කහ සිවුර සහ කළු සිවුර

1769

මේ රටේ ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ චර්යාව පාලනය කිරීමට ඒ ඒ නිකායවල නායක භික්ෂුන් වහන්සේලාත් සංඝාධිකරණ සමූහයත් ක‍්‍රියාත්මක නොවුනොත් සිදුවිය හැකි අවැඩ කිසිසේත්ම පුංචි නොවේ. එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාට වෙඩි තබා මරණ ලද්දේ චීවරධාරියකු විසිනි. එම ඝාතනය සඳහා එකී චීවරධාරියා පොළඹවන ලද්දේ මේ රටේ ඉහළම විහාරස්ථානයක නායක හාමුදුරුවන් ලෙස පෙනී සිටි තවත් චීවරධාරියකු විසිනි. මෙකී දෙවන චීවරධාරියා එකල සිටි ඇමැතිවරියක සමග පවුල් කෑවේය. ඔහු බණ්ඩාරනායක මහතා සමග ගැටුනේ නැව් කොම්පැනියක් නිසාය. නායක චීවරධාරියත් ඇමැතිවරියත් එක්ව නැව් සමාගමක් පවත්වාගෙන ගියහ. එවකට අගමැති වශයෙන් සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක එම නැව් සමාගමට පුළුවන් උදව් මිස බැරි උදව් කරන්නට නොගියේය. එබැවින් නායක චීවරධාරියා තල්දුවේ සෝමාරාම නමැති චීවරධාරියා ලවා අගමැතිට වෙඩි තැබුවේය. මෙයින් පසු මේ රටේ සම්බුද්ධ සාශනයට ඉතාම නරක කාලයක් උදාවිය. පන්සල් වලට දානය දීම වැඩිදෙනා විසින් අත්හිටුවන ලදී. ඇතැම් අන්තවාදීහු මහ මග යන භික්ෂුන් අල්ලා විවිධ හිරහැර කළහ. එදා පැවති නීච තත්ත්වය අද වන විට සිය ගුණයකින් වැඩිවී නූතන සංඝ සමාජය තුළට කිඳා බසින සෙයක් පෙනෙන්නට තිබේ. මේ සම්බන්ධයෙන් ඉතිරි කතාව කීමට පෙර වැදගත් යමක් සඳහන් කළ යුතුය. අප මේ කතු වැකිය ලියන්නේ මේ රටේ සංඝ සමාජය අපහාසයට හෝ අවතක්සේරුවට ලක් කිරීමට නොවේ. බුදු දහම යනු මේ රටේ ජීවන රිද්මය තීරණය කරන හදවතයි. ඒ හදවත නැසුනොත් සිංහල ජාතියේ සංස්කෘතිය සහ ආධ්‍යාත්මයද මියයනවා ඇත. අපේ සංඝ සමාජය මේ විදිහට දිගින් දිගටම පරිහානියට පත්වුනොත් 16 වන ශත වර්ෂයේ මැද භාගයේදී සිදුවූ ශාසනික විපත ඒ ආකාරයෙන්ම පුනරුච්ඡුාරණය වීමට සිදුවන්නේය. මේ කියන කාලයේදී ලංකාවේ සංඝ සමාජය මහත් සේ පරිහානියට පත්වී සාමනේරවරුන් හැර උපසම්පදාවක් ලැබූ භික්ෂුවක් සොයාගන්නට බැරිවිය. මේ කියන කාලයේදී භික්ෂුන් වහන්සේලා ලෙස පෙනී සිටි අය කහ රෙද්දක් ඇඳගෙන කහ නූලක් අතේ බැඳගෙන කසාදයක් ද බැඳගෙන දූ දරුවන් පෝෂණය කරන අතර ගොඩ මඩ ඉඩම් වගා කරමින් පාංශුකූල සඳහා පමණක් පෙනී සිටින පිරිස් බවට පත්වූහ. මේ අය හඳුන්වන ලද්දේ ගනින්වහන්සේලා යනුවෙනි. එහෙත් වැලිවිට සරණංකර නායක හාමුදුරුවන්ගේ මැදිහත්වීම නිසා තායිලන්තයෙන් මෙහි වැඩම කළ උපාලි නමැති භික්ෂුන් වහන්සේ නමක් නැවත වතාවක් උපසම්පදාව පිහිටු වූහ. සියම් නිකාය පටන් ගන්නේ මෙතැනිනි.

 නුගේගොඩ ගුවන් පාලම අසල විහාරස්ථානයක විහාරාධිපති චීවරධාරියෙක් පන්සලේ සාංඝික දේපල පාවිච්චි කරමින් පවුල් ජීවිතයක් පවත්වාගෙන යන අන්දම ‘ඉරිදා දිවයින’ පුවත්පත මගින් හෙළිකර තිබුණි. මෙකී විහාරාධිපතීන් වහන්සේ දවල්ට චීවරයක් දරාගෙන අනිත්‍ය ගැන මෙනෙහි කරන බවත් ?ට කලිසම් කමිස ඇඳගෙන ගිහි ජීවිතයක් ගතකරන බවත් දැනගත් ප‍්‍රදේශවාසීහු උන්වහන්සේ පලවා හැර වෙනත් සිල්වත් භික්ෂුවක් විහාරාධිපතිධුරයට පත්කර ගත්හ. පෙරකී දුසිල්වත් චීවරධාරියා පන්සලේ තිබූ කේ. ඞී. එච්. වර්ගයේ වාහනය සහ තවත් සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් විකුණා එම මුදල් ස්වකීය පවුල් ජීවිතයට පොම්ප කර ඇති බව දැනගන්නට තිබේ. මේ භික්ෂුවට කුඩා පුතෙක් ද සිටී. මේ දරුවා මේ කිසිදු දුසිල්වත් ක‍්‍රියාවකට සම්බන්ධ නැති අසරණ සහ අහිංසක ඒකකයක් බව මේ රටේ ජනයා තේරුම්ගත යුතුය. පවතින පාරිභෝගික සමාජය තුළදී මේ දරුවාගේ මවටද කරන්නට අන් යමක් ඉතිරිව නොතිබූ බව පෙනේ. කාර්, සල්ලි සහ වෙනත් බලපුළුවන්කාරකම් පෙන්වා හෙතෙම පෙර කී කාන්තාව තම ග‍්‍රහණයට හසුකරගෙන ඇත. බුදු සසුන ආරක්ෂා කිරීමට බැඳී සිටින භික්ෂුන් වහන්සේලා වැඩ සිටින්නේ ගිහියන්ට වඩා අතිශයින්ම උසස් ආධ්‍යාත්මික තලයකය. මෙය ස්ථාපිතයකි. හෙවත් Paradigm එකකි. බඬේ දර මිටියක් බැඳගෙන ගැබ්බර කාන්තාවක ලෙස වෙස් ගන්වා තමාට අපහාස කිරීම පිණිස ජේතවනාරාමයට එවන ලද කාන්තාවට බුදු රජාණන් වහන්සේ වචනයක දොසක් කීවේ නැත. උන්වහන්සේ ඇය ආමන්ත‍්‍රණය කළේ සොයුරිය යනුවෙනි. මේ කාන්තාව තමාට අපහාස කිරීමට එන්නේ ඇයට වඩා බලවත් පිරිසකගේ බලපෑම් මත බව උන්වහන්සේ දැන සිටියහ. ඒ නිසා නුගේගොඩ පන්සලේ සිද්ධියට අදාළ කාන්තාවට පළමු ගල ගැසීමෙන් වළකින ලෙස අප මේ රටේ දහම් ලැදි ජනතාවගෙන් ඉල්ලමු. පළමු ගල ගැසිය යුත්තේ දුසිල්වත් චීවරධාරියාටය. හරිනම් ඔහුගේ හිස මතට ගල් ලෝඞ් එකක්ම බෑම කළ යුතුය. ඒත් මේ දිනවල කළුගල් ඉතා ගණන්ය. ඒ නිසා මහ පොළොවෙන් නොමිලේ ලබාගත හැකි ගලක් ගහනවා මිස ඉන් එහා යමක් කිරීමට කවුරුවත් උනන්දු වන්නේ නැත.

 මේ රටේ භික්ෂුන් වහන්සේලා අනවශ්‍ය දේවල්වලට කට නොදැමිය යුතු බව අපගේ වැටහීමයි. එසේ කට දැමීම කළහොත් ඔවුහු නිකම් චීවරධාරීහු බවට පත්වෙති. මේ දිනවල උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ අරුන්දික ප‍්‍රනාන්දුට දස අතේ පහර දෙයි. කොටුවේ හාමුදුරුවෝ නමැති භික්ෂුවක් අරුන්දික ප‍්‍රනාන්දු සුද්ද කරයි. මේ දෙකම අනවශ්‍ය වැඩ බව පෙනේ. අරුන්දික ප‍්‍රනාන්දු කිතු බැතිමතෙකි. බෞද්ධ භික්ෂුවක් ඔහුට පහරදීමෙන් අනවශ්‍ය ආගමික භේදයක් හටගනී. ඊළඟට කොටුවේ හාමුදුරුවන් අරුන්දිකගේ පස්ස හේදීමට යෑමෙන් අනවශ්‍ය සංඝ භේදයක් හටගනී. මේ සියල්ලේ අවසානය වන්නේ කහ සිවුරේ කුණු ගෑවී එය කළු පාට වීමය.

advertistmentadvertistment
advertistmentadvertistment