කාටත් හිතැති කාගෙත් හිතැති – මිනුවන්ගොඩ හිතහොඳ නර්ස් නෝනා – කොරෝනා වැළඳී මියයයි

551

සැමියකුට තම ආදර බිරිඳක් ද දරු දෙදෙනෙකුට මවු සෙනෙහසද අහිමි කරමින් කොවිඞ් ආසාදිතයින් ජීවත් කරලීම සඳහා ඇප කැප වී සේවය කළ හෙද පාලිකාවක් කොවිඞ් ආසාදිත වීමෙන් මියයාමේ ශෝචනීය සිද්ධියක් මිනුවන්ගොඩ කොවිඞ් ප‍්‍රතිකාර රෝහලෙන් වාර්තා වේ.

කාටත් හිතැති කාගෙත් හිතැති - මිනුවන්ගොඩ හිතහොඳ නර්ස් නෝනා - කොරෝනා  වැළඳී මියයයි

ශ‍්‍රී ලංකාවෙන් කොවිඞ් ආසාදිතයින් හමුවීමත් සමග කොවිඞ් ආසාදිතයින්ට ප‍්‍රතිකාර කරන රෝහලක් ලෙස නම් කෙරුණු මිනුවන්ගොඩ මූලික රෝහලේ අංක 02 වාට්ටුව භාරව සිටිමින් කොවිඞ් ආසාදිතයින්ට ප‍්‍රතිකාර සපයමින් සිටි හෙද පාලිකා එම්. ඉන්දු අමරසිංහ මහත්මිය කොවිඞ් ආසාදිතව ඉකුත් 27 වෙනිදා මෙසේ මියගියේය. මිනුවන්ගොඩ යටියන සමගි මාවතේ පදිංචිව සිටි හෙද පාලිකා ඉන්දු අමරසිංහ මහත්මිය 56 හැවිරිදි දෙදරු මවකි.

මිනුවන්ගොඩ මූලික රෝහල කොවිඞ් ආසාදිතයින්ට ප‍්‍රතිකාර කරන රෝහලක් බවට ඉකුත් වසරේ නම් කිරීමෙන් අනතුරුව රෝහල ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා පැමිණි සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ආහාරපාන තම නිවසින්ම

ගෙනැවිත් ලබාදෙමින් රෝහල ප‍්‍රතිසංස්කරණය කිරීමට දායකවී කටයුතු කළ බව ඇගේ සහෝදර හෙදි පාලිකාවක් පවසා සිටියාය.

වෛද්‍යවරු ඇතුළු රෝහලේ සියලූ තරාතිරම්වල සේවය කරන අයවලූ‍න් සමග ඉතා සුහදශීලීව කටයුතු කළ ඇය වාට්ටු වල ප‍්‍රතිකාර ලැබූ කොවිඞ් රෝගීන්ට ද ඉතා කාරුණිකව ඇප උපස්ථාන කළ බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

යටියන ගම් පියසේ ද කාගේත් ආදරයට පාත‍්‍රව සිටි හෙද පාලිකා ඉන්දු අමරසිංහ මහත්මියගේ අවසන් කටයුතු පෙරේදා (28) මිනුවන්ගොඩ ආදාහනාගාරයේ දී සිදු කෙරුණි.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක
 

advertistmentadvertistment
advertistmentadvertistment