ක්‍රීඩා සංගමයේ තේරීම් කමිටුවෙන් අසාධාරණයන් වෙනවා නම් දින 07ක් ඇතුළත අභියාචනා යොමු කරන්න

184

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් ක්‍රීඩා ඇමැති කියයි

තමන්ගේ ක්‍රීඩා සංගමය මගින් පත් කර ඇති තේරීම් කමිටුවෙන් තමාට යම් අසාධාරණයක් සිදු වෙනවා නම් එම අසාධාරණය පිළිබඳව දින 07 ක් ඇතුළත අමාත්‍යවරයා ලෙස තමා වෙත හෝ ජාතික ක්‍රීඩා සභාවට හෝ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත හෝ එම අභියාචනය ඉදිරිපත් කළ හැකි බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (04 වැනිදා) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත නිල වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිණි. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ක්‍රීඩා පනතට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත නිල වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

ක්‍රීඩාව පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ඇති, ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාව පිළිබඳව අවධානයෙන් සිටින කණ්ඩායමකට මෙම වගකීම භාර දිය යුතු බව මගේ ස්ථාවරය වූවා. මෙම කමිටුව විසින් ඉටු කරන්නේ ක්‍රීඩාවේ ප්‍රධානතම වගකීමක්. ක්‍රීඩකයන් බොහෝ සෙයින් දුක් ගැනවිලි පවසනවා. සෑම අම්මා කෙනෙක්ටම, තාත්තා කෙනෙක්ටම තමන්ගේ දරුවා තමයි වීරයා. එහි තර්කයක් නැහැ. ඔහුගේ දක්ෂතාවය මැනීම හා අසාධාරණයක් සිදු වූවානම් ඒ පිළිබඳව සොයා බැලීම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ වගකීමක්. එම වගකීම නිවැරදිව ඉෂ්ඨ කරනවා යනු මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් කරන ලොකුම සාධාරණයක්. අපි එය දුටුවා. පසුගිය දිනවල දැල්පන්දු කණ්ඩායම තේරීමේදී යම් යම් ගැටලු පැන නැගුණු අවස්ථාවන්හි දී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව මැදිහත් වී එයට සාධාරණයක් ඉටු කළා. ඔවුන්ගේ නිවැරදි තේරීම් ද බලපෑවා අපිට ආසියානු කිරුළ ජයග්‍රහණය කිරීම සඳහා.

සෑම ක්‍රීඩාවක්ම ජාතික තේරීම් කමිටුව හරහා කටයුතු කිරීමේ වගකීම මින් ඉදිරියට තිබෙනවා. කාටවත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව මග ඇරලා යන්න පුළුවන්කමක් නැහැ.

තමන්ගේ ක්‍රීඩා සංගමය මගින් පත් කර ඇති තේරීම් කමිටුවෙන් තමාට යම් අසාධාරණයක් සිදු වෙනවානම් එම අසාධාරණය පිළිබඳව දින 07 ක් ඇතුළත අමාත්‍යවරයා ලෙස මා වෙත හෝ ජාතික ක්‍රීඩා සභාවට, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත එම අභියාචනය ඉදිරිපත් කළ හැකියි. ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩාව පිළිබඳව හොඳ අවබෝධයක්, අධ්‍යනයක් තිබෙන ක්‍රීඩාවේ විශේෂඥ කණ්ඩායමක් තමයි මම අද ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට පත් කළේ.

පත් කරන ලද නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සභාපති, අර්ජුන් රිශ්යා ප්‍රනාන්දු මහතා ලේකම්, දොස්තර මහියා ගුණසේකර මහතා සාමාජික, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා සාමාජික,

සනත් ජයසූරිය මහතා සාමාජික, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සාමාජික, තිලකා ජිනදාස මහත්මිය සාමාජිකා.

මෙම මාධ්‍ය හමුව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment