කළු වානේ සෑදූ කලවානේ ගැන විස්තර මෙන්න

454

සපරගමුව පළාතේ පවතින අප‍්‍රකට තැන් බොහොමයක් පවතින්නේ කුකුළු කෝරළය හෙවත් කලවාන පොතුපිටිය ගම් සීමාවන්ට යටතේ යැයි කල්පනා කළ හැකිය. මේ සම්බන්ධව සිදු කරන ලද ගවේශනයන් ඉතා අල්පය. පූජ්‍ය කිරිඇල්ලේ ඥානවිමල නාහිමියන් කලකට ඉහත කළ පර්යෙෂණයන් ඇරුණු කොට විධිමත් විමර්ශන කාර්යයක් ඉටු වී නැති තරමේය. කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඇතුළත්ව කළුතර දිස්ත‍්‍රික්කයේ පස්යොදුන් කෝරළයට යාබදව තිබෙන මේ ප‍්‍රදේශය සුවිසල් කඳු පන්තීන් ගෙන් ගහනය. ඉතා මනරම් දිය ඇලි සහ වන සතුන් ගෙන් ගහනය. කලවාන සහ මානාන නිරි ඇලි කන්ද සීමාව දෙල්වල සීමාව සහ පොතුපිටිය දක්වා වූ දුනුකෙයියා පත හැඩයකින් යුක්ත සීමාව කුකුළු කෝරළය ලෙසටද හඳුන්වයි. කුකුළු කෝරළයේ පැරණි ව්‍යවහාරය දිග්ගම්පත (දිග්ගල්පත) කෝරළයයි. දීර්ඝ ලෙස යා වුණු ගම්මාන පවතින ප‍්‍රදේශය යනු එහි අරුතයි. කලවානට ඒ නම සැදුනේ කළු වානේ තැනූ නිසා බව ප‍්‍රවාද ගත මතයකි. කලවාන ගැන මෑතකදී ගවේශන කටයුතු සිදු කළ සුසිල් ප‍්‍රියන්ත මහතාට අනුව නම් කළවානේ නිසා කලවාන විය. රැකි වානේ නිසා රක්වාන විය. සමනලවැව ආශ‍්‍රිතව හමුවන යකඩ වානේ උදුන් මෙන්ම කලවාන මුහුණතේ ද වානේ යකඩ උදුන් විශාල සංඛ්‍යාවක් තිබී ඇත. තැන තැන හමුවන යබොර ගොඩවල්වලින් ඒ බැව් සනාථ වේ. ප‍්‍රියන්ත මහතා විසින් එවැනි තැන් පහළොවක් පමණ දැනට නිරීක්ෂණය කර තිබේ.

කුකුලේගම පරගල ගම් පෙදෙසින් ගෙන ගිය කලූ පොර කුකුළෙකු දෙවන රාජසිංහ සමයේ කළ දස්කමක් නිසා දුන් නින්දගමක් හේතුවෙන් මේ කුකුළු කෝරළ නාමය ඇති විය. කොස් ගුලන ගඟ, දෙල්ගොඩ ගඟ, කොස්වත්ත ගඟ, වේ ගඟ ආදී ගංගාවන්ගෙන් පෝෂණය වූ කුකුළු ගඟ ඇරඹෙන්නේද මේ නොඉඳුල් වැසි වනාන්තර ඉස්මත්තෙනි. සීතාවක රාජසිංහ සමයේ දී සපරමුවේ මිණිකන්කාර නිලය දැරූ තිස්මදාස බණ්ඩාරනායක නිරිඇල්ල මුදියන්සේට දුන් නිරි ඇල්ල පෙදෙස අද්දරින් ගලා බසින කුකුළු ගඟට පස්යොදුන් කෝරළයෙන් ගලා එන මා කෙළි දොළ හා කලූ කිරි දොළ එක්වෙයි. මේ ගංගා පෝෂණය කරන වැසි වනාන්නතර දෑලේ කොඩිප්පිලි කන්ද, මුණි පින් කන්ද, තපස්සර කන්ද, නෙලූව කන්ද ආදී පැරණි ගම්මානයන් හමු වෙයි. මූලික වශයෙන් හේන් ගොවිතැනෙන් යැපුණු මේ ගම්මාන තුළ ජීවත් වූ ජනතාව කොත්තමල්ලි, ඇල් පින්න ඇල්, බටුකිරි ඇල් මෙන්ම රටතවාලූ, කොට තවාලූ ආදී පාරම්පරික වීයෙන් පෝෂණය ලැබූහ. මේ කලවානේ ගමට ලියැවුණු මදක් හාස්‍ය රසයෙන් යුක්ත ජන කවියකි.

කෝඳුරුවට කෙඳිරි යයි ලිවූ නාරි නංගල –
හබලපෙතිත් සම්බෝලෙට ගත් පන නාම ගල
ලොසින්ජරත් කලවානේ සිටවා පැළ කළ –
ගස් මුට්ටිය අමුඩෙට ගත් හපනා පරගල

අතීතයේ දී අද මෙන් නොව පස්යොදුන් කෝරළයත් සපරගමුවේ කුකුළු කෝරළයත් වෙන් වූයේ කුකුළු ගෙඟනි. ඉංග‍්‍රීසීන් රට භාර ගත් පසු මෙම සීමාව වෙනස් විය. කෙසේ වෙතත් කුකුළු ගෙඟ් එගොඩ වීමට එකල පාලම් නොවීය. ඒ සඳහා තිබෙන ඉතාම පහසු තොටුපළ වූයේ ගෙඳගල තොටුපළයි. උඩුගල සිට ගෙඳ ගලට එතෙර වන්නට එකල තනි වේවැලෙන් වියූ අත්වැලක් තිබූ බව පැරණියෝ කියති. කොළ යත්ත නම් වූ මෙවැනි අත්වැල් පොටවල් තුනක් තැනින් තැන තිබූ බවට සාක්ෂි හමුවෙයි. මේ කොළ යත්තෙන් එගොඩ වී පස්යොදුන් කෝරළයේ කෙලින් කන්ද බාන් පාර හරහා පැලැන්දට සහ අයගමටත් ගෙඳගලින් එගොඩ වී නිරි ඇලි කන්ද හරහා ඇලපාතටත් පැමිණෙන ගැමියන් එදා ශ‍්‍රී පාද වන්දනාවට එකතු වූහ.

ගාලූ පිටිගල කෝරළේ සිට පැමිණෙන තවත් මාවතක් පස්යොදුන් කෝරළේ බොරලූගොඩ මැද්ද කන්ද, ගොඩනෙරියාහේන, මණ්ඩගල හරහා පල්ලේ කුඹුරට සේන්දු වෙයි. ඉන්පසු ගල්පේ කෙටලපත් මූකලාන පසුකර දෝතලන් කන්ද නැතිනම් දෝතලූ හෙළ හමුවෙයි. එතැන තිබෙන වදගහ සහ අම්බලම ප‍්‍රසිද්ධ ය. අනතුරුව අඟන කැටිය හරහා බඹරබොටුවට සේන්දු වෙයි. ඉන්පසු පිටිගල් කන්ද හරහා කුකුලේගම ජාතුංගොඩට පැමිණිය හැකිය. මෙහි තවත් වැල් පාලමක් තිබී ඇත. අනෙක් පාලම වන්නිගොඩ තිබී ඇතැයි පැවසේ. ජනතාව බාර හාර වන ඉපැරණි බෝධිවෘක්ෂයක් එතැන ඇත. මේ ගෙඳගල තොටුපලේ තිබූ වේවැල ගැන ජන කවියා පබැª කවි පන්තියකින් කව් දෙකකි.

කුකුළු ගෙඟ වසකමේ හැටිය මට කියන්ඩ යම්තම් සිහිවෙනවා
ගෙඟ පළල වේවැලේ දිගටමයි හැට පස් බඹයයි මැන බැලූවා
අහස පොළව ගුගුරා එන ජලකඳ ගල් අස්සෙන් රෑන මතුවෙනවා
අවුරුද්දට තුන් දෙනා කනක්කුවෙ කුකුළු ගඟට බිලිවෙනවා
ගිල්වා ඇලි සිදු සේල සේමයි රැලි දස අත විහිදෙන අන්දම්
උනා වරල පීරා එව්වාසේ රැළ ගෙඩි පෙළ පෙළ යන අන්දම්
නලා කොම්බු හොරණෑ වෙඩි හඬයෙන් දූ දැල්ලක් සේ යන අන්දම්
බලා සිටිනු ගඟ ළඟට ගෙපල්ලො අත්වැල් පහරක් යන අන්දම්

කළු වානේ සෑදූ කලවානේ ගැන විස්තර මෙන්න

කෝට්ටේ සයවන පරාක‍්‍රමබාහු රජ සමයේ ලංකාවට පැමිණෙන බමුණන්ගේ අඩුවක් නොවිණ. දකුණු ඉන්දියාවේ මරාටි යුද්ධ සහ ආක‍්‍රමණ නිසා විවිධ බ‍්‍රාහ්මණ පරපුරු ලංකාවට සේන්දු වූහ. එලෙසම රජු සමග තිබෙන ඥාති සබඳකම් නිසා ද පැමිණියහ. මෙසේ පැමිණි විජේරාම නම් බ‍්‍රාහ්මණයෙකු රයිගම වීදාගම පදිංචි විය. සීතාවක සමයේ දී මොහු කළ වීරකමක් ගැන ඉතිහාසයේ ලියැවී තිබේ. එනම් ජනතාවට කරදර කළ කළු දිවියකු මෙල්ල කොට රජුට දැක්වීමයි. ඇතැමුන් කියන පරිදි ඒ ගවරෙකි. කෙසේ වෙතත් මේ විජේරාම බ‍්‍රාහ්මණයාගේ නැගණියගේ පරම්පරාවේ විජේතුංග නම් මුදලිවරයාට කුකුළු කෝරළයෙන් නින්දගමක් ලැබුණි.දෙල්ගොඩ සන්නස යනුවෙන් දක්වා තිබෙන මෙම ලියවිල්ල ක‍්‍රි.ව. 1868 දී එහි උරුමක්කාරයන් විසින් ඉංග‍්‍රීසි ආණ්ඩුවට භාර දී ඇත. (අංක 104 -–ශ‍්‍රී 184/6/68) යටතේ දැනට එම සන්නස ජාතික ලේඛනාගාරය සතුව තිබේ. එහි සඳහන් අන්තර්ගතය මෙසේය.

‘මදුරාපුරෙ සිට නැවෙන් වීදාගමට ගොඩබැස්ස විජේරාම බ‍්‍රාහ්මණ රාළ ද ඔහුගේ නැගනියෝද ඔහුගේ බෑනාද මෙම තුන්දෙනා වීදාගම පැල්වාඩි තනා පොරොත්තුව නොබෝ කාලයකදි විජේරාම බ‍්‍රාහ්මණයා නැසී ඉන් පහුව බඩ වැඩිලි නැති පිණිස ඔහුගේ නැගනියගේ පුත‍්‍රයා වන විජේතුංග මුදලියා සෙංකඩගලට ගොස් උතුං වූ මහ වාසලට ශල කල තැනදී ශස්ති ප‍්‍රවර ජිනේන්ද්‍ර මනීන්ද්‍ර ලලිතා ප‍්‍රසංභූත සුරභි කුසුම ප‍්‍රතිභාහ දස දිසා ලලිත කුවකුම්භ බ‍්‍රමර කීර්ති චන්දනාලංකාර රිපුනිකර මංතේභ සිංහ වික‍්‍රම ප‍්‍රතාප ජිනරාජ මන්ධිත කීර්ති සිංහාඤාති ශී‍්‍රමත් කීර්ති ශ‍්‍රී රාජසිංහාභිධාන වූ උතුං අපගේ දේව ස්වාමි දරුවානන් වහන්සේ කරුණා පනතිං යෙදී ශක වර්ෂ එක්වා දහස් ශසිය හතළිස් අටකට (ක‍්‍රි.ව.1726) පැමිණි වර්ෂ නම් වූ මෙම වර්ෂයෙහිදී සපරගමු දිසාවෙ කුකුළු කෝරළේ බඳව වැව දෙල්ගොඩ කියන ගං පැලහි දෙක ඔහුට බඩ වැඩිල්ලට නින්දගමට දී ඔහුගේ දරු මුණුපුරු පරම්පරාව දක්වා දිවු පහේ දිවුරා බුක්ති විඳීමට දෙවා වදාළහ. මෙම ගං දෙකට මයින් නැගෙනහිරට හූනියන් පාන කොත ඉම හා දකුණට අම්බලංපොලේ වදගහ ඇල ඉම හා බස්නා ඉරට ඔංචිල්ලා ගල ඉම හා උතුරට දිය ඇල්ල ඉම හා මෙකියන මාඉං ඇතුලත ගොඩමඩ විජේතුංග මුදලියාට උරුම වී බුක්ති විඳින රඟට සකල ශ‍්‍රී සමුර්දි සංපංන සෙංකඩ සයිලාභිධාන නම් වූ ශ‍්‍රී වර්ධනපුර ප‍්‍රවරයෙහි දී මේ සන්නස දෙවා වදාල පනතත් ඒ පනතත් මෙසේම පනිවිඩ පනතයි.’

මේ සීමාව ඇතුළත් ප‍්‍රදේශය අදටත් ඝන කැලෑවට යටවී තිබේ. කොටසක් වර්තමාන සිංහරාජයට අයත්ය. නමුත් රජු විසින් දුන් නින්දගමට අඩත්තු වූ පැරණි ගම් රාශියක් තිබෙන්නට ඇතැයි යන්න උපකල්පනය කළ හැකිය. ඒ සඳහා තිබෙන සාධක බොහෝය. වෙසෙසින් සීතාවක යුගයේ තිබූ පරංගි යුද්ධ සඳහා අවි ආයුධ තැනවීමට අවශ්‍ය යකඩ සහ වානේ ලබා ගැනීමට සකස් කළ ගම්වර මෙහි බොහෝ තිබේ. මේ සඳහා රත්නපුර දෙනවකත් කුකුළු කෝරළයේ දෙල්ගොඩ ප‍්‍රදේශයත් රක්වානත් ප‍්‍රසිද්ධ විය. මෙහි ජීවත් වූ පැරණියන් ඇසළ මාසයට හමා එන සුළඟින් සහ මයිනහම්වලින් ගිනි දල්වා යපස් උණු කළ බවට සාක්ෂි හමුවේ. මේ කුකුළු කෝරළයේ තැනින් තැන හමු වන යබොර ගොඩවල් ඊට සාක්ෂි සපයයි. රකුන්දලූයාය, යහලතැන්න, දෙල්වල ආදී තැන්වල මේ උදුන් තිබූ බව පැහැදිලිය.

දැන් අපගේ අවධානය යොමු වන්නේ මේ පැරණියන්ගේ ආදී වාසස්ථාන ගැනයි. විශේෂයෙන්ම ආදී මානවයා විසූ ගල්ලෙන රැසක් මෙහි හමුවේ. ඉතා ගුප්ත අන්දමින් පැතිරී තිබෙන ඇතැම් ගල්ලෙනක් කරා පැමිණෙන්නට උමං පද්ධතියක්ද තිබී ඇතැයි සිතන්නට හැකිය. සිංහරාජ වනාන්තරය ආසන්නයේම පවතින වැද්දාගල යන නාමයෙන් අපට පැහැදිලි වන්නේ පුරාණ වැදි ජනතාව මෙන්ම ඔවුන්ගෙන් පැවතෙන්නන් සිටි බවයි. දෙල්ගොඩ දවුලගලගම තිබෙන ගල්ලෙන් කීපයක් බැලීමට යෑමට මට අවස්ථාවක් ලැබුණි. වැදිගංගොඩ පරකොලූවා ගල කලූවර ගල්ලෙන ඉන් කීපයකි. ඒවායේ අද්දරින් ගලා බසින දොළ පාරවල් ද එමටය. එක් තැනකින් හමු වූයේ ගලට යටින් හඬ නංවමින් ගලා බසින ජල ප‍්‍රවාහයකි. මේවා සියල්ල ගුප්ත මනස්කාන්තයක් එකතු කරන තැන්ය. තෙතමනය සහිත ඇතැම් තැන්වල මිනිස් වාසයට සුදුසු නොවේ. නමුත් විශාල වෙල් අද්දර (රකුන්දලූයාය) ඉස්මත්තේ තිබෙන විශාල ගල් ලෙන වියළි ගතියෙන් යුක්තය. කටාරම් කොටවා නැත. නමුත් වැහිවතුර ලෙන තුළට නොවැටී ඉදිරියට වැටේ. මෙවැනි තැන් මනුස්ස වාසයට සුදුසුය. හෙණ වදින ගල් එමටය. ගල්ලෙනෙන් ගල් ලෙනට ගමන් කරන්නෙකුට කෙටි පාරවල් උමං ගැන විශ්වාසය තැබිය හැකිය. එවැනි මාර්ගයක හමුවන ගල් පාලමක් දෙස බැලූ කල්හි අනුරාධපුර ගල් පාලම්වලට ඒවා සම කරන්නට නොහැකි බව පසක් විය. දළ පෙනුමත් සරල හැඩ ගැස්මත් මගින් ප‍්‍රකට කරනුයේ එහි පුරාණ බවයි.

නිරිඇලි කන්ද සීමාවේ පවතින කනත්තේ ගල්ලෙන් විහාරය නොහොත් කුකුළුවා විහාරය කටාරම් කෙටවූ ගල් විහාරයකි. දෙල්ගොඩ පවතින පුරාණ විහාරයක නටබුන්ද මේ අතර වෙයි. ඒවායේ ගල් කණු ඔප මට්ටම් කර නැත. මල් ආසන පෙරළා දමා තිබේ. ගල්ලෙන අසලින් දිවයන උමං පද්ධතියක් ගැනද තොරතුරු දක්නට හැකිය. මේ නයින් ප‍්‍රකට වනුයේ ආදි මානවයාගේ වාසස්ථාන රාශියක් කලවාන අවට කුකුළු කෝරළයේ තිබී ඇති ආකාරයයි. මෙම වාසස්ථාන ගැන නිසි ගවේශනයක් නොමැති බැවින් තේ වගාවට සහ වෙනත් සංවර්ධන වැඩ සඳහා මේ නිර්මිත විනාශ වී යන ආකාරය දැකිය හැකිය. ඇතැම් ගල්ලෙන් සංචාරක ව්‍යාපාරය සඳහා යොදවා ගෙන තිබේ. පුරාණ ගල්ලෙන් අසබඩ හමුවන කුඩා වළවල් සහිත ගල් පර්වත ද මෙහි එමටය. ගවේශනය කරන්නෙකුගේ සිත් කුතුහලයෙන් පුරවා නොයෙකුත් සංකල්ප මතු කරන්නට සමත් විශාල තොරතුරු සමූහයක් මෙහි ඇත.

මතුගම සෙනෙවිරුවන්
ඡායාරූප – දවුගලගම සුසිල් ප‍්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment