ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කට ස්ත්‍රී දූෂණ චෝදනාවක් – සිඩ්නි පොලිස් අත්අඩංගුවට

391

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ස්ත්‍රී දූෂණ චෝදනා මත සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය නොවැම්බර් 2 වැනිදා 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව සිඩ්නි සසෙක්ස් වීදියේ හෝටලයක රැඳී සිටි 31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඉරිදා අලුයම සිඩ්නි සිටි පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබේ.

නම සඳහන් නොකළ ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව නිව් සවුත් වේල්ස් පොලිසිය සිය වෙබ් අඩවියේ ද සඳහන් කර ඇත.

“පසුගිය සතියේ සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයකින් පසු ලිංගික අපරාධ විමර්ශන අංශයේ රහස් පරීක්ෂකයන් ශ්‍රී ලාංකිකයකුට එරෙහිව චෝදනා එල්ල කර ඇත” යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.

වෙබ් අඩවියේ විස්තරවලට අනුව, 29 හැවිරිදි කාන්තාවක් රෝස් බේ හි නිවසකදී ලිංගික අතවරයකට ලක්ව ඇත. අන්තර්ජාලය හරහා දින ගණනාවක් ඔහු සමඟ කතාබහ කිරීමෙන් අනතුරුව කාන්තාව මේ ක්‍රීඩකයා හමුවී ඇත. 2022 නොවැම්බර් 2 බදාදා සවස ඔහු ඇයට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල කර තිබේ.

මේ ක්‍රීඩකයා නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ටේ්‍රලියාවෙන් පිටව ඇති බව ඔස්ටේ්‍රලියානු මාධ්‍ය වාර්තා කර තිබේ. සෙනසුරාදා එංගලන්තය සමග පැවති තරගයෙන් පරාජය වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් විය.

ධනුෂ්ක ගුණතිලක ලෝක කුසලානයේ පළමු වටයේදී නැමීබියාවට එරෙහිව ක්‍රීඩා කළ අතර පසුව ඔහු ආබාධයකට ලක්විය.

අශේන් බණ්ඩාර ඔහු වෙනුවෙන් සංචිතයේ රැඳී සිටියත් සති තුනක් තිස්සේ ධනුෂ්ක නැවත ශ්‍රී ලංකාවට එවීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර නොතිබිණි.

මේ අතර සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු අද (2022 නොවැම්බර් 7) අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිඩ්නි උසාවියේ ක්‍රියාපටිපාටීන් සමීපව නිරීක්ෂණය කරනු ඇති අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන බව ද, වරදකරු වුවහොත් මෙම ක්‍රීඩකයාට එරෙහිව දැඩි පියවර ගනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඇත්තෙන්ම මේ ක්‍රීඩකයා එම කාන්තාව සමග කිහිප විටක් ලිංගිකව හැසිරී ඇති නමුත් ඇයට මුදල් ගෙවා නැති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග කියයි. මේ නිසා එම කාන්තාව සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment