කහ ළෙන්ගතුකම

427

ක්‍රීඩාවේ ප්‍රධාන කියමනක් වේ. එනම් ජයග්‍රහණයට වඩා සහභාගිත්වය වටිනවා යන්නයි. ලොව ප්‍රධානම ක්‍රීඩා උළෙලක් වන ඔලිම්පික් සම්බන්ධයෙන් ද එය අදාළය. සමස්ත ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලදී තවමත් පදක්කම් දෙකක් පමණක් දිනා ගෙන ඇති ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ඔලිම්පික් පිටියේ සැනසීමට ඇත්තේ මේ සහභාගිත්වය වටිනවා යන්නයි. එහෙත් ජයගහණයට වඩා සහභාගිත්වය උතුම් වූ සංචාරයකට පැමිණි කණ්ඩායමක් මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටී. ඒ පන්දුවාර විස්සයි විස්ස වත්මන් ලෝක ශූර, එක්දින ලෝක ක්‍රිකට් ශූරතාව සිව්වරක් ජයග්‍රහණය කළ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

ඔවුන්ගේ ශ්‍රී ලංකා තරග සංචාරය මේ වන විට හරි අඩක් නිමා වී ගොසිනි. සීමිත පන්දුවාර සටනින් අනතුරුව මේ එළඹ තිබෙන්නේ ටෙස්ට් තරගාවලියේ සටනයි. සීමිත පන්දුවාර සටනෙන් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ඔස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාව එක්දින තරගාවලියත් ජයග්‍රහණය කළේය. එසේ බලන කල සීමිත පන්දුවාර සටන සමය. එහෙත් වැඩි ගෞරව ශ්‍රී ලංකාවට ය. ශ්‍රී ලංකාව වසර තිහකට පසුව මෙරට තුළදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව එය විය. එමෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග 5කින් යුත් එක් දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාවද එය විය. ඒ පිළිබඳ සම්පූර්ණ ගෞරවය දසුන් ශානක පුමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිය.

එහෙත් මෙම තරගාවලියේ වැඩි ගෞරව පිදිය යුත්තේ එම සංචාරක කණ්ඩායමටය. ඉතිහාසයේ දරුණුතම ආර්ථික පීඩාවන් මධ්‍යයේ තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල අනවරත දුක් පීඩා විඳින ශ්‍රී ලංකාවට තරග සංචාරයක් සඳහා දෙවරක් නොසිතා පැමිණි ඔවුන්ට පළමු ආචාරය පිරිනැමිය යුතුය. ඔවුන් මෙරටට පැමිණෙන විට විදුලි කප්පාදුව ද මීට වඩා දරුණුවට සිදු වුණි. එවන් රටක තරග සංචාරයකට ඔස්ට්‍රේලියාව වැනි කණ්ඩායමක් පැමිණෙනවාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද එතරම් ප්‍රසාදයක් පළ කර නොතිබිණි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයත් අතර ඇති මිතුදමේ පාලමෙන් ඔස්ට්‍රේලියාව මෙරටට පැමිණියේය. එසේම තම කණ්ඩායමට යෙදවිය හැකි උපරිම දක්ෂතා සහිත ක්‍රීඩකයන්ගෙන් ඔවුහු සන්නද්ධ වූහ.

මෙරටට පැමිණ දින කිහිපයක් ගතවන විට ඔවුහු අපේ දුෂ්කරතා තවත් හොඳින් අත් දුටුහ. ඒවා දුටු ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන්ගේ අනුකම්පාව අපේ රටේ ජනයා වෙත යොමු වුණි. ඔවුහු අපේ රට වෙනුවෙන් ආධාර දෙන ලෙස සමස්ත ලෝකවාසීන්ගෙන්ම ඉල්ලා සිටියහ. ඒ අතරින් පෙරමුණ ගත්තේ ලොව අංක එකේ පිතිකරුවෙකු වන හිටපු නායක ස්ටීව් ස්මිත් සහ ලොව අංක එකේ පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාර්ක්ය. ශ්‍රී ලංකාව මේ මොහොතේ අති දුෂ්කර සංධිස්ථානයකට පැමිණ සිටින බවත් ඒ තත්ත්වයෙන් මේ රට සහ ජනතාව මුදා ගැනීම සඳහා ඔබගේ ආධාරය අවශ්‍ය බවත් ඔවුහු ලෝකය ඉදිරියේ හඬනගා කියා සිටියහ.

ඒ අනුව ජුනි මස සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආධාර මුදලක් ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් එකතු කර දීමට ස්මිත් සහ ස්ටාර්ක් දෙදෙනා සපථ වූහ.ඔස්ට්‍රේලියාව මෙසේ ශ්‍රී ලංකාවට සහෝදරත්වයේ හස්තය දිගු කිරීම ශ්‍රී ලංකාවට සැබෑම ආශිර්වාදයකි. ඩොලර් ඌනතාවයෙන් මන්දපෝෂණයට ලක් වීමේ අවදානමක හසුවූ ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාව පැමිණීමම විටමින් එකක් බඳු විය. ඒ විටමින් එක ඇතුළේ ඩොලර් තිබිණි. ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු රටක් බව ලෝකයට ආමන්ත්‍රණය කරන සංඥාව එය තුළ විය. එම සංඥාව ඩොලර් ලක්ෂ ගණන් වියදම් කර ද ලබාගත නොහැක. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් සහ තැඹිලි, රට කජු විකුණා ජීවිත ගමන ගැට ගහගන්න සුළු වෙළෙන්දා දක්වාම මුදල් අතට එන කාලයක් උදා විණි.

ඒ අප ලද ආර්ථික වාසිය. මුදල් තිබුණාත් මානසික තෘප්තියක් නැති නම් වැඩක් නැත. ඔස්ට්‍රේලියාව ඒ මානසික තෘප්තිය ද ගෙනාවේය. පල්ලෙකැලේ සහ ප්‍රේමදාස ක්‍රීඩාංගණවල උතුරා දෝරේ ගලා ගියේ ඒ අහිංසක සතුටයි. ඔස්ට්‍රේලියාව ගෙන ආ එම විටමින් එකට අමතරව ස්මිත් සහ ස්ටාර්ක් දෙදෙනා ඩොලර් අයදිමින් ලෝකයට දුන් පණිවිඩය ඩොලර් ඌනතාවයෙන් මන්දපෝෂණය කරා යන ශ්‍රී ලංකාවට ශක්තිජනක ආහාරයක් ලබා දීමට වූ පොරොන්දුවක් බඳු ය.

මේ ඔස්ට්‍රේලියාව වෙතින් අප අතීතයේ දුටු ලක්ෂණ නොවේ. එකල ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට පෙනුණේ නරකම ප්‍රතිවාදියෙක් ලෙසය. සනත් ජයසූරියට කළු වඳුරා යැයි අපහාස කළේ ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ග්‍රාත් ය. අර්ජුන රණතුංගගේ ලොකු බඩ උපහාසයට ගත් ෂේන් වෝන් ඔහුට උසුළු විසුළු කළේය. 96 ලෝක කුසලානයේ දී වෝන්ගේ කන ළඟින් හතරේ පහරක් ගසා ඊළඟ පන්දුවට යෝධ හයේ පහරක් එල්ල කර ඒ විහිළුවලට උත්තර දුන් අර්ජුන ඔවුන් පරාද කර ලෝක කුසලානය ද දිනුවේය. එමෙන්ම ඔස්ට්‍රේලියාව එකල ශ්‍රී ලංකාවේ ආරක්ෂව පිළිබඳව සෑහීමකට පත් වීමට නොහැකි බව පවසමින් ලෝක කුසලානයේ මූලික අදියර තරග වලටද ශ්‍රී ලංකාවට පැමිණියේ නැත.

එහෙත් පීඩාවට පත් ජනතාව හැමතැනම උද්ඝෝෂණ කරමින්, පාරවල් වසමින්, අරගල කරමින් ඒ ඒ පාර්ශ්ව අතර ඇතිවූ අරගලවලදී ජීවිත හානි සිදුකරමින් මේ මොහොතේදී ශ්‍රී ලාංකිකයන් හැසිරෙද්දී ඔස්ට්‍රේලියාව මෙවර ශ්‍රී ලංකාවට පැමිණියේය.

එහෙත් මීට පෙරද ඔස්ට්‍රේලියාව අපට රහසේ සහ ප්‍රසිද්ධියේ උදව් කළ අවස්ථා කීපයක් වේ. ඉන් එකක් නම් 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වූ ඩේව් වට්මෝර්ට එකල පඩි ගෙවීම සිදු කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවෙන් බවය. එය රහසේ වූ වැඩකි. 2004 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් තවත් ව්‍යසනයක් වේ. ඒ සුනාමියයි. එහිදී අපට අත හිත දෙන්නට ද ඉදිරිපත් වූ ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෙක් වෙයි. ඒ අපට ඊට පෙර වහකදුරු ලෙස පෙනුණු ෂේන් වෝන් ය. සුනාමියෙන් බරපතළ ලෙස හානි වූ ගාල්ල වැනි ප්‍රදේශවලට ගොස් ඒවා සියැසින්ම දැක උණු වූ හදවතින් වෝන් ශ්‍රී ලංකාවට ආධාර කළේය. ඔහුගේ කඩුලු දඩයමේ ප්‍රධාන තරගකරු වූ මුරලිදරන් සමග එක්ව ආධාර සෙවීමේ තරග සඳහාද වෝන් සහභාගි වූයේය. ඒ වෝන් දැන් මියගොසිනි. එහෙත් ඔහු මිය ගියද ඔස්ට්‍රේලියානුවන් සතු යහපත් ගුණාංග මියගොසින් නැත. ස්මිත්, ස්ටාර්ක්, ෆින්ච් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානුවන් මේ නැති බැරි වෙලාවේ නන්නත්තාර වී ඇති අප රටට පැමිණ කරන මේ මිල කළ නොහැකි උපකාරය තරම් තවත් යම් දෙයක් වේද? ඔවුන්ට අපට දීමට හැක්කේ අපේ හොඳ හිත පමණි. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කහ කොඩි ළෙල දුන්නේත්, බොහෝ දෙනා කහ වතින් සැරසුණේත් ඒ හොඳ හිත පෙන්වීමටය. අපි ඔවුන්ට තුති පුදමු

කුෂාන් සුබසිංහ
ඡායාරූප
මුහුණු පොතෙන්

advertistmentadvertistment
advertistmentadvertistment