මේ ගමන්වලට වගේම පහුරට කාන්තාවෝ සම්බන්ධ කර ගන්නේ නැහැ

අතීත ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධති නොදියුණු හා යාන වාහන නොමැති අවධියේ ප්‍රධාන ගමන් මාර්ග ලෙස ගංගා ඇළ දොළ භාවිතා කර ඇති බවට කොතෙකුත් සාක්ෂි ඇත්තේය. ප්‍රධාන වශයෙන් කළු ගඟ කේන්ද්‍ර කරගනිමින් බඩු භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම ග්‍රාමීය නිෂ්පාදනයන් ප්‍රවාහනය මෙන්ම දැව ප්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය කාර්යයන් ඔරු පාරු පහුරු මගින් සිදු කෙරී ඇති ආකාරය දෑසින් දුටු හා ඒවායෙහි වැඩ කළ පැරැන්නෝ අදටත් අප අතර නැතුවාම නොවේය. මෙවා ගැන දෑහින් දුටු දැන උගත් බොහෝ වැඩිහිටි ඇත්තෝ දිවිසැරිය නිමාකර බොහෝ කල්ය.

කළුගංකොමලියත් කළුගං දෑලේ මිනිසුනුත් අතරත් අතීතයේ සිට ඇත්තේ සංසාරගත බැඳීමකි. ඒ අතීතයේ සුන්දර මතකයන් බැඳීම් මේ වන විට කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් හමාරය. ඒත් දිවයින අප කළුගංදෑලේ රස කතා සොයා කළුගම්මිටියාවත පුරා කරක් ගැසුවේ හුදෙක්ම කාලයේ වැලිතලාවෙන් වැසී ගිය සුන්දර අතීත මතකයන් පාටක ඔබ වෙත ගෙන ඒමේ අරමුණිනි.

දින කිහිපයක් පුරා කළුගම්මිටියාවතේ සැරිසැරූ අපිට පහුරු ගමන් පාරු ගමන් පිළිබඳ නොයෙක් කතා අසන්නට ලැබුණත් කළු ගඟේ පහුරක් පැද ගිය දෑස් අඳ පහුරුකාරයෙක් පිළිබඳ තොරතුරක් ලැබෙන්නේ අහම්බෙනි.

මම අහලා තියෙනවා මහත්තයෝ අපේ තාත්තා කියනවා දවසක් එයාට කළු ගඟේ දෑස් නොපෙනෙන පහුරුකාරයෙක් හම්බ වුණා කියලා. එයාට හරියට කළුගඟ ගෙදර වගේ හරි හරියට දෑස් පේන අයත් එක්ක පහුරු පදිනවාලු. මෝල්කාව පැත්තේ කෙනෙක්ලු.

දිනක් හදිසියේම කළුගම්මිටියාවතේ තෙබුවන ප්‍රදේශයේදී හමුවූ අයෙකුගෙන් ලැබුණු ඔත්තුව අපට මහත් කුතුහලය දනවන්නක් විය. එහෙත් දැන ගන්නට ලැබුණේ එපමණක් පමණකි. නමවත් නොකී ඔහු යන්න ගොස් හමාරය. බුලත් කහට පිරුණු දත් ඇන්ද දැහැටිකූරකින් මදිමින් සිටි ඔහු අත හීන් කෙවිටක් වැනි යමක් තිබුණි. කම්බිලේන්සුවක් වැනි රෙදිකඩක් උරහිසේ දමාගෙන සිටි ඔහුගේ අවුල් ව ගිය කොණ්ඩයත් තැන තැන සුදු වී ගිය අපිළිවෙලට මූණ පුරාවුණු රැවුලත් අපට හොඳ හැටි මතකයි. තවත් වරක් ඔහු සොයා ගැනීමට උත්සාහ කළත් එය නිෂ්ඵල කාරියක් වූ බැවින් අප ඔහුගේ ඔත්තුවෙන් සෑහීමකට පත්ව ඔහු ගැන අප මෝල්කාව ප්‍රදේශයේ විපරම් කිරීම සඳහා එම ප්‍රදේශ ගැන මනා දැනුමක් ඇති අපගේ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදියෙක් වන නන්දන කෝට්ටේගොඩ මහතා ඇමතුවෙමු. ඒ උත්සාහය සාර්ථකවිනි. අප ඒ ගමන පිටත් වූයේ ඔහු සමගිනි.

දෑස් අඳ පහුරුකරුවා සොයා මෝල්කාවට

පසුගියදා කළුතර දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස බැටකෑ ප්‍රදේශ කිහිපයක් පසු කරමින් අප ඉදිරියට ඇදුනෙමු. අඩි හය හත උසට ගැලූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගස්වැල් හි පත්‍රවල තැන්පත් වූ වියළී ගිය රොන්මඩ තට්ටුවෙන් නැගෙන දූවිලි සුවඳින් ප්‍රදේශයේ වෙලාගෙන ඇත්තේය. ප්‍රධාන මාර්ගයෙන් හැරී රබර් වත්තක් මැදින් වැටුණු අඩි පාරක් දිගේ ගමන් කළ අපට කඳු මුදුනකට වන්නට සුන්දර වටපිටාවක පිහිටි නිවසක් ඉදිරිපිට මිදුල අමදමින් සිටි පුද්ගලයෙකු වෙත අත දිගු කළ නන්දන අයියා අර ඉන්නේ වික්‍රම මාමා තමයි. අප ටික වේලාවක් එක තැන නතරව ඔහු දෙස බලා සිටියෙමි. තවමත් හැඩි දැඩි පෙනුමක් ඇති ඔහු එකල කෙසේ සිටින්නට ඇත්දැයි අපට සිතුනි.

එකවර මිදුල ඇමදීම නතර කළ ඔහු වටපිට බැලුවේ කවුරුන් හෝ පැමිණෙන බව ඉවෙන් මෙන් දැනීමෙනි. කවුද ?

ප්‍රතාපත් හඬින් ඔහු ඇසුවේ කවුරුන් හෝ පැමිණෙන බව නිශ්චිතව තහවුරු කරගැනීමෙන් පසුවය.

අනතුරුව අප පැමිණි කාරණාව පැහැදිලි කිරීමෙන් පසු බොහෝ සතුටට පත් ඔහු සුන්දර අතීතය අපේ ඉදිරියේ ආවර්ජනය කළේ අපවත් පහුරේ නංවාගෙනය.

පහුරේ ප්‍රමාණයට “ ගාය ”

“මගේ නම මහත්තයෝ පුස්මුල්ලගේ වික්‍රමරත්න. මං උපන්නේ 1959 ජනවාරි මාසේ 21 වෙනිදා. මගේ තාත්තා තමයි පුස්මුල්ලගේ විලියම්. එයාව හැමෝම දන්නෙ බිංදු බාස් කිව්වාම. අම්මා ඉලන්දාරි දේවගේ මිලියන් නෝනා. අපි පවුලේ ඔක්කොම සහෝදර සහෝදරිය හත්දෙනයි. වැඩිමලා වුණේ මම. පාසල් ගියේ ඉළුත්පොත කනිෂ්ඨ විද්‍යාලයට. හැබැයි තුන්වෙනි පන්තියට විතරයි ගියේ. මට පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණේ තාත්තා කරන වැඩ කරන්න. තාත්තත් එක්ක ගොඩක් වෙලාවට ඉරුම් පට්ටල වලට යනවා. තාත්තා පහුරු බැඳන් කුකුලේ ගඟේ ඉඳන් මොරටුවට ලී ප්‍රවාහනය කරනවා. එතකොට මට අවුරුදු එකොළහක් විතර ඇති. මම හරි ආසයි පහුරෙ නැගල ඒ ගමන යන්න. පහුරෙ යනකොට පුදුම විනෝදයි පහුරු කාරයින්ට හැමෝම සලකනවා. එනිසා මම මේකට ගොඩක් ආස කරා. එහෙම තමයි මම මේ පහුරු රස්සාව ඉගෙන ගත්තේ. තාත්තත් එක්ක ගිය වාර අනන්තයි. ඒ නිසාම මට පුළුවන් වුණා වයස අවුරුදු පහළොවක් දහඅටක් වෙනකොට මගේම කියලා කණ්ඩායමක් හදාගෙන පහුරු බැඳන් මොරටුවට දැව ප්‍රවාහනය කරන්න.

ඒ කාලේ මොනවද මහත්තයෝ කියන්නේ කුකුලේ ගඟෙන් ගමන් පටන් ගත්තහම දෙමෝදරින් කළු ගඟට දාලා කළු ගඟ දිගේ ගිහින් කැප්පු ඇළෙන් සීරු මාරුවට එගොඩවෙලා බොල්ගොඩ ගඟට දාලා මොරටුවට තමයි ගෙනියන්නේ. ඒ ගමනේ ගොඩක් ත්‍රාසජනක අත්දැකීම් දුක්බර මෙන්ම රසබර කතා ගොඩයි.”

කළු ගඟේ පහුරුපැද්ද දෑස් අඳ පහුරුකාරයා

වික්‍රම මාමා දිගු හුස්මක් ගෙන පිටකරමින් තමන්ගේ දශක හතරකට එපිට අතීතය අප හමුවේ තබන්නට පෙර පඩික්කම ගෙන බුලත් කෙළ පිඩක් ගසා පිටිඅල්ලෙන් කට පිස දැමීය.

පහුර කියන්නේ ලේසි පහසු පුතෙකුට පදින්න පුළුවන් එකක් නෙමෙයි. පහුරේ ප්‍රමාණය අනුව හොඳ හයිහත්තිය ගාය තියෙන තරුණයෝ දෙන්නගෙ ඉඳන් හතර හය දක්වා වගේ ඕනේ.

මාත් එක්ක පහුරු පැද්ද හය හත් දෙනෙක්ම ඉන්නවා. ඒ අයගෙන් ටික දෙනෙක් දැන් ජීවතුන් අතර නැහැ. ඉන්න කට්ටියගෙන් වැඩි හරියක් දැන් ගම්වල නැහැ. මාත් එක්ක සල්මන් පෙරේරා, සුනිල්, ආරි, ගාමිණි, ජිනදාස, ඩේවිඩ් කියලා පිරිසක් තමයි හිටියේ. මගේ ඇස් නොපෙනුනාට පස්සේ මම ගියේ ගාමිණීත් එක්කයි තිලකරත්න කියලා මගේ මල්ලි කෙනෙක් එක්කයි.

පහුර බඳින්න ඉස්සෙල්ල අපි කරන්නේ දැව කපා ගන්න එක. මට හොඳට පුළුවන් ගස් කපන්න නඟින්න. ඕන වැඩක් පුළුවන්. අපේ අනිත් කට්ටියත් ඒ වගේ තමයි කොහොමහරි සතියක් එකහමාරක් යනවා අවශ්‍ය කරන දැව ටික හදාගන්න. බලපත්‍ර ඕන්නැති දැව වර්ග නම් ඉඩමේ හිමිකරුගෙන් කුයිතාන්සියක් ඕනේ. බලපත්‍ර තියෙන දැව වර්ග නම් කැලෑ කන්තෝරුවට ගිහිල්ලා අවසරය ගන්න ඕනේ. ඔක්කොම දැව වර්ග කපල ඉවර වුණාට පස්සේ කැලෑ කන්තෝරුවේ මහත්තයයි ග්‍රාම සේවකයි ඇවිල්ලා කොට ගැනලා සීල් එක ගහලා අපිට බලපත්‍රය දෙනවා. අන්න එතකොට තමයි අපි පහුර බඳින්න පටන් ගන්නේ. මුලින්ම කරන්නේ අඩි 40 – 45 දිගට උණ බට කපලා උණ බට තිහ තිහ වගේ එකට තියලා මිටි විදිහට වැල් වලින් බඳිනවා. ඒවට අද කාලේ වගේ ලණු ගන්නෙ නැහැ. කැලෑවල බොහොම හයිය ඕනතරම් වැල් තිබුණා. මිටි දෙක දෙපැත්තට තිබ්බහම තමයි පහුර යට යන්නෙ නැතුව හොඳින් ඉහිළුම් දෙන්නේ. වෙනිවැල්ල, කහවැල්ල පට්ටික්කවැල්ල, ඇටබිරියාවැල්, කිරිඳි කොරස්ස වගේ වැල් වර්ග කැලෙන් කපාගෙන ලණු වගේ අඹරලා තමයි ගන්නේ. ඊට පස්සේ තට්ටුව හදාගෙන කරඳ, රඹුටන් වගේ කෝටු හොයාගෙන පොඩි පැලක් විදිහට හදාගන්නවා. ඒකට කියන්නේ අමරාව කියලා. ඒක පොල් පුවක් වගේ අතුවලින් හෙවිල්ලලා ගත්තහම පුංචි පැලක් වගේ. ඒක ඇතුලේ උයා පිහා ගන්න පුළුවන් විදියට පස්දාලා ලිපක් හදාගන්නවා. ඒකෙ තමයි අපේ උයන පිහන හැම වැඩක්ම කෙරෙන්නේ. ඊට පස්සෙ තමයි අපි මොරටු ගෙනියන්න තියෙන දැව වර්ග පහුරේ එල්ලන්නේ. ඔයට අමතරව දින පහ හයකට සරිලන හාල් තුනපහ ඇතුළු හට්ටි මුට්ටි වගේම අත් බෙහෙත් වර්ගත් විටක් ඒදා ගැනීමට බුලත් දුංකොළ පුවක් පටවා ගන්නා අතර අමුඩ කෙටියෙන් සැරසී පහුර පැද්දත් සරම් කමිස කිහිපයකුත් මල්ලකට දමා ගන්නේ එනකොට පාරේ බස් එකේ එන නිසාවෙනි.

අපි මේ ගමන්වලට වගේම පහුරට කාන්තාවෝ සම්බන්ධ කර ගන්නේ නැහැ. මොකද දෙවියන් කෝප වෙයි කියලා බයක් තියෙනවා. යන්න ඉස්සෙල්ලා සුමන සමන් දෙයියන්ට තමයි පඬුරු ගැට ගහන්නේ. පහුරේ දෙකොනේ පඬුරු ගැට ගහලා අපි කන්නලව් කරනවා සුමන සමන් දෙයියන්ට අපි රැකදෙන්න කියලා.

ලොව තුළට අධිපති දෙවිවරුනි වරන්
අප වැඳ වැටෙමි ඔබ පාමුල දුකින් ඉඳන්
ලොව සැරි සරණ සුදු ඇත් වාහනය අරන්
රැකදෙනු අප සැවොම දෙවියනි සුමන සමන්

ඒ තමයි අපේ කන්නලව්ව ඊට පස්සේ තමයි අපි දෙයියො බුදුන් සිහි කරගෙන පහුරට නගින්නේ. සමහරදාට කුකුළේ ගඟෙනුත් මගුරේ ගඟෙනුත් තමයි ගමන් ආරම්භ කරන්නේ. වැඩිහරියක්ම මගුරේ ගඟෙන් තමයි අපේ ගමන පටන් ගන්නේ. මගුරේ ගඟෙන් පටන් අරන් පල්ලෙහාට ඇවිත් කුඩා ගඟට සේන්දු වෙලා දඹල, කලවැල්ලාව, රැටියල පාස් කරගෙන ගිහින් දෙමුදුරින් කළු ගඟට සේන්දු වෙනවා. කළු ගඟ දිගේ ඉදිරියට යනකොට කළු ගඟ අසබඩම තියෙන අඟුරුවාතොට පොලිසියේ මුරකපොල්ල එතන අනිවාර්යයෙන් නවත්තන්න ඕනේ. එතන වෙනම කෙනෙක් දාලා ඉන්නවා ඒ වැඩේට අපේ බලපත්‍ර බලනවා. ප්‍රමාණය ගනිනවා මනිනවා වැඩ ගොඩයි. කොහොම හරි අපිත් බලන්නෙ වැඩිපුර කොටයක් දෙකක් ගෙනිය ගන්න. ඕනෑවට වැඩිය හොයලා බලනවානම් අපි ටක්ගාලා බලන කෙනා අතේ රුපියල් හත අටක් මිට මොලවනවා. එතකොට ප්‍රශ්න නැහැ. අද වගේම තමයි එදත් අල්ලස් දීමත් ගැනීමක් තිබුණා.

ඒහරියෙ පොඩි කඩ කෑලි කීපයකුත් තිබුණා මතකයි. පාරුකාරයෝ එතනින් තමයි තමන්ට අවශ්‍ය පොඩි පොඩි අඩුම කුඩුම ගන්නේ පාන් ගෙඩියක් දෙකක් වගේ.

කොහොමින් කොහොමින් හරි එතනින් ගොඩ උනාම නාර්තුපාන පාලම යටින් අපි යන්නේ තෙබුවන් එළියට. දැන් නම් ඒ පැත්තට කියන්න තෙබුවන කියල. ගඟ එක දිගටම සැතපුමකට වැඩිය පේන නිසා තමයි අපි තෙබුවන් එළිය කියන්නේ. ඊට පස්සේ උඩිනාවක එතැන දරුණුයි. ගල් ඇන්දත් තියෙනවා. පහුර ගල්ඇන්ද දිහාවටම ඇදිලා යන්නමයි බලන්නේ. රිටි දාල හබල් ගහලා කොහොම හරි නවාගන්න ඕනේ. ඒ වෙලාවට යක්කු වගේ තමයි නැත්තං හැඩ පාරට අහුවෙලා ගලේ වැදිලා පහුර ගැලවෙනවා.

කැප්පු ඇළ දිගේ සැතපුම් හයක්

ඊට පස්සේ ගල්පාත රතබලාවක කියලා තමයි එතනට කියන්නේ. එතනින් තමයි කැප්පු ඇළට දාන්නේ. දුර තියාම සූදානම්ව ආවේ නැත්නම් ඔක්කොම ඉවරයි. කෙලින්ම ඇදිලා යනවා. කළුතර පැත්තට සැඩ පහර ඒ පැත්තට තමයි යන්නේ. එහෙම ගියොත් ලණු දාලා ජරමර ගොඩක් කරන්න ඕනේ. ඒකට ඒ හරියෙ ඉන්න ලණුකාරයෝ හොයාගන්න ඕන. ඔරුකාරයෝ හොයාගන්න ඕනේ. එතකොට ඉතින් බාන ලී ලෝඩ් එකෙන් පලක් නෑ. ඔක්කොම සල්ලි ටික උන්ට දෙන්න වෙනවා. වෙලාව හැටියට උනුත් අස්ස ගණන් තමයි ගන්නේ.

කොහොමින් හරි අපි කැප්පු ඇළට දාගෙන කැප්පු ඇළ දිගේ සැතපුම් හයක් විතර යන්න ඕනේ බොල්ගොඩ ගඟට දාන්න. එතන ගේට්ටුවක් දාලා තියෙන්නේ ගේට්ටුව අරින්න වහන්න මුරකාරයෙක් ඉන්නවා. එතනින් යන්න කෑල්ලකට ඇළ කාසි දෙන්න ඕනේ. කෑල්ලකට රුපියල් හත අටක් වගේ රිසිට් එකක් කඩනවා. ඊට පස්සේ තමයි ගේට්ටුව ඇරෙන්නෙ. කැප්පු ඇළේ යනකොටත් බාධක එමටයි. ගල්තුඩේ පාලම පෝරි ඇල්ල පහු කිරීම ලේසි පහසු නෑ. ඒක ටිකක් ත්‍රාසජනක වැඩක්. සැඩ පහර වැඩි දවසට අපි ඉවුරේ ගහකට කඹයක් විසි කරලා දාගන්නවා. දාලා පහුර නවත්ත ගන්නවා. ඊට පස්සේ ටික ටික කඹය බුරුල් කරගෙන තමයි පහුර බස්සන්නේ. එතනින් ගල්තුඩේ පාලම යටින් යන එකත් ටිකක් අමාරු වැඩක්. පහුර බේරගන්න ඕනේ. ඊට පස්සේ කෙලින්ම වැටෙන්නේ බොල්ගොඩ ගඟට.

එක හුස්මට තම ත්‍රාසජනක අත්දැකීම් කළ කී දෑ පැවසූ ඔහු දිගු හුස්මක් හෙළමින් මේව මේ කියන තරම්ම ලේසිත් නෑ මහත්තයෝ යැයි බුලත් කහට බැඳුණු දත් පෙළ පෙන්වා සිනාසීය.

කළු ගඟේ ජලය හැම තැනකම එක ලෙස ගලා යන්නේ නැත. ගල් වක්කලම් තැනිතලා පසුකරමින් විටෙක සැඩ වෙමින් විටෙක ශාන්තවද ගලා බසින්නේය. අද අප ගමන් ගන්නා මාර්ගවල හැම තැනම කාපට් අතුරා නැත්තේය. වළවල් ගල් මුල් බාධක හඳුනා ඒවා මගහැර යන්නා සේ පාරුකාරයෝද ගඟෙහි තරම දන්නේය. ඔවුන්ට ගඟ දෙස බැලූ කල ගඟේ තරම තේරුම් ගැනීමට හොඳ හැකියාවක් ඇත්තේය.

බොල්ගොඩ ගඟේ කිඹුල්ලු ඉන්නවා. පහුරු වලට උන් බයයි. ඇතැම් අවස්ථාවල පාරුවලට නම් පහර දීලා තියෙනවා.

මේ ගමනට රාත්‍රී දෙක තුනක් ගත වෙනවා. රෑට ගඟේ හොඳ තැනක් අල්ලලා නැවතිලා කෑම උයාගෙන කනවා. ඒ කාලේ වැඩි හරියක් උයන්නේ මිල්චඩ් හාලේ බතුයි කට්ට කරවල හරි අගුළු බල වගේ හොද්දක්. හරිම රසයි. තාමත් සුවඳ දැනෙනවා. අද පාරවල්වල දෙපැත්තෙ තියෙන පොඩි කඩ වගේ තමයි. ඉස්සර ගඟ දෙපැත්තේ පොඩි පොඩි කඩ ඕන තරම් තියෙනවා රෑ වෙනකොට ඔන්නම් සප්පායම් වෙන්න රා මෙර ඕනෑ තරම් තියනවා. හැන්දෑවට මහන්සියටත් එක්ක හැමෝම වගේ පොඩ්ඩක් ගන්නවා. ඔය අතරේ ඉතින් උදේ ඉඳන්ම බොන මිනිස්සුත් ඉන්නවා.

බොල්ගොඩ ගඟේ කහපොළ තොටුපොළ හරියට කියන්නේ රම්බරේ කියලා. ඒ හරි රැල්ල. හරියට මුහුද වගේ. සැරට හුළං තිබුණොතින් රැල්ල කපාගෙන පහුර අරන් යන්න හරිම අමාරුයි. ඊට පස්සේ රුක්ගහඑළිය යනවා යනවා ඉවරයක් වෙන්නැති හරියක් තමයි ඒකට ඒ කාලේ අපි කවියකුත් කියනවා.

කොස් ගහ කොතන වැව්නත් කනවා ගෙඩිය
ඉස්සා කොතන හිටියත් සිරසේ තලිය
රස්සා කරන මව්පිය දෙදෙනත් සරිය
රුගහ එළිය පසුකර යන්නම බැරිය

කළු ගඟේ පහුරුපැද්ද දෑස් අඳ පහුරුකාරයා

එතකොට අපිට බොල්ගොඩ ඉඳලා මොරටුවේ පාලම ළඟටම තියෙන්නේ හැතැම්ම දොළහයි. ඒ අතර දේවාලෙ, මැටිහක්ක හොරකැලේ පහුකරන් ඔන්න දැන් අපි මොරටුව පැත්තට යනකොට තමයි පරිස්සම් වෙන්න ඕනේ. හොරු මංකොල්ලකාරයෝ ඉන්නවා. උන් ලී මුදලාලි වගේ වෙස්වලාගෙන තමයි ඉන්නේ. පාරුකාරයන්ට ලී මිලදී ගන්නවා වගේ අඬගහනවා. අඬ ගහගෙන මංකොල්ල කනවා. අතේ තියෙන සල්ලි වටින දේවල් ගන්නවා. පාරුකාරයෝ කියන්නේ කාටවත් බය නෑ. අපේ කල්ලිය දවසක් මංකොල්ලකාර කණ්ඩායමකට ගැහුවා එලව එලවා. හැබැයි සමහර පාරුකාරයින්ගෙන් නම් සල්ලි අරගෙනත් තියෙනවා.

අපි අන්තිමට ගිහිල්ලා නවත්තන්නේ මොරටුව මහ පාලමට හැතැම්මයක් විතර උඩින් තියන තොටුපොලේ. බ්‍රෝකර්ලා වැහි වැහැලා. ලන්සු තියෙනවා කේවල් කරනවා මුදලාලිලත් එනව කළුපාට කෝට් බෑයක් දාගෙන. තව ගෝලයෙකුත් එනවා. ඒ මුදලාලිලාව මට තාමත් මතකයි වික්ටර් මුදලාලි, නිව්ටන් මුදලාලි, සිරිමල් මහත්තයා, ලක්ෂ්මන් මුදලාලි, ඔලිවර් මුදලාලි එකල මොරටුවේ සිටි ලී මුදලාලිලා මාත් එක්ක හරි හිතවත්. ඒවගේම රූබන්, මහීපාල, ඇලඩින්, සිරිල්, ඇඩ්ඩින් වගේ බ්‍රෝකර්ලා මාත් එක්ක ගොඩක් හිතවත්. කොහොම උනත් පහුරුකාරයින්ට හැමෝම සලකනවා. පහුරක ලී ගෙනිච්චහම ලැබෙන්නේ රුපියල් 2000ත් 2200 වගේ මුදලක් තමයි අපේ ගාන. එනකං අපි කොහොමවත් දෙන්නේ නෑ. බ්‍රෝකර් ගාස්තු වශයෙන් කෑල්ලකට රුපියල් දහයක් දෙන්න ඕනේ. එයාලා මුදලාලිගෙනුත් සන්තෝසමක් ගන්නවා.

කඳන් ටික වික්කට පස්සේ අපි කරන්නේ අපේ තියෙන හට්ටි මුට්ටි වළං කෑලි වගේම වටින කියන දේවල් අකුලගෙන පහුර තියලා මුදලාලිගේ කාර් එකේම නැගලා මුදලාලිගෙ ගෙදරට ගිහිල්ලා මුදල් ගනුදෙනුව කරනවා. පස්සේ මුදලාලි අපිට සීල් අරක්කු බෝතලයක් එහෙම තියලා සංග්‍රහ කරලා බස් එකට ගෙනත් ඇරලනවා. ඒ අතරේ මම සල්ලි ටික හංග ගන්න අමතක කරන්නේ නෑ. මොකද ඒ හරියෙ හරියට ගැට කපන මිනිස්සු ඉන්නවා. උන් සුද්දෙ දානවා. උන් දන්නවා පාහුරුකාරයන්ගේ අතේ සල්ලි තියෙනවා කියලා.

එතනින් අපි කළුතර බස් එකට නගිනවා. කළුතරින් බැහැලා හෝටලයකට ගිහිල්ලා හොඳට බඩ කට පිරෙන්න ආහාර අරගෙන කළුතර බෝධියට ගිහිල්ලා වෙච්ච බාරහාර ඔප්පු කරන්නේ හරි භක්තියෙන්.

ඊට පස්සේ තමයි ගෙදරට ගේන්න අඩුම කුඩුම ගන්නෙ. දරුවන්ට මිදි, ඇපල්. කේක්, බිස්කට් වගේ දේවල් ඒ වගේම සරමක් චීත්තයක් රෙදි කෑල්ලක් දෙකක් ගන්නේ.

ඔන්න ඔහොමයි මහත්තයෝ අපේ ජීවිතය ගතවුණේ. ඔය විදිහට මම අවුරුදු 29 වෙනකන් පහුරු රස්සාව කළා. ඔන්න ඔය කාලෙදි තමයි මාව දෑස් අඳ පහුරුකාරයෙක් බවට පත් කරේ. ඒ 1988 කාලේ මට සිද්ධ වුණු හදිසි අනතුරකින්. මගේ ඇස් දෙකම නොපෙනී ගියා. ගොඩක් වෙදහෙදකම් කළා හරි ගියේ නෑ.

මගේ දෑස් අන්ධ උනාට පස්සේ මම දෙගමනක් වගේ පහුරේ ගියා. මට ඇස් නොපෙනුනාට මම පහුරේ එක කොනක් ගත්තා. අවුරුදු ගානක හුරුව අත්දැකීම් වලින් තමයි ඔක්කොම කලේ. වතුරේ සද්දෙන් මට පුළුවන් වුණා ගොඩක් තැන් හඳුනගන්න. කල්ලියේ හිටපු අනිත් පහුරු කාරයොත් එක්ක මම හරි හරියට පැද්දා. ගොඩක් මිනිස්සු පුදුම වෙනවා මම අහලා තියෙනවා.

ඒත් පහුර පැද්දට මදි. තව ගොඩක් දේවල් තියනවනේ පහුරේ යනකොට. ඒක නිසා කල්ලියේ අනිත් අයට කරදර වෙන නිසා මම පහුරු ගමනට ආයුබෝවන් කිව්වා.

දෑස් අඳ පහුරුකරුවාගේ පහුරේ කතාව එසේ නිමවුණත් අද වන විට 66 වන වියේ පසුකරමින් සිටී. නිවසට වී තනිව කාලය ගත කරමින් සිටින ඔහු කිසිවකුට බරක් නොවෙමින් තමන්ගේ සියලු වැඩපළ තනිව කරගනිමින් ඔහු දෑස් අඳ තම ජීවන ගමන පදිමින් සිටී. තම දෑස් අඳවීම ගැනවත් ඔහු පශ්චාත්තාප වන්නේ නැත. ඔහුට ඇත්තේ පහුරට සමුදීමේ ඇති දුක පමණක් බව අපට සිතුනේ ඔහු පහුරට එතරම් ආදරය කර ඇති නිසාවෙනි.

තවත් ඇසීමට හෝ කීමට දෙයක් ඔහුට නැති බව ඔහුගේ දෑසින් වැටුණු කඳුළු බිඳු පවසන්නේ යැයි සිතුණි. යුගයක නිමාවක් දුකින් කෙළවර වීම ගැන සිතට නැගුණු දුක සඟවාගෙන අප ඔහුට සමුදුනිමු. බුදුසරණයි, මහත්තයෝ ඔහු අපට පැවසුවේ එපමණකි.

හොරණ
නයනදුල සෙන්දනායක

advertistmentadvertistment
advertistmentadvertistment