ක්‍රීඩා ඇමැතිට එරෙහිව ඉදිරියේදී තවත් නඩු – හිටපු පාපන්දු සභාපති ජස්වර් කියයි

146

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණයෙන් සිය අපේක්ෂකත්වය අහිමි කිරීමට එරෙහිව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වග උත්තරකරුවකු කරමින් තවත් පාර්ශව කිහිපයක් ඉදිරියේදී අභියාචනාධිකරණයේ නඩු පැවරීමට නියමිත බව හිටපු පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා පැවසීය.

ක්‍රීඩා ඇමැතිවරයාට අමතරව තවත් වගකිවයුතු පාර්ශ්වයන් රැසක් වගඋත්තරකරුවන් කරමින් එම නඩු පැවරීමට නියමිත බවද හිටපු සභාපතිවරයා සඳහන් කළේය.

පසුගිය සෙනසුරාදා පැවති නිලවරණයේදී තරග වැදීමේ අපේක්ෂාවෙන් සභාවට ඇතුල්ව සිටි තමාට අපේක්ෂකත්වය අවලංගු කිරීම හේතුවෙන් සහ ඡන්ද විමසීමට ඉතා සුළු කාලයක් තිබියදී ඇමැති බලපෑමෙන් තමාව අත්තනෝමතික ලෙස ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉහත කී පාර්ශ්වයන් මෙම නඩු පවරනු ඇති බව ද ජස්වර් උමර් මහතා පැවසීය.

එහිදි සිය අපේක්ෂකත්වය අහිමි කිරීමට එරෙහිව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඇතුළු පාර්ශ්ව ගණනාවක් වගඋත්තරකරුවන් කරමින් තමන් පෙරේදා (16 වෙනිදා) අභියාචනාධිකරණයේ නඩුවක් පවරන ලද බවත් හිටපු සභාපතිවරයා පැවසීය. තමාට කරුණු දැක්වීමටවත් අවස්ථාවක් නොදී ඒකපාර්ශවීය ගත් තීරණයක් මගින් තමන්ගේ නාමයෝජනාව අවලංගු කිරීමට ගත් තීරණයෙන් සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව ද ජස්වර් උමර් මහතා පැවසීය. තමන්ට යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ පවරන සෙසු නඩුවල වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, නිලවරණ කමිටුව, ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය, නිලවරණයෙන් පත්වූ නව විධායක සභාවද වන බව ජස්වර් උමර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment