ක්‍රීඩා ක්‍ෂෙත්‍රයේ ප්‍රගමනය සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන්න – ජනපතිගෙන් දියගමදී උපදෙස්

110

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ පෙරේදා (25 වැනිදා) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනකු බැගින් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෑම වසරකම අඛණ්ඩව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් වසර කිහිපයක් තුළ මෙරට බිහිකළ හැකි බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වයස අවුරුදු 10-12 අවධියේ දී හඳුනාගත යුතු අතර ඒ අනුව ඉදිරියට යෑමට ඔවුන්ට අවස්ථාව සලසා දීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

කොළඹ ප්‍රධාන පාසල් ප්‍රමුඛව දිවයිනේ පාසල් 100ක බේස් බෝල් ක්‍රීඩාව මේ වසර තුළදී ප්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා බේස් බෝල් ක්‍රීඩාවෙන් ආසියාවේ ප්‍රධානම රට බවට ශ්‍රී ලංකාව පත්කරගත යුතු බවද කියා සිටියේය.

විවිධ ක්‍රීඩා ඉසව්වලින් රට නියෝජනය කර, විශ්‍රාම ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම සුදුසුකම මූලික සුදුසුකමක් සේ සලකා උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසාදීමේ වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා ඇති පිහිණුම් තටාකය, ක්‍රිකට් ක්‍රීඩාංගණය, ක්‍රීඩා පථ ඇතුළු බොහෝ ස්ථාන පුහුණු කටයුතු සඳහා නුසුදුසු මට්ටමක පවතින බව මෙහිදී නිරීක්ෂණය කෙරිණි.

ඒ අනුව ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කර, එම යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් රජය වෙන් කර ඇති බවත්, නිලධාරීන් අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අනවශ්‍ය වියදම් පෙන්වා දීම සිදු නොකළ යුතු බවත් පැවසූ අතර, එලෙස මුදල් ලබා දීමට මෙම අවස්ථාවේ රජයට හැකියාවක් නැති බව කියා සිටියේය.

මෙම ක්‍රීඩාංගණයේ නඩත්තුව පිළිබඳව පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යාංශය නිසි අවධානයක් යොමු කර නොමැති අතර, වැය කරන සෑම සතයක් පිළිබඳවම රජය වගකිව යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දිවයිනේ සියලුම පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අභ්‍යාසවල නිරත විය හැකි සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ලෙස දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය පවත්වාගෙන යා යුතු බවට වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය ඉදිරියේ දී ක්‍රීඩා උපාධිය සම්පූර්ණ කළ හැකි ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් බවට පත්කර ගැනීමේ ඉලක්කය අනුව කටයුතු කළයුතු බව ද පැවසීය.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි මහතා විසින් මෙහිදී ක්‍රීඩා සංකීර්ණයේ වත්මන් තත්ත්වය සහ අවශ්‍යතා පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කරනු ලැබීය.

වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග, යුද හමුදාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment