කහතුඩුව අධිවේගයේ කොස්තාපල් 15 හැවිරිදි දැරියක දූෂණය කරලා  – දැරියගේ මව සමග සැකකරුට අනියම් සම්බන්ධතාවක්

1855

* මවට කීවිට වෙන කාමරයකට ගිහින් නිදා ගන්න කියා දැරියට කියලා

* අතවර කරන ගමන් වීඩියෝ කර මුහුණු පොතට දානවා කියාත් තර්ජනය

* සැකකාර පොලිස් නිලධාරියා හොරණ අධිකරණයට


කහතුඩුව අධිවේගී පිවිසුමේ රාජකාරි කරන 53 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු 15 හැවිරිදි දැරියක දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. සැකකරු දෙදරු පියෙකි. අදාළ පාසල් දැරිය ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

සිය සැමියාගෙන් නීත්‍යානුකූලව වෙන්ව සිටින 44 හැවිරිදි දැරියගේ මව සමග සැකකාර කොස්තාපල්වරයා වසර නමයක සිට අනියම් සබඳතාවක් පවත්වා ගෙන යන අතර ඇය පදිංචි නිවසකදී මීට මාස හයකට පමණ ඉහත දී දැරිය දූෂණයට ලක්කර ඇතැයි සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

නිවසේ දැරියගේ මව, මෙන්ම අංශභාග රෝගයෙන් පෙළෙන මිත්තණිය පමණක් පදිංචිව සිටින අතර සැකකරු එකී මාස 6 තුළ දින කීපයක් දැරිය දූෂණයට ලක් කර තිබූ බව වෛද්‍ය පරීක්ෂණයෙන් ද අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියෙක් කීවේය.

සැකකාර කොස්තාපල්වරයා දැරිය සමග ලිංගිකව හැසිරෙන අයුරු ජංගම දුරකථනයෙන් ද වීඩියෝ කර ඇති බවට දැරිය සිදු කළ ප‍්‍රකාශයකින් අනාවරණය වූ බව එම නිලධාරියා කීය.

සැකකරුගේ මෙම ක‍්‍රියාවට දැරිය අකමැති වී ඇති අතර තම ජංගම දුරකථනයේ තියෙන අසැබි දර්ශන මුහුණු පොතට යොමු කරන බවට තර්ජනය කරමින් දැරියට සැකකරු මේ ආකාරයෙන් වරින් වර ලිංගික අතවර කර ඇතැයි පොලිසිය කියයි.

සැකකරුගේ මෙම පහත් ක‍්‍රියාව සම්බන්ධයෙන් දැරිය මවට පවසා තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකර තිබූ දැරියගේ මව ඇයට පවසා ඇත්තේ වෙනත් කාමරයට ගොස් නිදා ගන්නා ලෙස යැයි ද විමර්ශනවලදී හෙළි වූ බව පොලිසිය කියයි.

අනතුරුව දැරිය මේ පිළිබඳ විදේශගතව සිටින සමීප ඥාතිවරියකට දුරකථනයෙන් පවසා තමන්ට පිහිට වන ලෙස හඬා වැටී ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව එම ඥාතිවරිය විසින් පොලිස් මූලස්ථානයේ සහන මැදිරිය වෙත දුරකථනයෙන් කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ඒ බව

මොරගහහේන පොලිසියට කරන ලද දැනුම් දීමකින් අනතුරුව වහා ක‍්‍රියාත්මක වූ මොරගහහේන පොලිසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන දැරිය රෝහල් ගත කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

රෝහල්ගත කළ දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව දැරිය දූෂණයට ලක් වී ඇති බවට අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

සැකකාර කොස්තාපල්වරයා හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ වැඩ බලන සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න, සහකාර පොලිස් අධිකාරී උදයකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නලින් සංජීව මහතා පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment