කළුතර ටියුෂන් ගුරා යළි රිමාන්ඩ්

221

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගිවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජුනි 23 දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙණිය මහත්මිය ඊයේ (09දා) නියෝග කළාය.

කළුතර උතුර, සුබසාධක මාවතේ පදිංචි විදානආරච්චි සංක තිවංක ජයවික්‍රම යන 30 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී.

කළුතර උතුර ප්‍රදේශයේ උපකාරක පංතියක් පවත්වන, සැකකරු දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඊයේ දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබුණි.

සැකකරුගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කළ යුතු බව පොලිස් පරීක්ෂක දිස්නා ප්‍රියන්ති මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියාය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි තරිඳු කවිරත්න සහ තාරකා කවිරත්න යන නීතිඥවරුන් සඳහන් කළේ සැකකරු ජංගම දුරකථනය අස්ථානගත වූ බව සඳහන් කරමින් විමර්ශනවලට සහායදීම පැහැරහරින බැවින් ඇප ලබාදීමට විරුද්ධ වන බවයි.

සැකකරු මාසයකට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටින බවත්, නඩු භාණ්ඩ සොයාගැනීම ඊට පෙර කළ යුතු බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව ගුණරත්න සහ මනෝජ් ආබෲ යන මහත්වරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ තරිඳු කවිරත්න සහ තාරකා කවිරත්න ද, විත්තිය වෙනුවෙන් නීතිඥ සංජීව ගුණරත්න සහ මනෝජ් ආබෲ ද පෙනී සිටියහ. පොලිසිය වෙනුවෙන් පොලිස් පරීක්ෂක දිස්නා ප්‍රියන්ති සහ උප පොලිස් පරීක්ෂක පී. ධම්මිකා අධිකරණයට කරුණු වාර්තා කළහ.

නඩුව ලබන ජුනි 23 දා යළි කැඳවීමට නියමිතයි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment