කාටූන් කියැවීම – ට‍්‍රම්පට් වාදනයේ නොමැකෙන සලකුණ ලුවී ආම්ස්ට්‍රෝං

332

ඇමෙරිකාවේ කළු මිනිසුන්ට දුෂ්කරවූ යුගයකදී ඇමෙරිකානු සමාජයේ ඉහළ තලයට පිවිසීමට හැකිවුණු කළු ජාතිකයකු වූද ජෑස් සංගීතයේ වඩාත්ම බලගතු චරිතයක් බවට ද පත් වුණු ට‍්‍රම්පට් වාදකයකු (Trumpet = පිත්තල හොරණෑව) සහ කෝනට් වාදකයකු Cornet player (Cornetto = පැරණි සංගීත භාණ්ඩයක්) වූ ලුවී ආම්ස්ට්‍රෝං ඔහුගේ වෘත්තීය ජීවිතයේ ජෑස් සංගීත ඉතිහාසයේ දශක පහක් තිස්සේ විවිධ යුගවලට විහිදී ගිය චරිතයක් බවට පත්වී ඇත.

ලුවිස් ඩැනියෙල් ආම්ස්ට්‍රෝං (Louis Daniel Armstrong) 1901 අගෝස්තු 4 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා ප‍්‍රාන්තයේ, නිව් ඔර්ලියන්ස් හි උපත ලැබීය. ඔහුගේ මව වූයේ මේරි ඇල්බට් ය. පියා වූ විලියම් ආම්ස්ට්‍රෝං වැඩිකල් නොගොස්ම පවුල අතහැර ගියේය. ලුවී ආම්ස්ට්‍රෝං ට වයස අවුරුදු පහ වනතෙක් ඔහුගේ ආච්චි විසින් හදාගත් අරත නැවත ඔහුව මව වෙත භාර දුන්නේය. ලුවී ආම්ස්ට්‍රෝං තම කාලය ගතකළේ සටන් බිම ලෙස හැඳින්වෙන රළු ප‍්‍රදේශයක දරිද්‍රතාවයෙන් යුතුවය. වයස අවුරුදු හයවනවිට ඔහු ෆික්ස් (Fisk) ප‍්‍රාථමික පාසලට ඇතුළත් කරන ලදී. වයස අවුරුදු හතේදී ඔහුව කාර්නොෆිස්කිස් (Karnofskys) නම් ලිතුවේනියානු යුදෙව් පවුලක්වූ කාර්නොෆීස්කිස් මහත්මියගේ පවුල සමඟ ජීවත් විය. නින්දට යන රාත‍්‍රියේදී ඔහු යීදිස් සහ රුසියානු භාෂාවෙන් ගීත ගායනා කිරීමට පුරුදු විය. මෙම පවුල ඔහුට පවුලේ අයකුට මෙන් සැලකුවේ පියකු නොමැතිව ජීවත්වෙන බව දැනගෙනය. ජීවත්වන්නේ කෙසේද? සැබෑ ජීවිතය සහ අධිෂ්ඨානය ඒ ඔහු ඔවුන් ගෙන් ඉගෙනගත් දේය. යීදිෂ් භාෂාව චතුර ලෙස කථා කළ ආම්ස්ට්‍රෝං තමාව ඇති දැඩි කළ මෙම පවුල සිහිපත් කිරීම සඳහා ඔහුගේ ජීවිතයේ අවසානය දක්වාම ඬේවිඞ්ගේ තරුව තම කබායේ පැළඳ සිටියේය. මෙම පවුලේ සාමාජිකයකු වූ මොරිස් කාර්නොෆිස්කිස් ආම්ස්ට්‍රෝං ට උකස් සාප්පුවකින් කෝනට් සංගීත භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා මුදල් දුන්නේය.

කාටූන් කියැවීම - ට‍්‍රම්පට් වාදනයේ  නොමැකෙන සලකුණ ලුවී ආම්ස්ට්‍රෝං
අල් හර්ෂ්ෆෙල්ඞ් (Al Hirschfeld) ගේ කාටූනයේ (වමේ සිට) ආම්ස්ට්‍රෝං, ඩැනී කේසි සහ බෙල් ගෙඩොවද නිරූපනය කර ඇත.

වයස අවුරුදු 11 දී පාසලෙන් ඉවත්වූ ආම්ස්ට්‍රෝං ඔහුගේ මව සහ සුළු පියා වන ටොමිලී සමග පර්ඩිඩෝ වීදියේ තනිකාමරයක් සහිත නිවසක පදිංචියට ගියේය. ඉන්පසු ඔහු වීදිවල මුදලට ගී ගැයූ පිරිමි ළමයි සතර දෙනෙකු සමග එක් විය. අවසරයෙන් තොරව ආම්ස්ට්‍රෝං තම සුළු පියාගේ තුවක්කුව ගෙන හිස් අහසට වෙඩි තැබීම නිසා 1912 දෙසැම්බර් 31 වැනිදා අත්අඩංගුව ගන්නා ලදී. ඉන් පසු නිව් ඔර්ලියන්ස් උසාවිය ඔහුව බාලවයස්කාර ළමයින් රඳවා සිටින ළමා නිවාසයකට යොමුකරන ලදී. එය පාලනය කළ කපිතාන් ජෝසප් ජෝන්ස්ගේ ඉල්ලීම පරිදි ආම්ස්ට්‍රෝංට සංගීතය ඉගැන්වීමට පැමිණි පීටර් ඬේවිස් ඔහුගේ පළමු ගුරුවරයා විය.

1914 ජූනි 14 වැනි දින ආම්ස්ට්‍රෝං ඔහුගේ පියා සහ සුළු මව වන ග්ර්ට්රූඞ්ගේ භාරයට පත් විය. අර්ධ සහෝදරයන් දෙදෙනකු සමග එහි සිටි ආම්ට්‍රෝංව සුළුමව දියණියක බිහිකළ පසු පියා විසින් පිළිගත්තේ නැත. එම නිසා ඔහු තම මව වන මේරි ඇල්බට්වෙත ආපසු ගියේය. එහිදී ආම්ස්ට්‍රෝං සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ හෙන්රි පොන්ස්ට අයත් නැටුම් ශාලාවක රැකියාවක් සොයා ගත්තේය. වයස අවුරුදු 15 දී ආම්ස්ට්‍රෝං නුට්සි නම් ගණිකාවකට ගණුදෙනුකරුවන් සොයා ගැනීමට උදව් කළ අතර ඇය දිනක් ආම්ස්ට්‍රෝංගේ උරහිසට පිහියෙන් ඇනීම නිසා එම යහළුකම අවසන් විය. ආම්ස්ට්‍රෝං ඉන් පසුව ප‍්‍රාදේශීය ප‍්‍රජා විද්‍යාලයකින් නැව් කළමනාකරණය කෙටියෙන් හැදෑරූ නමුත් ගාස්තු ගෙවාගැනීමට නොහැකි වීමෙන් එය අත්හැරීමට සිදුවිය. පසුව ස්ටෝරිවිල් හි ගල් අඟුරු අලෙවිකරන අතරතුර නිව් ඔර්ලියන්ස්හි ගංගා බෝට්ටුවල පිත්තල හොරණෑ (ට‍්‍රම්පට්) වාදනය කළේය. ගණිකා මඩම්වල සහ ඔලිවර් කිං ගේ ප‍්‍රසංග තිබූ ‘පීට්ලාලා’ වැනි නැටුම් ශාලාවල සංගීත කණ්ඩායම්වල ජෑස් සංගීතය මුල්වරට ආම්ස්ට්‍රෝංට ඇසීමට හැකි විය. ආම්ස්ට්‍රෝංගේ බෝට්ටු සංචාරයේ සංගීතය ඇසූ එහි සංගීතය මෙහෙයවූ මැරබල්, ඔහුගේ සංගීතඥයන්ගෙන් සංගීත ප‍්‍රස්ථාර පිළිබඳව ඉගෙන ගන්නා ලෙස ඉල්ලා සිටියේය. ආම්ස්ට්‍රෝං පසුව සඳහන් කළේ මැරබල් සමග සිටීම විශ්වවිද්‍යාලයකට යෑමක් හා සමාන බවය. 1919 දී ඔලිවර්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඔහු Kidory සංගීත කණ්ඩායමට එක්විය. ඉන්පසු ආම්ස්ට්‍රෝං ටක්සෙඩෝ බ‍්‍රාස් (Tuxedo Bass) සංගීත කණ්ඩායමේ දෙවන ට‍්‍රම්පට් වාදකයා බවට ද පත් විය. වයස අවුරුදු 20 වනවිට ආම්ස්ට්‍රෝං ට සංගීතය කියවීමට හැකි විය. ඔහු තමාගේම පෞරුෂය සහ ශෛලියත් එක්කර ගනිමින් ට‍්‍රම්පට් වාදනය ප‍්‍රදර්ශනය කළ ජෑස් සංගීතඥයකු බවට පත්විය. ඔහු රංගනයේ යෙදෙමින් ගායනා කිරීමට ද පටන් ගත්තේය. 1922 දී එහු ඔලිවර් කිං ගේ ආරාධනයෙන් චිකාගෝ වෙත ගියේය. ඔලිවර්ගේ ක‍්‍රියෝල් ජෑස් සංගීත කණ්ඩායම මගින් ආම්ස්ට්‍රෝං ට ප‍්‍රමාණවත් මුදලක් උපයා ගැනීමට හැකි විය. ඔලිවර්ගේ සංගීත කණ්ඩායම චිකාගෝ හි වඩාත්ම බලගතු ජෑස් සංගීත කණ්ඩායම් අතර විය. ලීල් හාඩින් නම් කාන්තාව ආම්ස්ට්‍රෝං ගෙන් ඉල්ලා සිටියේ ඔලිවර්ගෙන් බැහැර වී තමාගේම සංගීත ශෛලියක් වර්ධනය කරගන්නා ලෙසය. 1924 දී ආම්ස්ට්‍රෝං ඔලිවර් සමග සුහදව වෙන්විය. එම කාලයේම ඉහළම අප‍්‍රිකානු ඇමෙරිකානු සංගීත කණ්ඩායම වූ ෆ්ලෙචර් හෙණ්ඩර්සන් (Fletcher Hendeson) සමග එක්වීමට ආම්ස්ට්‍රෝං නිව්යෝර්ක් නගරයට ගියේය. එහිදී ඔහු ට‍්‍රම්පට් වාදනය කරමින් සහ ට්‍රොම්බෝනය (Trombone) ලොකු පිත්තල වාදක භාණ්ඩයක් නළා විශේෂයක් හොරණෑවක්) වාදනය කරමින් අත්හදා බැලීම් කළේය.

මේ කාලය තුළදී ඔහු ක්ලැරන්ස් විලියම්ස් විලියම්ස් බ්ලු ෆයිව්, සිඞ්නි බෙචෙට් සහ බ්ලුස් ගායකයන් වන ඇල්බර්ටා හන්ටර්, මාරේනි, සහ බෙසී ස්මිත් සමග සංගීත සහ ගායනා පටිගත කළේය. 1925 දී ආම්ස්ට්‍රෝං චිකාගෝ වෙත ආපසු ගියේ ඔහුගේ වෘත්තීය සහ ආදායම් පුළුල් කිරීමට උදව් කළ ලීල් හාඩින්ගේ බලකිරීම මතය. ඇය ඔහුව හැඳින්වූයේ ‘‘ ලෝකයේ ශ්‍රේෂ්ඨතම හොරණෑ වාදකයා’’ ලෙසිනිි. එය සත්‍යයක්ම විය. ඔහු එහිදී ‘‘Louis Armstrong and His Hot Five’’ නම් සංගීත සන්නාමයක් පිහිටුවා ගත් අතර ‘Potato Head Blue’ සහ Muggles යන ගීත පටිගත කළේය. Muggles – මග්ල්ස් යන්න මර්ජුවානා සඳහා වූ ව්‍යාජ නාමයකි. ඔහු තම ජීවිත කාලය පුරාම මර්ජුවානා භාවිත කළේය. Hot five පිහිටු වූ වාර්තා අතර කැපී පෙනන ඒවා වූයේ Carmet shop suey ‘struttin with some Barbecue” Hotter than that සහ Potato Head Blue මේ සියල්ලම ආම්ස්ට්‍රෝං විසින් අතිශය නිර්මාණශීලී ලෙස සකස්කළ ඒකල ගීතයන් වේ.

ආම්ස්ට්‍රෝං 1929 දී නැවත නිව්යෝර්ක් වෙත පැමිණි අතර එහිදී ඔහු ඇන්ඩි රසාෆ් සහ පියානෝ වාදක ෆැට්ස් වෝලර් විසින් රචිත ‘හොට් චොකලට්’’ සංගිත සංධ්වනියේ වාදන ඉදිරිපත් කළේය. එහිදී ඔහු ගායන ශිල්පියකු ලෙස ද ආරාධනා ලබාගත් අතර ”Ain’t Misbehavin” යන ගායනය මේ දක්වා ඔහුගේ විශාලතම විකුණුම් වාර්තාව බවට පත් විය. මෙම ගීතය ආරම්භ වන්නේ කෙටි ට‍්‍රම්පට් ඒකල හඬකිනි. පසුව ප‍්‍රධාන තනුව සමඟ ගීතය වාදනය වේ. ආම්ස්ට්‍රෝං නව අවස්ථා සෙවීමට 1930 දී ලොස්ඇන්ජලීස් වෙත ගියේය. ඔහු එහි ‘කොට්න් ක්ලබ්‘’ හි ලයනල් හැම්ප්ටන් සමග බෙර වාදනය කළේය. සංගීත කණ්ඩායම හොලිවුඞ් පේ‍්‍රක්ෂකයන්ගේ ආකර්ශනයට යොමුවූ අතර කණ්ඩායම ගුවන් විදුලි විකාශනය මගින් තරුණ පේ‍්‍රක්ෂකයන් සමග සම්බන්ධ විය. 1931 දී ආම්ස්ට්‍රෝං ඔහුගේ පළමු චිත‍්‍රපටය වන Ex – Flame’ හි පෙනී සිටි අතර මර්ජුවානා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවී අත්හිටු වූ සිර දඬුවම් ද ලැබීය. 1936 දී ඔහු Pennies from Heaven ඇතුළු චිත‍්‍රපටවල රඟපෑ වේය. 1937 දී ආම්ස්ට්‍රෝං CBS ගුවන් විදුලි ජාලයේ අනුග‍්‍රාහක ජාතික විකාශනයක සත්කාරකත්වය දැක්වූ පළමු අප‍්‍රිකානු ඇමරිකානුවා බවට පත් විය.

කාටූන් කියැවීම - ට‍්‍රම්පට් වාදනයේ  නොමැකෙන සලකුණ ලුවී ආම්ස්ට්‍රෝං
ටිම් ලෙදර්බැරෝව් (Tim Leatherbarrow) : කාටූනයෙන් දුටු ආම්ස්ට්‍රෝංගේ ස්වරූපය

1943 දී ඔහු නිව්යෝර්ක් හි ක්වීන්ස් ප‍්‍රදේශයේ ස්ථිර පදිංචියට ගියේ ඔහුගේ සිව්වන බිරිඳවූ ලුසිල් සමඟය.

1950 ගණන් වනවිට ආම්ස්ට්‍රෝං යනු ජාත්‍යයන්තර රසික පිරිස් පුළුල් ලෙස ආදරය කළ ඇමෙරිකානු නිරූපකයකු සහ සංස්කෘතික තානාපතිවරයකු විය. ඔහු සහ චාලි පාකර්, මයිල්ස් ඬේවිස් සහ සෝනි රෝලින් වැනි පශ්චාත් යුද යුගයේ බිහිවූ තරුණු ජෑස් සංගීතඥයන් අතර වර්ධනය වන පරම්පරාවේ පරතරයක් පෙනෙන්නට විය. පශ්චාත් යුද සමයෙන් පසු සංගීතඥයන් ආම්ස්ට්‍රෝං ගේ ක‍්‍රමය අනුගමනය කළේය. 1960 ගණන්වලදී ආම්ස්ට්‍රෝන් ඝානාවේ සහ නයිජිරියාවේ සංචාරය කරමින් සංගීත සංදර්ශන කීපයක් පැවැත් විය. Decca Records සමග ඔහුගේ ගිවිසුම අවසන් වීමෙන් පසු ආම්ස්ට්‍රෝං නිදහස් කලාකරුවකු බවට පත්වූ අතර ඉන් පසු ඔහු වෙනත් ලේබල් යටතේ පටිගත කිරීම් කළේය. ඔහු ජාත්‍යන්තර චාරිකා දිගටම කරගෙන ගිය අතර 1959 දී ඔහුට ඉතාලියේදී හෘදයා බාධයක් වැළඳී විවේක ගැනීමට සිදුවිය. 1964 දී ඔහුගේ තවත් විශාලතම අලෙවි වාර්තාවක් වන Hell0- Dolly ජෙරී හර්මන් ගේ ගීතයක් පටිගත කළේය. එය මුලින් ගායනා කරන ලද්දේ කැරොල් වැනින් විසිනි. ආම්ස්ට්‍රෝංගේ අනුවාදය එම වසරේ නිෂ්පාදනය කරන ලද ඕනෑම වාර්තාවකට වඩා සති 22 ක් හොඳම 100 අතර රැඳී සිටි අතර එය අංක 1 බවට පත්වූ විට එම ජයග‍්‍රහණය ලැබූ වයස්ගතම පුද්ගලයා බවට පත් විය. ඔහුගේ විවිධ ගීත තුනක් සමඟ අඛණ්ඩව සති 14 ක් බීට්ල්ස් සංගීත කණ්ඩායම අංක 1 ස්ථානයෙන් ඉවත් කිරීමට ඔහු සමත් විය. 1968 වනවිට ඔහු වයස අවුරුදු 70ට ළඟාවෙමින් සිටි අතර ඔහුගේ සෞඛ්‍ය පිරිහීමට පටන් ගත්තේය. ඔහු හෘද හා වකුගඩු ආබාධවලට ගොදුරුවූ අතර සංගීත සංචාර නතර කර වසරේ වැඩි කාලයක් නිවසට ම වී සිටියේය. ආම්ස්ට්‍රෝං ඔහුගේ අවසන් පටිගත කරන ලද ට‍්‍රම්පට් නළාව වාදනය කළේ 1968 දී පිටවූ Disney Songs The Satchmo Way ඔහුගේ ඇල්බමය සඳහාය. ආම්ස්ට්‍රෝං ලුසියානා හි ග්‍රෙට්නා හි බි‍්‍රක් හවුස්හි ප‍්‍රසංගයක් පවත්වමින් සිටියදී දේශීය ගණිකාවක් වන ඬේසි පාකර්ව හමුවිය. ඔහු ඇගේ ගනුදෙනු කරුවකු විය. ඔහු ඇයව හමුවීමට අවස්ථා කිහිපයකදීම ග්‍රෙට්නා වෙත ගියේය. පසුව ඇය එම රැකියාවෙන් ඈත්ව සිටින බව දැනගෙන ඔහු ඇගේ නිවස සොයා ගියේය. ඇයට ස්වාමිපුරුෂයකු සිටින බව ඔහු එහිදී දැනගත්තේය. ටික කලකට පසුව විවාහය අසාර්ථක වූ ඬේසි පාකර් පර්ඩිඩෝ වීදියේ තිබූ ආම්ස්ට්‍රෝං ගේ නිවසට ගියේය. ඔවුන් එදින සවස කිඞ්ග‍්‍රීන් හෝටලයට ඇතුළු විය. ඊළඟ දවස වන 1919 මාර්තු මස 19 වැනි දින ආම්ස්ට්‍රෝං සහ ඬේසි නගර ශාලාවේදී විවාහ විය. ඔවුන් අවුරුදු තුනක පිරිමි ළමයකු වන ක්ලැරන්ස් හදාවඩාගත් අතර ඔහුගේ මව, ආම්ස්ට්‍රෝං ගේ ඥාති සොහොයුරිය වන ෆ්ලෝරා දරු ප‍්‍රසූතියෙන් මියගොස් ඇත. කැලැරන්ස් කුඩා අවධියේ හිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මානසික ආබාධයකට ලක්වූ කෙනකු වූ අතර ආම්ස්ට්‍රෝං ඔහුගේ ජීවිතයේ ඉදිරි කාලය ගත කළේ ඔහුව රැක බලා ගැනීම සඳහාය. 1923 දී ආම්ස්ට්‍රෝං හා ඬේසි පාකර් අතර විවාහය අවසන් විය. 1924 පෙබරවාරි 4 වැනි දින ඔලිවර් කිං ගේ සංගීත කණ්ඩායමේ පියානෝ වාදිකාවක වන ලීල් හාඩින් සමග ආම්ස්ටෝං විවාහ විය. ඇය මීට වසර කිහිපයකට පෙර සිය පළමු සැමියාගෙන් වෙන්වී ඇත. ඇය ආම්ස්ට්‍රෝංගේ වෘත්තීය දියුණුවට උපකාර කළ නමුත් ඔවුන් 1931 දී වෙන්වී 1938 දී දික්කසාද විය. පසුව ආම්ස්ට්‍රෝං ඇල්ෆා ස්මිත් සමග විවාහ විය. 1942 දී ආම්ස්ට්‍රෝං ඇයගෙන් දික්කසාද විය.1942 ඔක්තෝබර් මාසයේදී නිව්යෝර්ක්හි කොට්න් ක්ල්බ්හි ගායිකාවක වූ ලුසිල් විල්සන් සමඟ ආම්ස්ට්‍රෝං විවාහ විය. ඔහු මිය යනතුරුම ඇය ඔහු සමග සිටියේය.

ආම්ස්ට්‍රෝං ගේ විවාහයන් කිසිවිටෙකත් දරුවන් බිහිකළේ නැත. එහෙත් 2012 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී එවිට 57 හැවිරිදි ‘ෂැරන් ප්‍රෙස්ටන් ෆොල්ටා’’ නම් කාන්තාව 1950 ගණන් වලදී කොටන් ක්ලබ් හි නර්තන ශිල්පිනියක වූ ලුවිස් ස්ටීවිස් ප්‍රෙස්ටන් සහ ආම්ස්ට්‍රෝං අතර ඇතිවූ පේ‍්‍රම සම්බන්ධයෙන් බිහිවූ දියණිය තමා බව ප‍්‍රකාශ කළේය. 1955 දී ආම්ස්ට්‍රෝං තම කළමනාකරු ජෝ ග්ලේසර් වෙත ලිපියක් යවා කියා තිබුණේ ප්‍රෙස්ටන් ගේ අලුත උපන් බිලිඳිය ඔහුගේ බවත්, මවට හා දරුවාට මාසයකට ඩොලර් 400ක දීමනාවක් ලබාදෙන ලෙසටත්ය. ට‍්‍රම්පට් (හොරණෑව) දැඩි ලෙස භාවිත කිරීම නිසා ආම්ස්ට්‍රෝං ගේ තොල් වලට හානි සිදුවිය. 1930 ගණන්වලදී ඔහුගේ යුරෝපීය සංචාරය අතරතුරදී මුඛයේ තුවාල සිදුවූ නිසා ඔහුට වසරක්ම සංදර්ශනවලට සම්බන්ධ වීම නතර කිරීමට සිදුවිය.

කාටූන් කියැවීම - ට‍්‍රම්පට් වාදනයේ  නොමැකෙන සලකුණ ලුවී ආම්ස්ට්‍රෝං
ඉතාලි ජාතික පෙඞ්රෝ ස්කාසෝ (Pebro Scasso) පැන්සලෙන් අඳින ලද ආම්ස්ට්‍රෝංගේ කාටූන් චිත‍්‍රය
 

ලුවී ආම්ස්ට්‍රෝංව වේදිකාවේදීත් ඉන් පිටතදීත් සුදු සමාජය තුළ බොහෝ දුරට පිළිගනු ලැබූ අතර එකල කළු ජාතිකයකුට එය දුර්ලභ අවස්ථාවක් විය. ඔහුගේ ආගම ගැන ඇසූවිට ආම්ස්ට්‍රෝං පිළිතුරු දුන්නේ තමා හැදී වැඩුණේ බැප්ටිස්ට් කෙනකු ලෙස වුවත් සැම විටම ‘ඬේවිඞ්ගේ තරුවක් පැළඳ සිටින බවක් පාප් තුමාද තමාගේ මිතුරෙකු බවත්ය. ඔහු නිව්ඔර්ලියන්ස්හි ජේසුස් වහන්සේගේ ශුද්ධ වූ දේවස්ථානයේදී කතෝලිකයකු ලෙස බෞතීස්ම වී ද ඇත. ඔහුට දොළොස්වන පියුස් පාප් වහන්සේ සහ හයවන පෝල් පාප් වහන්සේද හමුවී ඇත. ආම්ස්ට්‍රෝං ඔහුගේ ජීවිත කාලය තුළදීම මර්ජුවානා දුම් පානය කළ අයකු වූ අතර 1930 දී සමාජ ශාලාවකින් පිටත මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමට වරදකරුවී දින 9 ක් සිරගතවී සිට ද ඇත. ආම්ස්ට්‍රෝං ලිපි ලේඛන කටයුතුවලද නිරතවී සිට සංගීතය, ආහාර, ලිංගිකත්වය, ළමා කාලයේ මතකයන් ගැනද ලිපි ලිවීය. ආම්ස්ට්‍රෝං ගීත 50කට වැඩි ප‍්‍රමාණයක් රචනා කර ඇත. බින් ක්‍රොස්බි, ඩියුක් එලිංටන්, ෆ්ලෙචර් හෙන්ඩර්සන්, අර්ල් හයින්ස්, ජිමී රෝජස්, බැසී ස්මිත්, එලා ෆිට්ස් ජෙරල්ඞ් වැනි සමකාලීන ශිල්පීන් සමඟ ඔහු ගායනා කරමින් වාදනය කර ඇත. 1968 පෙබරවාරියේදී ඔහු ඉතාලියේ RAI රූපවාහිනී නාලිකාවේ ලාරා සැන්ට්පෝල් සමඟ පෙනී සිටි අතර එහිදී ඔහු ඉතාලි වෙළෙඳ පොළ සඳහා CDI ලේබලය යටතේ ඉතාලි භාෂාවෙන් Grassa E Bella ගීතය ගායනා කළේය. ආම්ස්ට්‍රෝං ලතින් ඇමෙරිකානු ජන ගී, සම්භාව්‍ය සංධ්වනි සහ ඔපෙරා දක්වා බොහෝ වර්ගවල ගී රස විඳි කෙනෙකි. ඔහු මේ සියලු මූලාශ‍්‍රවල බලපෑම තම රංගනයන් තුළට ද ඇතුළත් කළේය. ඔහු හොලිවුඞ් චිත‍්‍රපට දුසිමකට වඩා පෙනී සිටියේය.

සැච්මෝ, සැච්, පොප්ස් යන අන්වර්ථ නාමවලින්ද හැඳින්වූ ලුවිස් ඩැනියෙල් ආම්ස්ට්‍රෝං නොහොත් ලුවී ආම්ස්ට්‍රෝං ජෑස් සංගීතයේ සංවර්ධනය වෙනුවෙන් මහත් බලපෑමක් කළ සංගීතඥයකු විය. ඔහුගේ වාදනය හරහා ට‍්‍රම්පට් එක (හොරණෑව) ජෑස්හි ඒකල භාණ්ඩයක් ලෙස මතුවූ අතර එය අද ද බහුලව භාවිත වේ. ආම්ස්ට්‍රෝං ඔහුගේ වෛiවරයාගේ උපදෙස්වලට එරෙහිව 1971 මාර්තු මාසයේදී විවාහ ගිවිස ගැනීමක ට‍්‍රම්පට් වාදනයට සහභාගී විය. අවසානයේදී ඔහු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කළේය. මැයි මාසයේදී රෝහලෙන් නිදහස් කළ අතර ඉක්මනින්ම ඔහු ට‍්‍රම්පට් වාදන පුහුණුවීම් ආරම්භ කළේය. ආම්ස්ට්‍රෝං ඔහුගේ 70 වැනි උපන් දිනයට මාසයකට පෙර 1971 ජුලි 6 දා නින්දේදී හෘදයාබාධයකින් මිය ගියේය. ඔහුගේ අවමංගල්‍යය මල්ලාවි සුසාන භූමියේදී සිදුකරන ලදී.

1999 දී ඇමෙරිකානු සිනමා ආයතනය ඔහුව 100 වසරක තරුවක් ලෙස නම්කරන ලදී. 2001 දී ඔහුගේ උපන් ශත සංවත්සරය සැමරීම සඳහා නිව් ඕර්ලියන්ස්හි ප‍්‍රධාන ගුවන් තොටුපළ ලුවී ආම්ස්ට්‍රෝං නිව් ඕර්ලියන්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම් කරන ලදී. 2002 දී එක්සත් ජනපද ජාතික පටිගත ලේඛනාධිකාරය 1925-1928 දක්වා ඔහුගේ සංගීත තැටි සංරක්‍ෂණය කර ඇත. ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ප‍්‍රධාන ක‍්‍රීඩාංගණය ‘‘ලුවී ආම්ස්ට්‍රෝං ක‍්‍රීඩාංගණය’ ලෙස නම් කරන ලද්දේ ඔහුට ගෞරව පිණිසයි. නිව් ඔර්ලියන්ස්හි පිහිටි අපි‍්‍රකානු ඇමෙරිකානු නැටුම් සහ සංගීත ස්ථානය පිහිටි කොංගෝ චතුරස‍්‍රයේ උද්‍යාන ලුවී ආම්ස්ට්‍රෝං උද්‍යානය ලෙස නම් කරන ලදී. එම උදානයේ අඩි 12 උස ඔහුගේ ප‍්‍රතිමාවක් ට‍්‍රම්පට් නළාවක් අතදරා සිටී. වසර 28 ක් ඔහු ජීවත්වූ නිවස 1977 දී ජාතික ඓතිහාසික සලකුණක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද අතර එය දැන් කෞතුකාගාරයකි. එහි ඔහුගේ පොත් පත්, ට‍්‍රම්පට්, ලිපි ලේඛන, පටිගත කිරීම්, තැටි ආදියෙන් සමන්විතය. 2003 ඔක්තෝබර් 15 දින සිට මහජනතාවට විවෘතය. 1995 දී එක්සත් ජනපද තැපැල් දෙපාර්තමේන්තුව ලුවී ආම්ස්ට්‍රෝං වෙනුවෙන් ඔහුගේ රුව සහිත ශත 32ක තැපැල් මුද්දරයක් නිකුත් කරන ලදී.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment