කාගෙන්වත් වචනයක් අහන විදිහට වැඩ කරලා නෑ – දෙව්නක පෝරගේ

267

‘හිත ළඟ හිනැහුණු’ සමගින් දෙව්නක පෝරගේ මේ දිනවල ඔබ හමුවට එනව. මොනවද ඔහුගේ අලුත් තොරතුරු කියල දැනගන්න මීවිත කතාබහකට මුලපිරුව වෙලාවෙ දෙව්නක විශේෂ දේකුත් අපිට කිව්ව. ඒක ඔබටත් දැනගන්න අපි මේ විදිහට සටහන් කළා.

සිහිනට ලැබෙන ප්‍රතිචාර?

 ‘හිත ළඟ හිනැහුණු’ කියන්නෙ ගොඩක් දෙනෙක් අතරට ගිය, ගොඩක් දෙනකුගේ ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍යයක් කියල කියන්න පුළුවන්. ඒ නිසාම බොහොම හොඳ ප්‍රතිචාර මගේ චරිතය වෙනුවෙන් ලැබෙනව.

 මොනවද අලුත් වැඩ?

 මේ දවස්වල අලුත් නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නව. ඒක නම් කරල තියෙන්නෙ ‘බිහයින් ද ……….’ කියල. දැනට එක කොටසක් අවසන් වෙලා. සංගීත් සතරසිංහ, දිනිති වල්ගමගේ, රිද්ම වීරවර්ධන, අංජලී රාජ්කුමාර වගේ අයත් මේ නාට්‍යයේ චරිත නිරූපණය කරනව.

 ඔබ වෘත්තීයමය නළුවෙක් ද?

 ඇත්තටම කිව්වොත් මම තවම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනව. වෘත්තියක් හැටියට ගත්තොත් දැනට මගේ වෘත්තිය වෙන්නෙ රංගනය. ඊට අමතරව විනෝදාංශයක් හැටියට සංගීතය කරනව.

කාගෙන්වත් වචනයක් අහන විදිහට වැඩ කරලා නෑ - දෙව්නක පෝරගේ



 ඝරසරප චිත්‍රපටය දෙව්නකගෙ ජීවිතයේ ලොකු පෙරළියක් කළා?

 මම ක්‍ෂේත්‍රයට ඇවිත් මේ වන විට අවුරුදු දහඅටක් විතර වෙනව. ඝරසරප චිත්‍රපටය ගැන කතාකළොත් මට ලොකු ප්‍රේක්‍ෂක පිරිසක් අතරට යන්න අවස්ථාව ලැබුණෙ මේ චිත්‍රපටය හරහා. එයින් ලැබුණ සම්මානයත් මට ලොකු ගෞරවයක් වුණා.

 ඔබට ලැබෙන ආරාධනා ගැන සෑහීමකට පත්වෙනවද?

 දැනට රටේ පවතින තත්ත්වයත් එක්ක හැමෝම බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. මේ නිසා මට ලැබෙන ආරාධනා ගැන විශේෂ යමක් කියන්න බැහැ. නිර්මාණකරුවන්ටත් මේ තත්ත්වය තදින්ම බලපාල තියනවනෙ. කොහොම වුණත් මේ අමාරු තත්ත්වය යටතේත් හොඳ නිර්මාණ බිහිවෙනව දකින්න පුළුවන්.

 දෙව්නකට ආරාධනා ලැබෙන්නෙ නිමන්ති පෝරගේ නිසාද?

 නිමන්ති පෝරගේ කියන්නෙ මගේ නැන්දා. ඇය සහ මාමා වන ප්‍රභාත් රෝෂන් තමයි මාව මේ ක්‍ෂේත්‍රයට ගේන්නෙ. ඒ සම්බන්ධය මගේ රංගන ජීවිතයට ලොකු රුකුළක් වුණා. නමුත් ඒ කාරණාවට එහා ගිය දෙයක් තියෙනව. මොකද මම අද වන විට ක්‍ෂේත්‍රය තුළ නමක් හදාගෙන යම් තත්ත්වයකට ඇවිත් තියෙනව කියල හිතනව. ඒ ගැන මං ආඩම්බර වෙනව, මොකද කාගෙන්වත් වචනයක් අහන විදිහට මම වැඩකරල නැහැ. මේ හේතුව නිසාම අදටත් මට හොඳ නිර්මාණවලට ආරාධනා ලැබෙනව.

 ඔබේ මාමාගෙ සහ නැන්දාගෙ නිර්මාණවලට ආරාධනා නැත්ද?

 ඇත්තටම 2018 සහ 2019 වසරවල මම ඔවුන්ගේ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. ඒ සිද්ධාර්ථ ගෞතම සහ අහස් මාළිගා වගේ නිර්මාණවලට. එතනින් පස්සෙ එයාලගෙ නිර්මාණවල මට ගැළපෙන චරිත තිබුණෙ නැහැ. මං හිතනව මට එයාලගෙන් ආරාධනයක් නොලැබුණේ ඒ හේතුව නිසා කියල.

 අධ්‍යාපනය, රංගනය සහ සංගීතය යන මේ දේවල් සමබරව පවත්වාගෙන යන්නෙ කොහොමද?

 අපි කරන දේට අවංකව ඒ දේ ඉලක්ක කරල වැඩ කළොත් මේ ඕනෑම දෙයක් සමබරව කරන්න පුළුවන්.

 ‘හිත ළ`ඟ හිනැහුනා’ ගැන කතාකළොත්?

 මහේෂ් සත්සර මද්දුමආරච්චි මහත්මයා තමයි මේ කතාව රචනා කරන්නෙ. බොහෝ වෙලාවට තිරය පිටුපස ඉන්න අය කතාව දන්නව. නමුත් පිටපත කියනවකොට ඔවුන් පවා පුදුම වෙනව. ඒ පුදුමය අපි අපි කැමරාව ඉදිරියේදී භාවිත කරනව. ඒ වගේම හරිම තාත්වික විදිහට හැම චරිතයක්ම නිර්මාණය කරල තියෙනව. මෙතනදි අධ්‍යක්‍ෂවරයා වන ප්‍රදීප් රසංග මහත්මයාවත් විශේෂයෙන් මතක්කරන්න ඕන. ඔහු ඉතාම උනන්දුවෙන් සහ ඉතා ආදරණීය විදිහට අපිත් එක්ක වැඩකටයුතු කරනව. ‘හිත ළ`ඟ හිනැහුනා’ කණ්ඩායම ම බොහොම ළෙංගතුව වැඩකරගෙන යනව.

 පිටපත ලැබුණම මොකද හිතුනෙ?

 මහේෂ් සත්සර මහත්මයා කියන්නෙ මම දන්න කාලෙ ඉඳන්ම නිර්මාණ කරන කෙනෙක්. මම හැදුනෙ වැඩුණෙ එතුමාගේ නිර්මාණ බලල. ඇත්තටම මට පිටපත කියෙව්වාම දැණුනෙ මේ නිර්මාණය ඉතාම සාර්ථක සහ ඉතාම සාර්ථක චරිතයක් වේවි කියල. ඒ වගේම මේ චරිතය මට ලොකු අභියෝගයක් වුණේ නැහැ. මොකද මගේ සැබෑ ජීවිතයටත් මේ චරිතය ගොඩක් දුරට සම්බන්ධයි.

 නම්බර් 9 අතරමග නතර වුණා?

 නම්බර් 9 ටෙලි නාට්‍යය අතරමග නතර වුණ හේතුව නම් ඇත්තටම මම දන්නෙ නැහැ. පිටපතේ තිබුණ සම්පූර්ණ කතාව අපි රූගත කළා. නමුත් අවසානය ධනංජය සිරිවර්ධන ලිව්ව කතාවෙ අවසානය නෙමෙයි. ඒක වෙනස් කළා. කොහොම වුණත් ඒ අවසානය සාර්ථක වුණා කියල මම හිතනව.

 ආදර යෝජනා බොහොමයි?

 ඔව්… ඔව්… ආදර යෝජනා නම් ඒ කාලෙ ඉඳන් එනව. දැන් තවත් යෝජනාවලට ඉඩක් නැහැ.

 දෙව්නක ආදරවන්තයෙක්?

 ඔව්.

 ඇය ගැන කියමු?

 ඇය ගැන පස්සෙ කියමු නේද?

 විවාහය?

 විවාහය ගැන හිතනව. තව ටික කාලෙකින්. ඒ කියන්නෙ තව අවුරුදු දෙකකින් විතර.

advertistmentadvertistment
advertistmentadvertistment