ක්‍රීඩාගාරයෙන්ද නික්ම ගිය වර්ණවත් දඩබ්බරයා…

769

පුරයක් නොව රටක්ම වර්ණවත් කළ මිනිසෙක් නික්ම ගොසිනි. බන්දුල වර්ණපුර නම් ඒ කීර්තිමත් කී‍්‍රඩකයා කී‍්‍රඩාගාරයට නොව ඉන් එපිටටම නික්ම ගිය සෝබර පුවත මේ වන විට දින කිහිපයක් පැරණිය. එහෙත් පි‍්‍රය කී‍්‍රඩාලෝලී පාඨකය, වර්ණපුර වර්ණවත් කළ, කි‍්‍රකට් වංශ කතාවේ පිටු කිසි දිනෙකත්, පරම්පරා ගණනාවකට අමතක නොවන බව විශ්වාසය.

බන්දුල වර්ණපුර, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන්නේ 1975-1982 කාල සමය තුළදීය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසය තුළදී වර්ණපුරගේ භූමිකාව සුවිශේෂීය. ශී‍්‍ර ලංකාව ටෙස්ට් වරම් ලබාගැනීම සඳහා කළ දුෂ්කර මෙහෙයුමේදී සිය කණ්ඩායමට විශාල සවියක් ලබාදුන්නේ වර්ණපුරය. එපමණක් නොව ශී‍්‍ර ලංකාව කී‍්‍රඩා කළ පළමු ටෙස්ට් තරගයේදී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේද ඔහුය. 1979 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා එක්දින ඉතිහාසයේ පළමු ජයග‍්‍රහණය ලබාගත් අවස්ථාවේද සිය කණ්ඩායමේ මෙහෙය වූයේද බන්දුල වර්ණපුරය. කෙසේ වුව පි‍්‍රය කී‍්‍රඩාලෝලී හිතවත, 1982 වසරේදී කි‍්‍රකට් ‘පිටිය. තුළ ඉතා කෙටි ගමනක් සටහන් කරන්නට වර්ණපුරට සිදුවන්නේය. ඒ එම වකවානුවේ දකුණු අපි‍්‍රකාවට පනවා තිබූ කී‍්‍රඩා තහනම නොතකා එරටෙහි කී‍්‍රඩා සංචාරයක නිරතවීම නිසාය. එහෙත් වර්ණපුරගේ කි‍්‍රකට් ‘දිවිය. එතෙකින් නිමාවන්නේ නැත. වර්ණපුර ගැන අප ස්මරණ සටහනක් තැබීම වැදගත් වන්නේ එහෙයිනි.

වර්ණපුර, 70 දශකයේ මුල සිටම ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළේය. ඔහු නිල නොවන ටෙස්ට් තරගවලදී පිත්තෙන් මෙන්ම පන්දුවෙනුත් දස්කම් දැක්වූ විශිෂ්ටයෙකි. බන්දුල වර්ණපුර ගැන මෙරට කී‍්‍රඩාලෝලීන් හරි හැටි දැන ගන්නේ ඔහු 20 හැවිරිදි වියේ දීය. ඒ පාකිස්ථානයේ අවුරුදු 25න් පහළ කණ්ඩායමට එරෙහිව කී‍්‍රඩා කළ සුවිශේෂී ඉනිමක් නිසාය. 1973 වර්ෂයේදී පී සරා ඕවල් පිටියේ දී පැවති එම තරගයේදී වර්ණපුර, සුනිල් වෙත්තමුණි සමග පළමු කඩුල්ල සඳහා ලකුණු 179ක සබඳතාවයක් ගොඩනගමින් ලකුණු 154ක් ලබාගත්තේය. එම විශිෂ්ට ඉනිමේදී සුනිල් වෙත්තමුණි ද ලකුණු 107ක් ලබාගැනීමට සමත් විය. එම තරගයට පසුකලෙක ජාතික කණ්ඩායම නියෝජනය කළ දුලිප් මෙන්ඩිස්, ලලිත් කළුපෙරුම, රංජන් ගුණතිලක, ශී‍්‍ර දරන් ජෙගනාදන් වැනි කී‍්‍රඩකයෝද සහභාගී වී සිටියහ. නිල නොවන ටෙස්ට් තරගවලදී ශතක ගණනාවක් ලබාගත් බන්දුල 1974 වසරේ දී පාකිස්ථානයට එරෙහිව ගඩාෆි පිටියේ දී ලබාගත් ලකුණු 92 විශිෂ්ට ගණයේ ඉනිමක් ලෙස කි‍්‍රකට් වංශ කතාවේ ලියැවී තිබේ. එක්දින තරග 12කදී ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළ බන්දුල වර්ණපුර, ඉනිම 12ක් තුළ ලකුණු 180ක් ලබාගැනීමට සමත් වී තිබේ. එම තරග 12 තුළ පිත්තෙන් පමණක් නොව පන්දුවෙනුත් දස්කම් දැක්වූ වර්ණපුර කඩුලූ 8ක් දවාගෙන ඇත්තේ ඉනිමක හොඳම පන්දු යැවීම 42/3 ලෙස සටහන් කර ගනිමින්ය.

ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ මුල්ම හතරේ පහර එල්ල කළ පිතිකරුවා ලෙස වාර්තා අතරට එක් වන්නේද වර්ණපුරය. 1975 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ශී‍්‍ර ලංකා-කොදෙව් එක්දින තරගය ශී‍්‍ර ලංකාව මුහුණදුන් මුල්ම ජාත්‍යන්තර එක්දින තරගයයි. එම තරගයේදී ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසියේ වර්ණපුරය. එහෙත් ප‍්‍රබල කොදෙව් වේග පන්දු යවන්නන් ඉදිරියේ ඔහුට ලබාගැනීමට හැකි වුණේ ලකුණු 8ක් පමණි. ඔහු ලකුණු අට ලබාගත්තේ හතරේ පහර 2ක් එල්ල කරමිනි. බන්දුල වර්ණපුර සිය එක්දින දිවිය තුළදී ලබාගෙන තිබෙන්නේ එක් අර්ධ ශතකයක් පමණි. එම අර්ධ ශතකය ඔහු ලබාගෙන තිබෙන්නේ මනරම් ලෙස පිත්ත හසුරවමිනි. ඒ 1982 වසරේදී පාකිස්ථානයේ කරච්චි ජාතික කී‍්‍රඩාංගණයේදීයි. එම සංචාරය යටතේ පැවති එක්දින තරගාවලියේ පළමු තරගයයි. එහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි වර්ණපුර අගනා ලකුණු 77ක් ලබාගත්තේ හතරේ පහර 10ක් පිටිය පුරාවට එල්ල කරමිනි.

පි‍්‍රය කී‍්‍රඩාලෝලී පාඨකය, ශී‍්‍ර ලංකාවට ටෙස්ට් වරම් ලබාගැනීමට හේතුපාදක වුයේද වර්ණපුර කී‍්‍රඩා කළ එක් විශිෂ්ට ඉනිමක් නිසාය. 1981 වසරේදී කිම් හියුස්ගේ නායකත්වය යටතේ තරග වැදුණු ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායම ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත විය. එම සංචාරය යටතේ පැවැත්වුණු එක්දින තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ කොළඹ සිංහල කී‍්‍රඩා සමාජ පිටියේ දීයි. එහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලකුණු 189ක ඉලක්කයක් හඹා යෑමට සිදුව තිබිණි. වර්ණපුර එම තරගයේදී අගනා ඉනිමක් කී‍්‍රඩා කරමින් ලකුණු 106ක් ලබාගත්තේ සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යමිනි. එම ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාවට ටෙස්ට් වරම් ලැබීමේදී මහෝපකාරී විය.

බන්දුල වර්ණපුර ටෙස්ට් තරග 4කදී ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළේය. එහිදී ඔහු ඉනිම 8ක් තුළ ලබාගෙන තිබෙන්නේ ලකුණු 96ක් පමණි. ශී‍්‍ර ලංකාව නිල නොවන ටෙස්ට් තරග කී‍්‍රඩා කළ අවධියේදී බන්දුල පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් තිබේ. එහෙත් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේදී ඔහුට පිතිකරුවෙකු ලෙස සාර්ථක වීමට හැකියාවක් ලැබී නැත.

1982 වසරේදී ශී‍්‍ර ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට මුහුණ දුන්නේය. කොළඹ පී සරා ඕවල් පිටියේදී එංගලන්තය සමග පැවති එම තරගයේදී බන්දුල වර්ණපුර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය ඉසිලූවේය. එමෙන්ම, එම තරගයේදී ශී‍්‍ර ලංකා ටෙස්ට් ඉතිහාසයේ මුල්ම පන්දුවට මුහුණදුන්නේද වර්ණපුරය. ඔහු සිය රට වෙනුවෙන් මුල්ම ටෙස්ට් ලකුණ ලබාගත් පිතිකරුවා ලෙසින් ද ඉතිහාසගත විය. එහෙත්, එම තරගයේදී වර්ණපුර, පළමු සහ දෙවන ඉනිම්වලදී පිළිවෙලින් ලබාගත්තේ ලකුණු 2ක් සහ 38ක් පමණය. ඒ අනුව ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 38 ඔහුගේ ටෙස්ට් කි‍්‍රකට් දිවියේ ඉනිමක ලබාගත් ඉහළම ලකුණු ප‍්‍රමාණය ලෙසින් සටහන්ව තිබේ.

1976 වසරේදී ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර පැවති නිල නොවන එක්දින තරගාවලිය 2-0ක් ලෙසින් ජයග‍්‍රණය කරන්නට ශී‍්‍ර ලංකාව සමත් විය. එම තරගාවලියේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලූ ප‍්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා බවට පත් වුණේ බන්දුල වර්ණපුරයි. එහිදී වර්ණපුර, එක් තරගයකදී ලකුණු 21කට කඩුලූ 3ක් දවාගන්නා විට අනිත් තරගයේදී ලකුණු 11කට කඩුලූ 2ක් දවාගනු ලැබුවේය. ඒ ආකාරයට අවස්ථා කිහිපයකදීම පන්දුවෙන් දස්කම් දැක්වීමට බන්දුල වර්ණපුර සමත් වී තිබිණි.

එක්දින පිටියේදී නායකයෙකු ලෙස තරමක් සාර්ථක වුණු වර්ණපුර එක්දින තරග 8කට නායකත්වය ලබාදී, ඉන් අවස්ථා 3ක දී සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා මෙහෙයවා තිබේ. ටෙස්ට් තරග 4කට නායකත්වය දුන් වර්ණපුර, ඉන් එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන තිබේ. එහෙත් ඉතිරි තරග 3ම පරාජයට පත්ව තිබේ. වඩා වැදගත් වන්නේ ශී‍්‍ර ලංකාව ලබාගත් මුල්ම එක්දින ජයග‍්‍රහණය සඳහා බන්දුල නායකත්වය ලබාදීම ය. 1979 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයකදී ඉන්දියාවට එරෙහිව ලබාගත් එම ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාවට ටෙස්ට් වරම් ලබාගැනීමට හේතු පාදක වූ තවත් තරගයක් විය. ඉතා සීමිත තරග කිහිපයකදී පමණක් නායකයෙකු ලෙස කටයුතු කළද වර්ණපුරගේ මෙහෙයුම් කටයුතු ඉතා ප‍්‍රශස්ථ මට්ටමක පැවති බව හැම කෙනෙක්ම පිළිගන්නා කාරණයකි. බන්දුල වර්ණපුර නිරන්තරයෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ උන්නතිය වෙනුවෙන් වගකිවයුත්තන්ට යෝජනා ඉදිරිපත් කිරීම කැපී පෙනෙන ලක්ෂණයක් විය. බොහෝ තැන්වලදී ඔහුට කැපිලි කෙටිලි එන්නටද එයම හේතුවක් විය. 80 දශකය ආරම්භයේදී ඔහුට පීඩනයක් වන තරමටම මේ කැපිලි කෙටිලි වර්ධනය වී තිබිණි. දකුණු අපි‍්‍රකාවට පනවා තිබූ දීර්ඝ කී‍්‍රඩා තහනමද නොතකමින් බන්දුල වර්ණපුර ඇතුළු අනුර රණසිංහ, අජිත් ද සිල්වා, මහේෂ් ගුණතිලක වැනි විශිෂ්ට කි‍්‍රකට් කී‍්‍රඩකයන් රැසක් එරට බලා පිටත් වන්නේද එවැනි අර්බුදකාරී පසුබිමකය. පසුව වර්ණපුර ප‍්‍රමුඛ කණ්ඩායමට දීර්ඝ තරග තහනමක් පනවනු ලැබුවේය.

පි‍්‍රය කී‍්‍රඩාලෝලී හිතවත, අපට බන්දුල වර්ණපුර නම් වටිනා කී‍්‍රඩකයා අහිමිව ගොස් එතැනට ප‍්‍රවීණත්වයට පත් පුහුණුකරුවෙකු, කළමනාකරුවෙකු මුණගැසෙන්නේද ඒ නිසාය. එතෙකින් නොනැවතී වර්ණපුර නම් විශිෂ්ට විස්තර විචාරකයා අපට මුණ ගැසෙන්නේද ඉතිහාසයේ සිදු වූ මේ අත්වැරදීම නිසාය. කවරෙකු ලෙස සිය ක්‍ෂේත‍්‍රයේ කටයුතු කළද, හෙතෙම ඊට වටිනාකමක් ලබාදුන් බව කිව යුතුය. ඒ දවස කි‍්‍රකට්ලෝලී තරුණ ගැටව් වූ අපට වර්ණපුර දකුණු අපි‍්‍රකාව බලා පිටත්ව යෑම වරදක් ලෙස පෙනුනේ නැත. නොඑසේ නම් එබවක් පිළිගන්නට මැලිව සිටියෙමු.

ඒ දඩබ්බරබව අප පිළිගත්තේ කී‍්‍රඩාවෙම කොටසක් ලෙසිනි. ඒ යුගයේ කි‍්‍රකට් තරු යනු අප අමන්දානන්දයට පත් කළ දඩබ්බරයන්ය. වර්ණපුර යනු එහි නියමුවාය. මේ මොහොතේ ඒ වර්ණවත් දඩබ්බරයා සමුගෙන ගොසිනි.

උදේශ

advertistmentadvertistment
advertistmentadvertistment