ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත් රත්නාවලියේ විශ්මි සාපෙළ කඩඉම ඒ 09කින් හැඩ කරයි

367

නංගී… මල්ලී… ක්‍රීඩාව අධ්‍යාපනයට බාධාවක් නොවෙයි – දිරිය දියණී විශ්මි කියයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලාබාල ක්‍රීඩිකාවක් වන ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන විශ්මි ගුණරත්න ශිෂ්‍යයාව අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවද සමබරව සිදුකර 2021 අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් විෂයයන් 9 ටම ඒ සාමාර්ථ ලබා විදුහලට කීර්තියක් ලබා දී ඇත.

ඇය අල්ගම මැදගම කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 2015 වසරේදී 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 182 ක් ලබා 6 ශ්‍රේණියට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් විය. 2022 වසරේ සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 19 න් පහළ ලෙදර් බෝල් ශුරතාවය දිනා ගත් රත්නාවලී බාලිකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඇය එම කණ්ඩායමේ නායකත්වය ද දැරීය. එහිදී නුගේගොඩ අනුලා විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 125 ක් රැස් කළේය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත් රත්නාවලියේ විශ්මි සාපෙළ කඩඉම ඒ 09කින් හැඩ කරයි

2022 සමස්ත ලංකා අවසන් තරගයට පෙර පැවති ක්‍රිකට් තරගයෙන් පොළොන්නරුව ජයන්ති කණිෂ්ඨ විද්‍යාලයට එරෙහිව පන්දු වාර 128 කදී ලකුණු 417 ක් රැස්කළ අතර ඉන්දියාව හා පැවැති ත්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 45 ක් ද රැස් කළේය.

2019 මලල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 15 න් පහළ සමස්ත ලංකා මීටර් 100ං4 සහාය දිවීමේ තරගයෙන් වසර 20 කට පසු ජාතික නව වාර්තාවක් තැබීමටත් ඇය සමත් විය. විශ්මි ගුණරත්න ශිෂ්‍යාවගේ පියා අරුණ ගුණරත්න වරලත් ඉංජිනේරුවරයෙකු වන අතර මව ධම්මිකා විජයරත්න ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරිිනියක ලෙස සේවය කරයි. ඇයට සහෝදර සහොදරියන් දෙදෙනෙකු සිටින අතර වැඩිමහල් සොයුරිය වන නෙත්මි ගුණරත්න ද රත්නාවලී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන අතර ඇය ද පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කර ඇති අතර දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව හදාරයි. සොහොයුරා අනුපම ගුණරත්න ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අ.පො.ස (උසස් පෙළ) ගණිත අංශයෙන් හදාරයි.

විශ්මි ගුණරත්න තම ජයග්‍රහණය ගැන මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.

මම කුඩා කාලයේ සිට ක්‍රිකට් හා මලල ක්‍රීඩාවලට ආසයි. ටූනමන්ට් මැච්වලට යන අතරේ ඉඩ තියෙන හැම වෙලාවෙම පොත් පාඩම් කළා. සාමාන්‍ය පෙළ විභාගයට සති දෙකක් පමණ කෙටි කාලයක් තුළ මම හොඳට සැලසුම් කරගෙන පාඩම් කළා. මුල් සතියේ හොඳට පාඩම් කළා. ඊළඟ සතියේ ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු ලිව්වා. එහෙම තමයි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ. ක්‍රිකට් ගහන නංගිලා මල්ලිලාට මට කියන්න තියෙන්නේ ක්‍රිකට් ගහන එක අධ්‍යාපනයට බාධාවක් නෙමෙයි. බැලන්ස් කරගෙන කරගත්තොත් දෙකම සාර්ථකව කරගන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාව අපිට කියන්න බෑ දිගටම කරන්න පුළුවන් කියලා. මොකද ආබාධයක් වුණොත් අපිට ඒක නැතිවෙනවා. නමුත් ඉගෙන ගත්තොත් ඒක හැමදාටම තියෙනවා. ඒ නිසා ක්‍රීඩාව හා අධ්‍යාපනය දෙක එකටම කරගන්න ඕනේ.

මෙම ජයග්‍රහණ සඳහා මා හට උදව් කළ මගේ දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන් දෙදෙනාටත් රත්නාවලි විදුහල්පති හේමා ජයවර්ධන මහත්මියටත් පන්ති භාර ලක්මාලි ගුරුතුමයටත් ක්‍රීඩා භාර ආචාර්ය අනුෂා ගුණසේකර මහත්මියටත් ක්‍රිකට් හා මලල ක්‍රීඩා පුහුණුකරු ගයාන් මුණසිංහ මහතාටත් අනිකුත් සියලු‍ දෙනාටත් ස්තූතිවන්ත වෙනවා. මගේ අනාගත බලාපොරොත්තුව හොඳට ඉගෙන ගෙන ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට ගොස් රටට කීර්තියක් ගෙන දීමයි. අ.පො.ස (උසස් පෙළ) ගණිත අංශයෙන් අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමටත් බලාපොරොත්තු වෙනවා.

රත්නවලී බාලිකා විදුහලේ විදුහල්පතිනි එච්.ඒ. හේමා ජයවර්ධන මහත්මිය අදහස් දක්වමින්, විශ්මි ගුණරත්න දියණිය ඉගෙනුමත් ක්‍රීඩාවත් යන දෙක හොඳින් කළමනාකරණය කර ගනිමින් ජීවිතය ඉතාම ඉහළින් ජය අරගෙන තියෙනවා. ඒක ලොකු ආදර්ශයක්. දිරිය දියණියක් වශයෙන් ඇය අපේ රත්නාවලි බාලිකාවට ලොකු ආඩම්බරයක් යයි පැවසුවාය.
ගම්පහ සමූහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment