කළුබෝවිල මිලේනියම් වාට්ටු සංකීර්ණය කොරෝනා නොවන රෝගීන්ට වෙන්වෙයි

106

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නව මිලේනියම් ගොඩනැඟිල්ලේ වාට්ටු සංකීර්ණ කිහිපයක් පෙරේදා (26 දා* පෙරවරුවේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කිසිදු විවෘත කිරීමකින් හෝ උත්සවයකින් තොරව රෝගී ප‍්‍රතිකාර සේවාවන් සඳහා විවෘත කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 මෙම ගොඩනැඟිල්ලේ ප‍්‍රතිකාර සේවාවන් ආරම්භ කිරීමත් සමඟ කොරෝනා ආසාදිතයන් නොවන රෝගීන් මෙම වාට්ටු සංකීර්ණය සඳහා යොමු කරන බැවින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් සඳහා වන ඉඩ පහසුකම් ඉහළ නැංවීමට හැකිවනු ඇති බවද අමාත්‍යංශය කියයි. මේ වනවිට රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ඇඳන් 200 ක් පමණ වෙන්කර ඇති අතර මේ අනුව ඉදිරියේදී එහි ධාරිතාව 350 ක් ඉක්මවන ප‍්‍රමාණයකට ගෙන යා හැකි බව අමාත්‍යංශය විශ්වාස කරයි.

 ඉතා දීර්ඝ කාලයක සිට ඉදිකෙරෙමින් පවතින මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පසුගියදා උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව රෝගී ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමට මසක පමණ කාලයක් තුළ එහි වැඩ කටයුතු කඩිනම් කෙරිණි. ඒ සඳහා කිසිදු නිල උත්සවයක් හෝ විවෘත කිරීමකින් තොරව රෝගී ප‍්‍රතිකාර සඳහා වෙන්කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලබා දී තිබූ උපදෙස් අනුව මෙම ගොඩනැඟිල්ල මෙසේ විවෘත කර ඇත.

 තට්ටු අටකින් සමන්විත මෙම ගොඩනැඟිල්ලේ හදිසි අනතුරු හා හදිසි ප‍්‍රතිකාර ඒකකයක්, වාට්ටු සංකීර්ණ කිහිපයක්, ශල්‍යාගාර හයක්, හෘද ප‍්‍රතිකාර ඒකකයක් හා රසායනාගාර කිහිපයකින්ද සමන්විතය. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සේවා වනිතා ඒකකය විසින් වැඩ නිම කිරීමේ අවසන් අදියර සඳහා රෝහල් ඇඳන්, මෙට්ට සහ ඇඳ ඇතිරිලි ආදිය පරිත්‍යාග කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment