කවි ලියන දොස්තර නෝනලා

317

වෘත්තීය ජීවිතයේදී ‘කවිය’ අපට ඖෂධයක්

පහත පළ වන්නේ “වෙද නලාවට” හසු නොවන මිනිස් ජීවිතයේ රිදුනු බිඳුණු තැන් “කවි ඇසින්” දකින්නට සමත් වෛද්‍යවරියන් පිරිසක් පිළිබඳ කතාවක්ය. තමන්ගේ මෙන්ම තමන්ගේ නොවන බොහෝ දේ කවියට නගන ඔවුන්, වෛද්‍ය වෘත්තියේදී මෙන්ම ඊට හාත්පසින්ම වෙනස් කවිය තුළ ද මේ වන විට සාර්ථක කිවිඳියන් බවට පත්ව ඇත. තම තමන් විසින් කරන ලද නිර්මාණ කාව්‍ය සංග්‍රහ ලෙසද ඊට අමතරව ජාතික පුවත්පත් ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පාඨක සමාජය වෙත මුදාහරින “කිවිඳියන්” පිරිසක් ලෙස කවි කියවන සමාජය තුළ ප්‍රකටව සිටින මෙම වෛද්‍යවරියන් පිරිස මේ වන විට මෙරට ප්‍රධාන රෝහල් කිහිපයක රාජකාරි සිදු කරන අතර ලැබෙන මඳ අවසරය තුළ ඔවුන් කවියත් සමග ඒකාත්මික වන ආකාරයත්, කවිය තුළින් සමාජය පමණක් නොව වෛද්‍යවරියන් ලෙස ඔවුන් ද “සුවපත්” වන ආකාරයත් පිළිබඳව විස්තර කර සිටින්නේ පහත සඳහන් ආකාරයෙන්ය.

පළමුව අප හා කතාබහට එක් වූවේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන මහාචාර්ය මනෝරි ගමගේ මහත්මිය ය. මේ වන විට කාව්‍ය සංග්‍රහයන් දෙකක් ලියා පළකොට ඇති මහාචාර්ය මනෝරි ගමගේ මහත්මිය තවදුරටත් කවිය අතනොහැර නිතර නිර්මාණකරණයේ යෙදෙන කිවිඳියක වන අතර ඇයගේ කාව්‍ය නිර්මාණ ජාතික පුවත්පත් කවි පිටු අතර නිතර දැකගත හැක. තනතුරු නාම පසෙක තබමින් “මනෝරි ගමගේ” නමින් කවි ලියන මහාචාර්යවරිය විසින් මීට පෙර ලියන ලද කාව්‍ය සංග්‍රහයන් දෙක වන්නේ “ලොක්ඩවුන් නොකළ සිතුවිලි” සහ “පතොක් මල්” කෘතීන්ය. අවිවේකී කාර්යබහුල වෘත්තීය ජීවිතය තුළ පවා ඇය “කවිය” හා පවත්වන ඇසුර විස්තර කර ඉන්නට විය.

“මගේ අම්මයි තාත්තයි දෙන්නම සිංහල ගුරුවරු. ඊට අමතරව මං පුංචි කාලේ අපේ ගෙදර වැඩිපුරම තිබුණේ පොත් පත්. ඒ කාලේ ඉඳලම අතට අහු වෙන මොකක් හරි පොතක් කියවන එක මගේ පුරුද්දක් බවට පත්වෙලා තිබුණා. ඒ වගේම මගේ අම්මට කවි ලිවීමේ හොඳ හැකියාවක් තිබුණා. ඇත්තටම අද මට හිතෙනව කවි ලියන්න කුමන හෝ හැකියාවක් මගේ ළඟ තියෙනවනම් ඒක මට එන්න ඇත්තෙ මගේ අම්මගෙන් කියලා. කොළඹ දේවි බාලිකාවේ ඉගෙන ගන්න කාලෙ ඉඳලම කවි ලියන එක මගේ පුරුද්දක් බවට පත් වෙනවා. විද්‍යාලයේ පැවැති සාහිත්‍ය තරග ආදියටත් මගේ නිර්මාණ ඉදිරිපත් කරල තියෙනව. නමුත් ඒක ජයග්‍රහණය අපේක්ෂාවෙන් කරන ලද ඉදිරිපත් කිරීමක් නොවෙයි.”

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මනෝරි ගමගේ මහත්මිය එකල පාසල් සිසුවියක ලෙස කවියට අත්පොත් තැබූ ආකාරය විස්තර කර සිටියේ ඒ ආකාරයෙන්ය. සාහිත්‍ය පොත පත යම් ප්‍රමාණයකට පරිශීලනය කළ ද අපොස උසස් පෙළ විභාගය සඳහා ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටින මනෝරි ගමගේ එහිදී විශිෂ්ට සමත්කම් දක්වමින් වෛද්‍ය සිසුවියක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිකරගෙන ඇත.

“වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට ඇතුළත් වුණාට පස්සේ කවිය මගෙන් ඈත් වෙන්න ගත්තා. අධ්‍යාපන කටයුතුත් එක්ක එහෙම වෙන්න ඇති. නමුත් පත්තරයක එහෙමත් නැත්නම් සඟරාවක කාගෙහරි කවියක් පළ වෙලා තියෙනවා දැක්කොත් ඒක කියවන පුරුද්දක් හැමදාමත් මගේ ළඟ තිබුණා. විශේෂයෙන්ම දිවයින කවි මුතු පිටුව ඒ වගේම සිළුමිණ පත්තරේ කවි පිටුව හැම සතියකම වගේ කියවන්න ලැබුණා. මට මුල්ම පත්වීම ලැබෙන්නේ කොළඹ කාසල් කාන්තා රෝහලට. ඉන් අනතුරුව මම කාලයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ රාජකාරි කරනවා. ඔය අතරතුර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් වශයෙන් සේවය කරන්නත් මට අවස්ථාව ලැබෙනවා. මේ වන විට වසර විසි හතරක් වෛද්‍යවරියක් ලෙසත් ඒ වගේම වසර 20ක පමණ කාලයක් ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් වශයෙනුත් කටයුතු කරමින් ඉන්නවා. කාලයක් කාර්යබහුල රාජකාරි ජීවිතයත් එක්ක කවිය යම්තාක් දුරකට මගෙන් ඈත් වෙනවා. පසුගිය කොවිඩ් වසංගත කාලය තුළ නැවත මම ලියන්න ගන්නව. ඒ ලියන දේවල් බාහිර සමාජය වෙත මුදාහරින්න මෙරට මුද්‍රිත මාධ්‍ය කිහිපයක් මෙන්ම සමාජ මාධ්‍ය ජාලය මට උපකාරී වෙනවා. මෑත කාලීනව දිවයින ඉරිදා සංග්‍රහය “කවි මුතු” පිටුව තුළින් මගේ නිර්මාණ බොහොමයක් සමාජගත කරන්න අවස්ථාව ලැබුණා. එතනදි තමයි මට පුළුල් සාහිත්‍යය සමාජයක් එක්ක නැවතත් ඇසුරු කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි මගේ කවියේ අඩුපාඩු ගැන එහෙමත් නැත්නම් ඒ නිර්මාණවල සාර්ථකත්වය ගැන හඳුනාගත් පිරිසක් සමග කතාබහ කරමින් ඉදිරියටත් නිර්මාණකරණයෙහි නිරත වීම තුළ ලොකු ආත්ම තෘප්තියක් ලබන්නත් මම වාසනාවන්ත වෙලා තියෙනවා.”

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මනෝරි ගමගේ මහත්මිය සමඟ සිදුකළ කතාබහ නිමා කිරීමෙන් අනතුරුව අපගේ අවධානය යොමු වූවේ දශක කීපයක් තිස්සේ කවිය අතනොහැර වෛද්‍ය වෘත්තියේ යෙදෙන හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ මුහුණ, මුඛ, හනු පිළිබඳ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගයත්‍රී ගරුසිංහ මහත්මිය වෙතය. කුඩා පාසල් සිසුවියක්ව සිටි අවදියේ සිට කවියත් සමග මිතුරුකම් ගොඩනගා ගත් ඇය “කුඩ මසු සුවඳමය” යනුවෙන් කාව්‍ය සංග්‍රහයක් පළ කරනු ලබන්නේ පේරාදෙණිය වෛද්‍ය පීඨ අවසන් වසර සිසුවියක ලෙස අධ්‍යාපනය ලබමින් සිටින අවධියේදීය. කවියක් තරමටම රසවත් ඒ අතීතයත්, කාර්යබහුල වර්තමානයත් අතර තවදුරටත් කිවිඳියක ලෙස කවියට පෙම් බඳින ඇය නුදුරේ දිනෙක අලුත උපන් කවි එකතුවක් තුළින් පාඨක ඔබ අතරට පැමිණීමට නියමිතය.

කවි ලියන දොස්තර නෝනලා
වෛද්‍ය වත්සලා කන්නන්ගර

“මගේ අම්මා තාත්තා සිංහල හා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හසල දැනුමක් තිබුණු දෙදෙනෙක්. තාත්තා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරියෙක්. ඉංග්‍රීසි භාෂාව පිළිබඳව කථිකාචාර්යවරයෙක් වශයෙන් තමයි තාත්තා රාජකාරි කළේ. අම්මා හෙදි සොහොයුරියක්. පොත්පත් පුවත්පත් වලින් තමයි අපේ ගෙදර පිරිලා තිබුණේ. අපි ඉපදෙන්නත් ඉස්සර පළවූ පුවත්පත් පවා කියවන්න පුංචි කාලෙ ඉඳලම අපිට අවස්ථාව ලැබුණා. මට අයියා කෙනෙක් සහ අක්ක කෙනෙක් ඉන්නවා. මගේ අක්කා වෛද්‍යවරියක්. ඒ වගේම එයත් කිවිඳියක්. පුංචි කාලේ අපි තුන්දෙනාම සිංහල හා ඉංග්‍රීසි භාෂාවට එකසේ සමත්කම් දැක්වූවා. ඒකට එක හේතුවක් තමයි. අම්මා තාත්තා විසින් පුංචි කාලේදිම අපව පුස්තකාලයට යොමු කිරීම කියවීමට කොච්චර ඇබ්බැහි වුණා ද කිව්වොත් කොතරම් අවිවේකී ජීවිතයක් ගත කළත් අදත් පොතක් පත්තරයක් කියවන එක මගේ ජීවිතයේ කොටසක් බවට පත්වෙලා ඉවරයි. ඒ වගේම තමයි කවිය කියන්නෙත් මගේ ජීවිතයේ කොටසක්..”

වලස්මුල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරන ගයත්‍රී ගරුසිංහ ඉන් අනතුරුව තංගල්ල ක්‍රිස්තුදේව විද්‍යාලයට ඇතුළත්ව වැඩිදුරටත් අධ්‍යාපනය ලබන අතර උසස් පෙළ ඉහළින් සමත්වන ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඇත.

ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ ලියල වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා කියලා සිංහල භාෂාව පිළිබඳව මගේ තිබුණු ඇල්ම බිංදුවක්වත් අඩු වුණේ නෑ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ පුස්තකාලය පරිහරණය කරන්න අවසර ඉල්ල ගත්ත මම හැකි සෑම අවස්ථාවකදීම සිංහල භාෂාව පිළිබඳ ඒ හරහා ලොකු දැනුමක් ලබා ගත්තා. පුස්තකාලයට ඇතුළු වුණාම මට දැනුණේ දිව්‍ය ලෝකෙට ඇතුළු වුණා වගේ හැඟීමක්. පුළුවන් තරම් කියවන්න උත්සාහ කළා. ඒ දැනුම හිතේ ගබඩා කර ගත්තා. විශ්වවිද්‍යාල බිත්ති පුවත්පතට නිර්මාණ ඉදිරිපත් කළා. ඉඩක් ලැබුණු සෑම වෙලාවකම ජාතික පුවත්පත්වලට කවි ලිව්වා. අදත් කවිය කියන්නේ මගේ ජීවිතේ කොටසක්. නිවන විට මගේ වෘත්තීය ජීවිතයට වසර විසි දෙකක් වෙනවා. ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියක් විදිහට බෙහෙවින් කාර්යබහුල ජීවිතයක් ගත කළත් කවිය මගෙන් ඈත් කරන්න ඒ කිසි දෙයකට පුළුවන්කමක් ලැබිලා නෑ..හෙටත් මම කවි ලියනවා …”

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට රාජකාරියේ නිරත වෛද්‍ය කුමුදුනි වේලාරත්න මහත්මියගේ වෘත්තීය ජීවිතයට මේ වන විට වසර තිහක් සම්පූර්ණ වී ඇත. වෛද්‍ය වෘත්තියේ නිරත වීමට පෙර සිටම කවිය හා සමීප ඇසුරක් පවත්වන ඇය පාසල් සිසුවියක ලෙස නිර්මාණකරණයට පිවිසෙන අතර එම සිරිමත් අතීතය වෛද්‍ය කුමුදුනි වේලාරත්න මහත්මිය විසින් යළි මෙනෙහි කර සිටින්නේ මේ ආකාරයෙන්ය.

“ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියක ලෙස මා විසින් කරන ලද පුංචි පුංචි නිර්මාණ මුලින්ම එළියට ආවේ ගුවන්විදුලියෙන්. නිර්මාණ කරන්න අවශ්‍ය පසුබිම මුලින්ම සැකසෙන්නේ අපේ ගෙදරින්. මගේ තාත්තත් ගුරුවරයෙක්. තාත්තා පොත පතට ලොකු ලැදියාවක් දක්වපු පුද්ගලයෙක් වශයෙන් අපේ ගෙදර පුස්තකාලයක් තිබුණා. ඊට අමතරව තාත්තා ගුරුවරයෙක් විම හේතුවෙන් වරින්වර රටේ නොයෙක් තැන්වල පදිංචියට යන්න අපට සිද්ධ වුණා. කොහේ ගියත් පාසල් ගුරු නිවාසයක් තමයි අපේ නිවහන බවට පත්වුණේ. එතැනදි පාසල් පුස්තකාල පාවිච්චි කරන්නත් මට අවස්ථාව ලැබුණා. තාත්තාගෙන් ලැබුණු ආභාෂයක් නිතර පොත පත පරිශීලනය කිරීමත් හේතුවෙන් කාලයක් යද්දි කවිය කියන දෙය මගේ හද බස බවට පත්වෙනවා. මම මුලින්ම කවි ලිව්වේ ලංකාවේ කාන්තා පුවත්පත් කීපයකට. තමන්ගේ නිර්මාණයක් පත්තරයක පළ වෙනවා කියන්නේ ඕනම කෙනෙකුට ලොකු සතුටක් දැනෙන කාරණයක්. මටත් එහෙමයි…”

“උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ කවිය තරමක් දුරට මගෙනුත් ඈත් වෙනවා. අධ්‍යාපන කටයුතු ආදියේ තිබුණු අවිවේකී බව හින්දා එහෙම වෙන්න ඇති. 1988//89 කියන්නේ මේ රටට උදාවූ බොහොම නරක කාල පරිච්ඡේදයක්. ඒ වෙද්දි මම වෛද්‍ය ශිෂ්‍යාවක්. එදා රටේ පැවති භීෂණයත් එක්ක විශ්වවිද්‍යාල පද්ධතියම දින නියමයක් නොමැතිව වහල දානවා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන තමයි නැවත මම කවි ලිවීම ආරම්භ කරන්නේ. ජාතික පුවත්පතක් වශයෙන් දිවයින ඉරිදා සංග්‍රහය තමයි මුලින්ම මගේ කවියක් පළ කරන්නේ. එදා ලොකු සතුටක් දැනුණු දවසක්. ඔය අතරේ විදෙස් කවියන්ගේ විශේෂයෙන්ම විලියම් වර්ඩිස්වත්, ලෝන්ග් ෆෙලෝ වගේම ඊට පසු අවධියේ බිහිවූ රුසියානු මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් කළු ඇමෙරිකානු කිවිඳිය වූ මායා ඇන්ගලෝ ඒ වගේම ඉන්දියානු කිවිඳියක වූ කමලා දාස් වැනි විදේශීය කවි කිවිඳියන්ගේ නිර්මාණ රස විඳිමින් එම නිර්මාණ සිංහලට පරිවර්තන කරන්නත් ඒ කාලේ කටයුතු කරල තියෙනව. ඒ පුරුදු පුහුණුවීම් එක්ක තවමත් මම කවි ලියනවා. නමුත් වෘත්තීය ජීවිතයේ තියෙන අවිවේකයත් එක්ක යම් යම් ප්‍රමාද වීම් සිදු වුණත් පසුගිය අවුරුද්දේ “අලුත් අහසකි අදත්” මගේ මුල්ම කවි පොත නිකුත් කරන්න පුළුවන්කම ලැබුණා. වෛද්‍ය වෘත්තියේ යෙදෙන අයෙක් විදිහට කවියක් ලියන එක වෙනත් කෙනෙකුගේ කවියත් කියවන එක මනසට ලොකු විවේකයක් ගෙන දෙන කටයුත්තක් …”

ඉන් අනතුරුව අප හා කතාබහට එක්වූයේ වෛද්‍යවරියක් මෙන්ම කිවිඳියක් ලෙසද ප්‍රකටව සිටින වෛද්‍ය හිමාලි වීරක්කොඩි ය. කවියක් තරම් සුන්දර නුවරඑළිය ප්‍රදේශයේ උපත ලබන වෛද්‍ය හිමාලි වීරක්කොඩි මූලික අධ්‍යාපනය ලබන්නේ නුවරඑළිය ග්‍රෙගරි වැව පෙනෙන මානයේ පිහිටි මද්දුම බණ්ඩාර විද්‍යාලයෙනි. මේ වන විට කාව්‍ය සංග්‍රහයට හතරක හිමිකාරියක් වන වෛද්‍ය හිමාලි වීරක්කොඩි මහත්මියගේ කාව්‍ය නිර්මාණ මෙරට මුද්‍රිත මාධ්‍ය තුළ නිතර දකින්නට ලැබෙන අතර ඇයද නිර්මාණකරණයට පිවිසෙන්නේ පාසල් සිසුවියක ලෙස ගුවන්විදුලි වැඩසටහන් සඳහා තම නිර්මාණය ඉදිරිපත් කිරීම තුළිනි.

“පුංචි කාලේ ඉඳලම යම් යම් දේ ලියා තබන පුරුද්දක් මගේ ළඟ තිබුණ. මගේ තාත්තා ගුරුවරයෙක්. මටත් මගේ සහෝදර සහෝදරියන්ටත් ලියන්න කියන්න අවශ්‍ය වටපිටාව හදලා දුන්නෙ තාත්තා. ඉස්කෝලේ 8 වසරෙ ඉන්න කාලෙ ස්වදේශීය සේවයේ නිර්මාණ චාරිකාවට සටහනට ඒ වගේම රූපවාහිනියෙ උදාර කියන ළමා වැඩසටහනට යම් යම් නිර්මාණ ඉදිරිපත් කරන එක මගේ පුරුද්දක් බවට පත් වෙනවා. මම උසස් පෙළ හදාරන්නේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන්. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී හිටියත් කවිය මගෙන් ඈත් වුණේ නෑ. මගේ හැකියාවන් දකින තිස්ස පටබැඳි ගුරුතුමාගේ දිරිමත් කිරීම එදා මට විශාල ශක්තියක් බවට පත්වෙනවා. එතුමා තමයි කිව්වේ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබුවත් කලාව පැත්තෙන් කරන කටයුතු අතපසු කරන්න එපා කියලා. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සඳහා පෙනී සිටියත් වෛද්‍යවරියක් වෙන්න මගේ ලොකු කැමැත්තක් තිබුණේ නෑ. මගේ අක්කත් වෛද්‍යවරියක් හින්දා ගුරුවරියක් වෙන එක තමයි මගේ බලාපොරොත්තු බවට පත්වුණේ. නමුත් මගේ තාත්තාගේ ලොකුම හීනය බවට පත් වෙලා තිබුණේ මමත් වෛද්‍යවරියක් වෙනවා දකින එක. ඒ හින්ද මගේ කැමැත්ත පැත්තකින් තියලා වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස ගාල්ල කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න මට පුළුවන් කම ලැබෙනවා. ඒක දකින්න තාත්ත වාසනාවන්ත වුණේ නෑ. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මම විශ්වවිද්‍යාලයට යන්න පෙර තාත්තා මිය යනවා….”

තම පියාණන්ගේ ඉල්ලීම ඒ ආකාරයෙන්ම ඉටුකරන හිමාලි වීරක්කොඩි වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස තම අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් අනතුරුව වෛද්‍යවරියක් ලෙස පළමුව සේවය කරනු ලබන්නේ ද කරාපිටිය ශික්ෂණ රෝහලේය. මේ වන විට වසර 15 ක පමණ වෘත්තිය ජීවිතයක් ගතකොට ඇති ඇය ගාල්ල රත්ගම රෝහලේ රාජකාරි කරන අතර වෛද්‍යවරියක්, දරුවන් තිදෙනකුගේ මවක්, බිරිඳක් ලෙස කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද කවියක් රචනා කිරීම තුළින් ජීවිතයේ වෙහෙස මහන්සිය නිවාගැනීම වෛද්‍ය හිමාලි වීරක්කොඩිගේ පුරුද්දක් බවට පත්ව ඇත.

මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ අධ්‍යාපනය ලද වෛද්‍ය මංජුලා පියුමාලි ද සොයිසා මහත්මිය ද තම නමින් නිතර කවි පිටු සරසන කිවිඳියක් බවට පත්ව ඇත. දිවයින ඉරිදා කවිමුතු තීරය හරහා සිය නිර්මාණයන් පාඨකයන් අතරට මුල්වරට රැගෙන යන ඇය දැනටමත් බොහෝ දෙනකුගේ කතාබහට ලක්වන කිවිඳියක් බවට පත්ව ඇත. මේ වන විට මාරවිල රජයේ රෝහලේ සේවය කරනු ලබන වෛද්‍ය මංජුලා පියුමාලි ද සොයිසා ප්‍රබල කවි බසක් සහිතව නිර්මාණකරණයේ යෙදෙන කිවිඳියක් වන අතර ඇය කවියට අත් පොත් තැබූ ආකාරය විස්තර කර සිටින්නේ මේ ආකාරයෙන්ය.

“අධ්‍යාපන කටයුතුවලට අමතරව කලාව කියන දෙයට පුංචි කාලේ ඉඳලම මා තුළ ලොකු කැමැත්තක් තිබුණා. පාසල් අවදිය ගත් විට කොට්ඨාස පළාත් මට්ටමින් පද්‍ය රචනා ජයග්‍රහණ කීපයක් ලබාගන්නත් ඒ වගේම දහම් පාසල් මට්ටමේ යම් යම් ජයග්‍රහණ කීපයකුත් ලබාගන්න මට පුළුවන්කම ලැබුණා.

එතනදි තමයි මම දැනගත්තේ මගේ ළඟ සැඟවුණු මොකක් හෝ හැකියාවක් තියෙනවා කියලා. මගේ පවුල් පසුබිම ගත්තොත් කලාවත් එක්ක ළඟ ඇසුරක් පවත්වපු කවුරුවත් හිටියේ නෑ. හත අට වසරවල අපට උගන්වපු ගුරුවරු තමයි අපේ හැකියාවන් දැකලා ඉස්සරහට යන්න අත හිත දුන්නේ. උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස මම ඇතුළත්වෙන්නෙ කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට. එතනදිත් මම අන්වර්ථ නාමයකින් කවි ලියන්න ගන්නවා. එහෙම ලියවෙන කවි විශ්වවිද්‍යාල බිත්ති පුවත්පතට යොමුකරනවා. මගේ නිර්මාණයක් කෙනෙක් රසවිඳිනවා දැක්කොත් ලොකු සතුටක් දැනෙන්න ගන්නවා. ඒ සතුට විසින් තමයි තව තවත් ලියන්න දිරිය ලබා දුන්නේ. මගේ වගේම මගේ නොවන අත්දැකීම් පවා කවියට හසුකරගන්න පුරුද්දක් මගේ ළඟ තිබුණා. නමුත් මගේ නිර්මාණ මම ම රස විඳලා පැත්තකට කරනවා මිසක් ඒව තවත් පිරිසක් අතරට රැගෙන යන්න හිත දුන්නේ නෑ. වෛද්‍යවරියක් විදිහට පොළොන්නරුව මහ රෝහලට තමයි මුලින්ම මම රාජකාරියට යන්නේ. රාජකාරී ජීවිතය තුළදී කවිය මගෙන් තරමක් දුරට ඈත් වුණා කියල කියන්නත් පුළුවන්. විවාහ ජීවිතයට ඇතුළත් වෙලා මට පුතෙක් ඉපදුනාට පස්සේ ලැබුණු ප්‍රසූත නිවාඩුවත් එක්ක තමයි මම නැවතත් කවි ලිවීම ආරම්භ කරන්නේ. ෆේස්බුක් හරහා කවි ලියමින් ඉන්න වෙලාවක තමයි වෛද්‍ය ක්ෂේත්‍රයේම ඉන්න තවත් පිරිසක් එක්ක එකතු වෙලා අපි ගෲප් එකක් හදා

ගන්නවා. ඒ හරහා කවි පිළිබඳව ඒ වගේම වෙනත් කවි කිවිඳියන්ගේ නිර්මාණ පිළිබඳව කතිකාවක් ගොඩනගා ගන්නත් අපිට පුළුවන්කම ලැබෙනවා. එතනදි තමයි අපි අපේ අඩුපාඩු හදාගෙන නැවතත් කවියත් එක්ක සමීප ඇසුරක් ගොඩනඟා ගන්න පුළුවන්කම ලැබුණේ….”

2022 වසරේදී “තිත් සහ කොමා” යනුවෙන් කවි පොතක් නිකුත් කරන වෛද්‍ය මංජුලා පියුමාලි ද සොයිසා මහත්මිය මෙම වසර අග තවත් තවත් කවි පොතක් තුළින් පාඨකයන් අතරට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන අතර අවසන් වශයෙන් ද ඇය සඳහන් කර සිටියේ කවිය යනු මිනිසා සුවපත් කිරීම පිණිස මහත් සේ ඉවහල් වන කලා මාධ්‍යයක් බවත් යහපත් මානව සමාජයක් බිහි කිරීම පිණිස ඉදිරියටත් කවියත් සමග තමන්ටද ගමනක් පවතින බවත්ය.

ඉන් අනතුරුව අප හා කතාබහට එක් වන්නේ මෑත කාලය තුළ කවිය තුළින් යමක් කළ හැකි බව මනාව පෙන්නුම් කරමින් නිර්මාණය කරණයේ යෙදෙන තවත් කිවිඳියක් මෙන්ම වෛද්‍යවරියක් වන අමා ඔවිනි අලුත්ගේ ය. මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ රාජකාරියේ නිරත වෛද්‍ය අමා ඔවිනි අලුත්ගේ මහත්මිය තමන් කවි මඟ මෙතෙක් දුර ආ ගමන පිළිබඳව විස්තර කර සිටියේ මෙලෙසින්ය.

“මගේ පාසල් කාලේ ගත්තොත් කවි ලිවීම පිළිබඳව එතරම් කැමැත්තක් තිබුණෙ නෑ. නමුත් ලොකු කැමැත්තකින් කවි කියවන්න පුරුද්දක් මගේ ළඟ කවදත් තිබුණා. නන්දන වීරසිංහ, රුවන් බන්දුජීව, වර්ණ රසික ගුණවර්ධන, මේකළා උදාරී, සමන් චින්තක, කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා ඇතුළු මට වඩා ප්‍රවීණයන්ගේ කවි කියවන එක තමයි මම කාලයක් තිස්සේ කරගෙන ආවේ. ඒත් එක්කම පරිසර සුන්දරත්වය රිසිසේ විඳින්න මා තුළ ලොකු කැමැත්තක් පුංචි කාලේ ඉඳලම තිබුණ.

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබල වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස වෛද්‍ය පීඨයට ඇතුළත් වුණාට පස්සෙත් කවි රස විඳින එක දිගටම කරගෙන යද්දි එක්තරා වෙලාවක මට තේරෙනව මටත් යමක් ලියන්න පුළුවන්කම තිබෙනව කියලා. ඇත්තටම ඒ සිතිවිල්ල පහළ වෙන්නේ වෛද්‍යවරියක් ලෙස රාජකාරි කරන්න අරගෙන වසර කීපයක් ගියාට පස්සෙ. වෙනත් විදිහකට කිව්වොත් මම කවි ලියන්න පටන් අරන් තවම වසර 5ක් වත් ගතවෙලා නෑ. වෘත්තීය ජීවිතය තුළ ලැබෙන අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීම තුළින් තමයි මම කවි ලිවීම ආරම්භ කරන්නේ. මම ලියපු කවි කියවපු කීප දෙනෙක් ඒවා අගය කිරීමට ගැනීමත් එක්ක තමයි මම තවදුරටත් කවිය තුළ රැඳී සිටිමින් අභ්‍යාසයේ යෙදිය යුතුයි කියන තීරණය අරගෙන ලියන්න ගන්නේ. මගේ කවියක් මුලින්ම පළ වෙන්නේ දිවයින පත්තරේ. හිමිවෙයි කියලා නොහිතපු වෙලාවක ලැබුණු ඒ අවස්ථාවත් එක්ක ලොකු උත්තේජනයක් දැනෙන්න ගත්තා. එදා ඉඳලා මේ දක්වා ඉඩක් ලැබෙන හැම වෙලාවකම කවියක් ලියන එක මගේ පුරුද්දක් බවට පත්වෙලා තිබෙනව. වෛද්‍ය වෘත්තිකයෙක් විදිහට රෝගීන් එක්ක ගත කරන ජීවිතය ඒකාකාරී වන අවස්ථාක් ඇති වුණොත් ඒ මානසික ආතතිය නැති කරගන්න කවියකින් පුළුවන් කියල වෛද්‍යවරියක් විදිහට මම තදින් විශ්වාස කරනවා…”

ප්‍රබල කවි බසක් සහිතව නිර්මාණකරණයේ යෙදෙන තවත් කිවිඳියක් ලෙස ප්‍රකට වෛද්‍ය වත්සලා කන්නන්ගර මුහුණු පොත මත මෙන්ම ජාතික පුවත්පත් කවි පිටු අතර තම නිර්මාණ නිතර නිතර පළ කරන කිවිඳියක් ලෙස මේ වෙන විට බොහෝ දෙනකු හඳුනාගෙන ඇත. කැලණිය වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා වත්සලා කන්නන්ගර මේ වෙනවිට මීගමුව මහරෝහලේ රාජකාරියේ නිරතව සිටින අතර කවිය පිළිබඳව ඇය සඳහන් කර සිටින්නේ මිනිස් සිත සුවපත් කිරීම පිණිස කවිය හොඳ ඔසුවක් වන බවත්ය. වෛද්‍යවරියක් ලෙස 2011 වසරේ දී රාජකාරි ජීවිතය අරඹන වෛද්‍ය වත්සලා කන්නන්ගර මේ වන විට යාපනය, කැබිතිගොල්ලෑව, රත්නපුර ඇතුළු මෙරට රෝහල් රැසක සේවය කර තිබෙන අතර තමන් කිවිඳියක් වීම පිළිබඳ අතීත කතාව අප හමුවේ විස්තර කරන්නට වූවේ මේ අයුරින්ය.

“පාසල් ජීවිතය ගත්තත් විශ්වවිද්‍යාල ජීවිතය තුළත් පුරුද්දක් වශයෙන් කවි ලියන්න මම හුරුවෙලා හිටියේ නෑ. නමුත් ඒ කාලේ ඉඳලම පුවත්පත් කවි පිටු කියවන එක මගේ පුරුද්දක් බවට පත්වෙලා තිබුණා. තාත්තා සතිඅන්ත පත්තරේ ගෙදරට ගෙනාවට පස්සෙ මම මුලින්ම කියෙව්වේ කවි පිටුව. කවි පොත් ඒ කාලේ බහුලව ප්‍රකාශන වුණු හින්දා පත්තරෙන් තමයි කවි කිවිඳියන් හඳුනාගන්න ලැබුණේ. ඒ අය අතරින් රත්න ශ්‍රී විජේසිංහ, මොනිකා රුවන්පතිරණ, යමුනා මාලනි පෙරේරා, රංජිත් මල්ලියාවඩු ආදී කවීන්ගේ නිර්මාණ කියවන එක මගේ පුරුද්දක් බවට පත් වුණා. කොවිඩ් වසංගතයත් එක්ක තමයි කවි ලිවීම කියන එකට මම යොමු වෙන්නේ. වෛද්‍යවරුන් විදියට ලොකු මානසික ආතතියකින් පෙළෙන වෙලාවක හිතට දැනෙන යමක් අකුරු බවට පත් කරන්න උත්සාහ කරද්දි මට දැනුනු දෙයක් තමයි සිංහල පිළිබඳ මගේ ශබ්දකෝෂය තරමක් දුරට දුර්වලයි කියන එක. මගේ මහත්තයත් වෛද්‍යවරයෙක්. මහත්තයත් එක්ක ඒ ගැන කතා කළාට පස්සෙ එයා තමයි මට අලුත් කවි කිවිදියන්ගෙ පොත්පත් ගෙනත් දීලා මාව දිරිමත් කළේ. ලක්ශාන්ත අතුකෝරල, ටිම්රාන් කීර්ති, රුවන් බන්දුජීව, මංජුල වෙඩිවර්ධන, අනුරාධා නිල්මිණි, සුහර්ශනී ධර්මරත්න, පුගීතිකා ජයසේකර ඇතුළු කවි කිවිඳියන්ගේ නිර්මාණ කියවද්දී තමයි මා තුළ සැඟව තිබුණු කවි කමක් තිබුණනම් එය නැවතත් ඉස්මතු වෙන්න ගන්නේ. එතන ඉඳලා තමයි මම නැවතත් කලින් ලියන්නෙ. එහෙම ලියන කවි වල පළමු රසිකයා වුණේ මගේ මහත්තයා. එතනින් එහාට මගේ කවිය ජනගත කරන්න මට වුවමනාවක් තිබුණේ නෑ. මගේ කවියක් මුලින්ම පත්තරේක පළ වුණේ 2019 වර්ෂයේදී. දිවයින ඉරිදා පත්තරේ කවි මුතු තීරයේ ඒ කවිය පළ වුණාට පස්සේ හුඟ දෙනෙක් ඒ ගැන කතා කරන්න ගත්තා. ඊට අමතරව මුහුණු පොත හරහා මගේ නිර්මාණ පළ වීමත් එක්ක ලොකු ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. කවි ලියන සමාජය ඇතුළේ මටත් යම් ඉඩක් වෙන් වෙන්නේ එතැනින් පස්සේ තමයි. වෙද නලාවට හසු නොවන බොහෝ තැන් කවි ඇසක හසුවන බව ඊට පස්සේ මට දැනෙන්න ගන්නවා. මට දැනෙන දේ කවියට නගනවා මිසක් තරගයට කවි ලියන එක මගේ පුරුද්ද නොවෙයි. මම ලියන කවියක් කියවලා කවුරු හරි කෙනෙක් යම්කිසි සතුටක් ලබනවා නම් වෛද්‍යවරියක් ලෙස රෝගීන් සුවපත් වෙනවා දැකලා ලබන සතුට සමාන සතුටක් ඒ තුළින් මම ලබනවා …..”

ඉහත පළ කරන ලද්දේ වෛද්‍යවරියන් ගේ භූමිකාවට අමතරව කාර්යබහුල වෘත්තීය ජීවිතය තුළ “කවිය” සමගද සමීප ඇසුරක් පවත්වමින් කවි ලියන දොස්තර නෝනලා පිරිසක් විසින් කවිය පිළිබඳවත් ඔවුන් කවි ලිවීම සඳහා පෙළඹුණු ආකාරය පිළිබඳවත් ඒ ඒ අය විසින් පළකළ අදහස් කීපයක්ය. රෝගී ජීවිත සුවපත් කිරීම පිණිස වෛද්‍ය ප්‍රතිකාර වැදගත් වන්නේ යම් සේ ද මිනිස් අධ්‍යාත්මය සුවපත් කිරීම පිණිස කලාවට කළ හැකි දෑ බොහෝ යන වග එම කතාබහ තුළින් මතු වූ වැදගත්ම කරුණක්ය. වෙද නලාවට හසුනොවන මිනිස් අධ්‍යාත්මයේ සියුම් ඉසියුම් මානව හැඟීම් කවි බවට පත්කරන එම වෛද්‍යවරියන් පිරිස නොකී කතාවක් ද පවතින අතර එම නොකී කතාව නම් සෑම මිනිස් ජීවිතයක් තුළම “කවියෙක්” ජීවත් වන බවය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment