කාටූන් කියැවීම උපතින්ම සටන්කාමීන් වූ වයිකින්වරු

382

වයිකින්වරු යනු (Vikings) ස්කැන්ඩිනේවියානු රටවල ජීවත් වූ නිර්භීත සටන්කාමී නාවික කටයුතු සඳහා දක්ෂතා ඇති පිරිසකි. 8 වන සියවසේ අග සිට 11 වැනි සියවස දක්වා ඔවුන්ගේ ආධිපත්‍යය පැවැතුණි. ඔවුන් මධ්‍යධරණී මුහුද, උතුරු අපි‍්‍රකාව, මැද පෙරදිග සහ උතුරු ඇමෙරිකාව දක්වා ද ගමන් කළහ. වයිකින්ලා සටන්කර වෙනත් රටවල භූමි ප‍්‍රදේශ අත්පත් කරගෙන ඒවායේ පදිංචි වූ අතර මෙම කාලය ‘‘වයිකින් යුගය’’ ලෙස හඳුන්වනු ලැබේ. බි‍්‍රතාන්‍ය දූපත්, ප‍්‍රංශය, එස්තෝනියාව, කීවන්රූස් (9 වැනි සියවසේ බිහි වී තිබූ යුරෝපයේ රාජ්‍යයක්) කෙරෙහි වයිකින්වරුන්ගේ ප‍්‍රබල බලපෑම් ඇති විය. ඔවුන් නෝර්ස් සංස්කෘතිය විදේශ රටවලට ව්‍යාප්ත කරන අතරම වහලූන්, උප භාර්යාවන් සහ විදේශීය සංස්කෘතික බලපෑම් ස්කැන්ඩිනේවියාවට ගෙන ආ අතර, එය ජානවලට ප‍්‍රබල ලෙස බලපෑවේය. වයිකින් යුගයේ දී නෝර්ස් නිජබිම් කුඩා රාජධානිවලින් විශාල රාජධානි තුනකට ක‍්‍රමක‍්‍රමයෙන් ඒකාබද්ධ විය. ඒ ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩන් ය. වයිකින්වරුන් පැරණි නෝර්ස් භාෂාව කතා කළේය. ඔවුන් බොහෝ කාලයක් පුරාණ නෝර්ස් ආගම අනුගමනය කළ අතර පසුව කිතුනුවන් බවට පත් විය. ඔවුන්ට ඔවුන්ගේම නීතියක් කලාවක් සහ ගෘහ නිර්මාණ ශිල්පයක් තිබුණි. බොහෝ අය ගොවීන්, ධීවරයන්, ශිල්පීන් සහ වෙළඳුන් විය. වයිකින්වරුන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා කරන්නන් හා මුහුදු කොල්ලකෑම් කළ නිර්භීත වික‍්‍රමාන්විත පිරිසක් ලෙස සැලකූහ. Viking යන වචනය ව්‍යාප්ත වී ඇත්තේ ඓතිහාසික නෝර්වීජියානු දිස්ති‍්‍රක්කයක් වන Vikin යන නමෙන් විය හැකි බවට මතයන් ද ඉදිරිපත් වී ඇත. එහි අර්ථය වනුයේ Vikin වෙතින් පැමිණි පුද්ගලයෙක්’’ ය යන්නයි.

කාටූන් කියැවීම උපතින්ම සටන්කාමීන් වූ  වයිකින්වරු

වයිකින්වරුන් විසින් ඔවුන්ගේ බෝට්ටු සෑදීම සඳහා ‘‘අළු’’ (Ash Tree එය Fraxinus Excelsior යනුවෙන් ද හඳුන්වයි) නමින් හඳුන්වනු ලබන ගසක දැව භාවිත කරන ලදී.

ඇන්ග්ලෝ – ස්කැන්ඩිනේවියානු යනු සාමාන්‍යයෙන් ඉංගී‍්‍රසියෙන් වයිකින්ස් ලෙස හැඳින්වෙන ස්කැන්ඩිනේවියානු ජනතාව බි‍්‍රතාන්‍ය දූපත් වෙත සංක‍්‍රමණය වූ සහ එහි වාඩිලාගත් 8 සිට 13 වන සියවස්වල දී මිනිසුන් හා පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික කාල පරිච්ෙඡ්දයක් වෙත යොමු වෙන ශාස්තී‍්‍රය යෙදුමකි. ස්කැන්ඩිනේවියානු ඉතිහාසයේ වයිකින් යුගය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.ව. 793 දී නෝර්මන්ස්වරුන් විසින් වාර්තා කරන ලද පැරණි වැටලීම්වල සිට 1066 දී නෝමන්වරු විසින් එංගලන්තය යටපත් කර ගැනීම දක්වාය. වයිකින්වරුන් දකුණට මුහුදු මාර්ග සඳහා නෝර්විජියානු මුහුද සහ බෝල්ටික් මුහුද භාවිත කළේය. වයිකින් නාවිකයන් විසින් උතුරට, බටහිරට සහ නැෙඟනහිරට නව නාවික මාර්ග විවෘත කළ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ෂෙට්ලන්ඩ්, ඔර්ක්නි සහ ෆාරෝ දූපත් හි ස්වාධීන ජනාවාස ඇති විය. අයිස්ලන්තය, ගී‍්‍රන්ලන්තය, නිව් ෆවුන්ඩ්ලන්තය සහ ලා ඇන්සේ ඕක්ස් තණබිම් හි කෙටිකාලීන ජනාවාස 1000ක් පමණ ද ඇති විය. ගී‍්‍රන්ලන්තයේ ජනාවාස උණුසුම් කාලපරිච්ෙඡ්දයේ දී 980 ක් පමණ පිහිටුවන ලද අතර 15වන සියවසේ මැද භාගය වනවිට ඒවා අභාවයට ගියේය. ඒ දේශගුණික විපර්යාස හේතුවෙනි. වයිකින්වරුන් රුරික් – රාජවංශය තිබූ නැෙඟනහිර යුරෝපයේ ස්ලාවික් සහ ෆින්නික් ආධිපත්‍යය දරන ප‍්‍රදේශවල, ප‍්‍රදේශ පාලනය කර ගත්හ. ඔවුන් කීවන් රූස් හි අගනුවර ලෙස සේවය කිරීම සඳහා කි‍්‍ර.ව. 882 දී යුක්රේනයේ අගනුවර වූ කියෙව් ද ඇඳා ගත්තේය. 839 තරම් ඈත කාලයේ දී ස්කැන්ඩිනේවියානුවන් බයිසැන්තියානු අධිරාජ්‍යයේ කුලී හේවායන් ලෙස ද සේවය කළේය. 10 වන සියවසේ අගභාගයේ දී අධිරාජ්‍යයේ ආරක්ෂකයන්ගේ නව ඒකකය හැඳින්වූයේ වරන්ජියන් ගාඩ් (Varangians) යන නමිනි.

වයිකින්වරුන් වැටලීම් සහ කොල්ලකෑම් කළ අතර වෙළෙඳාම මෙන්ම කුලි හේවායන් ලෙස කි‍්‍රයාකර පුළුල් පරාසයක ජනපද සාදාගෙන පදිංචි විය. උතුරු ජර්මනියේ පිහිටි පැරණි සැක්සනි අල්ලා ගත්තේ සැක්සන්වරුය. සැක්සනිවරු දරුණු සහ බලවත් මිනිසුන් වූහ. ඔවුන් බොහෝවිට වයිකින්වරුන් සමග ගැටුම් ඇති කර ගත්හ. බෝල්ටික් මුහුදේ වයිකින් ආධිපත්‍යය තහවුරු කරගත් අතර එම තත්ත්වය වයිකින් යුගය පුරා ම පැවැතුණි.

කාටූන් කියැවීම උපතින්ම සටන්කාමීන් වූ  වයිකින්වරු

පරීක්ෂකයන්ගේ මතය වී ඇත්තේ වයිකින්වරුන් මුලින් වැටලීම් හා යාත‍්‍රා කර ඇත්තේ විදේශ රටවල සිටි කාන්තාවන් සොයා ගැනීමේ අවශ්‍යතාවන් නිසා විය හැකි බවයි. ධනවත් හා බලවත් වයිකින් මිනිසුන්ට බොහෝ භාර්යාවන් සහ උප භාර්යාවන් සිටී. මෙම බහු විවාහ සබඳතා සාමාන්‍යයෙන් වයිකින් පිරිමින් සඳහා සුදුසුකම් ඇති කාන්තාවන්ගේ හිඟයක් ඇතිවීම හේතු විය හැකිය. වයිකින් පිරිමි බොහෝවිට කාන්තාවන් මිලදී ගැනීම හෝ අල්ලා ගැනීම සිදුකර ඔවුන්ව උප භාර්යාවන් ලෙස පත්කර ගත්හ.

ජොම්ස්බර්ග් යනු 960 සහ 1043 අතර පැවැති බෝල්ටික් මුහුදේ දකුණු වෙරළ තීරයේ පිහිටි වයිකින් බලකොටුවකි. එහි වැසියන් ‘‘ජොම්ස්විකිං’’ ලෙස හඳුන්වනු ලැබීය.

ඔවුන්ට හෝඩියක් තිබූ අතර ඔවුන් එය රූස්ටෝන් මත ලියා තැබූහ. (Runestone) යනු බොහෝවිට මියගිය අයගේ ස්මාරක වේ) පුරාවිද්‍යාත්මක සොයාගැනීම් මත වයිකින්වරුන්ගේ ජීවිත පිළිබඳ වඩාත් සම්පූර්ණ සහ සමබර චිත‍්‍රයක් ගොඩනඟා ඇත. ඔවුන්ගේ නාගරික ජනාවාස, අත්කම් සහ නිෂ්පාදන, නැව් සහ හමුදා උපකරණ, වෙළෙඳ ජාලයන් මෙන්ම ඔවුන්ගේ මිත්‍යාදෘෂ්ටික හා කි‍්‍රස්තියානි ආගමික කෞතුක වස්තූන් සහ භාවිතයන් ගැන විවරණ සපයයි. වයිකින් යුගයේ නෝර්ස්වරුන්ට කියවීමට හා ලිවීමට හැකි වූ අතර ශබ්ද අගයන් මත ගොඩනැඟුණු ප‍්‍රමිතිගත නොවන අක්ෂර මාලාවක් භාවිත කළ හැකි විය. වයිකින් යුගයේ සිට කඩදාසි මත රූනික් ලිවීමේ නටබුන් කිහිපයක් ඇති අතර, රූනික් සෙල්ලිපි සහිත ගල් දහස් ගණනක් සොයා ගෙන ඇත. මේ සෙල්ලිපි බොහොමයක් ස්වීඩනයේ ඇත.

කාටූන් කියැවීම උපතින්ම සටන්කාමීන් වූ  වයිකින්වරු

දිගු යුද නැව් වේගය සහ කඩිසර බව සඳහා නිර්මාණය කර ඇති අතර, සුළඟින් ස්වාධීනව යාත‍්‍රා කිරීමට හැකිවන පරිදි රුවල් සහ අමතරව හබල්වලින් ද සමන්විත විය. යුද නැව්වලට අමතරව භාණ්ඩ ගෙන යෑම සඳහා ඔවුන් වෙනම වෙළෙඳ නැව් නිර්මාණය කළේය. ඒවා පුළුල් බඳක් සහිත ගැඹුරු ඒවා වූ අතර එහි හබල් කුඩා සංඛ්‍යාවක් තිබුණි. ඩෙන්මාර්කයේ කැණීම්වල දී හමුවූ නැව් භූමදානය යනු, ඉහළ තරාතිරමක් ඇති පුද්ගලයන් මියගිය පසු නැවක දේහය තැන්පත් කර සත්ව බිලි පූජා, ආයුධ, වෙනත් භාණ්ඩ සමග නැව භූමදාන කිරීමයි. 2019 දී පුරාවිද්‍යාඥයන් ගම්ලඋප්සලා ප‍්‍රදේශයෙන් වයිකින් බෝට්ටු සොහොන් දෙකක් සොයා ගත්තේය. එක් බෝට්ටුවක මිනිසකුගේ, බල්ලකුගේ සහ අශ්වයකුගේ දේහයන් හා වෙනත් භාණ්ඩ තැන්පත් කර ඇති අයුරු දැක ගැනීමට හැකි විය.

වයිකින් සමාජයේ සමාජ ආර්ථික පන්ති තුනකට බෙදා ඇත. ඒවා නම් ත‍්‍රාල්ස්, කාර්ල්ස් සහ ජාර්ල්ස් ය. ත‍්‍රාල්ස් පහළම ශ්‍රේණිගත පන්තිය වූ වහලූන්ය. ‘‘ත‍්‍රාල්ස්’’, කාර්ල්ස් සහ ජාර්ල්ස් වරුන්ගේ ගොවිපළ සහ විශාල නිවාසවල සේවකයන් සහ කම්කරුවන් වූ අතර ඔවුන්ව බලකොටු, බෑවුම්, ඇළ මාර්ග, පස් කඳු කපා මාර්ග සෑදීම වැනි දුෂ්කර ව්‍යාපෘති සඳහා සේවයට ගත්තේය. නැතහොත් බොහෝවිට ත‍්‍රාල්ස් වරුන්ව රිදී වෙනුවට අරාබිවරුන්ට වහල් සේවය සඳහා විකුණුවේය.

කාටූන් කියැවීම උපතින්ම සටන්කාමීන් වූ  වයිකින්වරු

‘‘කාල්ස්’’ නිදහස් ගොවීන් වූහ. ගොවිපළවල්, ඉඩම් සහ ගවයන් ඔවුන්ට හිමි වී තිබුණි. ‘‘ජාර්ල්ස්’’ යනු වයිකින් සමාජයේ ප‍්‍රභූ පැලැන්තියයි. ඔවුන් ධනවතුන් වූ අතර විශාල දිගු ගෙවල්, අශ්වයන් සහ විශාල වතු හිමියෝ විය. ජාර්ල්ස්වරු පරිපාලනය, දේශපාලනය, දඩයම් කිරීම, කී‍්‍රඩා කිරීම සහ ගවේෂණ සඳහා විදේශගත වීම් කළේය. බොහෝ කැණිම්වලින් හෙළි වී ඇත්තේ ජාර්ල්ස්වරයකු මිය ගියවිට ඔහුගේ නිවසේ සේවයට සිටි ත‍්‍රාල්ස්වරයකු පූජා ලෙස මරා ජාර්ල්ස්වරයාගේ මිනිය අසලම තබා වළලා ඇති බවය.

බොහෝ වයිකින් කාන්තාවන් ගෘහණියන් වූහ. ගොවිපළේ සම්පත් කළමනාකරණය, ව්‍යාපාර කටයුතු මෙන්ම දරුවන් ඇති දැඩි කිරීම ඇයට පැවරී තිබුණු කාර්යයන්ය. වයස අවුරුදු 20න් පසු අවිවාහක කාන්තාවට විවාහය සාමාන්‍යයෙන් ඇගේ පවුල විසින් සංවිධානය කරන ලදී. මනාලයා මනාලියගේ පවුලට මිලක් ගෙවන අතර මනාලිය ද දෑවැද්දක් ලෙස වත්කම් ගෙන එයි. විවාහක කාන්තාවකට තම සැමියාව දික්කසා ද කර නැවත විවාහ විය හැකිය. උප භාර්යාව ද වයිකින් සමාජයේ කොටසක් විය. ස්ති‍්‍රයකට විවාහ නොවී පුරුෂයකු සමග ජීවත් වීමට සහ දරුවන් ලැබීමට ද හැකිය.

බොහෝ වයිකින් මිනිසුන්ට උරහිස දක්වා දිගු කෙස් සහ රැුවුලක් තිබූ අතර සාමාන්‍යයෙන් කෙටි කෙස් ඇති එකම පිරිමින් වහලූන් (ත‍්‍රාල්ස්) විය.

ගැහැනු ළමයින්ට දිගු කෙස් ඇති අතර, ගැහැනු ළමයින් බොහෝවිට එය ලිහිල් හෝ ගෙතුම් පැළඳ සිටියේ ය. සාමාන්‍ය පිරිමින් අඩි 5 අඟල් 7 ක් උස වූ අතර කාන්තාවන් අඩි 5 අඟල් 1ක් පමණ උස වූ බවට ගණන් බලා ඇත.

වයිකින්වරුන් ආහාර සඳහා බොහෝ මස් වර්ග භාවිත කළ අතර තල්මසුන් සහ වල්රස් දඩයම් කරන ලද්දේත් ආහාර සඳහා පලතුරු බෙරි සහ ඇටවර්ග එකතුකර අනුභව කළහ. වයිකින්වරු පිටිවලින් පාන් සාදා ඇත.

වයිකින්වරුන්ගේ ආයුධ පුහුණුව සහ සටන් කුසලතා වර්ධනය කිරීම සම්බන්ධ කී‍්‍රඩා ජනපි‍්‍රය විය. මෙයට හෙල්ල විසි කිරීම, ගල් විසි කිරීම, මල්ලවපොර, මුෂ්ටි සටන් (Boxing) සහ ගල් එසවීම හරහා ශාරීරික ශක්තිය ගොඩනැඟීම සහ පරීක්ෂා කිරීම් ද ඇතුළත් විය. කඳු සහිත ප‍්‍රදේශවල කඳු නැඟීම කී‍්‍රඩාවක් ලෙස සිදු කළේය. ඔරු පැදීමේදී නැවත බඳට පිටතින් හබලෙන් හබලට පැනීමේ කී‍්‍රඩාවන්හි ද ඔවුන් නිරත විය. පිහිනීම, කිමිදීම, දිග දුර පිහිනීම කී‍්‍රඩා සඳහා භාවිත කළේය. අශ්ව සටන් කී‍්‍රඩාවේ ද ඔවුන් නිරත විය. කී‍්‍රඩාවක් සඳහා දඩයම් කිරීම ද ඩෙන්මාර්කයට සීමා වූ අතර කුරුල්ලන්, මුවන්, සාවුන් හා හිවලූන් දුන්නෙන් ඊතලයෙන් හා හෙල්ලයෙන් ඇන දඩයම් කිරීම කරන ලදී. සමාජයේ සෑම තරාතිරයකම ජනප‍්‍රිය විනෝදාංශයක් ලෙසබෝට් ක‍්‍රීඩාව සහ දාදු කැට ක‍්‍රීඩාව කරන ලදි. වයිකින්වරුන් සංගීතය කලා මාධ්‍යයක් ලෙස සැලකූ අතර වීණා, වයිලීනය, ලයිරස් වැනි වාද්‍ය භාණ්ඩ වාදනය කර ඇත.

කාටූන් කියැවීම උපතින්ම සටන්කාමීන් වූ  වයිකින්වරු
වයිකින්වරුන්ගේ නැවක්

ධනවත් වයිකින්වරයකු සතුව හිස්වැස්මක්, පළිහක්, තහඩු සවිකරන ලද කබායක් (මෙම සන්නාහ කබාය හබර්ක් (Hauberk) ලෙසත් සමහරවිට බයිර්නි (Byrnie) ලෙසත් හැඳින්වේ) සහ කඩුවක් පැළැඳ සිටියේය. ගොඩබිම් සටන්වල දී සහ මුහුදේ දී වයිකින්වරුන් දුනු ඊතල භාවිත කරන ලදී. ප‍්‍රධාන සටන් අවියක් ලෙස ඔවුන් පොරොව භාවිත කළේය. වයිකින්වරුන් යුද්ධය සහ ප‍්‍රචණ්ඩත්වයට පොළඹවනු ලැබුවේ ඔවුන් ‘‘නෝර්ස් ආගම’’ කෙරෙහි ඇති විශ්වාසයත්, යුද්ධයේ සහ මරණයේ දෙවිවරුන්වන ‘‘තෝර්’’ සහ ‘‘ඔඩින්’’ කෙරෙහි අවධානය යොමු කිරීමෙනි.

කපුටන්, සර්පයින් හෝ අං විය හැකි පිටතට නෙරා ඇති හිස්වැසුම් දෙකක් හෝ තුනක් හැරුණු විට, වයිකින් රණශූරයන්ගේ, හිස්වැසුම් නිරූපණයක් හෝ සංරක්ෂණය කර ඇති හිස්වැසුමක අං නොමැත. අං සහිත හිස්වැසුම් රණශූරයාගේ පැත්තට අපහසු සහ අනතුරුදායක වනු ඇත. එබැවින් ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ වයිකින් රණශූරයන් අං සහිත හිස්වැසුම් පැළඳ නොසිටි බවයි. එවැනි හිස්වැසුම් ස්කැන්ඩිනේවියානු සංස්කෘතියේ වෙනත් චාරිත‍්‍රානුකූල අරමුණු සඳහා භාවිතාකළේ ද යන්න තවමත් ඔප්පු වී නොමැත. වයිකින් රණශූරයන් අං සහිත හිස්වැසුම් පැළඳ සිටි බවට සාමාන්‍ය වැරදි මතය 1811 ස්ටොක්හෝම් හි ආරම්භ කරන ලද Gotiska Forbundet (මෙය ගොතික් සංගමය යනුවෙන් පිහිටුවන ලද අතර එහි සාමාජිකයන් වූයේ ස්වීඩන් කවියන් සහ කර්තෘවරුන් ගණනාවක්ය) හි 19 වැනි සියවසේ අර්ධ වශයෙන් ප‍්‍රකාශයට පත්කරන ලදී. ඔවුන් උසස් චිත‍්‍ර සහ අනෙකුත් ජනවාර්ගික සහ සදාචාරාත්මක අරමුණු විෂයක් ලෙස නෝර්ස් මිත්‍යා කතා භාවිතය ප‍්‍රවර්ධනය කළහ. වයිකින්වරුන් බොහෝවිට පියාපත් සහිත හිස්වැසුම්වලින් සහ පුරාණ කාලයේ සිට ඇඳුම්වලින් නෝර්ස් දෙවිවරුන්ට නිරූපණය කළේය. මෙය දිගුකලක් තිස්සේ යුරෝපීය සංස්කෘතිය තුළ සම්භාව්‍ය ලෝකය සමඟ සම්බන්ධ කිරීමෙන් වයිකින්වරුන් සහ ඔවුන්ගේ මිත්‍යා කතා නීත්‍යානුකූල කිරීම සිදු කරන ලදී. චමත්කාරජනක (Romantic – රොමැන්ටික්) කතා මගින් නිර්මාණය කරන ලද මිත්‍යාවන් වසර 2000කට පමණ පෙර නෝර්ඩික් ලෝකඩ යුගයේ අං සමග වයිකින් යුගය මිශ‍්‍ර කර ඇත. ලෝකඩ යුගයේ අං සහිත හෙල්මට් භාවිත කර ඇත. ඒවා බොහෝවිට චාරිත‍්‍රානුකූල අරමුණු සඳහාය භාවිත කර ඇත්තේ Hagar The Horrible සහ Vicky The Viking වැනි කාටූන් සහ Minnesota vikinás” Canberra Raiders වැනි කී‍්‍රඩා කට්ටල අං සහිත හිස්වැසුම් පිළිබඳ මිත්‍යාව සදාකාලික කර ඇත. සොයාගත් එකම මුල් වයිකින් හිස්වැසුම වන්නේ නෝර්වේහි දී සොයාගත් Gjermundbu හිස්වැසුමයි. මෙය යකඩයෙන් සාදා ඇති අතර එය 10 වන සියවසට අයත් වේ.

ෆ‍්‍රාන්ස් ජී. බෙන්ග්ට්සන් ගේ The Long Ships නවකතාව වයිකින්වරුන් ගැන කතාවක් වූ අතර එය 1963 දී චිත‍්‍රපටයක් බවට පත් විය. මයිකල් ක‍්‍රයිචන් ගේ Eaters of the Dead නවකතාව The 13 th Warrior නමින් චිත‍්‍රපටයක් බවට පත්වූ අතර එහි වයිකින්වරුන් ගැන සඳහන් වේ. HBO රූපවාහිනී කතාමාලාවක් වූ “The Blood” චැම්පයරයකු බවට පත්වූ වයිකින් කුමාරයකුගේ කතාවකි. ඩෙන්මාර්ක් ඇමෙරිකානු ලේඛක පෝල් ඇන්ඩර්සන්ගේ පොත් කිහිපයක වයිකින්ස්වරුන් පෙනී සිටි අතර බි‍්‍රතාන්‍ය ගවේශක, ඉතිහාසඥ සහ ලේඛක ටිම් සෙවරින් 2005 දී ප‍්‍රකාශයට පත්කරන ලදodinn’s child, Sworn Brother සහ King’s Man නමැති නවකතා ති‍්‍රත්වය ලොව වටා සංචාරය කරන තරුණ වයිකින්වරයකුගේ වික‍්‍රමාන්විතයන් විදහා දක්වයි. 1962 දී ඇමෙරිකානු කාටූන් පොත් රචකයකු වූ ස්ටැන්ලි ලී සහ ඔහුගේ සොහොයුරු ලැරී ලයිබර්, ජැක් කර්බි සමග එක්වී මාර්වල් කොමික්ස් පොත්වල සුපිරි වීරයා ‘‘තෝර් Thor’’ නිර්මාණය කළ අතර එම චරිතය 2011 දී මාර්වල් සිනමා චිත‍්‍රාගාරය Thor නමින් චිත‍්‍රපටයක් ලෙස නිපදවිය. ඉන්පසු Thor: The Dark World සහ Thor: Ragnarok නමින් චිත‍්‍රපට දෙකකි. මෙම තෝර් චරිතය 2012 දී The Avengers චිත‍්‍රපටියේ සහ Avengers Assemble රූපවාහිනී සජීවීකරණ කතා මාලාවේ පෙනී සිටියේය. The Lost Vikings, Age of Mythology, For Honor, The Elder Scrolls V: Skyrim යන වීඩියෝ කී‍්‍රඩාවල සහ තවත් බොහෝ වීඩියෝ කී‍්‍රඩාවල වයිකින්වරුන් පෙනී සිටිති.

  1. බිල් ඇබට් (Bill Abbott) ගේ කාටූනයේ දැක්වෙන්නේ යම්කිසි රටකට ගොඩබැස ඇති වයිකින් සටන්කාමී නාවිකයන් පිරිසකි. මිටියක් අතින් ගත් නායකයාත් පොරොව සහ තවත් ආයුධ අත දරා ඇති වයිකින්වරුන් කිහිපදෙනෙක් සිටී. නායකයා මිටිය උඩට ඔසවා කියනවා… ‘‘මතක තබාගන්න මෙහි ස්ථිර මිලක් නොමැත. කේවල් කිරීමට සූදානම්ව සිටින්න’’ Remember, There’s No Fixed Prices Here – Be Ready To Haggle!) නායකයා මෙම රට ගැන දනී. එහි බඩු මිලදී ගැනීමේදී කේවල්කර ඉල්ලන්න තියයි. ඔවුන් ආයුධ පෙන්වා බඩු ඉල්ලනවිට එම රටේ මිනිසුන් බිය වී තම නිෂ්පාදන අඩු ගාණට දෙනු ඇත. කාටූන් ශිල්පියා තම කාටූනයෙන් එසේ පවසයි.
  2. කොල්බි ජෝන්ස් (Colby Jones) ගේ කාටූනයේ දැක්වෙන්නේ පමණට වඩා විශාල ලෙස දිග ඇති අං සහිත යකඩ හෙල්මට් එකක් පැළඳ සිටින දෑතින් පළිහක් හා පොරොවක් අතින් ගත් සටන්කාමී වයිකින්වරයකු හා පිටුපස මුහුදේ දිස්වන වයිකින් නැවකි දේශ ගවේශක තෝර්බොබ් ටෙක්සාස් ප‍්‍රදේශය අනාවරණය කර ගැනීමෙන් පසු නැවත නිවසට පැමිණ ඇත.’’ (Viking Explorer, Thorbob, Returns Home After Discovering Texas) වයිකින්වරුන් මුහුදේ කරන ලද ගවේෂණයකින් පසු මේ වයිකින් නායකයා ඇමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රදේශයට ගොඩ බැස එහි බලය පතුරා ඇති බව කාටූන් ශිල්පියා පෙන්වා දෙයි.
  3. ජිම් උන්ගර් (Jim Unger) ගේ කාටූනයේ වයිකින් සටන්කාමියකු හා ඔහුගේ බිරිඳව පෙන්වා දී ඇත. බිරිඳ හැළියක් හැඳි ගාමින් කියනවා ‘‘ගිය අවුරුද්දේ ගෙදර ඉන්නවා කිව්වා. මේ ඉස්ටුව විනාශ වෙලා!’’ (This Stew is Ruined. You Said You’d Be Home මේ වයිකින්වරයාගේ බිරිඳ මස් ඉස්ටුවක් හදා ඇත්තේ තම ස්වාමියාගේ කෑමටය. ඔහු දේශ ගවේෂණයකට හෝ සටනකට ගොස් වසරකට පසු පැමිණ ඇත. ඒ වනවිට ඉස්ටුව නරක් වී ඇත. බිරිඳට කේන්ති ගොස් ඇත්තේ ඒ නිසාය.
  4. අවි ස්ටයින්බර්ග් (Avi Steinberg) විසින් නිර්මාණය කරන ලද කාටූනයේ දැක්වෙන්නේ සටන් බිමකි. පසෙකින් ගිනි ගන්නා බලකොටුවක් ද ඇත. සටන් බිමේ මියගිය කිහිපදෙනකුගේ සිරුර බිම වැටී ඇත. මේ සටනට සහභාගි වූ සටන්කාමී වයිකින්වරුන් දෙදෙනෙක් කාටූනයේ සිටී. එක් අයෙකුගේ දෑතේ ලේ තැවරී ඇත. ඔහු අනෙක් තැනැත්තාගෙන් අහනවා… ‘‘ඔබ ළඟ අත් සේදීමට විෂබීජ නාශකයක් තියෙනවද’’ කියා (Do You Have Any Hand Sanitizer?) ඒ ඔහුගේ ලේ තැවරුණු අත් සෝදා ගැනීමටය.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment