කවුද මේ වෙලාවේ ආණ්ඩුවට යන්නේ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි

237

සමගි ජන බලවේගයේ නායකයා මෙන්ම විපක්‍ෂ නායකවරයා දවන සජිත් පේ‍්‍රමදාස මහතා විවේචනය කිරීමේ හේතුවෙන් මේ වනවිට, එම පක්‍ෂයේ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා විවාදිත චරිතයක් බවට පත් වී ඇත. එබැවින් අප මෙම මන්ත‍්‍රීවරයාගේ වත්මන් දේශපාලන ස්ථාවරයන් පිළිබඳව මෙන්ම, ඒ පිළිබඳව විවිධ පාර්ශ්වයන් පළකර ඇති අදහස් පිළිබඳව ද ඒ මහතාගෙන් විමසීමට අදහස් කළෙමු. එහි දී චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයා තම ස්ථාවරය පැහැදිලිකර සිටියේ මෙසේය.

ප‍්‍රශ්නය – ඇත්තට ම, ඔබට සමගි ජන බලවේගය සම`ග කටයුතු කිරීමේදී ඇති වී තිබෙන ගැටලූව කුමක්ද?

පිළිතුර – පක්‍ෂයත් එක්ක අර්බුදයක් නැහැ. එවැනි අර්බුදයක් තිබෙන බව පෙන්වීමට ආණ්ඩුව සහ මාධ්‍ය යම් උත්සාහයක යෙදෙනවා. මම දැක්කා ඔබලාගේ පුවත්පතෙත් බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයකු යැයි කියලා සඳහන් කරලා තිබුණා. කවුද මේ වෙලාවේ මේ ආණ්ඩුවට යන්නේ. අනික ආණ්ඩුව විවේචනය කරන, ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන, ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසෙන මන්ත‍්‍රීවරයකු ලෙස මට නම් කිසිසේත්ම වුවමනාවක් නැහැ රෙදි ඇඳගෙන ආණ්ඩුවට එකතු වෙලා මේ කුණු වැඩ පිළිවෙළ හරියි කියලා කියන්න. සමගි ජන බලවේගයේ ගැටලූවක් නැහැ. අපේ පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අපේ පක්‍ෂයේ නායකත්වයට යම් වැඩ පිළිවෙළක් යෝජනා කරනවා. ඒ හැරෙන්න වෙන කිසිම ගැටලූවක් නැහැ.

ප‍්‍රශ්නය – ඔබ, සමගි ජන බලවේගයේ නායකයාවන සජිත් පේ‍්‍රමදාස මහතාගේ අදහස් ප‍්‍රසිද්ධියේ විවේචනයකර තිබුණා. ඒ සම්බන්ධයෙන් ඔබට විනය පරීක්‍ෂණයක් පවත්වන බව පක්‍ෂයේ මහලේකම්වරයා ප‍්‍රකාශකර තිබුණා නේද?

පිළිතුර – විනය පරීක්‍ෂණයක් නොවෙයි. ලේකම්තුමා මා සම`ග සාකච්ඡා කරනවා යන කාරණය නම් සඳහන් කරලා තිබුණා. පසු ගිය දිනවල මම නායකතුමා දෙවතාවක් මුණ ගැසුණා. මහලේකම්තුමා තුන්වරක් මුණ ගැසුණා. එම අවස්ථාවලදී විනය පරීක්‍ෂණයක් පැවැත්වීම පිළිබඳව සඳහන් කළේ නැහැ. නමුත් එම අවස්ථාවේදී චමින්ද විජේසිරි අපේ ආණ්ඩුවක් බලයට පත් වූ පසු ක‍්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ සඳහන් කළ යුතුය. යනුවෙන් කළ යෝජනාව පිළිබඳව නම් සතුටුවන බව සඳහන් කළා. ඒ වගේම අපි ඉදිරිපත් කළ සාධාරණ යෝජනා සමාජය තුළ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළ අපත් සමග සාකච්ඡාකර ක‍්‍රියාත්මක කරන බවත් සඳහන් කළා.

ප‍්‍රශ්නය – ඒ අනුව මේ වනවිට චමින්ද විජේසිරි මන්ත‍්‍රීතුමා සජිත් පේ‍්‍රමදාස මහතාගේ කටයුතු සහ සම`ග ජන බලවේගය සම්බන්ධයෙන් පැවැති ගැටලූ අවසන් වී ඇති බව සඳහන් කිරීමට පුළුවන්ද?

පිළිතුර – අපට සජිත් මහතා හෝ පක්‍ෂය සම`ග ගැටලූවක් නැහැ. අපි දැක්ක මේ ආණ්ඩුව ජාතිය, ආගම, මහා සංඝරත්නය, උගතුන්, වියතුන් පාවිච්චි කරලා බලයට ආ බව අද වනවිට මේ ආණ්ඩුවට ඡුන්දය දුන්නු 69 ලක්‍ෂයට මහා සංඝරත්නයට, උගතුන්ට, වියතුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඊට හේතුව තමයි ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කිරීමට බැරි වීම, ජනතාවට දුන්නු පොරොන්දුවලට පිටු පාලා අද මේ ආණ්ඩුව රට විකුණමින් ඉන්නවා.

සමගි ජල බලවේගයේ වැඩපිළිවෙළ විය යුත්තේ එය නොවෙයි. ආණ්ඩුවේ තිබෙන අඩුපාඩු පෙන්වා දීලා ආණ්ඩුවක් ලබා ගැනීම ඉතිහාසය තුළම ක‍්‍ර‍්‍රියාත්මක වූ දෙයක්. අපි කියන්නේ සමගි ජල බලවේගයේ ආණ්ඩුවක් පිහිටු වූ පසු ක‍්‍රියාත්මක කරන ජනතාව
පිළිගන්නා ක‍්‍රියාත්මක කළ හැකි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරමු කියන එක.

ප‍්‍රශ්නය – මේ වනවිට රත්නපුර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන සමගි ජන බලවේගයේ හේෂා විතාන මන්ත‍්‍රීවරයාත් සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එම මන්ත‍්‍රීවරයාත් පක්‍ෂ නායකත්වයේ සමහර කටයුතු විවේචනයකර තිබෙනවා.

හේෂා විතාන මන්ත‍්‍රීවරයා සහ ඔබ එක්ව කටයුතු කරනවාද?

පිළිතුර – අපි දෙන්නා එක්ව තීන්දුවක් අරගෙන තිබෙනවා. පක්‍ෂයට හානියක් නොවන ලෙස තමයි එම තීන්දුව අරගෙන තිබෙන්නේ. කවුරු මොනවා කිව්වත් අපට අපගේ වැඩ පිළිවෙළ කරගෙන යන්න බාධාවක් තිබෙනවා නම් එම බාධාව නිවැරදි කිරීම සඳහා වැඩ පිළිවෙළක් නිර්මාණය කළ යුතුයි. මෙතැන දී වැදගත් වන්නේ අපට තනතුරක් තිබෙනවා ද නැද්ද යන කාරණය නොවෙයි. අපි මෙම තීන්දු අරගෙන තිබෙන්නේ පක්‍ෂය දින වීම සඳහා කළ යුතු යුතුකම් ඉටු කිරීමට තමයි. අපි යම් කිසි තනතුරක සිටිය දී එම තනතුරෙන් වැඩක් වෙන්නේ නැතිනම් එහි තවදුරටත් සිටීමේ තේරුමක් නැහැ. වැඩක් කරන්න බැරි නම් එම තනතුර අතහැරලා ඊට වඩා යමක් කළ හැකි නම් ඊට වඩා යමක් එක්කළ හැකි නම් එයයි අපි කළ යුත්තේ. අපි කරන්නේ පක්‍ෂයට කළ යුතු නිවැරදි දේ. පක්‍ෂයේ සාමාජිකයන් ලෙස අප කළ යුත්තේ ඒක තමයි. එය විවිධ කෝණවලින් විවිධ හැඩතලවලින් දැකලා විවිධ නිර්වචන ඉදිරිපත් කිරීමට පුළුවන් තමන්ගේ වාසිය සඳහා නමුත් අපි දෙන්නා මෙම වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කරන්නේ පක්‍ෂයේ ජයග‍්‍රහණය සඳහා සාධාරණ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට.

ප‍්‍රශ්නය – සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරයකු වන චම්පික රණවක මේ වනවිට 43 වන සේනාංකය නමින් වෙනම වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මකකර තිබෙනවා.

ඔබ සහ හේෂා විතාන මන්ත‍්‍රීවරයාගේ වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක වන්නේ ඊට සමගාමීව ද ඊට එරෙහිවද?

පිළිතුර – ඕනෑම දේශපාලඥයෙකුට තමන්ගේ ශක්තිය නිර්මාණය කර ගන්න පුළුවන්. එම ශක්තිය අවසානයේ දී ජයග‍්‍රහණය සඳහා එකතුවීමක් වෙන්න පුළුවන් කියලා මම සිතනවා. චම්පික රණවක මැතිතුමා පමණක් නොවෙයි. ෆිල්ඞ් මාෂල් සරත් ෆෙන්සේකා මැතිතුමා ඇතුළු පරිණත බුද්ධිමත් පිරිසක් අපත් සම`ග එක් වී තිබෙනවා. මගේ අපේක්‍ෂාව තමයි 2025 දී සියලූ දෙනාගේම ශක්තියෙන් ජනාධිපතිවරයකු නිර්මාණය කිරීම.

ප‍්‍රශ්නය – මීළ`ග ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයා සජිත් පේ‍්‍රමදාස මහතාම විය යුතුය යන ස්ථාවරයේ ඔබ නැද්ද?

පිළිතුර – අපි කියන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයට මේ සියලූදෙනාගේම ආශිර්වාදය සහ ශක්තිය අවශ්‍යයි. ? වැටුණු වළේ අපි දවල් වැටිය යුතු නැහැ. එම නිසා මම නම් ඔය හවුල් ආණ්ඩු සංකල්පයට විරුද්ධයි. එම නිසා අපගේ නායකත්වයට සියලූදෙනාගේම එකමුතුකම, ආශිර්වාදය, සහ ශක්තිය අවශයි.

ප‍්‍රශ්නය – යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුව, ඇමෙරිකානු සමාගමක් සම`ග අත්සන් කරන ලද ගිවිසුමට ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ 11 ක් සිය විරෝධය දක්වා තිබෙනවා. ඒ අතර සමගි ජන බලවේගයන් එම ගිවිසුමට එරෙහිව අධිකරණය හමුවට ගිහින් තිබෙනවා. නමුත් හම්බන්තොට වරාය වසර 99 කට චීනයට බදු දුන්දා ආණ්ඩුවේ සිටි පිරිසක් මේ ආකාරයට කටයුතු කිරීම සමහර පාර්ශ්වයන් විවේචනයකර තිබෙනවා.

ඒ පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – මම මුල සිටම පක්‍ෂයට යෝජනා කළා. රටට පිළිගත යුතු දර්ශනයක් සහ ප‍්‍රතිපත්තියක් යෝජනා කළ යුතු බව. අද එක්සත් ජාතික පක්‍ෂයට අත්වෙලා තිබෙන්නේ එබඳු ක‍්‍රියාදාමයක නොයෙදීමේ දඬුවම තමයි. එම නිසා එවැනි දඬුවමක් අත්නොවීම සඳහා රටට දර්ශනයක් සහ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බව අපි සිතනවා. යුගදනවි බලාගාරය ඇමෙරිකාවට ලබා දුන්නේ මොන නීතිමය තත්ත්වයක් යටතේද? එම නිසා අපි එම ගිවිසුම පිළිකුල් සහගතව හෙළා දැකිය යුතුයි. මම හිතන්නේ ? 12 ට ඇමෙරිකන් පුරවැසියන් එකතු වී මේ රටේ සම්පත් විකුණන්න කටයුතු කිරීම සදාචාරසම්පන්න නැහැ. ආයෝජන කිය කියා මේ රටේ සම්පත් විකුණන්න මේ රජයට සදාචාර සම්පන්න අයිතියක් තිබෙනවාද? එදා මේ රටේ සිටිය අගමැතිවරයා කරපු විධියේ නිර්භීත ප‍්‍රකාශ අනුව අපි සිතුවේ ඉන්දියාවට, චීනයට, ඇමෙරිකාවට මේ රට ඉදිරියේ දණගහන්න වේවි කියලා. නමුත් අද මේ රටේ පාලකයන් ඒ රටවල් ඉදිරියේ දණ ගහල මහ ? මේ රටේ සම්පත් විකුණනවා. මේ ආණ්ඩුවේ සිටින අය එම ගිවිසුමට එරෙහිව කිඹුල් කඳුළු හෙළන්නේ. 20 වන සංශෝධනයට අත උස්සපු වෙලාවේ අපි පාර්ලිමේන්තුවේදී කිව්වා මේ රටේ සම්පත් මේ ආකාරයට අතයට විකිණෙන බව බැසිල් රාජපක්‍ෂ මහතා මේ රටට ආදරේ නම් පළමුවෙන්ම කළ යුත්තේ මේ රටේ පුරවැසි භාවය ලබා ගැනීමට කටයුතු කිරීමයි. විමල් වීරවංශ මහතා උදය ගම්මන්පිල මහතා, වාසුදේව මහතා 20 වන සංශෝධනයට අත උස්සල ඔහුව පාර්ලිමේන්තුවට එන්න බලය දීලා දැන් කිඹුල් කඳුළු හෙළනවා.

ප‍්‍රශ්නය – ඔබ සමගි ජන බලවේගයට යෝජනා කරනවා ප‍්‍රතිපත්තීමය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස. ඒ සඳහා ඔබ යෝජනා කරන්නේ ජාතිවාදී වැඩ පිළිවෙළක් ද එසෙත් නොමැති නම් වෙනත් වැඩපිළිවෙළක් ද?

පිළිතුර – මේ රටේ ජීවත්වන සියලූ ජාතීන්ට, ආගමිකයන්ට සම අයිතීන් හිමි වන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතුයි. අපි කිසිසේත්ම ජාතිවාදය පදනම් කරගෙන මේ රටේ දේශපාලන ජයග‍්‍රහණයක් ලබා ගැනීමට කටයුතු කරන්නේ නැහැ. පාස්කු ප‍්‍රහාරයත් සම`ග මේ රටේ විශාල පිරිසක් ජාතිය සහ ආගම විනාශ වේය කියලා සිතුවා. එම ප‍්‍රහාරය යම් දේශපාලන කඳවුරකට බලය ලබා ගැනීම සඳහා එල්ල කළ එකක්ද යන්න පිළිබඳව අද වනවිට සමාජය තුළ කථිකාවක් ඇති වී තිබෙනවා. කාදිනල්තුමන් මෙම ප‍්‍රහාරය පසු පස යම් බලවේගයක් සිටින බව ප‍්‍රකාශකර තිබෙනවා. සමගි ජන බලවේගය තරාතිරම නොබලා ත‍්‍රස්තවාදී කටයුතුවල යෙදුණ පුද්ගලයන්ට දඬුවම් ලබා දීම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම ත‍්‍රස්තවාදය නිර්මාණය කරන බලවේගය සමගි ජන බලවේගය තුළ සිටිය යුතු නැහැ. සංවර්ධනය සඳහා යන ගමනේදී සියලූ ශක්තීන් ඒකරාශී කරන්න පුළුවන් වැඩපිළිවෙළක් තමයි නිර්මාණය විය යුත්තේ.

සාකච්ඡා කළේ – එරික් ගාමිණී ජිනප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment