කවුරුත් නොදැක්ක කුමන කැලේ පුරාවිද්‍යා විනාශය

592

ගල් තලාව මත පිහිටි දාගැබ පාදමට හාරලා ගලත් විදලා පුරාවස්තු කොල්ල කාලා…

බඹරගස්තලාව අක්කර පන්සියයකට වැඩි බෞද්ධ නටබුන් තලාවක්…

භික්‍ෂූන්වහන්සේට වැඩ වාසය කිරීමට ඉල්ලීම් කළත් වනජීවී දෙපාර්තමේන්තුව අවසර දීලා නෑ…

වනජීවී නිලධාරීන්ගේ අවසරයකින් තොරව ඇතුළුවීමට නොහැකි අභය භූමිය තුළ පුරාවස්තු කොල්ල සිදු වුණේ කෙසේද?

මාගම රාජධානියේ විශාලතම බෞද්ධ සිද්ධාස්ථානයේ සුවිශාලතම චෛත්‍ය වහන්සේ නිධන් හොරු හාරති. මහා ගල් පර්වතයක් මත ඉදිකර තිබූ දාගැබ ගඩොල් ගොඩක් බවට පත් කර නිධන් කර තිබූ වටිනා මුතු, මැණික් ආදී වස්තුව නිධන් හොරු කොල්ලති. අහස, පොළොව නූහුලන ඒ මහා අපරාධය දකින විට හදවත කම්පාවට පත් වී දෑස් කඳුළින් තෙත් විය. පියගැට පෙළ බැස ගැනීමට අසීරු විය. හිටි පියවරේම මම රැඳෙමි.

ඒ මහා සංහාරයෙන් කම්පනයට පත් වී තිබෙන වන පෙත ද සසලයි. වන වදුලෙන් හෙමින් පා ඔසවමින් බියෙන් හා කුතුහලෙන් මෙන් අදෙන සිව්පා සත්තු ගල් පොකුණේ පැන් සනහමින් උන්හ. මේ මහා පුරාවස්තු කොල්ලය සිදු කරන තෙක් වනයේ ජීවත්වන අලි ඇත්තු, කොටි, වලසුන් විසකුරු නා පිඹුරු උරගයෝවත් වින නොකෙටුවේ මන්දැයි මගේ සිත පුදුමයට පත් විය. සිතට ධෛර්ය ගෙන ගල් කන්ද මතින් පහළට පිය ගැට පෙළ බැස්සෙමි. පහළ ගල් තලාව මත පිහිටි චෛත්‍ය වහන්සේ අසලට දිවෙන ශෛලමය පිය ගැට පෙළ දුර අඩි හැත්තෑවකට වැඩිය.

කවුරුත් නොදැක්ක කුමන කැලේ පුරාවිද්‍යා විනාශය
චෛත්‍ය වහන්සේ හාරා ඇති අයුරු…

කුමන කුරුලු අභය භූමියේ බඹරගස්තලාව පින්බිමෙහි අසූ රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ සැතපෙන ශෛලමය බුදු ගේ පිහිටි ස්ථානයට මීටර් සියයක් පමණ මෙපිටින්, දකුණු දෙසට ටික දුරක් ගමන් කරන විට අප පියවර මනිමින් සිටින ශෛලම පිය ගැට පෙළ සහිත ගල් කන්ද හමු වේ. බුදු ගේ අසල සිට ගල් කන්දට පැමිණෙන සීමාවේ පමණක් ගල්ලෙන් පහකි. එමෙන්ම බඹරගස්තලාව පුදබිමේ තැන්පත්ව ඇත්තේ එම පළාතේ වැඩ සිටින විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේය. නිධන් සොරු විසින් විනාශ කර තිබූ එම බුද්ධ ප්‍රතිමා වහන්සේ 2016 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නැවත ප්‍රතිසංස්කරණය කර ඇති බව ද වාර්තා වේ.

“අපේ මහත්තයො… ඩිංගිත්තක් නතර වෙන්න. මේ ගල්ලෙන්වල තිබෙන බිත්ති දිහා බලන්න. මේ බිත්ති සහිත ගල්ලෙන් මෙරට වෙන කිසිදු පුරාවිද්‍යා භූමියකින් දකින්න ලැබෙන්නෙ නෑ. පුදුමාකාර ඓතිහාසික වටිනාකමක් තිබෙන ස්ථානයක්. ඒ වගේම පුදුම ආශ්චර්යක් තිබෙන තැනක්…” එසේ හඬ අවදි කළේ කාලයක් බඹරගස්තලාව ආරණ්‍ය සේනාසනයේ ලෙන් කුටියක වැඩ සිටි තිස්සමහාරාමයේ විසුද්ධානන්ද හාමුදුරුවෝය.

කවුරුත් නොදැක්ක කුමන කැලේ පුරාවිද්‍යා විනාශය
බඹරගස්තලාවේ ශෛලමය පිය ගැට පෙළ

උන්වහන්සේගේ කතාව සැබෑය. වන ලැහැබ අතරින් ඈතින්, ඈතට පෙනෙන ගල්ලෙන්වල බිත්ති වාත්තු කළා වැනිය. ගල් ලෙන් ඉදිරිපිට සුදු වැලි ඇතිරුණු බිම කොළ කැබැල්ලක් නැති තරමට පිරිසිදුය. සිව් පා සතුන්ගේ පා සටහනක් හෝ ඒ බිමෙහි නොපෙනේ. නිධන් සොරු සහ වන සතුන් පමණක් ලගින මේ වන පෙත මැද කුටි සෙනසුන් සහ ඒ වටා පිරිසිදුව දැකීම ද ආශ්චර්යකි. ඈතින් ඇසෙන කුරුලු හඬක් පවා ඇසීමට මොහොතක් අවධානය යොමු කළ යුතු විය. ඒ පරිසරය එතරම් ම නිහඬය. ශාන්තය.

“මගේ පැවිදි ජීවිත කාලය තුළ විවිධ ප්‍රදේශවල ආරණ්‍ය සේනාසනවල වැඩ වාසය කර තියෙනවා. ඒත් මෙවැනි නිශ්කලංක පරිසරයක නම් වැඩ ඉඳලා නෑ. මේ පරිසරය බණ භාවනා කිරීමට ම මැවුණු භූමියක්…” ඈතට විහිදෙන ගල් පඩි පෙළ මත දැහැමින් පියවර මනින විසුද්ධානන්ද හාමුදුරුවෝ නැවත හඬ අවදි කළහ.

“ඒ වගේම මේ ප්‍රදේශය නටබුන් තලාවක්… අක්කර පන්සියයකට වඩා වැඩි වපසරියක බෞද්ධ පුරාවස්තු විසිරිලා තියෙනවා. 2020 අවුරුද්දෙ වස් සමාදන් වෙලා බඹරගස්තලාවේ වැඩ සිටින කාලයේදී මම මේ පරිසරයේ ටිකක් ඇවිද්දා. ගල්ලෙන් අසූවකට වැඩි සංඛ්‍යාවක් හමු වුණා. ඊට වඩා වැඩි ගල්ලෙන් සංඛ්‍යාවක් තිබෙන බවට අපි විශ්වාස කරනවා. නිධන් හොරු විනාශ කරපු ප්‍රධාන චෛත්‍ය වහන්සේට අමතරව තවත් කුඩා චෛත්‍ය හතක් හඳුනාගෙන තියෙනවා. ඒ චෛත්‍ය ගරා වැටිලා ගඩොල්, ගොඩවලුත් පොළවට පස් වෙමින් තිබෙන ආකාරය තමයි පේන්න තිබුණේ. විශාල ගල් කණු, ගරා වැටුණු විහාර ගෙවල්, විනාශ කර දැමූ බුදුපිළිම වහන්සේගේ කොටස් ස්ථාන කිහිපයකින් හමු වුණා. ඒ වගේම විශාල ගොඩනැඟිලි තිබුණු බවට පාදම් කොටස් ශේෂ වී තිබෙනවා. මල් ආසන, මුර ගල්, කොරවක් ගල්, නොයෙක් බෞද්ධ පුරාවස්තු වනයට යටපත් වෙලා තියෙනවා. ඇතැම් පුරාවස්තු පස්වලින් වැහිලා. මල් පිපුණු පොකුණු, ගල් ලිං වන පෙත පුරා තැන, තැන තිබෙන අයුරු අපි දුටුවා. ඒ වගේම සෙල් ලිපි කිහිපයක්ම දකින්න ලැබෙනවා. ඒ සෙල් ලිපිවල සඳහන් ආකාරයටත් දැකගැනීමට ලැබෙන පෞරාණික පුරාවස්තුවලට අනුව කාවන්තිස්ස යුගයේ බෞද්ධ සිද්ධාස්ථානයක් බව සනාථ වෙනවා. වසර දෙදහස් තුන්සියකට වඩා පෞඨ ඉතිහාසයක් සහිත මේ පුරාවිද්‍යා භූමිය ආරක්‍ෂා කරගෙන දීර්ඝ කාලීනව වැඩ වාසය කරන්න අවුරුදු කිහිපයකට පෙර වනජීවී දෙපාර්තමේන්තුවෙන් අපි අවසර ඉල්ලුවා. ඒත් ලැබුණේ නෑ. ඒ ගැන නායක හාමුදුරුවො දැනුවත් කරයි…” උන්වහන්සේ නිහඬ වූහ. මගේ සිත ඉතිහාසයට දිව ගියේය.

කවුරුත් නොදැක්ක කුමන කැලේ පුරාවිද්‍යා විනාශය
ගරා වැටී තිබුණු පැරැණී චෛත්‍යවහන්සේ

බඹරගස්තලාව පින්බිමට කිලෝ මීටර පහක් පමණ මෙපිටින් පිහිටි කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය ආරම්භ කර ඇත්තේ කාවන්තිස්ස රජ සමයේදී නන්දිමිත්‍ර නම් යෝධයා විසින් බව ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම එකල එම ආරණ්‍ය සේනාසනයේ දොළොස් දාහසකට වැඩි රහතන්වහන්සේ වැඩ සිටි බව ජනප්‍රවාදයේ පවතී. එවැනි ඉතිහාසයක් සහිත කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිතව පැවතුණු බවට ජනප්‍රවාදයක් පවතින බඹරගස්තලාවේ බෞද්ධ නටබුන් තලාව කාවන්තිස්ස රජ සමයේ ආරම්භ වූ බෞද්ධ සිද්ධස්ථානයක් බවට සාධක බොහෝය. එමෙන්ම 1954 අවුරුද්දේ දී තාඹුගල ආනන්ද සිරි හාමුදුරුවෝ කුඩුම්බිගල සෙනසුනට වැඩම කළ කාලයේ සිට බඹරගස්තලාව බොදුබිමට ද භික්‍ෂූන්වහන්සේ වැඩම කර බණ භාවනා කටයුතු සිද්ධ කර ඇති බව වාර්තා වේ. ඊට එපිට ඉතිහාසයේ සිට බඹරගස්තලාවට කරත්ත ගිය බවට මාර්ග සලකුණු අදට දකින්නට තිබේ. එහෙත් ත්‍රස්තවාදී යුද්ධයත් සමඟ බඹරගස්තලාව, කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනවල භික්‍ෂූන්වහන්සේට වැඩ සිටීමට නොහැකි වූහ. ඒ මහා ඓතිහාසික පුදබිම් ත්‍රස්තවාදී ග්‍රහණයට නතු විය. ත්‍රස්තවාදීහු ද එම පුදබිම්වල නිධන් කර තිබූ වටිනා මුතු, මැණික් ආදී පුරාවස්තු කොල්ල කෑහ. බුදුපිළිම වහන්සේ ඇතුළු චෛත්‍ය, බෞද්ධ ස්මාරක විනාශ කළහ. එහෙත් කොටි ත්‍රස්තවාදය මෙරටින් අතු ගෑ වී ගිය පසු 2012 වර්ෂයේදී නැවත භික්‍ෂූන්වහන්සේ කුඩුම්බිගලට වැඩම කළහ. උන්වහන්සේ බඹරගස්තලාවට ද වැඩම කර නිදහසේ බණ භාවනා කටයුතු කරගෙන ගියහ. මගේ සිත ඉතිහාසය සැරිසරන විට දෙපා පිය ගැට පෙළ පාමුල විශාල ගඩොල් ගොඩ අසල නතර වී තිබිණි. ඈතට පෙනෙන ගඩොල් කැබැලි සහිත පස් කන්ද ළඟට තව විශාලය.

“ඒ කාලයේ උදේ, සවස වැඳුම්, පිදුම් කරපු චෛත්‍ය වහන්සේ…” විසුද්ධානන්ද හාමුදුරුවෝ පමණක් නොව මේ ස්ථානයට වැඩ කර සිටින සංඝයාවහන්සේ කම්පාවට පත්ව සිටින අයුරු දිස් වේ.

“මේ චෛත්‍ය වහන්සේ ළඟ දල්වන පහන් කොපමණ සුළං හැමුවත් රෑ එළිවෙනකම් දැල් වෙනවා. ඒක පුදුම සහගතයි. අපි අත්දැකලා තියෙනවා. දෙව් බඹුන්, මහරහතුන් වහන්සේ වන්දනා කළ මේ පින්බිමේ හාස්කම් තව බොහොයි. ඒත් දැන් අපි දකින්න ඕන මේ විනාශය…” වස් කාලයක් වැඩ සිටි විසුද්ධානන්ද හාමුදුරුවෝ පින්බිමේ හාස්කම් ගැන ගමනේ පුරාවට අපට විස්තර කළහ. එහෙත් උන්වහන්සේ පැවසූ ආකාරයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුත්තේ පව්කාර නිධන් හොරු විසින් චෛත්‍ය වහන්සේට සිදු කර ඇති මහා විනාශයටය.

සී සී කඩ විසිරුණු ගඩොල් ගොඩ මැදින් ගල් තලාව පාසාරු කර ඇති අයුරු හොඳින් දිස් වේ. දරුණු වන සතුන් ලගින මහ වනාන්තරය මැද මේ සා විශාල චෛත්‍යයක් ගල් ඉනි, උදලු තලවලින් හෑරීමට මහා මිනිස් බලයකට වුවද කාලයක් ගත වන බව සැබෑය. එහෙයින් මේ විනාශය සිදු කර ඇත්තේ අති නවීන යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගෙන බව පෙනෙන යථාර්ථයයි. එමෙන්ම යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගෙන චෛත්‍ය වහන්සේ හෑරුව ද දින කිහිපයක් මිනිසුන් මේ ස්ථානයේ සිටි බවට කිසිදු සලකුණක් නැති බව භික්‍ෂූන් වහන්සේ මෙන්ම පොලිස් නිලධාරීහු ද පවසති. මේ පුරාවස්තු කොල්ලය පිටුපස මහා බලයක් සහිත අදිසි හස්තයක් ක්‍රියාත්මක වී තිබෙන බව එම විනාශය දකින මන්දබුද්ධික නොවන ඕනෑම කෙනෙකුට සරලව තේරුම් යන යථාර්ථයකි.

“අඩි විසිපහක් පමණ උස, අඩි පනහක් හැටක් විශ්කම්භයකින් යුත් මහා විශාල චෛත්‍ය පාදමටම හාරලා, ගල් තලාව මත තැන්පත් කර තිබුණු පුරාවස්තු තමයි අරගෙන තියෙන්නෙ…” කුඩුම්බිගල තපෝවන ආරණ්‍ය සේනාසනාධිපති පැල්වත්තේ බුද්ධවංශ නායක හාමුදුරුවෝ ද පෙළගැසෙන කතාවට කරුණු ඉදිරිපත් කළහ.

කවුරුත් නොදැක්ක කුමන කැලේ පුරාවිද්‍යා විනාශය
නිධානය තැන්පත් කර තැබූ ස්ථානය

“2012 වර්ෂයේදී අපි බඹරගස්තලාවට වඩිනකොට සැතපෙන බුදුපිළිම වහන්සේත් නිධන් හොරු හානි කරලා තිබුණා. එක බුදුපිළිම වහන්සේනමක් මැදින් කියතකින් ඉරලා තිබුණා. ඒ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නට පසුව 2016 වර්ෂයේදී දායක මහත්මයකුගේ මුදල් පරිත්‍යාගයෙන් පුරාවිද්‍යා නිලධාරීන් විසින් අසූරියන් සැතපෙන බුදුපිළිම වහන්සේ ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගත්තා. මේ බුදුපිළිම වහන්සේ වගේම ගරා වැටී තිබෙන චෛත්‍ය වහන්සේත් ප්‍රතිසංස්කරණය කරන්න කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපි ඉල්ලීම් කළා. ‘මූල්‍යමය ප්‍රතිපාදන නෑ’ කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගහැරියා…”

“බඹරගස්තලාව සේනාසනය නැවත භික්‍ෂූන්වහන්සේගේ පරිහරණය සඳහා ලබාදෙන ලෙසට වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව අපි ඉල්ලීම් කළා. එවකට වනජීවී අමාත්‍යවරයාව සිටි සරත් ෆොන්සේකා මහත්මයා අපගේ ඉල්ලීමට අවධානය යොමු කළා. ඒ මොහොතේ අප සමඟ සම්මුඛ වූ එවකට සිටි වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් පසුව දැනුම් දෙන බවට පොරොන්දු වෙලා නිහඬ වුණා. ඊට ටික දවසකට පසුව අපගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වමින් ‘ඓතිහාසික පුදබිමක් ලෙස පවතින මේ ස්ථානයේ දර්ශනීයත්වය රැකෙනුයේ පෙර පැවැති ආකාරයෙන් තිබීමෙන් පමණි. එමෙන්ම වනජීවී රක්‍ෂිතයක් තුළ සංවර්ධන කටයුත්තක් හෝ වෙන යම් කාර්යයක් සිදු කිරීම වන සත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂක පනතට අනුකූල නොවන පටහැනි ක්‍රියාවක් බැවින් උක්ත කාර්ය සඳහා අවසර ලබාදිය නොහැකි බව පවසමින්’ වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් ලිඛිතව අපට දැනුම් දීලා තිබුණා. 2017 නොවැම්බර් මස 15 වැනිදා නැවත බඹරගස්තලාව පුදබිම භික්‍ෂූන්වහන්සේගේ පරිහරණය සඳහා නිදහස් කරන මෙන් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලීම් කළා. ඒ අවස්ථාවේදීත් ලැබුණේ පෙර ප්‍රතිචාරයමයි. 2018 අවුරුද්දෙත් ඒ ඉල්ලීම ම අපි කළා. ඒකත් ප්‍රතික්ෂේප වුණා. 2020 වර්ෂයේදී පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීම් කර විශාල පරිශ්‍රමයක් යොදලා බඹරගස්තලාව ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේ තුන්නමකට වස් සමාදන් වෙන්න අවසර ලබාගත්තා. ස්වාමීන්වහන්සේ තුන්නමක් තුන් පැත්තක වැඩ සිටි නිසා එම කාලය තුළ ඒ භූමිය නිධන් හොරුන්ගෙන් ආරක්‍ෂා වුණා. එම ආරක්‍ෂාව සමහර නිලධාරීන්ට කරදරයක් වෙලා තිබුණා. නැවත එම ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේගේ වැඩ වාසයට තහනම් කලාපයක් වුණා. ඒ අවසරයෙන් තමයි මාස දෙක, තුනක් වැනි කාලයක් තුළදී මේ චෛත්‍ය වහන්සේ හාරලා පුරාවස්තු කොල්ල කාලා තියෙන්නෙ. ඒ ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේ වැඩ සිටියා නම් චෛත්‍ය වහන්සේට මේ විනාශය නොවෙන්න ඉඩ තිබුණා. චෛත්‍ය අවට කළඑළි වෙලා බඹරගස්තලාවට යන බැතිමතුන් බුදුපිළිම වහන්සේ වන්දනා කරගෙන, අහස් ලෙනත් දැක බලාගෙන චෛත්‍ය වහන්සේත් වන්දනා කරගන්න යනවා. එහෙම නොවීම තුළ චෛත්‍ය වහන්සේ වන්දනා කරගත්තේ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි ස්වාමීන්වහන්සේ පමණයි. ඒත් එම සෑය අවට ලෙන් කුටි තුළ භික්‍ෂූන්වහන්සේට වැඩ වාසය කරන්න අවසර තිබුණේ නෑ. වනජීවී නිලධාරීන්ගේ අදහස වුණේ මේ ඓතිහාසික බෞද්ධ පුදබිම ආරක්‍ෂා වෙන්නේ භික්‍ෂූන්වහන්සේගෙන් තොර වුණොත් විතරයි කියලා…”

කවුරුත් නොදැක්ක කුමන කැලේ පුරාවිද්‍යා විනාශය

“අපට තියෙන කලකිරීම අදාළ උසස් නිලධාරීන් මේ පෞරාණික ස්මාරකවල තියෙන වටිනාකම නොදැනීම ගැනයි. නිදහසේ බණ භාවනා කිරීමට යෝග්‍ය පරිසරය තුළ භික්‍ෂූන්වහන්සේට වැඩ වාසය කිරීමට අවසර නොදෙන තරමට ඒ නිලධාරීන්ගේ හිත් අකුසලයෙන් පිරී පැවතීම ගැනයි. භික්‍ෂූන්වහන්සේ පස්, හය නමක් මේ අවට ගල්ලෙන්වල වැඩ සිටියා නම් මේ භූමියට පූර්ණ ආරක්‍ෂාවක් තිබෙන බව අපට ලොකු විශ්වාසයක් තිබුණා. සිදු වෙමින් තිබෙන විනාශය ගැන පෙර සිට දැනිලා තමයි මේ ස්ථානයේ ආරක්‍ෂාව තහවුරු කරන්න අපි උත්සාහ කළේ. ඒත් අපට නිසි අවසරය ලැබුණේ නෑ. අපේ උරුමය ආරක්‍ෂා කරගන්න අපිට අවසරය දෙන්නෙත් නෑ. වනජීවී දෙපාර්තමේන්තුව ජාතික උරුමය ආරක්‍ෂා කරන්නෙත් නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ ස්ථාන රැකෙන්නෙත් නෑ. ඕක තමයි ඇත්ත කතාව. දැන්වත් මේ ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථානයේ ආරක්‍ෂාව අපිට භාර දෙන්න. මේ චෛත්‍ය වහන්සේ හාරලා පුරාවස්තු කොල්ල කාපු අයට රටේ නීතිය ක්‍රියාත්මක නොවුණත් මෙලොවත්, පරලොවත් සංසාරය පුරාවට විපාක දෙන ආකාරය ගැන බුදු බණේ කියැවෙනවා. ශාසනික දේපළ විනාශ කරන පව්කාරයන්ට සංසාරය පුරාවට දුක විතරයි…” කුඩුම්බිගල නායක හාමුදුරුවෝ දිගු හුස්මක් හැර පියා නිහඬ වූහ.

පෙළගැසෙන කතාව අවසානයේ ප්‍රශ්න කිහිපයක් ඉතිරි වේ. කුමන ජාතික වන උද්‍යානය තුළ අතිශයින්ම හුදෙකලා වූ ප්‍රදේශයක මේ සා විශාල නටබුන් හානියක් සිදු කිරීමට අවශ්‍ය පිරිස, ධනය, ප්‍රවාහන පහසුකම්, ඉඳුම් හිටුම්, ආහාරපාන සැපයූ කවරහුද? සතුන් නැරැඹීමට දිවා කාලයේදී පමණක් අවසර හිමිව තිබෙන සවස 6 න් පසුව ඇතුළුවීම සපුරා තහනම් අභය භූමියක වනජීවී නිලධාරීන්ගේ අනුදැනුමෙන් තොරව මේ සා පුරාවස්තු සංහාරයක් සිදු වූයේ කෙසේදැයි සබුද්ධික මිනිසුන්ට ගැටලුවකි. එමෙන්ම තණකොළට ඇදෙන හරකුන් සේ නිධන් හොරු නිධන් සොයාගෙන ගොස් කොල්ල කන බව සැබෑය. ඒ පව්කාර නිධන් කොල්ලකරුවන්ගේ ස්වභාවයයි. එහෙත් මේ පව්කාර නිධන් සොරුන්ට ඉතිහාසය මකා දමන්නට ඉඩ හැර බලා සිටීම ජාතියට පමණක් නොව උපන් බිමට කරන ද්‍රෝහිකමකි. එහෙයින් මෙරට පෞඪ ඉතිහාසය ආරක්‍ෂා කරගැනීම සඳහා ජාති, ආගම් බේද දුරලමින් පුරාවස්තු සංහාරයට එරෙහිව නැඟී සිටිය යුතුය. ඒ ඔබේ යුතුකමකි.

බඹරගස්තලාව ශාන්ත පරිසරයෙන් පිට මං වෙන්නට සිත ඉඩ නොදේ. එහෙත් වන පෙත තුළින් ඇඳිරිය බඩ ගාමින් තිබුණු බැවින් අකැමැත්තෙන් අපි පිටත් වීමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment