‘අනේ නැන්දේ මේ මොනවාද කරන්නේ, මේ ගවර්මන්ට් එකෙන් මොනවද කරන්නේ. ආපු අය මොනවාද කරලා තියෙන්නේ. අර කොල්ලෝ දෙන්නෙක්ට ලේ එනකල් හොඳටම ගැහැව්වා. ඔෆිස් එකේ ලේ විලයි. හෙට අපට ගහනවා කිව්වා ඒ වගේ. ටාගට් එක නොදුන්නොත් මරණවා කිව්වා. මෙහෙම නම් ඉඳලා වැඩක් නෑ නැන්දේ මොනවත් කරන්නෙ නෑ. අපි මේ බිල්ඩින් එකෙන් පහළට පැනලා මැරෙනවා වෙන නම් කරන්න දෙයක් නෑ. මොනවාද කරන්නේ ඒ මිනිස්සු. එන්නේ නෑ අපිව ගන්න.’ මේ මියන්මාරයේ අපරාධ කල්ලියක් අත සිර වී සිටින දරුවන් කණ්ඩායමකට අයත් තරුණ දැරියක තමන් සමග මියන්මාරයේම සිටින මිතුරෙකුගේ මවක් වෙත එවූ හඬ පණිවිඩයකි. ඇගේ කටහඬ වේදනාවෙන් පිරී ඇත.

‘ඕනෑ තැනකට දාන්න. බලන්න අනේ මොනවද කියන්නේ කියලා. බලං ඉන්න බෑ නැන්දේ. මීට වැඩිය හොඳයි මැරෙන එක. මං මරනකල් ඉන්නේ නෑ නැන්දේ.’ මේ ඇගේ දෙවැනි හඬපටයයි. ඇගේත්, ඇය සමගම මියන්මාරයේ සිර වී සිටින 49 දෙනකුගේත් මාපියන් ලංකාවේ සිට හඬා වැළපෙයි. දරුවන් මියන්මාරයේ සිට හඬා වැළපෙයි.

‘ලේ විදිද්දී ගහනවා කොල්ලෝ දෙන්නාට. හොඳටම අමාරුයි ඇවිදගන්නත් බෑ. මේවා බලා ඉන්න බෑ නැන්දේ. අද උන්ට ගහනවා හෙට අපට ගහනවා. ටාගට් එක නැති වුණොත් ගහනවා. මරන්න ඉන්නේ. උන් මරනකල් බලා ඉන්න බෑ නැන්දේ. ඊට වැඩිය හොඳයි බිල්ඩින් එකෙන් පහළට පැනලා අපි මැරෙනවා. බලං ඉන්න බෑ නැන්දේ. කවුරුත් මොනවත් කරන්නේ නෑ.’ ඇය තුන්වැනි හඬ පණිවිඩය එවන්නේත්, තමන්ට ඇති එකම විකල්පය තමන්ගේම ජීවිතය අහිමිකර ගැනීම බව නැවතත් හඟවමිනි.

එයට පසු ඇයටත් එකදිගට දෙදිනක් තිස්සේ පහර දී තිබුණි. පහරකෑම්වල සලකුණු සහිතව, මාපියන් වෙත ඡායාරූප එවීම පමණි ඔවුන්ට කළ හැකි එකම දෙය.

මේ කතාව මියන්මාරයේ හමුදා ආණ්ඩුවේ ඍජු පාලනය යටතේ නොපවතින මියාවඩ්ඩිහි වනගත ප්‍රදේශවල පවත්වාගෙන යන වහල් ස්වරූපයේ සයිබර් අපරාධ කඳවුරක සිර වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගැන කතාවකි. මේ වයස අවුරුදු 20 ආසන්නයේ සිටින ඉතා ලාබාල දරුවන් පිරිසකි. මීට පෙර 56 දෙනකු සිර වී සිටි අතර, එයින් 8 දෙනකු ශ්‍රී ලංකාවට දැනටමත් පැමිණ සිටී. ඔවුන් හුදෙක් අපරාධ පමණක් නොව, ලිංගික අපරාධයන්ට පවා ලක් කර තිබුණි.

සිගරැට් කොට ඇති, අළු මිශ්‍ර වූ වතුර පෙවීම, කාමරවල සිර කිරීම, කාන්තාවන්ව පිරිමින් විසින් දූෂණය කිරීම ආදී තත්ත්වයන් ගණනාවකට ඔවුන් මුහුණ දී තිබේ.

මේ අය ලවා බලහත්කාරයෙන් ලබා ගන්නේ, සයිබර් අපරාධ ලෙස සැලකිය හැකි සේවාවන්ය. ඔන්ලයින් ක්‍රමවලින් පුද්ගලයන්ට ඇමතුම් ලබා දී රවටා ආයෝජනය කරනවා යැයි මුදල් ලබාගැනීම, ව්‍යාජ ඔන්ලයින් අනන්‍යතා භාවිතා කරමින් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් පැය ගණන් සේවයේ යෙදවීම ආදී නොයෙකුත් දේ ඔවුන් කරවයි.

වසන්ත යාපා

මේ සියල්ල මැද, වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂයේ කණ්ඩායමක් මියන්මාරයට ගොස් තිබුණේ, රඳවාගෙන සිටින තරුණ තරුණියන් නිදහස් කරගැනීමට අවශ්‍ය සාකච්ඡා පැවැත්වීම සඳහාය. ඔවුන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අතින් සංදේශයක් ලබා ගන්නා අයුරු, එය ගොස් භාරදෙන අයුරු මෙන්ම මියන්මාරයේ නායක හිමිනමක් හමුවෙන අයුරුත් සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල පළ කර තිබුණි. වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා මාධ්‍යවල අවධානය දිනාගැනීමට හෝ සැබෑ වුවමනාවකින් මියන්මාරයේ දරුවන් මුදාගැනීමට යම් හෝ ක්‍රියාමාර්ග ගන්නා බව පෙනුණත්, තවම ප්‍රතිඵල නම් ලැබී නොමැත. අනෙක් පැත්තෙන් ආණ්ඩු පක්ෂය කිසිවක් නොකරන තරම්ය. විදේශ කටයුතු අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය ඇතුළු ආයතන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති තරම්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ජුනි 06 වැනිදා පාර්ලිමේන්තුවේදී මෙසේ කියා තිබුණි.ි‘මියන්මාරය සහ රුසියාව කියන රටවල්වලට ගියපු අය පිළිබඳව පහුගිය දවස්වල විශාල වශයෙන් සාකච්ඡා වුණා. විදේශගත වෙලා සිටියදීත් අපි දැක්කා. විපක්ෂයේ මන්ත්‍රීවරු විදියට ජේ. සී. අලවතුවල, සුජිත් මංගල පෙරේරා සහ මම තායිලන්තය සහ මියන්මාරය කියන රටවල් දෙකේම මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා. මම රජයට දැනුම් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම තායිලන්තයේ තියෙනවා ආයතනයක් අධිකරණ අමාත්‍යාංශය යටතේ. විශේෂ විමර්ශන දෙපාර්තමේන්තුව හෙවත් ඩීඑස්අයි කියලා. මේ ආයතනය සම්බන්ධ කරගෙන සාකච්ඡා ආරම්භ කළොත් මේ මියන්මාරයේ රඳවාගෙන තියෙන 49 දෙනා බේරාගන්න පුළුවන්. නේපාලයේ සහ උගන්ඩාවේ රඳවාගෙන හිටපු ශ්‍රමිකයන් බේරාගත්තේ මේ ආයතන දිගින් දිගටම කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදියට. විදේශ ඇමැතිතුමා හරහා ඩීඑස්අයි ආයතනය එක්ක අඛණ්ඩව සමීප සාකච්ඡා ආරම්භ කරන්න කියලා ඉල්ලා සිටිනවා.’

හිටපු තානාපති

මියන්මාරයේ හිටපු තානාපතිවරයා මැයි 10 වැනිදා උක්ත සිර වූ මියන්මාරයේ දරුවන් 49 දෙනාගේ මාපියන් වෙත පණිවිඩයක් එවා තිබුණි. එය මෙසේය.

‘ආයුබෝවන්, මම ජානක බණ්ඩාර, මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිතුමා. මගේ ධුර කාලය 2024 අප්‍රේල් මාසේ 30 වැනිදා අවසන් වුණා. මම තවදුරටත් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිතුමා නෙවෙයි. මම මගේ සීමාව තුළ කළ හැකි හැම දෙයක්ම කළා. ඒ නිසා අම්මලාට මේ ඥාතීන්ට තානාපතිතුමා හැටියට නෙවෙයි, හිටපු තානාපතිතුමා හැටියට යුතුකමක් තියෙනවා මේ කාරණා ගැන කියන්න. මියන්මාර රජයත්, තායිලන්ත රජයත් සමග ඉහළම මට්ටමෙන් සම්බන්ධ වෙලා කතා කරලා තියෙන නිසා, ක්‍රියාමාර්ගවල ප්‍රමාදයක් තියෙන නිසා සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික පටිපාටියෙන් පරිබාහිරව උගන්ඩා තානාපතිනිය හමුවෙලා උගන්ඩා ජාතිකයන් මුදාගැනීම සම්බන්ධයෙන් ඇය ගත් ක්‍රියාමාර්ග ගැන තොරතුරු ලබාගෙන මැදිහත්වීමට තීරණයක් ගත්තා. තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රගතියක් නැත්නම්, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්, ඇමැතිතුමාගෙන් විමසීම් කරන්න පුළුවන්. මේ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ගැන අහන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මලා තාත්තලාට තමන් කැමති ඕනෑම ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන්.’

එසේ වුවත්, මාපියන් කියන්නේ මියන්මාරයේ හිටපු තානාපතිවරයාත් අවශ්‍ය පියවර ගෙන නොතිබූ බවයි.

මහා පරිමාණ ජාවාරමක්

මෙලෙස දරුවන් ස්ථාන දෙකක රඳවාගෙන සිටී. එක් ස්ථානයක දඬුවම් සහ වධහිංසා වඩාත් බරපතළය. එම ස්ථානයේ දුරකථන තබාගැනීම පවා තහනම්ය. එම ස්ථානයේ ශ්‍රී ලාංකිකයන් 28 දෙනකු සිටින අතර වෙනත් රටවල්වල පිරිස්ද සිටී. පිලිපීනය, උගන්ඩාව ආදී රටවල් ගණනක දරුවන් එලෙස සිටී. නැගෙනහිර ආසියානු, දකුණු ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල පුද්ගලයන් විවිධාකාර මිනිස් ජාවාරම් මාදිලිවලින් මියන්මාරයට රැගෙනවිත් මෙලෙස සේවයේ යොදවා ඇත. ඔවුන්ගෙන් බලහත්කාරයෙන් ලබා
ගන්නා සේවාවන් සඳහා ඉලක්ක ලබා දී ඇති අතර, ඉලක්ක සම්පූර්ණ නොකරන්නේ නම් දඬුවම් ලබා දෙයි. ඉලක්ක සපුරන්නේ නම් දඬුවම් නොමැති අතර, ගෙවීම් ලැබෙන්නේත් ඉලක්කවලට ළඟා වූවන්ටය.

බීබීසී වාර්තාවකට අනුව 2023 අගෝස්තු මාසයේදී මියන්මාරයේ 120,000කට අධික පිරිසක් සහ කාම්බෝජයේ 100,000කට අධික පිරිසක් මෙවැනි ඔන්ලයින් අපරාධ වෙනුවෙන් බලහත්කාර සේවයේ යොදවා ඇත. මෙවැනි අපරාධ ජාලයන්හි කේන්ද්‍රස්ථාන බවට මෙම රටවල් පත් කර තිබේ. දැන් එය ගෝලීය ආරක්ෂක තර්ජනයක් ලෙසට වර්ධනය වී තිබේ.

විවිධ දඬුවම්

‘ලබන මාසේ ඉඳන් දෙන දඬුවම්. දැන් ඔය ලීටර් 25 වතුර බකට් එකක් උස්සාගෙන ඉන්න තියෙන්නේ. ඒක අත උඩට කරලාම උස්සාගෙන ඉන්න ඕනෑ. අපි ඉස්සරහා ඉන්න ලංකාවේ ටීම් එකට බකට් එක උස්සාගෙන ඉන්නයි, කීබෝඩ් එක උඩ දණ ගහගෙන ඉන්නයි, ටොයිලට් එකට යනවා වගේ ඉන්නයි, ස්කොඩ් ගස්සනවා, ඩිප්ස් ගස්සනවා, ඉලෙක්ට්‍රික් පොල්ල තියාගන්න ඕනෑ පස්ස උඩින්, පස්ස පොඩ්ඩක් පාත් වුණ ගමන් ස්විච් එක ඔන් වෙලා ඉලෙක්ට්‍රික් වදිනවා. ලබන මාසේ ඉඳන් දෙනවා කිව්වාට අපටත් ක්ලයන්ට් කෙනකුගෙන් සල්ලි ගත්තේ නැත්නම් 25න් පස්සේ අව්වට වෙලා ඒ බාස්කට් එක උස්සාගෙන ඉන්න ඕනෑ ලීටර් 25.’ සිර වී සිටින තරුණයකු එවූ හඬ පණිවිඩයක එසේ සඳහන්ය.

උක්ත දඬුවම්වල සිට ලිංගික හිංසාවන්, පිළිස්සීම් ආදී නොයෙකුත් ශාරීරික හා මානසික හිංසාවන්ට දරුවන් මුහුණදෙයි. පසුගිය මාසය තුළ චීන ජාතික තරුණ දරුවකු පහරදී මරා දමා ඇති අතර, ‘උඹලාටත් ඕකම තමයි වෙන්නේ’ කියා ඒ දරුවාගේ සිරුර කාඩ්බෝඩ් පෙට්ටියක දමා විසි කර තිබේ.

මව්වරුන්ගේ හඬ

පහරකෑමට ලක්වූ අයගේ ඡායාරූප

සිර වී සිටින දරුවකුගේ මවක් අප හා පහත අදහස් දැක්වීම කළේ හඬා වැටෙමිනි.

‘ඇත්තටම ළමයි හිරවෙලා, පනිෂ්මන්ට් දෙනවා. ජීවිත අවදානමේ ඉන්නේ. රජයට කිව්වා. ඊයේත් ගිහිල්ලා කීවාම මැදිහත් වෙනවා කිව්වා. තාරක බාලසූරිය ඇමැති හම්බවුණා. ඇමැති මනූෂ නානායක්කාර කීවා තමන්ට කරන්න බැහැ. අලි සබ්‍රි විදේශ ඇමැතිතුමාට තමයි ගෙන්වා ගැනීමේ වගකීම තියෙන්නේ කියා මනූෂ ඇමැතිතුමා කීවා. අලි සබ්‍රි ඇමැතිතුමා වැඩේ කරමු කීවා, ඒත් එයාගෙන් වැඩි විස්තරයක් නැහැ.

ළමයින්ට දස වධ දෙනවා. ඒත් රජයේ කිසිම මැදිහත්වීමක් නැහැ. අවුරුදු 22 සහ 23 වගේ ළමයි. ජීවිතේ හොඳම හරිය ගෙවිලා යන්නේ මේ වධකාගාරවල.’

මෙලෙස තරුණ තරුණියන්ව රැකියා සඳහා ගෙන්වා ගන්නේ මියන්මාරයට රැගෙන යන බව පවසමින් නොවේ. එක් මවක් සිය දරුවාගේ අත්දැකීම මෙසේ කීය.

‘මියන්මාර්වලට නෙවෙයි ගෙනියනවා කිව්වේ, තායිලන්තයේ පරිගණක අංශයේ රස්සාවක් දෙනවා කියලා කිව්වා. පරිගණක දැනුම තියෙන ළමයින්ව ඕනෑ කියලා තමයි අපේ දරුවන් අරගෙන ගියේ. ඇත්තටම අපි එක්ක සම්බන්ධ වුණේ ඩුබායිවල ඉන්න කෙනෙක්. එයාගේ තැරැව්කාරයන් තමයි මෙහේ ඉන්නේ. තායිලන්තයෙන් වෙනත් තැනකට ගෙනියනවා කියලා වාහනයකට දාගෙන මේ තැන්වලට ගෙනියලා තිබුණා. වාහන මාරු කරමින් පැය 10ක් විතර තිස්සේ ඔවුන්ව ප්‍රවාහනය කරලා තිබුණා.’ මේ ආකාරයෙන් මාස ගණනාවක් තිස්සේ පුද්ගලයන් රැගෙන ගොස් ඇත. ඇතැම් අය 2022 සිට මියන්මාරයේ සිර වී සිටී. තවත් අය මාස අටක පමණ කාලයක් තිස්සේ සිර වී සිටී.

‘දරුවන් කිව්වා, ආපු තැන භයානක තැනක්. ආපහු එන එක විශ්වාස කරන්න බැහැ කියලා. එතකොට ගිහින් ඉවරයි’ මව වැඩිදුරටත් කීවාය.

‘විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මැදිහත් නොවෙන්නේ, අපේ දරුවන් අනීතිකව ගියා කියලායි’ තවත් මවක් එසේ පැවසීය.

විවිධාකාර අනීතික ක්‍රමවලින් ව්‍යාජ ලිපිලේඛන සකසා පුද්ගලයන් විදේශගත වීම මෙරට එදිනෙදා සිදුවන දෙයක් බවට පත් වී තිබේ. ඇතැමුන් කියනු ඇත්තේ ‘අනීතිකව ගියා නම්, ඔය වගේ දේවල් වෙනවා තමයි’ වැනි කතාවකි. එය තමන්ගේ දරුවන් විදේශ රටකට යැවූ මාපියන්ගේ සහ දරුවන්ගේ වරදක් ලෙසත් කෙනකු හුවා දැක්විය හැක.

කරුමය උරුම කළ රටක එහෙත්, අපේ රටේ ඇති තෝරාගැනීම් මොනවාද? ආර්ථික වශයෙන් කරුමය උරුම කළ රටක තරුණ පරම්පරාවට ඉතිරි වී ඇත්තේ කුමක්ද? තමන්ට හිමි සියල්ල සොරා ගත්තවුන් තවමත් රට පාලනය කරයි. සියල්ල සොරා ගත්තා කියන්නේ, ධන සම්පත් පමණක් නොව ඒ දරුවන්ගේ අනාගත හීන පවා සොරාගෙන ඇත.

මෙරට ආර්ථික සංවර්ධනය ගැන විශාල පුරාජේරු කියන පාලකයන් අද කරමින් ඉන්නේ තිබෙන රැකියා අවස්ථාත් අහිමි කිරීම නොවේද? ඔවුන්ට අනුව ආර්ථික සංවර්ධනය යනු හුදෙක් ‘සාර්ව ආර්ථිකය’ හෙවත් මහා ආර්ථිකයේ ගිණුම් පොත් පිළිවෙළක් කිරීම පමණි. ඒ වෙනුවෙන් අධික බදු, විශාල බිල්පත් ජනතාව මත පැටවීම ආර්ථික උපක්‍රමය වී ඇත. සාමාන්‍ය ජනතාවත්, ජනතාවගේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තත් මත ආර්ථිකයේ බර තබා ඇත. මේ රට අභ්‍යන්තර ආර්ථික වශයෙන් අහේනියෙන් පිරි ශුෂ්ක පොළොවක් බවට හරවා ඇත. මියන්මාරයේ අප මේ දකින වධකාගාර නොවුණාට මෙරට අපනයන සැකසුම් කලාප ආදී බොහෝ තැන්වලත් ඉතා අඩු පඩි සහ දුෂ්කර සේවා තත්ත්වයන්ම තිබේ. ඒ මදිවාට, දරුණු කම්කරු මර්දනයක් සමග කම්කරු නීති තවත් දරුණු වෙන්නේ පුද්ගලයන්ගෙන් නොමරා තව තවත් වැඩ ගැනීමටය.

අනෙකුත් කර්මාන්තවලත් ඉරණම එබඳුමය. උදාහරණයක් ලෙස ගොවියාට ඉඩම් අහිමි කර මහා පරිමාණ ව්‍යාපාරිකයන් වෙත විකිණීමට නීති සකසන පසුබිමක ‘උරුමය’ කියා ඉඩම් ඔප්පුවක් අතට දී ‘ඉඩම විකුණා දමන්නැයි’ සියලු පසුබිම් සකසද්දී තරුණ දරුවන්ගේ අනාගතය හදාගන්නට මෙරට රස්සාවක්,

ගොවිතැනක් හෝ ධීවර කර්මාන්තයක්වත් කළ හැකිද? කොහේ හෝ තිබෙනවායැයි හිතෙන හීනයක් සොයා විදේශගත වීම හැර ඔවුන්ට වෙන විකල්ප තිබේද?

සටනක් නෑ

කවුරුවත් මොනාවත් කරන්නේ නෑ! අපි පැනලා මැරෙනවා! මියන්මාරයේ අපාදුක් විඳින ශ්‍රීලාංකිකයින් 49
පහරකෑමට ලක්වූ අයගේ ඡායාරූප

මේ තත්ත්වයන්ට මුහුණ දුන් දරුවන්ගේ මාපියන්ට සිදුව ඇත්තේ තමන්ගේ සමාජයීය මට්ටමට දරාගත නොහැකි තරමේ දරුණු සටනක් කරන්නටය. ඔවුන්ට තමන්ගේ දරුවන් වෙනුවෙන් විශාල අරගලයක් කරන්නට තරම් හයිය හත්තිය නැත. ‘ආණ්ඩුවට යටහත් පහත්ව ඉඳලා කොහොමහරි දරුවන්ව ගෙන්වා ගන්නයි අපට ඕනෑ.’ කියා එක් මවක් කීවේ ඒ නිසාය. එහෙත් මේ ආණ්ඩු එසේ සිටින පුරවැසියන්ට කිසිවක් ඉටු කර නොදෙන බව කනගාටුවට කාරණයයි.

ඇතැම් මව්වරුන් යම් යම් පියවර ගනිමින් සිටී. ‘විරෝධතා කළා. මාසයකට තුන් වතාවක් විතර යනවා. මියන්මාර් හිටපු තානාපතිවරයාත් වැඩේ කරනවා කියලා කිව්වා. දැන් ඔහු ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ කෙනාව හොයා ගන්නත් නෑ. අපේ ළමයින්ට කතා කරන්න බැහැ එයාලාට ෆෝන් තියාගන්න බැහැ.’

තමන්ගේ ගෙදරකට පණිවිඩයක් එවීම ඉතා අසීරුවෙන්, රහසිගත උපක්‍රම යොදා දරුවන්ට කරන්නට සිදු වන අසීරු දෙයක් බවට පත් වී තිබේ.

‘අපේ පුතාට කේබල් එකකින් අට පාරක් ගහලා තියෙනවා. ලයිට් කණුවල බඳින වයර් දෙකක් එකට බැඳලා ගහලා තියෙනවා. පුතාට අවුරුදු 21යි. මෙහේ ඉඳන් එයාගේ හිත හදනවා. මේ ප්‍රශ්නය හරියට රටට කියන්නවත් මට තේරෙන්නෙ නෑ. රජය හරි දෙයක් කරන්නේ නැත්තේ ඇයිද කියලා තේරෙන්නේ නෑ. රජයට මැදිහත් වුණොත් බේරාගන්න පුළුවන් බව දන්නවා. එතැන ඉන්න අය කියලාත් තියනවා, රජය ගියොත් ගන්න පුළුවන්. රජය මැදිහත් වෙන්නේ නෑ. දේශපාලන තල්ලු කර කර ඉන්නේ. අපි කොහොමද, මේ ප්‍රශ්නයට උත්තර හොයන්නේ. ළමයි එහේ දුක් විඳිනවා. අපි මෙහේ දුක් විඳිනවා. එයාලාට කන්න නැහැ, නිදා ගන්න නැහැ. වතුර නැහැ හරියට. මෙහෙම දෙයක් වුණේ කොහොමද කියලා තේරෙන්නේ නෑ.’

විසඳුම් මොනවාද?

තමාගේ රටේ දරුවන් 49 දෙනකු, තමන්ම කඩා වැට්ටූ ආර්ථික අර්බුදයක් නිසා රැකියා සොයා ගොස් පිටරටක සිර වී සිටියදී මෙරට පාලකයන් කෙසේ එයට මැදිහත් විය යුතුද? විදුලිබල මණ්ඩලය විකුණා දමන පනත සම්මත කරගැනීමට වෙහෙස වන තරම්, සාමාන්‍ය පවුලක දරුවන් බේරාගන්නට ආණ්ඩුවට උනන්දුවක් නැත්තේ ඇයි? මේවා අපට අසන්නට සිදුවන ඛේදවාචකමය ප්‍රශ්න වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙයට අදාළව ලිඛිත දැනුම්දීමක් පමණක් තානාපති මට්ටමෙන් කර තිබුණි. අප කළ විමසීමකදී අමාත්‍ය මනූෂ නානායක්කාර කීවේ තමන්ට කළ මැදිහත්වීම කරමින් සිටින බවයි. එහෙත්, මෙරට කම්කරු අමාත්‍යවරයා අඩු තරමේ මියන්මාරයට ගොස් කතා නොකරන්නේ ඇයි? මේවා අපරාධකාරී ආයතන නම් මෙම තත්ත්වයට මුහුණදෙන රටවල්වල නියෝජිතයන් හා කම්කරු ඇමැතිවරුන් හමු වී ජාත්‍යන්තර පෙරමුණක් සාදවාගෙන ජාත්‍යන්තර පොලිසිය මැදිහත් කරවාගෙන පොලිස් මෙහෙයුමක් නොකරන්නේ ඇයි? එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනවලට අවශ්‍ය බලපෑම කරමින් එයට මැදිහත් නොවන්නේ ඇයි? පාලකයන් අවශ්‍ය තරමට කම්පනය වී සිටීද? කැළඹී සිටීද?

එක් මවක් කීවේ, මෙම පිරිස අපරාධකාරී කල්ලියක් නිසා ඔවුන් සමග සාකච්ඡා කළ හැකි මට්ටමේ ඇතැම් අතමැදියන් සිටින බවය. එවැනි අය සමග හෝ සාකච්ඡා කරන ලෙස ඇය ඉල්ලන්නීය.

‘අපි තාරක බාලසූරිය රාජ්‍ය ඇමැතිවරයා මුණගැහුණා. ආණ්ඩු පක්ෂයෙන් යනවා, දිනයක් කියන්න බැහැ කියලා කිව්වා. ළමයි ගෙන්වා ගන්න එක ගැන කොහොමද කියලා ඇහුවාම කියන්න බැහැ, ගිහින් ඇවිත් කියනවා කීවා. මිලිටරි පාලනයක් තියෙන්නේ. මේ ළමයි ඉන්නේ ත්‍රස්තවාදී ග්‍රහණයක. සාමාන්‍ය මනුස්සයකුට යන්න බෑ. ගැන්ග්ස්ටර් කෙනෙක් හෝ හැකර් කෙනෙක් හරහා සාකච්ඡාවලට යන්න ඕනෑ. තුන්වැනි පාර්ශ්වයක් ඉන්නවා. රජයෙන් ඉල්ලපු ලියුම දුන්නේ නෑ. විදේශ ඇමැතිගෙන් තායිලන්ත අගමැතිවරයා වෙත ලියුමක් යොමු කරන්න ඕනෑ. අලි සබ්‍රි මහත්තයා කතා කරලා, මේ පුද්ගලයාව මැදිහත්කරුවෙක් විදියට දායක කරගන්න කියලා. උගන්ඩාවේ සහ නේපාලයේ ළමයි නිදහස් කරවා ගැනීමට සම්බන්ධ කරගන්න කියලා. එහෙත්, දැන් එයා ගැන හරි විස්තරයක් අපට නැහැ.’

මේ ළමයින් අතර එකම එක බලගතු පවුලක දරුවෙක් සිටියේ නම් රාජ්‍යයක මැදිහත්වීම කෙබඳු විය හැකිද? ඔය ඕනෑ ක්‍රමයක් පාවිච්චි කර දරුවන් මුදාගනු ඇත.

එහෙත් මේ දරුවන් 49 දෙනාගේ ජීවිත ‘එයාලාව බේරාගන්න පුළුවන් වුණොත් ගන්නවා, නැත්නම් කරන්න දෙයක් නැහැ.’ මට්ටමෙන් අත පිසදාගත හැකි කාරණයක්ද? විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මත යැපෙන ආර්ථිකයක් ඇති රටක පාලකයන්ට එතරම් මුග්ධ විය හැකිද?

‘පුතාට යාළුවෙක් ඩුබායිවල ඉඳලා රස්සාවක් තියෙනවා යන්න කියලා. මම ඇහුවා කෝල් කරලා කැමති වේකන්සියක් තෝරාගන්න පුළුවන් කියලා කිව්වා. හොඳ පඩියක් හමබවෙනවා කිව්වා. නවාතැන් නොමිලයේ. ඇඳුම් ටිකක් විතරක් අරගෙන යන්න තියෙන්නේ කියලා කිව්වා. එහෙම කතාවලට අපි රැවටුණා. සමහරවිට ඒ යවපු මිනිස්සුත් දන්නේ නැතිව ඇති මෙහෙම දෙයක් වෙනවා කියලා. තවමත් යවපු අයව අත්අඩංගුවට අරන් නැහැ. ඔවුන් ඩුබායිවල ඉන්නවා කියලා කියන්නේ.

දැන් මාස අටක් ඉවරයි. මාස දෙකක් විතර හොඳට හිටියා. කෑම් බීම් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ. කරන දේවල් ගැන අවබෝධයක් තිබුණෙත් නෑ. අවුරුදු 21යිනේ. විහිළු කරලා, හිනාවෙලා හිටියේ. පස්සේ තමයි ඒ ගැන අවබෝධයක් දැනුණේ. දඬුවම් කරන්න පටන් ගන්නකොට.’ එසේ කී මවක් සිය දරුවා ගැන බියෙන් හඬා වැටෙන්නට පටන් ගත්තාය. ‘සමහර වෙලාවට කේබල් දාලා එල්ලලා ගහනවා.’ හැඬුම මැද්දෙන් ඇය කියන්නීය.

මියන්මාරය මේ වෙද්දී හමුදා පාලනයක් සහ එම හමුදා පාලනයට එරෙහි කැරලිකරුවන්ගේ පාලනයක් සහිත රටකි. හමුදා පාලනය සමග උක්ත සයිබර් අපරාධ කල්ලිවලට සම්බන්ධතා ඇති බව කියැවේ. අන්තර්ජාල අපරාධවලින් විශාල ධනස්කන්ධයක් උපයන උක්ත අපරාධකරුවන්ගෙන් මිලිටරි පාලනයට කුට්ටිය යන බව කියැවේ. මේ දෙපාර්ශ්වයම සමග යම් යම් ගනුදෙනු ජාත්‍යන්තර වශයෙන් සිදුව ඇතත් උක්ත අපරාධකාරී තත්ත්වය පාලනය කරගැනීමට හැකි වී නොමැත. ඒ සියල්ල මැද මවකගේ හඬ දෝංකාර දෙයි. ‘කන්නලව් කරලා ඉල්ලනවා අපේ ළමයින්ව ගෙනැවිත් දෙන්න කියලා.’

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment