කළුවාමෝදර සහ අලුත්ගම ජීවිතාරක්‍ෂක තරුණයෝ මුහුදේ ගසාගෙන ගිය සාමණේර හිමිගේ දිවි රැක දෙති

422

මොරගල්ල මුහුදේ දියනාමින් සිටියදී රළපහරට හසුව ගසාගෙන යමින් සිටි සාමණේර නමක බේරාගැනීමට කළුවාමෝදර සහ අලුත්ගම ජීවිත ආරක්ෂක තරුණයින් තිදෙනකු ඊයේ (11දා) දහවල් සමත්ව ඇත.

මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක අවුරුදු 12 ක් පමණ වයසැති සාමණේර හිමි නමක් තවත් සාමණේර හිමිවරුන් කිහිප නමක් සමග මොරගල්ල මෝය ආසන්න මුහුදු වෙරළේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

අලුත්ගම දියකාවා සහ කළුවාමෝදර අරලිය ජල ක්‍රීඩා සංගමයට සිද්ධිය සැලවීමත් සමග ජෙට් ස්කි යාත්‍රා දෙකක් උපයෝගී කරගෙන මොරගල්ල මෝය දක්වා ගමන් කර රළ පහරට හසුව සිටි හිමිනම බේරාගෙන ගොඩබිමට රැගෙන විත් තිබේ. අලුත්ගම දියාකාවා සහ කළුවාමෝදර අරලිය ජල ක්‍රීඩා සංගමයේ නිරෝෂන් ප්‍රනාන්දු, චින්තක සිල්වා සහ තුසිත උදයනාත් යන තරුණයින් විසින් මෙම සාමණේර හිමියන්ගේ ජීවිතය බේරාගෙන තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ අලුත්ගම දියකාවා ජල ක්‍රීඩා සංගමයේ නිරෝෂන් ප්‍රනාන්දු මහතා. “සිද්ධිය දැනගත් වහාම අපි ජෙට් ස්කි යාත්‍රා දෙකකින් මුහුද මැද පිහිටි ස්ථානයට ළඟාවුණා. සාමණේර හිමි රළ පහරට හසුව ගල් පරයේ වැදි වැදී හිටියේ. අපි තුන් දෙනා උන්වහන්සේ ජෙට් ස්කි යාත්‍රාවට නංවාගෙන ගොඩට ගෙනාවා. උන්වහන්සේට වතුර පෙවිලා කතා කරගන්න බැරිව හොඳටම බයවෙලා හිටියේ” යනුවෙන් පැවසීය.
බණ්ඩාරගම – ආර්.ඒ.එස්. ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment