ක්‍රිකට් තේරීම් කමිටුවට සුදුස්සන් තෝරන්න -ජාතික ක්‍රීඩා තේරීම් කාරක සභාව අද යළි රැස්වෙයි

279

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කිරීම සඳහා යෝජනා කරමින් එවනු ලැබූ නම් ලැයිස්තුව පිළිබඳව අවසන් තීරණය ගැනීම සඳහා ජාතික ක්‍රීඩා තේරීම් සභාව යළි අද (30 වැනිදා) රැස්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කිරීමට යෝජනා කරමින් ක්‍රිකට් ආයතනය විසින් පුද්ගලයන් දසදෙනකුගේ නම් ලැයිස්තුවක් පසුගියදා ජාතික ක්‍රීඩා තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබුණද ඒ සඳහා තවත් සුදුසු අය වේ නම් එම නම් ද ඇතුළත් කර නව ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙස ජාතික ක්‍රීඩා තේරීම් කාරක සභාව දැනුම් දී තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා තේරීම් සභාවට පසුගියදා ඉදිරිපත් කරන ලද නම් ලැයිස්තුව සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයන් සියලුදෙනාගේ නම් ද ඇතුළත්ව තිබූ අතර ඊට අමතරව තවත් හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනකුගේ නම් ද එම ලැයිස්තුවට ඇතුළත්ව තිබූ බව සඳහන් වේ.

එහෙත් ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා තවත් සුදුසු අය වේ නම් ඒ නම් ද ඇතුළත් කර නැවත ලැයිස්තුවක් එවන ලෙස ද ඒ සඳහා සුදුසු පුද්ගලයන් පත් කිරීම සඳහා යළි අලුතින් නාමයෝජනා කැඳවීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ජාතික ක්‍රීඩා තේරීම් සභාව අනුමැතිය ඉල්ලා තිබුණු බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලසීමාව පසුගිය දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වූ බැවින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ඉල්ලා ක්‍රිකට් ආයතනය එම නම් ලැයිස්තුව එවා තිබිණි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුතු හිටපු ක්‍රිකට් තේරීම් කමිටුවට රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමසිංහ, වරුණ වරාගොඩ සහ උවෙයිසුල් කර්නයින් ඇතුළත් වූහ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ක්‍රීඩා තේරීම් කාරක සභාවේ සභාපතිවරයා වන අතර හිටපු ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ද එහි සාමාජිකයෙකු වේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment