කවුරුත් නොදන්න අපට ඩොලර් අහිමි වුණ ඇත්තම හේතුව…

3184

අද ලංකාව තුළ පවතින අර්බුද දෙස විමසිලිමත්ව බැලූවිට රට ඉදිරියට පවත්වාගෙන යෑම විශාල අභියෝගයක් ලෙස සැලකීමට සිදුවී තිබේ. පොහොර අර්බුදය නිසා ඉදිරි කාලයේ ආහාර හිඟයක් ඇතිවේවි යැයි විශේෂඥයන් මත පළ කරති. ඉන්ධන හා ගෑස් මිල වැඩිවීම ජනතාවට දරා ගැනීමට අපහසුය. ඉදිරි කාලය තුළ සහල් සහ කිරිපිටි මිල කෙසේ විචලනය වේදැයි සිතාගත නොහැකිය. රජයේ සේවයකයන් විවිධ ඉල්ලීම් මුල්කර ගනිමින් සිදු කරනු ලබන උද්ඝෝෂණ, පිකටින්, වර්ජන ආදිය නිසාද රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල වී ඇති අතර එය ජනමතය විකල් කිරීමට හේතුවක් වී තිබේ. රටේ ව්‍යාපාර බොහෝමයක් කඩා වැටී ඇති අතර රැකියා අහිමි වූ ප‍්‍රමාණයද විශාලය. එසේම රජයේ රැකියා ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති නිසා තරුණ අසහනය ඔඩු දිවීමට එයද හේතුවක් වී තිබේ.

වර්තමානය වන විට කොරෝනා රෝගයද පාලනය කිරීම එතරම්ම සතුටුදායක මට්ටමක පවතින බවක් නොපෙනේ. ජනතාවට අත්‍යවශ්‍යයි සළකනු ලබන ඉන්ධන, ගෑස්, ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය විදේශ සංචිත නොමැති බව ද ප‍්‍රසිද්ධ රහසකි. මහ බැංකුව මගින් වාණිජ බැංකු වෙත ඩොලර් නිකුත් කිරීම සීමා කර තිබේ. මෙතුවක් කල් ධන අගයක පවත්වාගෙන
ගිය ආර්ථික වර්ධන වේගය සෘණ අගයකට පත්වූ බව පසුගිය සතියේ අසන්නට ලැබිණි.

මෙම අර්බුදකාරී අවස්ථාවෙන් මිදීම සඳහා විදේශ සංචිත වර්ධනය කිරීම හෙවත් ඩොලර් එකතු කර ගැනීම රජයට ප‍්‍රබල අභියෝගයක්ව පවතී. මෙරටට, ඩොලර් හෙවත් විදේශ විනිමය ලැබුණ ආකාර කීපයක් තිබිණි. විදේශ ණය ඉන් මුල් තැනක් ගත් අතර පසුගිය සියලූම රජයන් අසීමිතව සිදු කළ ණය ලබා ගැනීම් හේතුවෙන් ලක් රජය ණය උගුලක හිරවී ඇති බව දැකගත හැකිය. මාස කීපයකට වරක් ගෙවිය යුතු ණය වාරික හා පොලිය ගෙවීම සඳහා මුදල් උපයා ගැනීම මොළ හතක් තිබෙන අයෙකුට වුවද පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බව පෙනී ගියේය.

මෙම අර්බුදය ඇතිවීමට පෙර විදේශ රටවල සිටින මෙරට ශ‍්‍රමිකයන්ගෙන් ලංකාවට ලැබුණ විදේශ විනිමය ප‍්‍රමාණය ඉහළ අගයක තිබිණි. ලොවපුරා ඇතිවූ හදිසි කොරෝනා වසංගතයත් සමඟ සිය රැකියාවල් පවා අතහැර මෙරට පැමිණි ලක්ෂ සංඛ්‍යාත විදේශ රැකියාවල නියුතු

වූවන්ගෙන් යම් ප‍්‍රමාණයක් නැවත සිය රැකියා ස්ථාන වෙත වාර්තා කළද, පෙර මෙන් විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් මෙරටට එවීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

සංචාරක කර්මාන්තය මගින්ද මෙරටට විදේශ විනිමය විශාල වශයෙන් ලැබෙමින් පැවතිණි. මෙම වසංගතය ලොව පුරා පැතිරී යෑමට පෙර එනම් 2019 වර්ෂයේ මුල් කාර්තුවේ මෙරටට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය අතිවිශාලය. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සේවය කරන අතරතුර දුටු දර්ශන වලින් ඒ බව සනාථ විය.

එකල මෙරටට ගොඩබානු ලැබූ සෑම ගුවන් යානයකින්ම පැමිණි මඟීන්ගෙන් 75% කට වඩා වැඩි පිරිසක් විදේශිකයන් හෙවත් සංචාරකයින් වූ බව දැකගත හැකි විය. සමහර රටවලින් පැමිණි ගුවන් යානාවල එම ප‍්‍රතිශතය 100% ක් බව පැවසුවද එහි දෝෂයක් නොවේ. හදිසියේ සංචාරක කර්මාන්තය බිඳ වැටීමත් සමඟ මෙරටට ගලා ආ විදේශ විනිමය ප‍්‍රමාණය නතර විය. රජය සංචාරකයින් අද්දවා ගැනීමට විවිධ උපක‍්‍රම භාවිතා කළද පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය සීමිත නිසා රට බලාපොරොත්තු වන සහනයක් ඉන් නොලැබේ.

මේ අනුව විදේශ මුදල් ලබාගැනීම සඳහා රජය විසින් දේශීය සම්පත් විකිණීමට පෙළඹී ඇති බව පෙනේ. යුදගනවි බලාගාරය ඇමරිකා සමාගමකට පැවරීම ඉන් එකක් වන අතර එය එතනින් නවතීවි සිතිය නොහැක. මේ නිසා රට තුළ ඇති වී ඇති මහජන උද්ඝෝෂණ සහ දේශපාලන අර්බුද සුළුවෙන් තැකිය යුතු නැත. සමහරවිට රජය පවත්වාගෙන යෑමට පවා යම් අපහසුතා ඇතිවිය හැකිය. මෙවැනි වාතාවරණයක් මත මෙරටට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් රැගෙන එනු ලබන අපනයන ක‍්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. පැවති බොහෝ රජයන් මඟින් අපනයන කටයුතු දිරි ගැන්වීම සඳහා විවිධ සහන, උපකාර, නීති රීති ලිහිල් කිරීම් ආදිය ලබා දුන් අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට ශ‍්‍රී ලංකාව හොඳ අපනයන වෙළඳ පොළක් බවට පත්ව ඇත.

මේ පිළිබඳ ගැඹුරින් විග‍්‍රහ කර බැලූවිට අද මෙරටින් අපනයනය නොකරනුයේ මොනවා දැයි සිතා ගැනීමට අපහසුය. අතීත කාලයේ තේ, පොල්, රබර් යන දෑ ප‍්‍රධාන අපනයන බෝග බවට පත්ව තිබිණි. අනතුරුව මැණික් හා ස්වර්ණාභරණ ද ඒ සඳහා එකතු වුණි. මෑත කාලයේ නිමි ඇඳුම් අපනයනය කිරීම තුළින් ද විශාල මුදලක් ලබා ගත හැකිව තිබේ. 2018, 2019, 2020 වර්ෂවල සිදු කළ අපනයන ප‍්‍රමාණයන් සැලකිල්ලට ගත්විට, බොහෝ දෙනා පුදුම කරන්නක් බව කිව යුතුය.

2018 වර්ෂය තුළ රුපියල් ටි‍්‍රලියන 1.89 ක වටිනාකමකින් යුත් භාණ්ඩ මෙරටින් අපනයනය කළ අතර, 2019 වර්ෂයේදී එය ටි‍්‍රලියන 2.1 ක් විය. 2020 වර්ෂයේදී මෙරටින් සිදුකළ අපනයනයන්ගේ වටිනාකම රුපියල් ටි‍්‍රලියන 1.83 ක් විය. මෙරටින් සිදුකරන අපනයන අතුරින් වැඩිම වටිනාකම නිමි ඇඳුම් අපනයනයට හිමිවේ. මෙහි දක්වා ඇත්තේ ඉන් කීපයකි. මෙයට අමතරව මස් වර්ග, ධාන්‍ය, ආහාර ද්‍රව්‍ය, පලතුරු සහ ඛණිජ ද්‍රව්‍ය ඇතුළු බොහෝ දේ අපනයනය කරනු ලැබේ.

මේ තත්ත්වය සලකා බැලීමේදී මෙරටින් සිදු කරනු ලබන අපනයන වෙනුවෙන් මෙරටට ලැබිය යුතු නියමිත මුදල රට තුළට ලැබුණහොත් පවතින ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට මිදිය හැකි බව සඳහන් කළ හැකිය. මින් ගම්‍යවන්නේ අප රටින් අපනයනය කරනු ලබන බොහෝ දෑ වලට නිසි වටිනාකමක් මෙරටට නොලැබෙන බවයි.

අප රේගු සේවයට සම්බන්ධ වූ අවධියේ සෑම අපනයනයක් වෙනුවෙන්ම ආනයන අපනයන පාලකගේ මෙහෙය වීම මත අදාළ වාණිජ බැංකු වෙතින් HQ බලපත‍්‍රයක් ලබාගත යුතුව තිබුණි. යම් අපනයනකරුවකු වාණිජ බැංකුවක් වෙත ගොස් තමා විසින් අපනයනය කිරීමට සූදානම් වන ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයේ තොරතුරු සහ අපනයනය කරනු ලබන රටේ ගැණුම්කරුගේ විස්තර මෙන්ම එම භාණ්ඩ රැගෙන යනු ලබන නැවේ විස්තරද බැංකුව වෙත ලබා දිය යුතුයි. ඒ අනුව බැංකුව විසින්, භාණ්ඩ අපනයනය කරනු ලබන රට, ගොඩබාන නැව් තොට, භාණ්ඩ රැගෙන යන නැවේ නම, එරට ආනයනකරුගේ විස්තර සහ බැංකුවේ තොරතුරු, අපනයනය කරනු ලබන ද්‍රව්‍යයේ පොදි ගණන සහ වටිනාකම ආදිය HQ බලපත‍්‍රය තුළ ඇතුළත් කර අපනයනකරු වෙත ලබාදේ. මෙය ලබාගත් අපනයනකරු නියමිත රේගු සටහන්කරයක් සම්පූර්ණ කර රේගුව වෙත ඉදිරිපත් කර, රේගු කටයුතු නිම වීමෙන් පසු භාණ්ඩ අපනයනය කරනු ලබයි. එම භාණ්ඩ නැව්තොටින් පිටවූ පසු රේගු නිලධාරීන් විසින් ඒ පිළිබඳ සමීක්ෂණ කර සත්‍ය ලෙස අපනයනය කළ භාණ්ඩ ප‍්‍රමාණය HQ බලපත‍්‍රය තුළ සටහන් කර අදාළ වාණිජ බැංකු වෙත යොමු කරයි. එම තොරතුරු මත පිහිටා අපනයනය කළ භාණ්ඩවල නියම වටිනාකම මෙරටට ගෙන්වා ගැනීම ආනයන අපනයන පාලකගේ අධීක්ෂණය යටතේ වාණිජ බැංකු මගින් සිදු කරනු ලැබීය.

1990 දශකයේ මැද භාගයේ අපනයනකරුවන්ගේ ඉල්ලීම මත රජය මඟින් මෙම ක‍්‍රමවේදය අහෝසි කරන ලදි. ඒ අනුව භාණ්ඩ අපනයනය සඳහා බලපත‍්‍රයක් අවශ්‍ය නොවීය. අපනයනය කරනු ලබන HQ භාණ්ඩවල වටිනාකම සඳහන් කිරීම සංඛ්‍යාලේඛන තබාගැනීමට පමණක් සීමා විය. මේනිසා බොහෝ ප‍්‍රමුඛ පෙළේ අපනයනකරුවන් පවා, මෙරටට ලැබිය යුතු මුදල් විදේශ බැංකුවල තැන්පත් කර තැබීමට කටයුතු කරන ලදි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මෙරටට ලැබිය යුතු සම්පූර්ණ විදේශ විනිමය ප‍්‍රමාණය නොලැබිණි. මෙලෙස ප‍්‍රසිද්ධියේ විනිමය වංචාවන් සිදු කිරීමට ඔවුනට හැකි විය. එකල පැවති විනිමය නීතිය අනුව යම් අයෙකු විනිමය වංචාවක් සිදුකරනු ලැබුවහොත් එය අපරාධ වරදක් ලෙස සැලකිණි. සමගි පෙරමුණ ආණ්ඩුව සමයේ හිටපු අගමැතිනියට මෙන්ම අමාත්‍ය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සහ ඒ. එච්. එම්. පවුසි යන මහතුන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි වීමට විනිමය වංචාව හේතු විය. රජය මගින් විනිමය පාලන දෙපාර්තමේන්තුව අහෝසි කර අනවශ්‍ය ලෙස විනිමය කටයුතු ලිහිල් කිරීම නිසා වර්තමානය වන විටය එම තත්ත්වය වෙනස් වී ඇති අතර, එනිසාම රට දැඩි විදේශ විනිමය අර්බුදයකට ලක්ව ඇති බව පැවසිය යුතුයි.

කවුරුත් නොදන්න අපට ඩොලර් අහිමි වුණ ඇත්තම හේතුව…

අපනයනකරුවන්ට දිරිදීම සඳහා රජය විසින් විවිධ පහසුකම් සපයා තිබේ. ඒ වෙනුවෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලය පිහිටුවා ඇත. විනිමය නීති ලිහිල් කර තිබේ. අපනයන කටයුතු වල නිරත වන්නන් සඳහා සහන පොලියට ණය ලබාදීම සිදුවේ. ඉඩකඩම්, ගොඩනැගිලි ආදිය ලබාදී ඇති අතර තීරුබදු සහන යටතේ වාහන පවා ලබාගැනීමට ක‍්‍රමවේද සකස් කර දී තිබේ. අපනයන කරුවන් දිරිගැන්වීම සහ ඇගයීම සඳහා රුපියල් කෝටි ගණනක් වැය කර උත්සව සංවිධානය කරනු ලැබේ. රජය මගින් රේගුවට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපමාන ලබා දෙමින් අපනයන දිරිගැන්වීම සඳහා කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී තිබේ. මේ අනුව අපනයනකරුවනට, තීරුබදු සහ අනෙකුත් බදු ගෙවා ආනයන කළ යුතු යන්ත‍්‍ර සූත‍්‍ර, අමුද්‍රව්‍ය ආදිය බදු නොගෙවා ආනයනය කර භාවිතා කිරීමට ශ‍්‍රී ලංකා රේගුව මගින් අවශ්‍ය පහසුකම් පවා ඔවුන් වෙත ලබාදී ඇත.

මෙවැනි වරප‍්‍රසාද සහ සහන උපයෝගී කරගනිමින් සිය ව්‍යාපාර කටයුතු කරනු ලබන බොහෝ අපනයනකරුවන් පෙරලා සිය දේශය වෙත යුතුකම් ඉටුකරනු ලබන බවක් නොපෙනේ. මෙරට සම්පත් විදේශ වෙත යවා ඒ වෙනුවෙන් ලැබිය යුතු විනිමය මෙරටට නොගෙන ඒම බරපතළ ප‍්‍රශ්නයක් වී තිබේ. ” වලිගය බල්ලා නටවනවා” යන පැරණි කියමන සිහිගන්වමින් අද වන විට වෙනත් ව්‍යාපාරිකයන් මෙන්ම, අපනයනකරුවන් ද රජය නටවන ආකාරයක් දැක ගැනීමට හැකිය. පසුගිය දිනක හිටපු මහබැංකු අධිපතිතුමා අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද සමඟ එක්ව අපනයනකරුවන් මුණගැසුන අවස්ථාවේ වර්තමාන අර්බුදය ගැන අවධානය යොමු කර තමන් විසින් සිදුකරනු ලැබූ අපනයන වෙනුවෙන් ලැබිය යුතු මුදල් නොපමාව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ලදී. එසේ වුවද බොහෝ ප‍්‍රධාන පෙළේ අපනයනකරුවන් එයට එකඟ නොවීය. මහබැංකුව මගින් පැවැත්වූ රැස්වීම් පවා ඇනහිටි බව දැක ගන්නට ලැබුණි. අපනයනයක් සිදුකර මාස 3ක් තුළ අදාළ මුදල මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම සපයා දුන්නද එය ද නිසි ලෙස ක‍්‍රියාත්මක වන බවක් නොපෙනේ.

අපනයනකරුවන් විසින් මෙරටට රැගෙන ආ යුතු මුදල් තම නමින් විදේශ රටවල ගිණුම් තුළ තැන්පත් කර ඇති බව වාර්තාවේ. සමහර අවස්ථා වලදී තමනට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් එම මුදලින් කොටසක් වැය කරන බව ද පැවසේ. මෙම මුදල් විවිධ ජාවාරම් සඳහා යොදා ගැනීමට ඇති අවස්ථා ද බැහැර කළ නොහැක.

හිටපු මුදල් ඇමැතිවරයකු විසින් තමනට එල්ල වී තිබූ චෝදනා සහ නඩු වලින් මිදීම සඳහා විනිමය ආඥාපනත පවා සංශෝධනය කර තිබූ බව වාර්තා විය. එවැනි අවස්ථාවක විදේශ විනිමය වංචා කරනු ලබන අය වෙත නීති මගින් කටයුතු කිරීමට මහ බැංකුවට තිබූ අවස්ථාව අහිමිව ඇති බව සඳහන් කළ යුතුයි. විනිමය දෙපාර්තමේන්තුව අහෝසි කිරීමත්, 2017 අංක 12 දරණ විනිමය ආඥා පනත පැනවීම තුළින් විනිමය වංචාකරුවනට අභයදානය ලැබීමත්, රටට සිදුවූ මහත් අභාග්‍යයත් විස්තර කර දීම සඳහා වෙනම ලිපියක් සකස් කළ යුතුවේ.

කෙසේ වුවද වර්තමානයේ රටේ පවතින වාතාවරණය අනුව මෙරටින් අපනයනය කරනු ලබන භාණ්ඩ වෙනුවෙන් ලැබිය යුතු නියමිත මුදල දැඩි නීතිරීති පැනවීම තුළින් සිදුකළ හැකි බවක් නොපෙනේ. මන්දයත් තුවාලය එතරම් ඔඩු දුවා ඇති නිසාය. අපනයනකරුවන්ට යම් තහංචි පැනවුවහොත් ඔවුන් අපනයන කටයුතු වලින් ඉවත් විය හැකිය. එසේ වුවහොත් මෙරට වගාව, නිෂ්පාදනය ආදිය ඇනහිට විශාල රැකියා වියුක්තියකට එය හේතු විය හැකිය.

පොළොන්නරුව හාල් මෝල් හිමියන් කීපදෙනෙකු විසින් රජයට එල්ල කල අභියෝගය මෙහිදී සිහිපත් වන අතර බුද්ධිමත් සංවාදයක් සහ විධිමත් ක‍්‍රමවේදයක් අනුගමනය කිරීම තුළින් මෙම අර්බුදය විසඳා ගත යුතුය. එසේම විධිමත් ලෙස නීති රීති සකස් කර ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය බලතල ලබාදීම තුළින් විදේශවල රැඳෙන මුදල් ප‍්‍රමාණය පිළිබඳ සොයාබැලීමට හැකි බව පැවසිය යුතුයි.

විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ
නීතිඥ
එස්. කේ. ඒ. එස්. සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment