ක්‍රිකට් සීසීකඩ වේ යැයි සිතා සභාපති අයිසීසීය ට ලියූ ලියුම

335

විමර්ශන නැහැ චෝදනා විතරයි

අර්ජුනගේ අනතුරු ඇඟවීම

රිවස් නොකරන ඇමැතිගේ ගැසට්

කල දුටු කල වළ ඉහ ගත යුතු යැයි කියමනක් වේ. නැතිනම් වළ හිඳෙනු ඇත. එසේත් නොමැති නම් වෙනත් අයකු ඊට අයිතිවාසිකම් කියනු ඇත. එසේම ගල් ගසන්නේ ද ඵල ඇති රුකට යැයි කියවේ. ඵලක් නැති ගසකට ගලක් ගසා කුමකට ද? අඩුම තරමේ එහි කුරුල්ලකුවත් සිටිය හැකි යැයි සිතීමට හේතු කාරණා අල්පය. එසේම මෙරට ජාතික ක්‍රීඩා සංගම් ඕනෑ තරම් වෙතත් ඇස යන්නේ ඉන් කිහිපයකටය. ඒ අතරින් ද ප්‍රධානව සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. ජාතික ඔලිම්පික් කමිටුව සිටින්නේ ඊට පසුවය. මෑත කාලයේ ජාත්‍යන්තර තහනමකට ලක් වූ පාපන්දු සම්මේලනය පවතින්නේ ඊට තවත් පියවර ගණනක් පසුපසිනි.

ඒ නිසා රටේ ක්‍රීඩා පරිපාලනයට එනව නම් ඩොලර් මලු පිටින් එන ක්‍රිකට් පරිපාලනයට ආ යුතුය. කීර්තිය, ගෞරවය ඒ පසුපස එයි. අතලොස්සක් හැර අනෙක් බොහෝ ක්‍රීඩා සංගම් දුවන්නේ අතින් කා හරක් බලන න්‍යායෙන් ය. ඒවායේ පරිපාලනයක් තියෙනවා දැයි නොහිතෙන තරම්ය. ක්‍රීඩාවක්ද නැති ගාණය. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මේ ස්වර්ණමය යුගය උදා වන්නේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුවය. එතැන් සිට ක්‍රිකට් යනු මෙරට ජනතාවගේ සිත් සතන් පුබුදු කරන්නකි. රටට කීර්තිය ගෙන දෙන්නකි. ක්‍රිකට් යයි ඇසුවත් කන පිනවන්නකි. ඒ සුමිහිරි ජයග්‍රහණයට දැන් වසර 26කි. එදා සිට අද දක්වා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වූ නැගිටීම් වැටීම් අපමණය. එමෙන්ම ඒ හා සමානවම නැතත් ක්‍රිකට් පරිපාලනයේ ද අර්බුද වරින්වර මතු වුණි. අතුරු කමිටු ද ආවේය. හිටපු ගමන් ඇමැතිගේ අනුහසින් එළියට එන ගැසට්ටු මගින් පරිපාලකයන් තුට්ටු දෙකට දමා අතුරු කමිටු මතු වූවේය.

එවැන්නක් යළි එයි දැයි සිතන්නට තරම් අවැසි දේ පසුගිය මාස කිහිපයේදී ද සිදුවුණි. ක්‍රීඩාවට සම්බන්ධ ඉහළ ආයතන සහ දේශපාලන අධිකාරියෙන් එවැනි අනතුරු ඇඟවීම් පිළිබඳ ඉඟි පළ කර තිබුණි. එහෙත් මෙහි අවදානම ඇත්තේ අතුරු කමිටුවක් පැමිණීම නොව, එවැනි අතුරු කමිටුවක් පැමිණීම හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් සාධාරණ හේතුවකින් තොරව විසිරුවා හැරීම යනු තවත් අවදානමකට අත වැනීමක් නිසාය. සාධාරණ හේතුවක් නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් විසිරුවා හැරියහොත් මේ රටට ජාත්‍යන්තර තහනමක් පැන වේදැයි යන අවදානමය. ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මහත් සෝදිසියෙන් පසුවේ.

ක්‍රීඩා පරිපාලකයන් විසින් හිතුමතයට වැඩ කරන්න ගොස් ජාත්‍යන්තර තරග තහනමක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පැණවී තවම මාසයක්වත් නැත. දැන් අපේ රටේ පාපන්දුව ජාත්‍යන්තරයෙන් කොන් වූ ක්‍රීඩාවකි. විදෙස් තරග නැත. රට ඇතුලේ පාපන්දු ගැසිය හැක. එතැනින් එහා සම්බන්ධයක් අපේ පාපන්දුවට නැත. මේ තත්ත්වය එකපාර ඇති වූවා නොවේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඒ පිළිබඳව කීප වරක් අනතුරු ඇඟවීම් කර තිබුණි. ක්‍රීඩා ඇමැතිගේ අලුත් ගැසට්ටුවට අනුව රටේ ක්‍රීඩා නීතිය සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව ගැටෙන තැන් තිබේ. ඒ සම්බන්ධ අවස්ථාවලදී අපට කැත්තට පොල්ල මෙන් සිටිය නොහැක. නම්‍යශීලී විය යුතුය. අපට පාපන්දු තහනමක් පැනවීමට බලපෑ ප්‍රධාන කාරණය වූයේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ රෙගුලාසිවලට අනුව කටයුතු නොකිරීමය. මේ පිළිබඳව අප දැඩිව අවධානය යොමු කළ යුතුය. එසේම තවදුරටත් ක්‍රීඩා ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ තමාගේ අලුත් ගැසට්ටුව කිසිලෙසකවත් රිවස් නොකරන බවය. කුමක් හෝ කර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කර ගත්තද ඇමැතිවරයාගේ මෙම දරදඬු ක්‍රියා පිළිවෙත මත ඉදිරියට යෑම අපහසු වනු ඇත. ඉදිරියට ද ශ්‍රී ලංකා නීතිය හා ෆිෆා නීතිය ගැටෙනු ඇත. රට තිබෙන්නේ ලෝකය ඇතුලේ මිස ලෝකය තිබෙන්නේ රට ඇතුළේ නොවේය. අප ඒ බව දැනගෙන කටයුතු කළ යුතුය. හුදු ජනප්‍රියත්වය උදෙසා ඔහු කියනා දේවල බරපතළකම ඔහුට නොවැටහීම ක්‍රීඩාවට එතරම් සුබදායී වේ යැයි සිතිය නොහැක.

ඒ නිසා තවත් ජාත්‍යන්තර තරග තහනමක් රටේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වනු ඇතැයි මෙරට ප්‍රේක්ෂකයෝ කිසිදු ලෙසකින් බලාපොරොත්තු නොවෙති. ක්‍රිකට් ආයතනයෙන් වරදක් වේ නම් ඒවා සොයා බලනවා මිස රටේ ක්‍රීඩාවෙන් වන්දි ගැනීමට කටයුතු නොකළ යුතුය. වැරදි වේ නම් ඒවා ඔප්පු කර පෙන්විය යුතුය. විමර්ශනය නොකර ප්‍රදර්ශනය වෙනුවෙන් කරන කියන දෙය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පිළිගන්නේ නැත. නිසි හේතුවක් නැතුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක් කරනු ඇතැයි නිගමනය කළ හැක්කේ එනිසාය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෑත කාලයේ එල්ල වූ චෝදනා කීපයකි. එකක් නම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය තමන්ගේ හිතුමතයට සහ තමන්ගේ වාසියට ඩුබායි දේශයට පිදුවා යන චෝදනාවයි. ආසියානු කුසලාන තරගාවලිය ඩුබායි යනවා තමන් දැක්කේ මාධ්‍යයෙන් යයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ කීවේ ය. ආසියානු කුසලාන තරගාවලියේ දී එසේ තමන් විසින් හිතුවක්කාර ලෙස වැඩ කර ඇති දැයි පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ක්‍රිකට් බලධාරීන් ඉල්ලීමක් කළත් එවැන්නක් සිදුවූයේ නැත. එසේම එල්පීඑල් ක්‍රිකට් තරගාවලියට අදාළ ගිවිසුම් සහ ලිපි ලේඛන ඇමැති ලෙස තමන් නොදුටු බව ද රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය හමුවේ කීය. ඒ පිළිබඳව ද තවමත් විමර්ශනයක් නැත. විමර්ශනය නොකරන්නේ මන්ද යන්නද ප්‍රශ්නයකි.

ක්‍රිකට් සීසීකඩ වේ යැයි සිතා සභාපති අයිසීසීය ට ලියූ ලියුම

මේ අතර තවත් චෝදනාවක් නැඟී ඇත. ඒ පසුගිය 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම පිණිස අනිසි ලෙස මුදල් භාවිතා කළ චෝදනාවයි. ඒ පිළිබඳව පංච පුද්ගල කමිටුවකින් විමර්ශනයක් ද සිදු කෙරිණි. දැන් එම වාර්තාවට අදාළව කටයුතු කරන්නේ කෙසේදැයි නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇත. ඒ අනුව කටයුතු කිරීම රටේ ක්‍රීඩාවට සහ විනිවිදභාවයට ද යහපති. රට ඩොලර් අහේනියක සිටියදී මෙරට ක්‍රිකට් බලධාරීන් අනිසි ලෙස මුදල් වියදම් කර ඇත්නම් එය වරදකි. ඒවා පිළිබඳව සොයා බලා අවශ්‍ය නම් දඬුවම් ද පමුණුවා ක්‍රිකට් මෙන්ම රටද හරි මගට ගැනීමට කවුරුත් විරුද්ධ නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කෙරෙහි අවදානමක් මතුව ඇතැයි පළමුව දැනී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට ය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට ලියනු ලැබූ ලිපියකින් ම ඒ බව සනාථ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට දේශපාලන බලපෑම් එල්ල වන බවත්, අතුරු කමිටු පත්කිරීමේ අවදානමක් පවතින බවත් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දන්වා ඇත. ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා එම ලිපිය යවා ඇත්තේ 2022 වසරේ අගෝස්තු මස 17 වැනිදාය. අද වන විට එම ලිපියට මාස 5ක් පමණ වෙතත් එදා ශම්මි මහතා දුටු අවදානම එන්න එන්නම වැඩි වූවා මිස පහව ගොස් නොමැත. ඊට පසුව සිදු වූ දේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දී බලාපොරොත්තු වූ දස්කම් නොදැක්වීම එක් හේතුවකි. ඒ පිළිබඳව සොයා බැලීම ද ඉහත සඳහන් කළ පංච පුද්ගල කමිටුවට පවරා තිබුණි.

එසේම පසුගියදා පැවැති ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරගාවලිය 3-0ක් ලෙස පරාජය වූයේය. පන්දු වාර 20-20 තරගාවලිය 2-1ක් ලෙස පරාජය වූයේය. ඒ පරාජය ද ඇතැම් පාර්ශ්වවලට කනට මී බඳුය. ඇසට රසඳුන් ය. එය තමන්ගේ අභිමතාර්ථ ඉටු කර ගැනීමට ඉදි වුණු පාලමක්සේ ය. එහෙත් ඉන්දියාවට ගිය නවසීලන්තයට සිදු වූයේ කුමක්ද? ශ්‍රී ලංකාව මෙන්ම ඔවුහු ද එක් දින තරගාවලියේ 3-0ක පරාජයක් ලැබූ හ. පන්දු වාර 20-20 තරගාවලියද 2-1ක් ලෙස පරාජය වූහ.

ශ්‍රී ලංකාව ඉන්දියාවට ගියේ මේ තරග අංශ දෙකේ ශ්‍රේණිගත කිරීම්වල 8, 9 ස්ථානවල සිටිමින් ය. නවසීලන්තය ඉන්දියාවට ගියේ 1, 2 ස්ථානවල සිටිමින් ය. නවසීලන්තය ද ශ්‍රී ලංකාව මෙන් ම පරාජය වුණි. එහෙත් එම පරාජය දඩමීමා කරගෙන එරට ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැරීමට හෝ තේරීම් කමිටුව විසුරුවා හැරීමට හෝ පරාජය ගැන වාර්තා කැඳවීමට හෝ ඒ ගැන සෙවීමට ඔවුන් කමිටු පත් කළ බවක් වාර්තා නොවේ.

දේශපාලනඥයන් පදනම් විරහිත, ද්වේෂ සහගත චෝදනා කරන බව ද ක්‍රිකට් සභාපති අයිසීසීය ට යැවූ ලිපියේ සඳහන්ය. පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පරිබාහිරව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද එසේ විවේචනයට ලක් වූ බව නොරහසකි.

ක්‍රීඩා කිරීම තරම්ම වගකිය යුතු කාර්යයක් පරිපාලනයට ද තිබේ. නිසි පරිපාලනයක් නැති තැන ක්‍රීඩාව අකර්මණ්‍ය වී ජයග්‍රහණය පෑල දොරින් පැන යනු ඇත. එසේම නිසි ජයග්‍රහණයක් නොමැති වූ කල මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ලොව සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෑල දොරින් එහි ඇතුළට එන්න බලා ගෙන ඉන්නා පිරිසක් ද වේ.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මූල්‍යමය අතින් ශක්තිමත් බවත් ඇ.ඩො. මිලියන 35ක මූල්‍ය අතිරික්තයක් එහි පවතින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා අයිසීසීය ට යැවූ ලිපියේ දැක්වේ. ඒ සංඛ්‍යා දත්ත නිවැරදි නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කවුරුත් ඇස නොගසා සිටිනවා නම් තමයි පුදුමය.

දේශපාලනඥයන්ගෙ බලපෑම් මත වුවද ස්වාධීන ක්‍රීඩා සංගමයක් ලෙස කොවිඩ්-19 වසංගතය හමුවේ පවා ද්විපාර්ශ්වික තරගාවලි පවත්වමින්, සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවද ෂම්මි සිල්වා මහතා තම ලිපියෙන් අයිසීසීය ට දන්වා ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මෙම ලිපිය අයි.සී.සී.ය වෙත යොමු කර ඇත්තේ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත්වීමෙන් සතියක් ගතවෙද්දීය. ඒ මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලන බලපෑම් සිදුවනු ඇති බවට කරුණු දක්වමිනි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ඇතුළු නව සාමාජිකයන්ට ක්‍රීඩා සභාවේ පත්වීමේ ලිපි ප්‍රදානය කරනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු මස 10 වැනිදාය. ක්‍රිකට් සභාපතිවරයා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ මහතා වෙත මෙම ලිපිය යොමු කර ඇත්තේ අගෝස්තු මස 17 වැනිදාය.

සභාපතිවරයා මෙම ලිපිය යොමු කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව මෙරට සැලකිය යුතු වර්ධනයන් පිළිබඳ දැනුවත් කිරීමට සහ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩකටයුතුවලට තර්ජනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන කරුණු සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වෙත කරුණු දැක්වීමටයි.

තවද මෙරට ක්‍රීඩාව නියාමනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමට පත්කළ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත් කර ඇති බවත්, මීට ඉහතදී ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ප්‍රතිවාදියකු ලෙස ඉදිරිපත් වී සිටි ඒ මහතා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලධාරී මණ්ඩලයට එරෙහිව ක්‍රෝධය හා වෛරය මුසු ප්‍රකාශ සිදුකර ඇති බවත් සඳහන් කරමින්, ක්‍රිකට් ආයතනයේ වැඩකටයුතුවලට අමාත්‍යාංශයෙන් අනවශ්‍ය අතපෙවීම් සිදුවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත්, එම ලිපියෙන් වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

“මම මේ තනතුර භාර ගත්තේ කාටවත් අපහාස කරන්නවත්, අපහසුතාවට පත් කරන්නවත් නෙවෙයි. ඒ නිසා පරිපාලනය හොඳින් කරගෙන යන ක්‍රීඩා සංගම් අපිත් එක්ක වැඩ කරන්න බය වෙන්න එපා. හැබැයි එහෙම නොකරන ක්‍රීඩා සංගම් පොඩ්ඩක් පරිස්සමින් වැඩ කරන්න වෙයි. මම කෙළින් වැඩ කරන කෙනෙක්. මට මේ රටට වඩා වෙන දෙයක් නෑ. ඒ නිසා රටේ ක්‍රීඩාව වෙනුවෙන්, යහපත වෙනුවෙන් ගත යුතු නිවැරැදි තීන්දු තීරණ ගන්නවා” අර්ජුන රණතුංග මහතා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගනිමින් ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයට අපේ ද ගෞරවය පිරිනැමේ. සැබැවින්ම එසේ වැඩ සිදුවෙනවා නම් හොඳය. එසේම එය හොඳ සිතින් යහපත් අරමුණින් සිදු වේ නම් රටේ ද වාසනාවකි.

එහෙත් කල දුටු කල වළ ඉහ ගන්න තවත් අයෙක් උත්සාහ කරනවා නම් එයට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යටවනු දැකීම කවුරුත් නොරුස්සති. මේ සීරුවෙන් රටේ ක්‍රීඩාව නැගිට්ටීමට කටයුතු කළ කාලයක් දැන් උදා වී තිබේ. ක්‍රීඩා සංගම්වලට අවැසි ලෙස කටයුතු කරන්නටම ඉඩ දී බලා සිටිය යුතු ද නැත. අනවශ්‍ය බලපෑම් ද නැතිව මේ අංශ දෙක සමබරව කටයුතු කිරීමට ක්‍රීඩාවේ නාමයෙන් දැන්වත් කටයුතු කළ යුතුය. නැතිනම් රටට වුණු දේ ක්‍රීඩාවට ද සිදුවනවා නියතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment