම හරි එයාලට හදලා දෙන්න කියලා. ඉතින් සල්ලි දැම්මට පස්සෙ ඔන්න ටික දවසකින් ඇවිත් ලොකු රෙදි කෑලි ටිකකුයි පහන්තිර පෙට්ටි ටිකකුයි දීලා ගියා. අනික එදා ඒ මිනිස්සුන්ට ගේ හදාගන්න උදව් කරනවා කිව්වා. කන්න බඩු අරන් එනවා කිව්වා. ඉතින් ඒ ජෝඩුව ඇත්තටම සතුටු වුණා මේ මනුස්සයා උදව් කරයි කියලා. ඊට පස්සෙ කතා කරන්න බැරි ජෝඩුව හරි ලස්සනට රැයක් දවාලක් නැතුව ඒ වැඬේ කරා. මාරම නීට් එකට වැඬේ කරා. ඒත් ඉවර වෙලා මේ මනුස්සයට කතා කළා මේ මනුස්සයා පැත්තෙ පළාතේ ආවෙ නෑ. අද එනවා හෙට එනවා කිය කිය කල් දැම්මා. දැන් මාස දෙකකටත් වැඩියි. ඒ මනුස්සයා ආවෙත් නෑ අර අසරණ ජෝඩුවට කිසිම දෙයක් ලැබුණෙත් නෑ.
 
 මං කතා කළාම එක එක බොරු හේතු කිව්වා. සල්ලි දැම්මා කිව්වා. හවස වැටෙයි. හෙට වැටෙයි කියලා මඟ හැරියා. අර කතාකරන්න බැරි ජෝඩුවට කන්න බොන්න වත් නැති නිසා අවසානෙ මං ගෙදරට බඩු ගන්න මගේ අතින් රුපියල් 10000/=ක් දුන්නා. මේ මනුස්සයගෙන් කිසිම කතාවක් නැති නිසා මං 20000/= දීලා අර මිනිස්සුන්ගෙ මුද්දත් අරන් දුන්නා. මිනිස්සුන්ට උදව් කරන්න ගිහින් රුපියල් 30000/= ක් අවසානෙ මට ගෙවන්න වුණා. මේ මනුස්සයා තාම මේ වංචාව කරනවා. දුප්පත් මිනිස්සුන්ගෙන් සල්ලි අරන් ආයෙ ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ. බඩු ගිහින් දෙන්නෙත් නෑ. ඒ නිසා කිසිම කෙනෙක් මේ වංචාකරුවන්ට නම් අහුවෙන්න එපා. 

– නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment