ක්‍රිකට් කෙළියට ගිහින් රති කෙළියේ තරම පෙන්වූ ධනුෂ්ක

1102

ප්‍රැක්ටිසුත් පසෙකලා පාටිවලට ගිහින්
ධනුෂ්ක විතරක් නොවෙයි තවත් ක්‍රීඩකයනුත් පිස්සු කෙළලා

වර්තමානයේ රට තුළ පවතින දැඩි ආර්ථික සහ අනෙකුත් අර්බුදයන් හමුවේ බහුතරයක් ජනතාවට පාන් කියාගන්නවත් බැරි තත්ත්වයක් උදාවී ඇත. කොටින්ම කියතහොත් ජීවිතය එතරම්ම පහළ තත්ත්වයකට වැටී ඇත. ඒ මොන දුක් කම්කටොලු කරදර පැමිණියත් ක්‍රිකට්වලට ආදරය කරන බොහෝ පිරිසක් තවමත් මෙරට සිටිති. තරග කොතරම් පැරදුනත් ඔහුන්ගේ සිත් තුළ ක්‍රිකට්වලට තිබූ කැමැත්ත ආදරය තවමත් අඩු වී නොමැත. එය තවත් තිව්‍ර වූයේ ආසියානු කුසලානය දිනා ගැනීමත් සමගයි. එවැනි ජයග්‍රාහී මානසිකත්වයක් යටතේ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳවද සිත් තුළ ඔවුන් දහසකුත් බලාපොරොත්තු තබා ගත්තේය.

ආසියානු කුසලානය දිනා ගත් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ද එවැනි ජයග්‍රාහී මානසිකත්වයක් උඩ ඔස්ට්‍රේලියාව බලා ගියේ ලෝක කුසලානය මෙරටට රැගෙන ඒමේ බලාපොරොත්තුවකිනි. එහෙත් ඔස්ට්‍රේලියාවට ගිය පසු අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් කිහිපදෙනෙක් ලෝක කුසලානය පසෙක තබා තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා මූලිකත්වය ලබා දුන්නේය. එයට හොඳම උදාහරණය ලෙස දැක්විය හැක්කේ අපගේ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ පසුව මැද පෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලකයි. තවද ධනුෂ්ක යන නමෙහි අපල ඇති බැවින් අපල නැති වීම සඳහා ඔහු ධනිෂ්ක ගුණතිලක ලෙස තම නමද වෙනස් කරගත්තේය. එලෙස නම වෙනස් කළත් උපන් ගති නැතිකර ගැනීමට ඔහුට නොහැක විය. එම නිසා සිදුවූයේ ඔහුගේ නොහොබිනා හැසිරීම මත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පමණක් නොව ජාතියක් වශයෙන් අපටද ජාත්‍යන්තරය ඉදිරියේ ලැජ්ජාවට පත්වීමටයි.

ධනිෂ්ක ගුණතිලක දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකි. වැරෙන් පන්දුවට පහර දෙන ඔහු දක්ෂ පන්දු රකින්නෙකි. එලෙසම කණ්ඩායමට අවශ්‍ය මොහොතක පන්දු යැවීමට ද ඔහුට හැකිය. එලෙස තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වුවත් සමහර අවස්ථාවන්වල දී ඔහුගේ හෑසිරීම සහ විනය ගැන නම් කිසිසේත්ම කතා කිරීමටවත් නොහැකිය. ඔහු ඒ තරමටම විනය අතින් පිරිහුණු ක්‍රීඩකයෙකි.

ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඔහු වරක්, දෙවරක් නොව කිහිප වරක්ම වීනය විරෝධී ලෙස හැසිරී තමන්ගේ පමණක් නොව ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලාංකික නාමය ද කෙලෙසූ පුද්ගලයෙකි. කොතරම් වැරදි කළත් වගකිවයුතු නිලධාරීන්ගෙන් ඔහුට නිසි දඬුවම් ලැබුණේ ද නැත. එලෙස දඬුවම් ලැබුණා නම් ඔහු දෙවෙනි වර එවැනි වරදක් නොකරනු ඇත. එලෙස නොලැබුණු නිසා ඔහු කිසිදු බියක් සැකක් නොමැතිව නැවත නැවතත් එවැනිම ආකාරයේ වැරදි කිරීමට පෙළඹුණි. ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගිවූ ඔහු නැවත වරක් විනය විරෝධීව හැසිරී මෙම ලිපිය ලියන විටත් ඔස්ට්‍රේලියානු සිර මැදිරියක කල් ගෙවමින් සිටී. එම සිද්ධිය සැකෙවින් මෙසේය.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී සුදු ජාතික කාන්තාවක ලිංගික හිංසනයකට ලක්කර ඇති ආකාරය එරට අධිකරණ වාර්තා ඇසුරින් theage.com.au ප්‍රවෘත්ති වෙබ් අඩවිය සම්පූර්ණ හෙළිදරව්වක් කර තිබේ. එම වාර්තාවෙන් හෙළිකර ඇත්තේ ධනිෂ්ක එම කාන්තාව සමග මත්පැන් පානය කර පසුව අසාමාන්‍ය ලෙස අවස්ථා කිහිපයකදී හිංසනයට ලක්කරන හැටිය. ඇයගේ හුස්ම හිරවන ලෙස ඔහු ශරීරය තද කරන ආකාරයත් කොන්ඩම් නැතිව ඇගේ අකමැත්තෙන් ලිංගිකව එක්වන ආකාරයත් එහි විස්තර වේ. අවසානයේ ඇයට මෙම සිදුවීම නිසා ජීවිත බියක් දැනී ඇතැයිද, ඇගේ මොළයට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය බවට වෛද්‍ය නිර්දේශ ලැබී ඇතැයිද අධිකරණ වාර්තාවේ දැක්වෙයි. ඒ අනුව ඔහුට විරුද්ධව ස්ත්‍රී චෝදනා 4 ක් සම්බන්ධයෙන් නඩු පවරා ඇත.

එම සම්පූර්ණ විස්තරය මෙසේය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රකට ඩේටින් ඇප් එකක් වන ‘ටින්ඩර්’ ඔස්සේ ඇය ඔහු සමග මිතුරුවී තිබේ. ඔක්තෝබර් 29 වන දින සිට දින 4 ක් තිස්සේ ටින්ඩර් සමඟ දෙන්නා චැට් කිරීම් සිදුකර ඇති අතර වීඩියෝ ඇමතුම් ඇතුළුව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඇමතුම් ද ලබාගෙන තිබේ.

31 හැවිරිදි ධනිෂ්ක 29 හැවිරිදි මෙකී කාන්තාවට නොවැම්බර් 2 වැනි දින සිඩ්නි හි ඔපෙරා බාර් හිදී පෞද්ගලිකව හමුවීමට ආරාධනා කර තිබේ. සසෙක්ස් වීදියේ ‘හයට් රීජන්සි හෝටලයේ’ රැඳී සිටි ධනිෂ්ක ගුණතිලක ඇය හමුවන්නට යන්නේ රාත්‍රී 8.20 ට පමණය..

මෙම යුවල පැය භාගයක් තැබෑරුමේ රැඳී සිට ඇති අතර, එම අවස්ථාවේදී විත්තිකරු ප්‍රමිතිගත මත්පැන් දෙකක් සහ කාන්තාව බීම වර්ග පහක් පානය කර ඇති බව පොලිසිය පවසයි. ධනිෂ්ක සහ කාන්තාව පසුව Frankiezs Pizza වෙත ගොස් ඇති අතර අනතුරුව රාත්‍රී 10.20 ට පමණ ඔවුන් දෙන්නාම ඇගේ නිවසට පිටව යති. නිවසට ගමන් කර ඇත්තේ දිය මතිනි. බොට්ටු සේවාවක් ඔස්සේය.

ක්‍රිකට් කෙළියට ගිහින් රති කෙළියේ තරම පෙන්වූ ධනුෂ්ක

තොටුපළක් ළඟ බෝට්ටුවක් එනතුරු බලා සිටියදී ධනිෂ්ක එම කාන්තාවට “ඔහුගේ ශරීරය තදකර” “බලහත්කාරයෙන්” සිපගත් බවත්, ගමනේදී “ඔහුගේ අතින් ඇගේ තට්ටම්වලට පහර දී” ඇති බවත්, ඊට ඇය “ඕයි” යැයි පිළිතුරු දුන් බවත් පොලිසිය චෝදනා කරයි.

අනතුරුව නිවසට ගිය පසු නිවසේ දී ධනිෂ්ක “තත්පර 20-30 අතර කාලයක් ඇගේ ගෙල වටා එක් අතක් තබා ගෙල සිරකර තැබූ” බව පැමිණිල්ලේ දැක්වේ. “මං කිසිවක් කිරීමට බිය වුණා, ඔහු තවත් දෙවරක් ගෙල සිර කරා” ඇය සඳහන් කරයි.

තුන්වන අවස්ථාවේදී ඔහු ඇයගේ හුස්ම හොඳටම සිරකර බවත් ඔහුගේ මැණික් කටුව අල්ලාගෙන අත ඉවත් කිරීමට දැඩි උත්සාහයක් ගත් බවත් පවසන ඇය එම අවස්ථාවේ කේන්තියෙන් තවත් තත්පර 10 ක් පමණ ඇගේ බෙල්ල ඔහු තදින් මිරිකාගෙන සිටි බව කියා සිටියි.

“මෙම අවස්ථාවේ පැමිණිලිකාරිය ඇගේ ජීවිතය ගැන බියෙන් සිටි අතර විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි විය,” පොලිසිය චෝදනා පත්‍රයේ සඳහන් කරයි.

හුස්ම හිරවීම සිදු වූ බව කියන අවස්ථාවේ දී, කාන්තාව දැඩි ලෙස දුර්වල තත්ත්වයට පත්වූ බවත් ඒ සමග ඔහු විනාඩි 10-15 අතර කාලයක් ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවත් පොලිස් කරුණු කියයි.

පසුව ධනිෂ්ක ගුණතිලක ඇඳ අද්දර වාඩි වී සිටි අවස්ථාවේදී, “කොන්ඩමයක් බිම ඇති” බව දැක තිබේ. ඔහු බලහත්කාරයෙන් සම්බන්ධවී ඇත්තේ ඇගේ ජීවිතයට අනපේක්ෂිත කරදරයක් කරමින් බවට දැනගත් පසු පැමිණිලිකාරිය කම්පනයට පත් වූ නමුත් චූදිතයාට කිසිවක් පැවසීමෙන් තත්ත්වය දරුනු විය හැකි යැයි බියක් දැනුණ බව ඇය දන්වා ඇතැයි පොලිස් කරුණු සඳහන් කරයි.

මෙම චෝදනාවේ දෙවන තුන්වන සහ සිව්වන චෝදනා අතිශය අසභ්‍යය. ඔහු ඇගේ රහස් මාර්ගයට හා මුඛ මාර්ගයට ලිංගික බලහත්කාරය සිදුකළ අයුරු චෝදනාවලින් දැක්වේ.

අධිකරණ වාර්තාවේ මෙසේ දැක්වේ.

‘The second charge relates to the alleged aggressive digital penetration of the woman’s vagina” while the third and fourth charges are allegations that Gunathilaka had put his penis in her mouth’‘

පොලිසිය චෝදනා කරන්නේ මෙම කාන්තාව “ශීත වී කම්පනයට පත්ව සිටි අවස්ථාවේ ධනිෂ්ක ගුණතිලක කුලී රථයක් ගෙන්වාගෙන ඇගේ නිවසින් පළා ගොස් ඇති බවය.

පසුදින පැමිණිලිකාරිය “ඇයට සිදු වූ දෙය මිතුරන් දෙදෙනකුට පවසා” උපදේශන සේවාවකට කතා කර පොලිසියට සම්බන්ධ වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යෑමට පෙර සසෙක්ස් වීදියේ හයට් රීජන්සි හෝටලයේදී ධනිෂ්ක ගුණතිලක ඉරිදා උදෑසන අත්අඩංගුවට ගනු ලැබූ අතර අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය. සංවෘත නඩු විභාගයකදී ඔහුට ඇප ප්‍රතික්ෂේප විය.

ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් පසුගිය සඳුදා අධිකරණයේ පෙනී සිටි නීතිඥ ආනන්ද අමරනාත් මහතා නඩුවෙන් ඉවත් වී ඇත.

ඉන් පසු ඔහු වෙනුවෙන් ඩිෆෙන්ස් බැරිස්ටර් සෑම් පරරාජසිංහම් සහ සොලිසිටර් සාරා බ්ලැක් පෙනී සිටියහ.

මොකද්ද අර 4 කතාව

4 counts of sexual intercourse කියන්නේ “සිව් වතාවක් ලිංගිකව එකතු වීම” කියන අදහස නොවේ. ගොඩක් අය ඒක වැරදියට වටහාගෙන තිබ්බා. ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් චෝදනා 4 ක් යන්න තමයි මෙහි අදහස වෙන්නේ. ඔය කියන දූෂණ චෝදනා 4 තමයි මේ.

ශාරීරිකව වධ හිංසා කිරීම පහර දීම

අවසරයකින් තොරව අනාරක්ෂිත ලෙස ලිංගික චර්යාවල නිතර වීම.

අවසරයෙන් තොරව පෞද්ගලික දේපලක බලහත්කාරයෙන් රැඳී සිටීම.

කැමැත්තෙන් තොරව ලිංගිකව බලහත්කාරකම් කර ඇයට තවත් වධ දීම. කාන්තාව කියන විදියට ධනිෂ්ක ගුණතිලක එයාගේ බෙල්ල හිර කරලා හුස්ම ගන්න අපහසු වෙන විදියට ඉඳලා තියෙනවා.

වරක් නොව කිහිප වරක්ම එලෙස කරලා තියෙනවා. මෙන්න මේක තමයි තියෙන බරපතළම චෝදනාව. ඇයට ජීවිතයට හානියක් වෙයි කියලා හිතුනලු.

තත්ත්වය මෙසේ තිබියදී ධනිෂ්ක ගුණතිලකට ඇප ලබාදීම දෙවන වරටත් ප්‍රතික්ෂේප විය. එයට ප්‍රධාන හේතුව වශයෙන් එරට අධිකරණය පැවැසුවේ ධනිෂ්ක ගුණතිලක විදේශිකයකු වීම සහ ඔහු ලබා දෙන ලිපිනයේ සිටින බවට සහතික විය නොහැකි බවයි. ඒ අනුව මෙම නඩුව අවසන් වන තුරු ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට එරට අධිකරණය නියෝග කර තිබේ. ප්‍රධාන නඩුව නැවත කැඳවීමට නියමිතව ඇත්තේ ජනවාරි 12 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති චානක සේනාරත්න මහතා පැවසුවේ මෙවන් අදහසකි.

“බේල් ඇප්ලිකේෂන් තීන්දුවට එරෙහිව අභියාචනයක් සුප්‍රින්කෝට් උසාවියේ ෆයිල් කරනවා. නමුත් හොයලා බලපුවාහම ඒකට කාලය යනවා වැඩියි. එම නිසා අපි තීරණය කරා දෙවැනි ඇප්ලිකේෂන් එක මහෙස්ත්‍රාත් උසාවියේම වෙනත් මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේදී කඳවීමට ඉල්ලීමක් කරන්න. ඒක බොහෝම ඉක්මනින් ගන්න පුළුවන්. මම හිතන්නේ සිකුරාදා (11 වැනිදා) වෙනකොට ඒක හරියනවා. (සිකුරාදා යනු මෙම ලිපිය ලිවීමට පෙර දිනයකි.) එහෙම වුණොත් සිකුරාදා හෝ සඳුදා නැවතත් නඩුව ඉස්සරහට ගන්න වෙනවා. මෙම සිද්ධිය වුණේ බදාදා. ඒ අය පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ සෙනසුරාදා. සෙනසුරාදා රෑ අපේ ටීම් එක ලංකාවට එන්න පිටත්වෙනවා. පොලිසියටත් තිබුණේ නෑ එතරම් අවස්ථාවක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා ඉවරවෙලා අත්අඩංගුවට ගන්න. අනිවාර්යයෙන්ම ඔහු අත්අඩංගුවට ගත්තේ නැත්නම් යනවා. පොලිසියට සිදුවුණා එදා රෑ අත්අඩංගුවට ගන්න. කේස් එක ඉදිරියට ඇදීගෙන යද්දි ඒ අයට පේනවා නම් මේක ඉදිරියට ගෙනියන්න තරම් සාක්ෂි මදි, නඩුව වැටෙන්න යන්නේ කියලා අනිවාර්යයෙන්ම ඔවුන් ඉල්ලා අස්කර ගැනීමේ සම්භාවිතාවක් තියෙනවා. මේක දිනන්න පුළුවන් නඩුවක්. ධනිෂ්ක ගුණතිලක තනිකඩයෙක්. DATING APP කියන්නේ මිනිස්සු හොයන්න ගෑනු අය යන තැනක්. ඒ තැන එයා ඉන්නවා කියන්නේ, අනිවාර්යයෙන්ම මිනිස්සු හොයනවා. ඒකට යෑමට කිසිදු නීතිමය බාධාවක් ඔහුට නෑ. මෙහාට ගෙනාවට පස්සේ ඕන දඬුවමක් දෙන්න පුළුවන්. දඬුකඳේ හරි ගහන්න පුළුවන්. නමුත් ඉස්සෙල්ලාම ඔහුව බේරගන්න ඕනේ.”

ඒ කෙසේ වෙතත් ධනිෂ්ක ගුණතිලකගේ මෙම සිද්ධිය පිළිබඳව බොහෝ අය චෝදනා එල්ල කළේ ඔහුට විරුද්ධවයි. ඒ මන්ද යත් ඔහු ඔස්ට්‍රේලියාව බලා සංචාරය කළේ ජාතික ක්‍රීඩකයකු වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ය. එලෙස ගිය ඔහු මෙවැනි ක්‍රියාවක් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. වරක් දෙවරක් නොව කිහිප වරක්ම ඔහු මෙලෙස විනය විරෝධී කටයුතුවල යෙදී තිබේ. ඒ අනුව ඔහු නිවැරදිකරු වුවත් නැවත වතාවක් මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු කරගත යුතු අයෙකු නොවේ. ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම ඒ සම්බන්ධ වගකිවයුතු බහුතරයක් නිලධාරීන්ගේ ද මතය එයයි. ඇත්තටම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නොමැකෙන කළු පැල්ලමක් එක් කළ ක්‍රීඩකයෙකි.

තවද මෙවර ලෝක කුසලාන සංචාරයේදී ධනිෂ්ක ගුණතිලක පමණක් නොව තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම විනය විරෝධී ලෙස හැසිරී තිබේ. චාමික කරුණාරත්න ඉන් එක් අයෙකි. කැසිනෝ ශාලාවක් තුළ පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් පිළිබඳව ඔහුට චෝදනා එල්ලවී තිබේ. ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් දැනගන්නට ලැබී තිබේ. එයට අමතරව භානුක රාජපක්ෂ ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටතට ගොස් නියමිත වේලාව පසු වී පැමිණි ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ. ඒ පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙවර ලෝක කුසලානයට සහභාගි වූ ක්‍රීඩකයන් තමන් පැමිණි ප්‍රධාන කාර්ය අමතක කොට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ නිවෙස්වල සාදවලට වැඩි වශයෙන් සහභාගි වී ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ. ශ්‍රී ලංකා නැම්බියා තරගයට පෙරදින සාදයකට සහභාගි වී ඇති අපේ ක්‍රිකට් කණ්ඩායම නැවත පැමිණ ඇත්තේ තරගය පැවැත්වෙන දින පාන්දර පහයි තිහට පමණය. ඒ අනුව පෙනී යන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙවර සහභාගි වී ඇත්තේ ලෝක කුසලානයට මුහුණ දීමට නොව තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගනිමින් පොඩි ෆන් එකක් ගැනීම සඳහා බවයි.

ක්‍රිකට් කෙළියට ගිහින් රති කෙළියේ තරම පෙන්වූ ධනුෂ්ක

ඔවුන් එලෙස සතුටු වුවත් ක්‍රිකට්වලට ආදරය කරන ප්‍රේක්ෂකයෝ සිටියේ දැඩි කනස්සල්ලකින්ය. අපි ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ආදරය කරන බොහෝ දෙනකුගෙන් විමසුවෙමු. එවිට ඔහුන් පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ වීමට ප්‍රධානම හේතුව වශයෙන් සඳහන් කළ හැක්කේ ක්‍රීඩකයන්ගේ විනය නොමැතිවීම යන්න බවයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ රැවන්ත සෙන්දනායක නම් ක්‍රිකට්වලට දැඩි ලෙස ආදරය කරන තරුණයකු අපට පැවසුවේ අද මෙවැනි දෙයකි.

“ධනිෂ්කගේ ප්‍රශ්නය මිනිස්සු කතා කරන්නෙ වෙනම කෝණයකින්. සමහර මිනිස්සු නිලධාරීන් ඒක සාධාරණය කරනවා. ඒක වෙන්නෙ ක්‍රීඩකයන්ගෙ කළමනාකරුවන් සමාජ මාධ්‍ය තුළට සල්ලි පොම්ප කරලා මතයක් ගොඩනැඟීම තුළ. ඒත් මම දකින්නෙ ඒක වෙනස් විදියකට. අපිට ධනිෂ්ක කියන පුද්ගලයා විදියට ගත්තොත් ඔහු කොල්ලෙක්. උගේ ආතල් එක ඌ කොහොම ගත්තත් අපිට වැඩක් නෑ. ඒක එයාගේ පුද්ගලික ජීවිතය. මෙතන අවුල හැදෙන්න හේතු ගාණක් තියෙනවා. එකක් මේක වර්ල්ඩ් කප් ටූනර්මන්ට් එක. ක්‍රිකට් බෝඩ් එකේ වියදමෙන් රට නියෝජනය කරන්න මිලියන 22 ක ජනතාවගේ සතුට ගේන්න ඔවුන් ගියේ.”

“ඔවුනට වඩා තරග ගැන උනන්දුවෙන් පිස්සුවෙන් තරග නරඹන ප්‍රේක්ෂකයන් සිටින රටක නියෝජනය ඔවුන්. අපේ බලාපොරොත්තු ඔක්කොම තියෙන්නෙ ඔවුන් ළඟ. ලංකාවේ තවත් දක්ශතම ක්‍රීඩකයන් ගොඩක් ඉන්න අතරේ එයින් තේරුණ ක්‍රීඩකයන් 15 ක් රට වෙනුවෙන් ගිය ගමනක්. එහෙම ගිහින් තමන්ගේ වගකීම් ඉටු නොකර ඔවුනගේ පුද්ගලික අවශ්‍යතා ඉෂ්ට කරගන්නවනම් ඒක නිවැරදි වෙන්නෙ කොහොමද. අනික ඉන්ජර්ඩ් වෙච්චි ක්‍රීඩකයෙක්, ඔහු වෙනුවට තව ක්‍රීඩකයෙක් ආදේශ කරලා තියෙද්දී ඇයි ඔහුව තවත් ඒ රටේ තියාගන්නෙ. තව දුරටත් ඔහුව ආදේශ කරගැනීමට අවශ්‍ය නම් එය විහිලුවක්.

“අනික ධනිෂ්ක අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අවස්ථා ගණනාවක් මේ වගේම කළු පැල්ලම් එක් කළා. ඔහුගේ පුද්ගලික අවස්ථා ගැන නම් ප්‍රශ්නයක් අපිට නෑ. හේතුව ඒක ඔහුගේ ජීවිතය. ඒත් ක්‍රීඩාව තුළ නියැළෙන විට ඔහු අපේ රට නියෝජනය කරන්නෙ.”

“ඉස්සර අර්ජුන රණතුංග නායකත්වය හොබවන කාලයේදි රෑ 10 වන විට හෝටල් කාමරයට පැමිණිය යුතු වන නීති දාගෙන හොඳ විනයක් තබා ගත් නිසා අපි ක්‍රීඩාවෙන් ඉදිරියට ආවා. ඒත් අද නායකයා තුළින් එවැන්නක් දකින්නට නෑ. අපිට අහන්නට දකින්නට ලැබුන නිවුස් අනුව සමහරක් ප්‍රශ්න විසඳන්න නායකයාම මැදිහත් වුණ බව දකින්නට ලැබුණා. ටීම් එක ඇතුලෙ විනය නැති වෙන්න ප්‍රධාන හේතුවක් දිගින් දිගටම මේ වගේ සිද්ධීන් ඇති වීම. අනික ඔවුනගේ පුද්ගලික ජීවිතය ක්‍රීඩාවට ගෙන නොයා යුතු බව ඔවුන් හොඳින්ම දැන ගත යුතුයි.”

“විනය නැති ක්‍රීඩාවක් තුළ ලබාගන්නා ජයග්‍රහණයක් නොමැත. ලබාගත්තද එය පවත්වාගෙන යා නොහැක. ධනිෂ්ක අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගෙන යන්නෙ එවැනි වූ තැනකටයි. පාලනයක් නැති පාලක මණ්ඩලයක් හා බලයට යට වූ තේරීම් කමිටුවක් හා පතෝල න්‍යායෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම් කළමනාකාරීත්වයක් තුළ වගකීම් විරහිත නායකයෙක් යටතේ තව තවත් මෙවැනිම වූ සිද්ධීන් ඉදිරියට ද වාර්තා වනු ඇත. ධනිෂ්කලාද පොකුරු පිටින් බිහි වනු ඇත.”

මෙතනින් එහාට ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කර ඵලක් නොමැත. එහෙත් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගැනීමට අවස්ථාවක් තිබේ. ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් අපක්ෂපාතීව ක්‍රියාත්මකවී කොන්ද කෙලින් තියාගෙන කටයුතු කළයුතුය. එසේ නොවුණහොත් ධනිෂ්ක ගුණතිලකලා වැනි අය තවත් පොකුරු පිටින් බිහිවී දශක ගණනාවක් ජාත්‍යන්තරයේ ප්‍රමුඛස්ථානයක වැජඹුණු ශ්‍රී ලංකා ක්‍රිකට් නැත්තටම නැතිවී යයි.

ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනිෂ්ක ගුණතිලකගේ සිද්ධිය පිළිබඳව මෙවන් නිවේදනයක් ද නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ බන්ධනාගාරගතව සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටීමට හෝ කිසිදු ආකාරයක ප්‍රකාශයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ කිසිදු නීතිඥයකුට බලය පවරා නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහජනතාවට දැනුම් දෙනවා.

ක්‍රිකට් ආයතනය විසින් මෙම නිවේදනය කිරීමට හේතුව ලෙස දක්වන්නේ, ධනිෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥයන් කිහිප දෙනකු විසින් මෑතක දී කරන ලද සමහර ප්‍රසිද්ධ ප්‍රකාශයන් තුළින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටිනවාය යන හැඟීම ඇති කරන බව ක්‍රිකට් ආයතනයට නිරීක්ෂණය වූ බවයි.

එසේම එම නීතිඥවරයා විසින් කරන ලද අදාළ සිද්ධිය හා සම්බන්ධ ප්‍රකාශයන් පිළිබඳව හෝ ඒවායේ අන්තර්ගත කරුණුවල සත්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු වගකීමක් දරන්නේ නැති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment