කාක් කූඩුවේ හැදූ කොහා පැටියා…ආර්ථික අර්බුදය හමුවේ අයවැය

190

මේ මුදල් වර්ෂයේ (2022) ඉතිරි කාලය සඳහා වන අතුරු අය වැය ඉදිරිපත් වීම සහ අපගේ විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පළවීම යන කරුණු දෙකම පසුගිය සතියේ සිදු විය. සාමාන්‍යයෙන් අයවැයක් ඉදිරිපත් වන්නේ අනාගත මුදල් වර්ෂයක් වෙනුවෙනි. එහෙත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය අගෝස්තු 30 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අතුරු අයවැයකි. එනම් ගිය වසර අගදී හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයවැය සංශෝධනය කර මේ වසරේම ඉදිරි කාලය සඳහා අලුත් අයවැයක් ගෙන ඒමයි. මේ වසර ආරම්භ වීමෙන් පසු රටේ සමාජ, දේශපාලන සහ ආර්ථිකය වශයෙන් වෙනස්කම් රාශියක් සිදු විය. රට මුහුණ දී සිටි ආර්ථික ප්‍රශ්න වඩාත් උග්‍ර වූ අතර රුපියල දිගු කලක් අල්ලාගෙන සිට එය පා කිරීමෙන් පසු රුපියල වේගයෙන් පිරිහී බඩු මිල ගණන් ද වේගයෙන් වැඩි වූයේය. ඉන්පසු සමාජ නොසන්සුන්තා සහ මහජන විරෝධතා වර්ධනය වී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පිටව ගොස් ඉල්ලා අස්වීමට පවා සිදු වී පාර්ලිමේන්තුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්කරගත්තේය. මේ සියල්ලම අපි දනිමු. මේ නව වාතාවරණය හමුවේ 2022 ට ගෙනා අයවැය බොහෝ දුරට යල්පැනගිය එකක් විය. අතුරු අයවැයක් ගෙන ඒමට මුලින්ම තීරණය කළේ හිටපු මුදල් ඇමැති අලි සබ්රි මහතාය. දැන් රජය ද වෙනස් වී ඇති නිසා රට මුහුණ දී සිටින නව වාතාවරණයට මුහුණ දීමට සමත් නව සැලසුම් සහ උපායමාර්ග ඇතුළත් මෙවැනි අතුරු අයවැයක් ගෙන ඒම අවශ්‍ය දෙයකි.

මේ අනුව දැන් මේ අතුරු අයවැය ගැන සාකච්ජා කරමින් සිටින අතර එහි ගුණදොස් විවිධ අය ප්‍රකාශ කරමින් තිබේ. අපට මේ අමාරු මොහොතේ වැඩිම අවධානය යොමු කිරීමට තිබෙන්නේ මේ ආර්ථික අගාධයෙන් ගොඩ ඒම කළයුතු හදිසි වැඩකටයුතු ගැන සහ ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගවලින් ජනතාවට වන අහිතකර බලපෑම් හැකිතාක් අඩු කර ගැනීමට ප්‍රතිකර්ම යෙදීම ගැනයි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා කියන දෙයකි. ඉදිරියේ දී සිදු කිරීමට යන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ බදු වැඩි කිරීම් ඇතුළු ආර්ථික වෙනස්කම් හමුවේ දුප්පත් සහ වඩාත් අවදානමට ලක්වෙන අය වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් දියත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ සම්බන්ධයෙන් ද මෙවර අතුරු අයවැයේ යෝජනා තිබේ. ජනාධිපතිවරයා මේ අය වැය හඳුන්වා දුන්නේ පවතින අර්බුදය විසඳමින් රටේ ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම සකස් කරන අයවැයක් ලෙස මෙය ඉදිරිපත් කරන බවත් ලෝකයට ගැළපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික පදනම ලෙස නොවැම්බර් මස ඉදිරිපත් කරන ලබන වසරේ (2023) අය වැය මගින් නව ආර්ථිකයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය අරම්භ කරන බවත්ය. ඇත්තවශයෙන්ම රට බංකොළොත් වී බිංදුවටම වැටී ඇති මේ මොහොතේ අපි දැන්වත් අලුත් තිරසාර ආර්ථික ගමන් මාර්ගයක් වෙත ප්‍රවේශ විය යුතු වේ. ඒ සඳහා මෙය ඉතාම හොඳ අවස්ථාවක් වනු ඇති අතර ඒ සඳහා මහජන විරෝධතා ද අවම වනු ඇති බව සිතිය හැකිය. ජනපතිවරයා කියන පරිදිම සාම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තරවලින් බැහැර වී, මහපොළොවේ යථාර්ථයත්, ගෝලීය පරිසරයත් ගැන මැදිහත් සිතින් විමසා බැලීමට අපට මේ අවස්ථාවේ සිදුවන අතර අපට මේ අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ දුෂ්කර කාලයක් ගත කරමින් සාමූහික ප්‍රයත්නයකිනි.

අතුරු අයවැය කතාව පවත්වමින් ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා මෑතකදී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් අදහසක් පළ කළේය. ජනපති සඳහන් කළ පරිදි සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා තිබුණේ “රජය කරන්න ඕනේ ප්‍රතිපත්ති හදන එක, රජයක් තියෙන්නෙ ව්‍යාපාර කරන්න නෙවෙයි” යන්නයි. බොහෝ රාජ්‍ය ව්‍යාපාර නිසා රජයට ඉතිහාසය පුරා බලවත් පාඩු සිදුවී ඇත. එම ආයතනවල බොහෝ වංචා හා දූෂණ ද සිදුව ඇත. කෝප් කමිටු සාකච්ඡාවලින් පසුගිය දිනවල ද ඒවා රටට හෙළිදරව් වී ඇත. එහෙත් ඒවාට ගන්නා පියවරක් ද නැත. ඒවායේ බර රජයේ දේශපාලනඥයන් කිසිවෙක් නොදරන අතර ඒවාට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් ඒ බර දරන්නේ ද නැත. අවසානයේ ඒ බර දරන්නේ මේ රටේ අතිමහත් බහුතර රජයට බදු ගෙවන ජනතාවයි. මේ නිසා පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන අයිඑම්එෆ් එක කීවත් නැතත් අනිවාර්යෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතු අතර ඒ හරහා මහජනයා පිට පැටවී ඇති එම වංචා හා දූෂණ සහ පාඩුවල බර අවම කිරීම සහ නැති කර ගැනීම කරගත යුතු වේ.

මහා පරිමාණයේ පාඩු ලබන රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටු විය යුතු බවට මෙවර අයවැයෙන් ද යෝජනාවක් ඉදිරිපත්ව ඇත. එය හොඳ දෙයකි. ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි ආයතනයක් ගතහොත් එවැනි ආයතනවල දැවැන්ත පාඩු මේ රටේ ඇතැම් විට කිසිම දිනක ගුවන් යානයකවත් ගමන් කර නැති සාමාන්‍ය ජනයාට පවා දරන්නට සිදුව තිබේ. ඒ තත්ත්වය වෙනස් කළ යුතුය. එහෙත් රටකට ජාතික ගුවන් සේවයක් තිබිය යුතු බව ද අපි සිතමු. ආයතනයක් පාඩු වීමට හෝ ලාභ ලැබීමට හේතුව එහි අයිතියම නොවේ. එයට හේතුව අකාර්යක්ෂම කළමනාකරණයයි. එසේම ආයතනවල දැනට පවතින ව්‍යුහය අනුව වංචා හා දුෂණ සිදු වීමට ඉඩකඩක් තිබීමයි. ඒ නිසා රාජ්‍ය අයිතිය යටතේ තබා ගත්තත් එම ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතු වේ. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍යය. ප්‍රතිව්‍යුහගත කිරීම යනු යම් ආයතනයක් විකුණා දැමීමම නොවේ. පුද්ගලීකරණය යනු ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් ක්‍රමවේදයක් පමණි. පාඩු ලබන සෑම ආයතනයක්ම මුළුමනින්ම විකුණා දැමිය යුතු ද නොවේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් නම් අපගේ ජාතික ගුවන් සේවයේ නාමය රැකගෙන කොටස් ප්‍රමාණයක් විකිණීම ද සහිතව සුදුසු ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ හැකිය.. කෙසේ වෙතත් ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, විදුලිය සහ තෙල් සැපයුම වැනි මහජනයාට අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් රජයේ නියාමනයක් දිගටම තිබීම වැදගත්ය. මේ නිසා බොහොමයක් සිදු කරමින් සිටින ව්‍යාපාර කටයුතුවලින් රජය ඉවත්ව අදාළ පාඩු ලබන ආයතන කාර්යක්ෂම පාලනයකට ඉඩ ලබාදිය යුතු වේ. එමගින් මහජනයා වෙත පැටවී ඇති බර නැති කරගත යුතු වේ. ඇතැම් එම ව්‍යාපාර රාජ්‍ය සහ පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර බවට ද පත්කර ගත හැකි වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ද අපට ඉටු කළ යුතුව තිබේ. එහිදී බදු ප්‍රතිසංස්කරණ ඇතුළු ක්‍රියාත්මක කළ යුතු හදිසි ප්‍රතිසංස්කරණ රැසක් තිබේ. ඒ හරහා 2025 වසර වන විට ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් ඇති කර ගැනීම, ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම, රාජ්‍ය ණය පාලනය කර ගැනීම ඇතුළු ප්‍රමුඛ ඉලක්ක සපුරා ගැනීමට මෙම අතුරු අයවැය අඩිතාලමක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කතාවේ දී කියා ඇත.

ජනාධිපතිවරයා සිදු කළ

අතුරු අය වැය කතාවේ සඳහන් වැදගත් කරුණු කිහිපයක් මෙසේය.

● 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 8.2්‍ර සිට 15්‍ර දක්වා වැඩි කිරීම

● උද්ධමනය තනි ඉලක්කමක මැදි අගයක් දක්වා නැවත ගෙන ඒම

● සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ශක්තිමත් කිරීම

● මහා පරිමාණයේ පාඩු ලබන රජය සතු ව්‍යවසායකයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීම

● රාජ්‍ය මූල්‍ය රීති ඇතුළත් වන රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් සම්පාදනය කිරීම

● රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේ දී පවතින ගැටලු සමීපව කටයුතු කිරීම සහ යෝජනා ඉදිරිපත් කිරීමට ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක් පිහිටුවීම

● ජාතික ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීම

● රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනයක් පිහිටුවීම

● රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20්‍ර ක ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත්කරුවන්ට හා සේවකයන් වෙත ලබාදීම

● ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් සඳහා එක් පවුලකට මාසිකව රුපියල් 10ල000ක් බැගින් ලබාදීම

● ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් බිලියන 133ක්

● මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5000 – 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීම සහ පොරොත්තු ලේඛනයේ සිටින පිරිසට රුපියල් 5000ක තාවකාලික දීමනාවක් ලබාදීම

● වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ආධාර ලබන පුද්ගලයින් වෙත ගෙවනු ලබන දීමනාව, මසකට රුපියල් 5000 සිට රුපියල් 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීම සහ පොරොත්තු ලේඛනයේ සිටින පිරිසටත් රුපියල් 5000ක් ලබාදීම

● කුඹුරු හෙක්ටයාර් 2ක් හෝ ඊට අඩුවෙන් වී වගා කිරීම සඳහා රාජ්‍ය බැංකු වෙතින් ලබාගත් වගා ණය කපා හැරීම

● දේශීය කිරි නිෂ්පාදන නංවාලීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම හිඟයකින් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පියවර ගැනීම

● ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක්

● ලබන වසරේ සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්. ඉහළ වියදම් දැරීමේ හැකියාවක් ඇති සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට විශේෂ වැඩසටහනක්

● තොරතුරු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ශාඛා විශ්වවිද්‍යාල පිහිටුවීමට පහසුකම්

අතුරු අයවැයේ සඳහන් කරුණු සඳහා ඉඩ තබා ගැනීමට 2022 මුල් අයවැයේ ප්‍රාග්ධන වියදම්වලින් හා අඩු ප්‍රමුඛතාවයකින් යුතු වියදම්වලින් රුපියල් බිලියන 300 කට ආසන්න ප්‍රතිපාදන යොමු කර තිබේ. එසේම ලෝකයේ අඩුම බදු ආදායමක් ලබන රටක් දක්වා බිඳ වැටී ඇති අපගේ රාජ්‍ය අදායම නංවා ගැනීම ද අවශ්‍ය වන අතර ඒ සඳහා ඉකුත් සැප්තැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද සියයට 12 සිට සියයට 15 දක්වා තවදුරටත් වැඩි කර ඇත. 2022 මැයි මස හඳුන්වා දුන් බොහෝ ආදායම් යෝජනා ද ඔක්තෝබර් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ. බඩු මිල අහස උසට වැඩි වී ඇති නිසා හැකිතාක් වක්‍ර බදු බර වැඩි කිරීමෙන් වැළකිය යුතු වේ. එහෙත් ඉතා ඉක්මනින් මේ බදු වෙනස සිදු කිරීමට අපහසු බැවින් රජයට වක්‍ර බදු බර වැඩි කිරීමට ද සිදුව ඇත.

බදු වැඩි කර ගැනීමේ දී ආදායම් හා ලාහ මත එනම් බදු ගෙවීමට හැකියාව සහ ශක්තිය ඇති පිරිස්වලින් වැඩි බදු ආදායමක් රජයට ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු වේ. එනම් වක්‍ර බදු වෙනුවට සෘජු බදු ආදායම්වලින් බදු ආදායම් වැඩියෙන් උපයා ගැනීමට කටයුතු කිරීමයි. මෙය අයිඑම්එෆ් එකද අපට කියන බදු ප්‍රතිසංස්කරණවල සඳහන් කර ඇති දෙයකි. දැනටමත් ජීවන වියදම වැඩිවීමෙන් හොඳටම පීඩාවට පත්ව සිටින ජනයා නව වක්‍ර බදු නිසා තවත් බඩු මිල වැඩි වී පීඩාවට පත්වනු ඇත. ජනතාව නම් සිටින්නේ නහය උඩින් ද වතුර ගිය තත්ත්වයකය. ඒ නිසා මේ සියලු වෙනස්කම් කිරීමේ දී මේ පීඩාවට පත් වන කණ්ඩායම් ගැන ද අවධානය යොමු කර සහන සැලසීම අත්‍යවශ්‍ය වේ. එහෙත් මේ අමාරු අවස්ථාවේ ඉහළ සිට පහළට අප සියලු දෙනාටම අඩු වැඩි වශයෙන් කැප කිරීම් කිරීමට සිදුවන බව ද අමතක නොකළ යුතු වේ. බදු ආදායම් ඉහළ නැංවීමේ මෙම උත්සාහයේ දී බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට බදු අනුකූලතාවය වැඩි කිරීමට, බදු පදනම පුළුල් කර ගැනීම හා බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීමට බදු පරිපාලනයට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවනු ඇත. අයවැය යනු වෙනස් නොවන ලියවිල්ලක් නොවේ. අයවැයේ එතරම් සුදුසු නොවන යෝජනා සහ අඩුපාඩු ඇත්නම් ඒවා ද නිවැරදි කරගනිමින් නව තත්ත්වයන් අනුව අයවැය යෝජනා ක්‍රියාත්මක කළ හැකිය. පීඩාවට පත්වන පිරිස්වලට සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමේ දී සහනාධාර අත්‍යවශ්‍ය සුදුසු අයට පමණක් ඒවා නිසි ලෙස ඉලක්ක කර ලබාදිය යුතු බව අප දැඩිව අවධාරණය කරමු. සමෘද්ධිය ඇතුළු සහනාධාර වැඩසටහන්වල දී ගම්වල ඇතැම් ලැබිය යුතු පවුල්වලට සහන නොලැබී ඇති බවටත් මුදල් තිබෙන අයටම එම සහනාධාර බොහෝ විට ලැබී ඇති බවටත් චෝදනා තිබේ. ඒ නිසා මේ ආර්ථික අර්බුදයෙන් අතිශය පීඩාවට පත්ව සිටින ජනයාට මේ සම්ප්‍රදායික සහනාධාර ලබාදෙන වැඩසටහන් මතම සහනාධාර මුදල් වැඩි කිරීමෙන් බොහෝ අසාධාරණයන් වීමට සහ සහන අහිමි වීමටද ඉඩ තිබෙන බව අපි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සිහිපත් කරමු. මේ අමාරු වෙලාවේ දෙන ජනතා සහන අවභාවිතයට ලක් නොවීම ඉතාමත් අත්‍යවශ්‍ය කරුණක් වන නිසාය. ශ්‍රී ලංකාවට මාස 48 ක කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදලක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ එකඟතාවයකට එළඹ ඇත. එය ඔවුන් ඉකුත් සැප්තැම්බර් 01 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එහෙත් ඒ මුදල් ලැබීමට එයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයේ සහ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතු වේ. ඒ සඳහා ඉදිරියේදී අපට කළ යුතු බොහෝ දේ තිබේ. එම මුදල් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඇත්තේ අප කළ යුතු දේවල් එනම් පූර්ව ක්‍රියා කිරීමේ ප්‍රගතිය මතය. ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ඇති කර ගැනීමේ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් කළ යුතු බවද එහි ඇති ප්‍රමාදයන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තවත් උග්‍ර තත්ත්වයට පත්කරනු ඇති බවද ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා එදින (01දා) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට කඩිනමින් මූල්‍යාධාර අවශ්‍ය බවද ඒ මහතා කීවේය. මේ නිසා ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු පූර්ව ක්‍රියා සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙතරම් ඉක්මනින් සිදුවේද යන්න මත අනුමත වන මුදල් පහසුකම ලබාගැනීමට ගතවන කාලය තීරණය වනු ඇත. ශ්‍රී ලංකාවේ මූල්‍ය හිඟය පියවීම සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ලැබෙන ණය සහන සහ බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගෙන් අතිරේක මුදල් ලැබීම අවශ්‍ය වන බව ද පීටර් බෲවර් මහතා එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේය. මේ නිසා අතර අපගේ ණය හිමියන් සමග සාකච්ඡා කර ඉතා ඉක්මනින් අපට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගෙන එහි ප්‍රගතිය මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට ද සිදු වේ. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ බරපතළකම අනුව එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති පිළිබඳව පසුගිය දිනවල ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවද පීටර් බෲවර් මහතා කීවේය. මේ අනුව ශ්‍රී ලංකාව ඉදිරියේදී පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟතාවය පළ කර ඇත. ඒ සඳහා අපගේ කැපවීම විස්තීරණ ණය පහසුකමක් ලබාදීම සඳහා අයිඑම්එෆ් කාර්ය මණ්ඩල එකඟතාව පළවීමෙන් පිළිබිඹු වේ. මෙම මාධ්‍ය හමුවේදී කතා කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා කීවේ ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව බදු එකතු කිරීම ඉතාම පහළ මට්ටමක නිසා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවට සහාය වීම සඳහා බදු ආදායම් ඉහළ නංවාගත යුතු බවයි. ලෝකයේම ඉතාම අඩු ආදායම් මට්ටමක සිට අදාළ වැඩසටහන මගින් ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ඇත. මෙම ප්‍රතිසංස්කරණ අතරට පුද්ගල ආදායම් බද්ද වඩාත් ඵලදායී කර ආයතනික ආදායම් බදු සහ වැට් සඳහා බදු පදනම පුළුල් කිරීම ඇතුළත් වෙන බව ද ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති වැඩසටහන අනුව රාජ්‍ය ව්‍යවසායකයන්ගේ පාඩු මගින් ඇතිවන මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ඉන්ධන සහ විදුලියට පිරිවැය නිරූපණය වන මිල ගණන් හඳුන්වාදිය යුතු වේ. මේ බොහෝ වෙනස්කම් දැනටමත් අප දියත් කර ඇත. ඒ අනුව ඉදිරියට ද තවත් බොහෝ දුෂ්කර කොන්දේසි ඉටු කරමින් වසර හතරක ගමනක් අපට අයිඑම්එෆ් එක සමග යෑමට තිබේ. ඉන් පසුව හෝ අප කටයුතු කළ වන්නේ අයිඑම්එෆ් එකට නැවත යෑමට අවශ්‍ය නොවන තැනකට අපගේ ආර්ථිකය සකස් කර ගැනීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment