කළුවැල්ගොඩ  මහදවල් මිනී මරයි

207

පස් පොඩ්ඩා ඝාතනයට එකට එක කිරීමක්:

ගනේමුල්ලේ සංජීවගේ වැඩක්


ගම්පහ කළුවැල්ගොඩ ප්‍රදේශයට ඊයේ (24වැනිදා) මහදවල් කඩාවැදුණු ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාගේ කුලී මිනීමරුවන් 34 හැවිරිදි දෙදරු පියකුට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇත.

ගණේමුල්ලේ සංජීවගේ සමීපතම හිතවතකු වූ පස්පොඩ්ඩා ඝාතනයට එකට එක කිරීමක් ලෙස මොහු මරාදමා ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

ඝාතනයට ලක්වූ 34 හැවිරිදි අනුරුද්ධ පුෂ්පකුමාර නැමැත්තා කිසිදු අපරාධයකට සම්බන්ධ නැති අහිංසකයකු බව පොලිසිය පවසයි.

අනුරුද්ධගේ මස්සිනා කෙනෙකු වන දේවා නැමැත්තා ඩුබායිහි සැඟවී සිටින පද්මේ නැමැති පාතාල ප්‍රබලයාගේ සමීපතමයකු බව පැවසෙයි.

පස්පොඩ්ඩා ඝාතනය කර තිබුණේ පද්මේ ලබාදුන් කොන්ත්‍රාත්තුවකට බව විමර්ශන වලින් හෙළිවී ඇත. පද්මේගේ කල්ලියට සම්බන්ධ සහ ඔහුගේ ඥාති හිතවතුන් ඝාතනය කර තම සමීපතමයා මරා දැමූ පලිය ගැනීමට ගණේමුල්ලේ සංජීව මෙම ඝාතනයද සිදුකරන්නට ඇති බවට පොලිසිය පවසයි.

ඊයේ දහවල් 12.30ට පමණ අනුරුද්ධ පුෂ්පකුමාර ගම්පහ කළුවැල්ගොඩ පිහිටි හාඩ්වෙයාර් එක වෙත සිය ලොරි රථයෙන් පැමිණ ඇත.

ඒ වනවිට යතුරුපැදියක පැමිණි කුලී ඝාතකයන් දෙදෙනා හාඩ්වෙයාර් එක ඉදිරිපිට සිට ඇත.

ලොරි රථයෙන් අනුරුද්ධ බහිනවාත් සමඟම කුලී ඝාතකයන් පිස්තෝලයකින් ඔහුට පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම ප්‍රහාර එල්ල වන අවස්ථාවේ පොලිස් කණ්ඩායමක් ඊට නුදුරින් සිට ඇතත් ඝාතකයන් නිරුපද්‍රිතව පලාගොස් ඇත.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අනුරුද්ධ රෝහල්ගතකිරීමෙන් පසු මියගොස් තිබේ.

මීට දින කීපයකට උඩදීද ගම්පහ උඩුගම්පොල ප්‍රදේශයේ සැලුන් එකකට කඩාවැදී සංජීවගේ කුලී ඝාතකයන් විසින් තරුණයකු වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබිණි.

එම ඝාතනයද අත්වැරදීමකින් සිදුවූවක් බව පසුව හෙළිවිය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු, මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment