ක්‍රිකට් පිටියේ මුනිවර ලකුණ

1014

මහේන්ද්‍ර සිං දෝනි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට පියවර තැබුවේය. එම ක්‍රීඩාංගණය පිහිටියේ අහමදාබාද් හිය. අහමදාබාද් යනු ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි නගරයකි. එය ලොව විශාලතම ක්‍රීඩාංගණය ලෙස ද සැලකේ. දෝනි නියෝජනය කළේ චෙන්නායි කියනවට වඩා චෙන්නායිහි ‘සලකුණ’ දෝනි බව කිව්වොත් නිවැරදි ය.

ප්‍රාන්තය කොහේ වුණත් දෝනි ඉන්දියාවට පොදු සාධකයකි. ලොව වැඩිම ජනතාවක් වෙසෙන රාජ්‍යයේ ජන නායකයා මෝදි නිසා ඔහුව ප්‍රතික්ෂේප කරන අති විශාල ජනතාවක් ද එසේම ඉන්දියාවේ වේ. එහෙත් දෝනිව ප්‍රතික්ෂේප කරන්නන් ඉන්දියාවේ නොමැත. ඉන්දියාවේ නොමැති නම් ‘ලොවෙත්’ ඔහු ප්‍රතික්ෂේප කරන්නන් වේ යැයි සිතිය නොහැක.

ප්‍රාන්තය කොහේ වුණත් ඉන්දීය ජනතාවගේ කැමැත්තේ පොදු සලකුණ වන දෝනි ඉන්දියාවේ නිල නොලත් ජන නායකයා මෙන්ම නිලනොලත් දෙවියෙක් ලෙස දැන් සැලකේ. ඔහුට දැන් නැත්තේ දෙවොලක් පමණි. එදා අයිපීඑල් අවසාන මහා තරගය සඳහා අහමදාබාද් ක්‍රීඩාංගණයට රැස් වූ ජන ගඟ අවසන් පන්දුව තෙක්ම දෙලොවක් අතර අතරමං වෙද්දි දෝනි පමණක් සිය ‘දෙවොලේ’ වූයේය. ඔහුගෙන් වදන් නොමැත. සියල්ල උපේක්ෂාවෙන් විඳ දරාගෙන සිටින බවක් පෙනේ. ලොව ප්‍රබලතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ එක් කණ්ඩායමක නායකයකු ලෙස කටයුතු කළ ඔහු ගෙන් එදා දිස් වුණු චරිත ලක්ෂණ වෙන කවුරුන්ගෙන් හෝ දැක තිබේද?

1996 ලෝක ක්‍රිකට් කිරුළ දිනූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග එකල අපට සිටි ‘කැප්ටන් කූල්’ ය. එලෙස තව නායකයකු හඳුන්වනවාට අප තුළ එතරම් කැමැත්තක් මුලින් නොතිබුණි. එහෙත් දෝනි අපටත් නොදැනීම ‘කැප්ටන් කූල්’ පට්ටමෙනුත් එහාට ගොස් ලොව අකම්පිත නායකයා වී ඇත. හේ දැන් මුනිවරයකු මෙන් සියල්ල විඳ දරා ගැනීමට සමත් වී ඇත.

වරෙක ලෝඩ්ස් හිදී ටෙස්ට් තරගයක් ජය ගත් ඉන්දීය නායක සව්රව් ගංගුලි එම ජයග්‍රහණය සැමරුවේ සිය ටීෂර්ටය ගලවා විසි කර දමමිනි. බොහෝ කලක් ඉන්දීය ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ විරාත් කෝලි සහ එකල අංක 3 පිතිකරු ගෞතම් ගම්භීර් තවමත් පිට්ටනියේදී රණ්ඩු ය. සෙසු ක්‍රීඩකයන් නොමැති නම් ඒ රණ්ඩුවේ කෙළවර රෝහල ද නොඑසේ නම් ඊටත් එහාට යා හැකි දැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. මේ අයිපීඑල් පිටියේම තරගයකදී මුම්බායි හි හර්බජාන් සිං පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩක ශ්‍රීසාන්ත්ට පිට්ටනිය මැද්දේම ‘හෙණ ගසන්නට’ මෙන් කනේ පහරක් දුන්නේය. 2008 දී අයිපීඑල් පටන් ගත්තේ එසේය. 2023 අයිපීඑල් ඉවර වුණේ මෙසේය. අතිශය තියුණු එහෙත් සාමකාමී ලෙස ඒ තරගය එසේ ඉවර වුණේ ‘චෙන්නායි නැවේ කපිතාන්’ දෝනි නිසාය. එම අවසන් තරගයේ ජයග්‍රහණය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමි වූයේ නම් විරාත් කෝලි එදා අහමදාබාද් හිදී මොන නැටුමක් නටයි දැයි සිතාගත නොහැක. එසේම එම අවසන් මහා තරගයේ කෝලි ගේ ප්‍රතිවාදීන් ලෙස ගෞතම් ගම්භීර් පුහුණුකාරීත්වය දරන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සිටියේ නම් අනිවාර්යෙන් හොඳ වලියක් නම් බලා ගන්නට හැකිවනවා ඇත.

මේ බලි සහ වලි අතර නොසැලී සිටින මිනිසා දෝනි ය. අවසන් මහා තරගයේදී තම කණ්ඩායමට එරෙහිව ප්‍රතිවාදීන් ලකුණු 214 ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර තිබියදීත් දෝනි ඒ පිළිබඳව කිසිදු තැකීමක් නැති මිනිසකු මෙන් මතීෂ පතිරණගේ කරට අත දාගෙන ඔහුට යම් ඔවදනක් දෙමින් මෙන් පිටියෙන් පිටට පැමිණේ.

එම තරගයේදී මතීෂ අතින් නිපන්දු කීපයක් ගිය ද දෝනි නොවේ මතීෂ දෙස අමනාපයෙන්වත් බැලුවේ. එදා තම සියලු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වෙද්දී දෝනි මුහුණේ ඉරියව්වකින්වත් නොසැලී සිටියේ කෙසේද?. එහෙත් තත්පරයෙන් දහයෙන් පංගුවක වේගයකින් ශුබ්මන් ගිල් ගේ කඩුල්ලේ ‘බේල්ස්’ හලමින් තමන්ට ඇති ලොකුම හිසරදය පිටියෙන් ඉවත් කර ගැනීමට ඔහු සමත් වූයේ ය.

අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම නිමිත්තෙන් ඔවුන් තරග කළේද ගුජරාට් කණ්ඩායම සමගය. එම තරගයේ දී 16 වැනි පන්දුවාරය යැවීමට පැමිණි මතීෂ පතිරණ ට ඒ සඳහා දැන්ම අවස්ථාව නොමැති බව විනිසුරුවරු දෝනිට දැනුම් දුන්හ. ඉන් පසු මතීෂට පන්දු යැවීමට සුදුසු අවස්ථාව එනතෙක් දෝනි විනිසුරුවරු සමග සංවාදයක පැටලී සිටියහ. එය විනාඩි තුනහමාරකටත් එහා ගිය කාලය කා දැමීමකි. දෝනි එය වරදක් බව දනී. එහෙත් දෝනි සිය සැලැස්ම ක්‍රිකට් නීතියට වඩා වටිනා බව සැලකීය. මතීෂ ට නියමිත පන්දුවාර හතර අවසන් කරන්නට හැකි වුණේ දෝනිගේ එම උපාය නිසාය. දෝනි එම තරගය සඳහා සිය පන්දු යවන්නන් පස් දෙනා සමග නියමිත පන්දු වාර සංඛ්‍යාව අවසන් කරන්නට සැලසුම් කර තිබෙන්නට ඇත. එම අවස්ථාවේ මතීෂට පන්දුව නොදුන්නේ නම් වෙනත් අතිරේක පන්දු යවන්නකු යොදාගැනීමට දෝනිට සිදුවේ. එසේ වූවා නම් තරගය කණපිට හැරෙන්නට වුවත් බැරි නැත. කාලය කා දැමීමෙන් තමා කරන වරද මත අවසන් තරගයේදී ඔහුට ක්‍රීඩා කරන්නට අවස්ථාව නොලැබුණත් කණ්ඩායමට අවසන් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබිය යුතු බව සිතූ දෝනි මතීෂට අවස්ථාව එනතෙක් ම සිටියේය. එවැනි ලක්ෂණ අද ක්‍රිකට් පිටියේ වෙන කවුරුන් ගෙන් අප දකින්නද? අවසානයේ මතීෂට 16 වැනි පන්දුවාරය ලබා දුන්නේ ය. මතීෂ සිය පන්දු වාර 4 ලකුණු 28කට සීමාකර කඩුලු දෙකක් ද දවා ගත්තේය. දෝනිගේ එම සැලසුම නොවූයේ නම් එදා චෙන්නායි ලකුණු 15 කින් දිනන්නට ඉඩ නොතිබුණි. එසේ නම් 2023 අයිපීඑල් කතන්දරය ද මීට වඩා වෙනස් වන්නට තිබුණි. දුර දක්නා දෝනි එහෙත් කර තිබුණේ වැරදි වැඩකි. සිතුවේ ජය ගැන පමණි. ඊට පෙර තරගයක් අවසානයේ තමන් ද දෝනි යටතේ ක්‍රීඩා කරන්න කැමති යැයි ප්‍රකාශ කර සිටි සුප්‍රකට ක්‍රිකට් විචාරක සුනිල් ගවස්කාර් ද දෝනිගේ මෙම වැරදි වැඩේට දොස් පැවරීය.

හිටපු ඔස්ට්‍රේලියා විනිසුරු ඩැරල් හාපර් කියා තිබුණේ ‘නීතියට වඩා පුද්ගලයන් බලවත් වී ඇති බවයි’.

එහෙත් දෝනි අවසන් මහා තරගයට ද ක්‍රීඩා කළේය. සැබැවින්ම එම වරදට දෝනි ට අවසන් මහා තරගය අහිමි වූයේ නම් එදා අහමදාබාද් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් කුමන ආකාරයෙන් හැසිරෙනු ඇතිදැයි අනුමාන කළ නොහැක. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගය පැවති ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් මෙදා අහමදාබාද්වලින් මතු විය නොහැකි බව නොසිතන්න.

මෙවර අවසන් මහා තරගයේ පළමු දිනය වැස්සට සේදී යද්දී දුම්රිය නැවතුම් පොළවල, බස් හෝල්ට්වල පදික වේදිකා ගාණේ මිනිස්සු කාලය ගත කළහ. ඔවුන්ගෙන් බොහෝ දෙනා කීවේ අපි ආවේ දෝනි බලන්නට යයි කියාය. ඔවුන් ට දැන් ක්‍රිකට්වලට වඩා දෝනි ව වටී.

මේ අතර තවත් හොඳ දේවල් ද වේ. චෙන්නායි වැසියන් තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති දුර්මත ද දෝනි උමතුව සහ ඔහුගේ නායකත්ව ලක්ෂණ මතින් දැන් වියැකී ගොසිනි. චෙන්නායි යනු උග්‍ර එල්ටීටීඊ හිතවාදීන් වෙසෙන තමිල්නාඩුවේ අග නගරයයි. එහි හිටපු මහ ඇමැතිනි ජයලලිතා විසින් එකල අගමැති මන්මෝහන් සිං හට ලිපියක් ලියා කරුණු දැක්වූයේ සිංහල ක්‍රීඩකයන් චෙන්නායි කණ්ඩායමට බඳවා නොගන්නා ලෙසයි. එමෙන්ම සිංහල ක්‍රීඩකයන් සහ තරග නිලධාරීන් සහභාගී වන තරග චෙන්නායි හි දී නොපවත්වන ලෙසයි. මහ ඇමැතිනි ජයලලිතා ඒ බව ලිව්වේ එම ප්‍රාන්තයේ ජනතාවගේ හද දිනා ගැනීමටය. ඒ තද තීරණය නොගන්නට ජයලලිතාට තමිල්නාඩුවෙන් ගැලවීමක් නැත. අයිපීඑල් සංවිධායකයින් ඉන්දීය ක්‍රිකට් ආයතනයට ද ඒ බව දන්වා තිබුණි. තත්ත්වය මෙසේ තිබියදී 2013 තරගාවලිය සඳහා නුවන් කුලසේකර සහ අකිල ධනංජය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ට තෝරා ගැනුණි. චෙන්නායිහි මහත් කලබලයකි. මුරලි මෙන් නොව කුලසේකර සහ ධනංජය සිංහලයන්ය. ඔවුන් සුළුතරයක් වන දෙමළ ජනතාවට හිරිහැර කරන සිංහල මහ ජාතියේ නියෝජිතයන් යයි එම කලබල ඇති විණි. අවසානයේ කෙසේ හෝ කුලසේකරලා චෙන්නායි වෙනුවෙන් ක්‍රිකට් ගැසූහ. තවත් කාලයක් ඇවෑමෙන් චෙන්නයි කණ්ඩායමට ගියේ යුද හමුදා සාමාජිකයෙකි. ඒ මහීෂ් තීක්ෂණ යි. තමිල්නාඩුවට එය නම් දිරවන්නටම නොහැකි විය. එල්ටීටීඊය පරාජය කිරීමට වැඩිම බර ඇද්දේ යුද හමුදාව නිසා මහීෂ් ට පැමිණි විරෝධය කුලසේකරට වඩා වැඩි විය. තරග කීපයක් එළියේ හිටියේය.

එහෙත් දැන් චෙන්නායි හි තත්ත්වය කුමක්ද? ඔවුන්ට දැන් මහීෂ් ගෙන් සහ මතීෂ ගෙන් තොර විදෙස් ක්‍රීඩකයෙක් නැත. අවසන් තරගයේ වීරයා වුවද දෝනිගේ චෙන්නායි බලඇණියේ ප්‍රියතම විදෙස් ක්‍රීඩකයා නවසීලන්තයේ ඩෙවොන් කොන්වේ නොවේය. එංගලන්තයේ මොයින් අලී නොවේය. ඒ ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණයි. යුද හමුදාවේ මහීෂ් තීක්ෂණ යි. මහීෂ් ට සහ මතීෂ ට ඒ තැන ලැබුණේ දෝනි නිසාය. මහීෂ් ට සහ මතීෂ ට ලැබුණු ඒ තැන කියාපාන්නේ කුමක්ද? වසර ගණනාවක් පුරා තමිල්නාඩු ජනතාව තුළ සිංහල ජනතාව කෙරෙහි කැකෑරෙමින් තිබූ වෛරය දැන් නිමා වී ඇති බව නොවේද?

ඒ වෛරය කොතරම් ද යත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට 2008 දී කිසිදු ප්‍රශ්නයක් නැතුව වරම් ලැබූ මුරලිදරන්ට ද සමනය කරන්නට බැරිවූ වෛරයකි. ඒ වෛරය කෙතරම් ද යත් මුරලිදරන් පිළිබඳ චිත්‍රපටියේ මුරලි ගේ චරිතයට පණ පොවන්නට ගොස් දකුණු ඉන්දීය නළු සේතුපතිට මරණ තර්ජන පවා එල්ල වූ තරම් දරුණු වෛරයකි. එහෙත් මුනිවරයකු බඳු ලොව අසහාය ක්‍රිකට් නායක දෝනි දැන් ඒ සියලු එදිරිවාදිකම් ධූරිංභූත කර ඇත. ඉන්දියාවේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා අවිවාදයෙන් දෝනි වෙද්දි ශ්‍රී ලංකාවේ ද මේ වන විට ජනප්‍රියම ක්‍රීඩකයා දෝනි බවට පත්ව ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment