කසිප්පුත් වැඩ අක්කත් වැඩ මිනිස්සු පස් යට – අබ්ලික් Story

876

මේක මීට ටික කාලෙකට උඩදී ගල්ගමුව පැත්තේ වෙච්ච සිද්ධියක්. වයලට් අක්කා කියන්නේ ගල්ගමුවට නුදුරු ගමක හිටිය බොහොම ප‍්‍රසිද්ධ කාන්තාවක්.

එයා රැකියාව විදිහට කළේ නීති විරෝධී මත්පැන්. එහෙමත් නැත්නම් කසිප්පු පෙරණ එක. වයලට් අක්කගේ කසිප්පු ඉස්තරම් නිසා අහල ගම් හතක මිනිස්සු එයාගෙන් කසිප්පු බොන්න පුරුදුවෙලා හිටියා.

විමලසේන වයලට් අක්කගේ නීත්‍යනුකූල සැමියා. එයා මෙලෝ වැඩක් කළේ නැහැ. නොමිලේම කසිප්පු හම්බ වෙන නිසා එයා උදේ හිටන් රෑ වෙනකල් කළේ බොන එක. වයලට් අක්කා කසිප්පු විකුණලා ලැබෙන ආදායමෙන් විමලසේනටයි දරුවන්ටයි අඩුපාඩුවක් නොවෙන්න වගබලා ගත්තා.

කාලයක් තිස්සේ එක දිගටම වයලට් අක්කගේ කසිප්පු බීපු විමලසේන අන්තිමේදී සිරෝසීස් හැදිලා මැරිලා ගියා.

දැන් වයලටට් අක්කා තනිවෙලා මැදිවියේ හිටියට වයලට් අක්කා බොහොම හැඩකාර කාන්තාවක්. හැඩ වගේම එයාගේ කටත් සැරයි. ටික කාලයක් යද්දී වයලට් අක්කට සුමනසේන මුණ ගැහුණා.

සුමනසේනත් වයලට් අක්කගෙන් කසිප්පු බොන්න ඇවිත් දැනහඳුන ගත්ත කෙනෙක්. එයා ගල්ගමුව පැත්තේ හොඳ ගොවියෙක්. දුක් මහන්සි වෙලා ගොවිතැන් කරලා හොඳ ආදායමක් ගත්ත සුමනසේන කාටවත් අතනොපා ජීවත් වෙච්ච පුද්ගලයෙක්.

කොහොම කොහොම හරි සුමනසේන වයලට් අක්කට සෙට් වුණා. අන්තිමේදී එයා වයලට් අක්කගෙ ගෙදර බින්න බැස්සා. ටික දවසක් යද්දී සුමනසේනත් උදේ ඉඳන් රෑවෙන කල් නොමිලේම හම්බවෙන වයලට් අක්කගෙ කසිප්පු බොන්න පුරුදු වුණා.

දැන් ගොවිතැන් කටයුතුත් නැහැ. වෙන ආදායම් මාර්ගත් නැහැ. වයලට් අක්ක තම්බලා දෙන දෙයක් කාලා සුමනසේන හතරගාතෙන් වැටෙන කල් කසිප්පු බිව්වා.

‘ඔය බීම ටිකක් නතර කරනවා. නැත්නම් තමුසෙත් අර මිනිහා වගේ අකාලේ මැරිලා යයි’ වයලට් අක්කා සුමනසේනට කොයි තරම් අවවාද කළත් ඒවා ගණනකට ගත්තේ නැහැ. අන්තිමේදී සිද්ධ වුණේ විමලසේන වගේම සුමනසේනත් සිරෝසීස් හැදිලා අපා දුක් විඳලා මැරිල ගිය එක.

කසිප්පු බීල බීලා තමන්ගේ සැමියන් දෙන්නම අකාලේ මැරිලා ගියාට වයලට් අක්කා එයාගේ ව්‍යාපාරය නතර කළේ නැහැ. එයා මුළු ගල්ගමුවටම කසිප්පු දුන්නා. කොයිතරම් පොලිසියෙන් අල්ලන් ගියත් අධිකරණ දහයක නඩු තිබුණත් එයා කසිප්පු ව්‍යාපාරයනම් නතර කළේ නැහැ.

ටික කාලයක් ගත වෙද්දී වයලට් අක්කට මහා තනිකමක් දැනුණා. නමට වුණත් මිනිහෙක් ඉන්න ඕනේනෙ කියලා එයාට හිතුණා.

ඔන්න ඔය අතරේ තමයි වයලට් අක්කගෙ හිත මායාසේනට ඇදිලා ගියේ. මායාසේනත් වයලට් අක්කගේ කස්ටමර් කෙනෙක්. ටික දවසක් යද්දී මායාසේනත් වයලට් අක්කගේ ගෙදර බින්න බැස්සා. හොඳට ගොවිතැන් කරගෙන හරි හම්බ කරගෙන හිටිය මායාසේන ටික කාලයක් ගත වෙද්දී ඒ සේරම අතහැරලා දැම්මා.

දැන් එයා කරන්නෙත් වයලට් අක්කා පෙරන කසිප්පු ගෙදරට වෙලා ඉඳගෙන නොමිලේම බොන එකයි. වයලට් අක්කට තමන්ගේ සැමියා ගැන තිබුණේ පුදුම තරහක්. ඒත් කරන්න දෙයක් නැහැ.

තමුසෙත් අර යක්කු දෙන්න ගිය දිහාටම යයි ඔය කසිප්පු බොන එක නතර කළේ නැත්නම්.

වයලට් අක්කා මායාසේනට පුළුවන් තරම් අවවාද කළා. ඒත් ඒ අවවාද ඟගට කැපුව ඉණි වගේ වුණා.

වැඩි කාලයක් ගියේ නැහැ. මායාසේනටත් සිරෝසීස් හැදුනා. අන්තිමේදී මිනිහවත් රෝහල්ගත කළා. මාස ගාණක් අපාදුක් වින්දා. මායාසේන කසිප්පු බීමේ ආනිසංස නිසා අකාලයේම ජීවිතෙන් සමුගත්තා.

තමන්ගේ සැමියන් තුන්දෙනෙක්ම කසිප්පු බීලා සිරෝසීස් හැදිලා අකාලයේ මියගියත් වයලට් අක්කා කසිප්පු පෙරණ එක නතර කළේ නැහැ. ඒ වගේම මිනිහෙක් සහේට ගන්න එක නතර කළෙත් නැහැ.

රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment