කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට උණ

250

නේවාසිකාගාර 14 න් දෙකක් නිරෝධායනයට
රෝගී ළමුන් 25ක් ඊයේ නිවෙස්වලට යැව්වා – පීඨාධිපති
විද්‍යාපීඨය සතු එකම වෑන්රියත් කැඩිලා

කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට ආසන්න පිරිසකට උණ රෝගය වැළඳී ඇති බව එම විද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග ලක්ෂණවලින් පෙළෙන බව සඳහන් වේ.

උණ රෝගය වැළඳුණ හතළිහකට ආසන්න පිරිසක් නිවෙස්වලට පිටත්කර හැර ඇති බවත්, අනෙක් පිරිස නේවාසිකාගාරවල රැඳී සිටින බවත් සඳහන් වේ.

රෝගීන්ට ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය පහසුකම් සහ ආහාර පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති බවද විද්‍යාපීඨ ආරංචි මාර්ග සඳහන් කරයි. පෙරේදා (23 දා) උදේ ආහාරයට පරිප්පු සමග බත්, දිවා ආහාරයට පරිප්පු, බෝංචි සමග බත්, රාත්‍රී ආහාරයට කිරිකොස්, හාල්මැස්සන් කරවල සමග බත් ද ලබාදී ඇති බවත් පෝෂදායී ආහාර නොමැති බැවින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් යථා තත්ත්වයට පත්වීම ප්‍රමාද වන බවද ආරංචි මාර්ග සඳහන් කරයි. ලබාදී ඇති ප්‍රතිපාදන අනුව එදින රාත්‍රි ආහාරයට වෙන්කර තිබුණේ බත් සමග හාල්මැස්සන් කරවල පමණක් බවත්, ගුරු ශිෂ්‍යයන් පිරිසක් විද්‍යාපීඨයේ කොස්ගස්වලට නැග කොස් ගෙඩි 15 ක් පමණ කඩා කිරිකොස් ව්‍යාංජනයක් පිළියෙල කරගත් බවත් සඳහන් වේ. රෝගීන් වෙනුවෙන් එක් වෛද්‍ය ප්‍රතිකාර කාමරයක් ස්ථාපිත කර ඇති අතර එහි වෛද්‍ය සහායිකාවන් දෙදෙනාගේ සේවය ප්‍රමාණවත් නොවන බව පැවසේ. රෝගීන් රෝහල් කරා රැගෙන යෑමට විද්‍යාපීඨයෙන් ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන බවත්, ආර්ථික අපහසුතා ඇති අයවලුන් මුදල් නොමැතිව දැඩි අපහසුතාවකට ලක්ව ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසති. හැකියාවක් ඇති අයවළුන් කළුතර නාගස්හන්දියේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාගන්නා බවත්, සෙසු පිරිස දැඩි අසීරුතාවකට ලක්ව ඇති බවද සඳහන් වේ. විද්‍යාපීඨය තුළ නේවාසිකාගාර දාහතරක් ඇති බවත්, ඉන් දෙකක් මුළුමනින්ම නිරෝධායනය කර ඇති බවත්, අනෙක් නේවාසිකාගාරවල රෝගී ශිෂ්‍ය ශිෂ්‍යවන් අතර නිරෝගී

අයද සිටින බැවින් රෝගය බෝවීමේ අවධානමක් පවතින බවද සඳහන් වේ. මේ පිළිබඳ අදහස් දැක්වූ පීඨාධිපති ඒ. ජේ. එස්. බස්නාගොඩ මහතා පැවසුවේ, “ළමුන් 25 ක් පමණ ඊයේ නිවෙස්වලට පිටත්කර යැව්වා. අද දිනයේ තවත් 30 ක් පමණ රෝහලට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විද්‍යාපීඨය සතු එකම වෑන් රථය කාර්මික දෝෂයකට ලක්වෙලා. ළමුන්ට ප්‍රවාහන පහසුකම් දෙන්න විදිහක් නෑ. එක් අයෙක් වෙනුවෙන් ආහාරයට රජය වෙන් කරන්නේ දිනකට රුපියල් 53 යි. ඒ මුදලට අනුව තමයි ආහාර ලබාදෙන්න වෙලා තියෙන්නේ. මේ පිළිබඳ සෞඛ්‍ය අංශ සහ අමාත්‍යාංශය දැනුවත් කළා” යනුවෙන් පැවසීය.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment