ක්‍රිකට් වසන්තය උදා කරමින් ලෝක කුසලාන සටන හෙට ඇරඹෙයි

420

පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර

මිලියන ගණන් දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තුව සිටි ශූරයන්ට ඩොලර් මිලියන 1.6 ක තෑගි මුදලක් පිරිනැමෙන අටවැනි ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව නැමීබියාව සමගින් හෙට (16 වැනිදා) පෙ.ව. 9.30ට ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි, ජීලොන්ග්හිදී තරග වැදීමට නියමිතය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ‘ඒ’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව තරග වදින අතර නැමීබියාවට අමතරව එම කාණ්ඩයට අයත් නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයද එම ක්‍රීඩාංගණයේදීම හෙට ප.ව. 1.30 ට පැවැත්වෙයි.

‘බී’ කාණ්ඩයේ තරගාවලිය ආරම්භ කරමින් අනිද්දා (17 වැනිදා) පෙ.ව. 9.30ට ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත්, එදින ප.ව. 1.30ට එම කාණ්ඩයේ දෙවැනි තරගයේදී අයර්ලන්තය සහ සිම්බාබ්වේත් ජීලොන්ග් ක්‍රීඩාංගණයේදීම තරග වදිනු ඇත.

ශ්‍රී ලංකාව මූලික වටය යටතේ ලබන 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟත් ලබන 20 වැනිදා නෙදර්ලන්තය සමඟත් තරග වැදීමට නියමිතය.

තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු පුහුණු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති අතර එම තරගයෙන් ලකුණු 35 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කෙසේ වෙතත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරගය අත්හැර දැමිණි.

මූලික වටයෙන් ඒ ඒ කාණ්ඩයෙන් මුල් ස්ථාන දෙක අතරට පැමිණෙන කණ්ඩායම් ලබන 22 වැනිදා සිට ආරම්භ වන මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 තරග වටයට එක් වීමට නියමිතය.

‘ඒ’ කාණ්ඩයෙන් මුල් ස්ථානය දිනා ගන්නා කණ්ඩායම සහ ‘බී’ කාණ්ඩයෙන් දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 වටයේ පළමු කාණ්ඩයටත්, ‘බී’ කාණ්ඩයේ මුල් ස්ථානය දිනා ගන්නා කණ්ඩායම සහ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම එම

දෙවැනි කාණ්ඩයටත් තේරී පත්වනු ඇත.

ඉකුත් 2021 වසරේ නොවැම්බර් 15 වන විට විස්සයි විස්ස ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 08හි සිටි කණ්ඩායම් සඳහා පමණක් එක එල්ලයේ මෙවර ලෝක කුසලාන සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලිය හෙවත් ප්‍රධාන තරගාවලියට පිවිසීමේ අවස්ථාව උදා විය.

ඒ අනුව සුපිරි 12 තරගාවලිය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් අතරින් පළමු කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානයත්, එම දෙවැනි කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාවත් සුදුසුකම් ලබා සිටී.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment