ක්‍රිකට් නිලවරණයට ෂම්මි පාර්ශ්වයෙන් පමණයි

401

ෂම්මි, ජයන්ත සහ සමන්ත සභාපති ධුරයට:
මොහාන්, සමන්ත, රොෂාන් සහ නලින් ලේකම් ධුරයට

වසර 2023-25 ට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරාගැනීම සඳහා නාමයෝජනා භාරගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාපිත නිලවරණ කමිටුව හමුවේ ඊයේ (28 වැනිදා) පස්වරු 3.30ට අවසන් කෙරුණු අතර ඒ සඳහා එක් පාර්ශ්වයක් පමණක් නාමයෝජනා ඉදිරිපත් කර තිබුණි.

වත්මන් සභාපති ෂම්මි සිල්වා මහතාගේ පාර්ශ්වයෙන් පමණක් කණ්ඩායම් 04ක් ඉදිරි නිලවරණය සඳහා ඒ අනුව නාමයෝජනා භාරදී තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව සභාපති ධුරය සඳහා වත්මන් සභාපති ෂම්මි සිල්වා මහතා තෙවැනි වරටත් නාමයෝජනා භාර දී තිබුණු අතර වත්මන් උපසභාපති ජයන්ත ධර්මදාස සහ ක්‍රිකට් තරග කමිටු අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල යන මහත්වරු ද ඊට අමතරව සභාපති ධුරය සඳහා නාමයෝජනා ලබාදී තිබුණි.

වත්මන් ලේකම් මොහාන් ද සිල්වා මහතාට අමතරව ලේකම් ධුරය සඳහා රොෂාන් ඉද්දමල්ගොඩ, සමන්ත දොඩන්වල සහ නලින් අපොන්සු යන මහත්වරු නාමයෝජනා භාර දුන්හ.

උපසභාපති ධුර 02ක් සඳහා නාමයෝජනා 05ක් ඉදිරිපත්ව ඇති අතර, වත්මන් උපසභාපතිවරු වන ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න මහත්වරුන්ට අමතරව විනෝදන් ජෝන්, කුමාර හැලඹගේ සහ සමන්ත දොඩන්වල යන මහත්වරු ඒ සඳහා නාමයෝජනා භාර දුන්හ.

භාණ්ඩාගාරික ධුරය සඳහා වත්මන් භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතාට අමතරව සුජීව ගොඩලියද්ද මහතා ද නාමයෝජනා ඉදිරිපත් කළේය.

උපලේකම් ධුරය සඳහා ක්‍රිශාන්ත කපුවත්ත, ඩිලාන් පොලොන්නෝවිට, නිෂිත රූපසිංහ සහ ෂම්මි ගුණසේකර යන මහත්වරු නාමයෝජනා ලබාදුන්හ.

මීට අමතරව උප භාණ්ඩාගාරික ධුරය සඳහා නලින් අපොන්සු, කිත්සිරි ද සිල්වා සහ සුජීව ගොඩලියද්ද යන මහත්වරු නාමයෝජනා ඉදිරිපත් කළහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment