කළුතර දැරියගේ මරණය ගැන විමර්ශන ළමා හා කාන්තා කාර්යාංශයෙනුත් : සීඅයිඩියෙනුත් විමර්ශනයක්

388

කළුතර නගරයේ පිහිටි අවන්හලක පස්වැනි තට්ටුවෙන් පැන මියගියේ යැයි කියනු 16 හැවිරිදි පාසල් දැරියගේ අභිරහස් මරණය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අද (12දා) සිට ළමා හා කාන්තා කාර්යාංශය මගින්ද ආරම්භ කරන බව එම කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. ඩී. මනතුංග මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම මරණය පිළිබඳව කළුතර දකුණු පොලිසිය සිදුකරනු ලබන විමර්ශනවලට අමතරව ළමා හා කාන්තා කාර්යංශය ද මෙසේ විමර්ශන ආරම්භ කරන බව ද ඒ මහතා කීවේය.

රට පුරා සිටින දැරියන්ගේ තරාතිරම සොයා බලා ඔවුන් නිරුවත් කර වීඩියෝ ගත කර ඔවුන්ගේ පවුල්වල අය බියගන්වා කප්පම් ගන්නා කල්ලි පිළිබඳව මීට කලින් පවා වාර්තාවී තිබූ අතර කළුතරදී හෝටල් ගොඩනැඟිල්ලෙන් පැන දිවි හානි කරගත් දැරිය පවා මෙම කල්ලිය අතට පත්වූයේ දැයි කියා සැක පහළ කරන බව ද මනතුංග මහතා පැවසීය.

දැරියන් මෙම තත්ත්වයට පත්කරන සැකකරුවන් අතර ටියුෂන් ගුරුවරුන් පවා සිටින බව මීට කලින් පවා වාර්තා වී තිබූ බවත් දෙමාපියන් දරුවන්ගේ හැසිරීම් ක්‍රියාකලාප පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් හෙතෙම පැවසීය.

මේ අතර මෙම 16 හැවිරිදි පාසල් දැරියගේ අභිරහස් මරණය පිළිබඳව විමර්ශන සිදුකිරීමට පොලිස්පතිවරයා රහස් පොලිසියට ද ඊයේ භාර දුන්නේය.

මෙම විමර්ශන අනුව මෙම සිද්ධිය පිළිබඳව මෙතෙක් හෙළි නොවූ ඉතා වැදගත්ම තොරතුරු රැසක් අනාවරණය විය හැකි බව පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment