ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දෙසීයකට වැඩියි….. – ගුවන් හමුදා පාපැදි සවාරිය 04 වැනිදා සිට

226

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වැනි සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය මේ මස 04, 05 සහ 06 දිනවල තරගකරුවන් 230 කට අධික ප‍්‍රමාණයක සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇති බව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ සහ ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ප‍්‍රධානීන්ගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථාන පරිශ‍්‍රයේදී ඊයේ (28 වැනිදා* පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය.

දිවයිනේ ප‍්‍රධානතම පාපැදි සවාරියක් ලෙස ප‍්‍රකට ගුවන් හමුදා පාපැදි සවාරිය කාන්තා සහ පිරිමි ලෙස පැවැත්වෙන අතර මෙවර තරඟාවලියේ පිරිමි ගුවන් හමුදා පාපැදි සවාරිය දුර කිලෝමීටර් 419 කින් යුක්ත වන අතර කාන්තා පාපැදි සවාරිය කිලෝමීටර් කිලෝමීටර් 105ක දුරකින් යුක්ත වේ.

දේශීය මෙන්ම විදේශීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ද තරගාවලියට සහභාගි වනු ඇතැයි සංවිධායකවරු අපේක්ෂා කරති.

පිරිමි ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 4 වැනිදා කොළඹ සිට පුත්තලම දක්වා කිලෝ මීටර් 138 ක දුරකින් පැවැත්වීමට නියමිත අතර එය ගුවන් හමුදා මූලස්ථානයෙන් ආරම්භ කර පෑලියගොඩ, මීගමුව, හලාවත යන නගර ඔස්සේ පුත්තලමට ළඟා වීමට නියමිතය. දෙවැනි දින (05 වැනිදා* පුත්තලම සිට නොච්චියාගම ඔස්සේ අනුරාධපුරයට ගොස් එතැන් සිට කැකිරාව ඔස්සේ දඹුල්ල දක්වා ද ධාවනය වීමට නියමිත අතර එම දුර කිලෝමීටර 140කින් යුක්ත වේ. අවසන් දින(06 වැනිදා* දඹුල්ලෙන් ආරම්භ වන තරගාවලිය කුරුණෑගල, නාරම්මල, කුලියාපිටිය, පන්නල, මීගමුව ඔස්සේ කටුනායකට පැමිණීමට නියමිත අතර එම දුර කිලෝමීටර 150 කින් යුක්ත වේ.

එක් දින මාර්ග ධාවන තරගයකට සීමා වී ඇති ගුවන් හමුදා කාන්තා පාපැදි සවාරිය පුත්තලම සිට කටුනායක දක්වා කිලෝමීටර් 96 ක දුරකින් යුක්ත වන අතර එම තරගය පුත්තලම, හලාවත, මීගමුව ඔස්සේ කටුනායක දක්වා පැවැත්වීමට නියමිතය.

තරග සඳහා සහභාගි වීමට කැමැති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 2022 වර්ෂය සඳහා බලපාන පාපැදි සම්මේලනයේ ලියාපදිංචි සුපිරි හා වයස අවුරුදු 23න් පහළ බලපත‍්‍රලාභී තරගකරුවන් සහ තරගකාරීනියන් විය යුතුය.

තරග අවසානයේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට තෑගි ප‍්‍රදානෝත්සවය මාර්තු මස 06 වන දින පස්වරු 5ට ගුවන් හමුදාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කටුනායක දී පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇති බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරියේ මෙවර ප‍්‍රධාන අනුග‍්‍රාහක දායකත්වය අබාන්ස් සමූහ ව්‍යාපාරය ද, නිල සන්නිවේදන අනුග‍්‍රාහක දායකත්වය මොබිටෙල් සමාගම ද, නිල බැංකු අනුග‍්‍රාහක දායකත්වය ලංකා බැංකුව ද, නිල රක්ෂණාවරණ දායකත්වය පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම ද ලබාදෙන අතර සම අනුග‍්‍රාහක දායකත්වය මැලිබන් බිස්කට් සමාගම සහ ලින්ක් නැචුරල් පුද්ගලික සමාගම විසින් සිදුකරනු ලබයි.

මෙවර තරගාවලිය කොවිඞ් 19 වැළැක්වීමේ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුකූලව ජාතික පාපැදි සම්මේලනයේ නීති රීති, ජාත්‍යන්තර ප‍්‍රමිතීන් හා අධීක්ෂණය යටතේ පවත්වනු ලබයි.

කුෂාන් සුබසිංහ
ඡායාරූප නිශාන් එස්. ප‍්‍රියන්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment