කාටද කොවිඞ්…?

124

මිනිසුන්ට පමණක් නොව, සතුන්ටද කොවිඞ් වෛරස (කොරෝනා රෝගය) වැලඳෙන බව දැන් තහවුරු වී ඇති කාරණයකි. ඒ ”තෝර්” නමැති දෙහිවල සතුන් වත්තේ වෙසෙන සිංහයාට හා  ”ෂීනා” නමැති තෝර් ගේ පෙම්වතියට ද කොවිඞ් වැලඳීම නිසාම නොවේ. ඉන්දියාව හා තවත් රටවල් කිහිපයකම බළල් පවුලේ (සිංහයින්) සාමාජිකයින්ට රෝගය වැලඳී ඇති බවට පරීක්ෂණවලින් කරුණු අනාවරණය වී ඇත.
 
 එපමණක් නොවේ, මිනිසාට ළඟම නෑකම් කියන චිම්පන්සි, ඔරන් උටං වඳුරු වර්ග සඳහා කොවිඞ් රෝගය වැලඳීමේ ඉහළ හැකියාවක් ඇති බව ජාත්‍යන්තරව ප‍්‍රකාශයට පත්වූ ප‍්‍රවෘත්තියකි.
 
 නමුත් කවුරුන් විසින් හෝ මෙය හංගන්නට වුවමනා කාරණයක් නොවේ. තෝර්ට, ෂීනාට පමණක් නොව, උන්ගේ දරු දෙදෙනාටත්, වෙනත් සතුන්ටත් රෝගය වැලඳී ඇත්නම් ජනතාව, සතුන් වත්තේ සේවකයින්, එම කාර්ය මණ්ඩලය, පශු වෛද්‍ය අංශ ඒ බව දැනගත යුතුය. රජය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, වසංගත රෝග අංශය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, කොවිඞ් කාර්ය සාධක බලකාය ඒ ගැන දත යුතුය. රෝගයෙන් ප‍්‍රවේශම් වන්නටත්, රෝගය අනෙක් සතුන්ට පැතිර යෑම වැළැක්වීම සඳහාත්, රෝගයෙන් සතුන් ආරක්ෂා කරගැනීම සඳහාත් කටයුතු කළ හැක්කේ එවිටය.
 
 එසේම, සතුන් ආරක්ෂා කරගැනීම සඳහා සාමූහික ක‍්‍රියාමාර්ග ගැනීම අවශ්‍යය. නමුත් තෝර් නමැති 2012 වසරේදී කොරියාවේ සෝල් සත්වෝද්‍යානයෙන් මෙරටට ගෙනා සිංහයාට කොවිඞ් පොසිටිව් වූ සිද්ධිය සත්වෝද්‍යාන පාලනාධිකාරිය තනිකරම යට ගසා හොර රහසේ කටයුතු කරගෙන ගියේය. අඩු තරමේ සිද්ධිය පිළිබඳව පළමුව අප සත්වෝද්‍යාන ප‍්‍රධාන කාර්යාලයෙන් විමසන අවස්ථාව වන විටත් ඔවුහු ඒ ගැන දැන නොසිටියහ.
 
 ඒ පිළිබඳව අප සනාථ කරගන්නා ලද්දේ මාධ්‍ය විධික‍්‍රම භාවිත කරමිනි. අවසානයේ පසුවදා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අණුක ජීව විද්‍යා රසායනාගාරයට කතා කර ඒ බව සනාථ කරගන්නට අපට සිදු විය.
 
 නමුත් සිදු වූයේ කුමක්ද…? තෝර් ගෙන් පසු සිංහ දූපතේ විසූ ෂීනා නමැති සිංහ ධේනුව හා උන්ගේ පැටවුන් පිළිබඳ සැලසුම් කර තිබූ ඉතිරි  පී සී ආර් පරීක්ෂණ සිදුකිරීම පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයෙන් ගලවා (නොයවා* සත්වෝද්‍යාන පාලන අධිකාරිය විසින් රාගම වෛද්‍ය පීඨයට ලබා දීමය.
 
 බැලූ බැල්මටම මෙහි සදාචාරාත්මක ප‍්‍රශ්නයක් තිබේ. රාගම වෛද්‍ය පීඨයේ දී මිනිසුන් සඳහා  පී සී ආර් පරීක්ෂණ සිදුකරන බව ඇත්තකි. නමුත් මෙතෙක් සතුන් සඳහා මේ භයානක කොවිඞ් වසංගතයේ සාම්පල පරීක්ෂා මෙහිදී සිදුකර නැත. එසේම, ෂීනා නමැති සිංහ ධේනුව කොවිඞ් පොසිටිව් කියා වාර්තාව ලබා දී ඇත්තේද රාගම වෛද්‍ය පීඨයෙනි.
 
 පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති එරන්දක ගුණවර්ධන මහතා කියා පරිදි මෙහි ප‍්‍රශ්නයක් තිබේ. එනම්, සත්වෝද්‍යාන බලධාරීන් මේ සිදුකරන්නේ සත්වෝද්‍යානය තුළ සිටින සතුන්ගේ කොවිඞ් ඇතුළු රෝග යටගැසීමේ කටයුත්තකි. එසේම අපට වාර්තාවන්නේ තෝර් නමැති සිංහයා කොවිඞ්  රෝගයට ගොදුරු වූ බව සත්වෝද්‍යාන පාලනාධිකාරිය රහසක්ව පවත්වාගෙන සිටි පසුබිමක පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයෙන් එම තොරතුරු මාධ්‍යයට හෙළිදරව් කළ බවට සැකකරමින් මෙසේ පී සී ආර් පරීක්ෂණ සිදුකිරීම පේරාදෙණියෙන් ගලවා ඇති බවකි.
 
 සැබෑව නම් මේ රටේ සත්වෝද්‍යානයක වේවා, වන සත්ත්වයින්ගේ වේවා කුමන හෝ සතකුගේ රෝග පරීක්ෂාව සඳහා ඇති හොඳම රසායනාගාර පහසුකම් පවතින්නේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වීමය. එසේම, කොවිඞ් පරීක්ෂණ සඳහා නිවැරදිම ප‍්‍රතිපල කියන වෙනම ඒකකයක් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ පශු මූලික විද්‍යා අංශයේ අණුක ජීව විද්‍යා රසායනාගාරය තුළ ස්ථාපිත කර ඇති බව පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.
 
 එවන් තත්ත්වයක් තිබියදී සත්වෝද්‍යාන බලධාරීන් හෝ එම පාලනාධිකාරියට නියෝග දෙනු ලබන කවුරුන් හෝ මේ සිදුකරන්නේ අත්තනෝමතික ලෙස කටයුතු කරමින් අහිංසක සතුන්ගේ ජීවිත බිල්ලට දීමේ ක‍්‍රියාවකි. නමුත් සතුන්ට ප‍්‍රතිකාර කරන්නේ  ශ‍්‍රී ලංකාවේ පශු වෛද්‍යවරුන් ය. ඒ මදිවාට රටේ පශු වෛද්‍යවරුන් හෑල්ලූවට ලක් කරමින් ඉන්දියාවෙන් ද පරීක්ෂණ සිදු කරන්නට ඕනෑ කියමින් බොර දියේ මාළු බාන්නට සැරසේ.
 
 මේ අතර කොවිඞ් බවට සැක කරමින් කළින් පේරාදෙණියට යවා තිබූ ලෙඩවී සිටි ශ‍්‍රී ලාංකික වඳුරකුගේ වාර්තාව නෙගටිව් වී තිබියදීම වඳුරා පෙරේදා (24) මිය ගොස් තිබිණි. මරණයෙන් පසු බඩ කපා සිදුකළ මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ කොළ වර්ග අනුභව කරන මේ වඳුරාට මස් හා බිත්තර කෑමට දීම මරණයට ආසන්න හේතුව බවයි. ඒ සඳහා බක පණ්ඩිත උපදස් දී ඇති බව කියන්නේ ද ”තෝර්” ගේ කොරෝනා රෝගය සඟවන්නට කටයුතු කළ, සතුන්ගේ රෝග නිශ්චය රාගමට හැරවූ සතුන් වත්තේ ලොක්කෙකු විසින් බව ය.

advertistmentadvertistment
advertistmentadvertistment