කාටූන් කියැවීම – නත්තලේ අසිරිය

686

ලොව පුරා සිටින බිලියන ගණනක ජනකායක් දෙසැම්බර් 25 වැනිදා නත්තල් දිනය ආගමික හා සංස්කෘතික උත්සවයක් ලෙස සමරති. මෙදින කිතුනු බැතිමතුන් සමරන්නේ යේසුස් ක‍්‍රිස්තුස් වන්සේගේ උත්පත්තිය සිදුවූ දිනයයි. මෙතුමාගේ උපත ශාන්ත ලූක් 2 වැනි පරිච්ෙඡ්දයේ 1 සිට 20 දක්වා විස්තර කොට ඇති අතර මෙම සුවිශේෂ පොත්වූ ‘‘ලූක් හා මතෙව්’’ දෙකම යේසුස් තුමාගේ උපත විස්තර කරයි.

බෙත්ලෙහෙම වෙත ජෝශප් සහ මරියා නාසරෙත් හි සිට පැමිණෙන්නේ මේ ප‍්‍රදේශ යටත් කරගෙන සිටි රෝම අධිරාජයාගේ නියෝග අනුව ජන සංගණනයකට සහභාගි වීම සඳහාය. ඒ වනවිට දරුවකු කුස දරා සිටි මරියා සමඟ ජෝශප් රැය ගත කිරීමට ගව ලෙනක් වෙත යන්නේ ඔවුන්ට නැවතීමට එහි තිබූ කිසිදු හෝටලයක කාමරයක් නොමැතිවීම නිසාය. එම රාත‍්‍රියේදී ඒ පිංවත් කුමරා යේසුස් ක‍්‍රිස්තුස්තුමා උපත ලැබීය. ලොව සියල්ලන් උදෙසා එතුමා ගැලවුම්කරුවෙකු බව එවිට දේවදූතයන් ප‍්‍රකාශ කරයි. අසල සිටි එඬේරුන් එම පිංවත් කුමරා දැකීමට පැමිණි බව මතෙව් තම පොතේ සඳහන් කර ඇත. ඒ අතර බෙත්ලෙහෙමේ අහසේ පෑයූ දීප්තිමත් තරුවක් දුටු රජවරුන් තිදෙනෙක් පිංවත් කුමරකු ඉපදුණ බව දැන බෙත්ලෙහෙමේ යේසු කුමරා උපන් ගවලෙන වෙත පැමිණ එම කුමරාට තෑගි ප‍්‍රදානය කර සිටී. මතෙව් හා ලූක්ගේ සුභාරංචි පොත්වල යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳ කතාන්දරය ප‍්‍රධාන තැනක් ගනී. එතැන් සිට යේසුස් ක‍්‍රිස්තුස් තුමා ස්වර්ගස්ථ වනතෙක් ලෝවාසීන්ට දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා ලෙස පැමිණ, ජීවමානව සිට හොඳ නරක ජීවත්විය යුතු ආකාරය, ධර්මය එහි කාරණා ආදිය කියා දෙමින් මිනිසුන් සුඛිතමුදිත කරමින් සියලූ දෙනාගේ සිත්ගෙන ජීවත් වූහ.

කාටූන් කියැවීම - නත්තලේ අසිරිය
2 නත්තල් සීයාගේ ප‍්‍රථම කාටුන් චිත‍්‍රය

මුල් කාලීන ක‍්‍රිස්තියානි ලේඛකයන් විසින් යේසුස් ක‍්‍රිස්තුස් තුමා සැමරීමේ සංවත්සරය ලෙස විවිධ දිනයන් යෝජනා කළහ. පළමුවැනි නත්තල් උත්සවය දෙසැම්බර් 25 වැනිදා ක‍්‍රි. ව. 336 දී රෝමයේදී පැවැත්විණි. ක‍්‍රි. ව. 1660 දී නත්තල් දිනය නීත්‍යානුකූල නිවාඩු දිනයක් බවට පත්විය.

1843 දී චාල්ස් ඩිකන්ස් විසින් නත්තල් කැරොල් නාට්‍ය හා නත්තල් සමය වෙනුවෙන් ආත්මය පුනර්ජීවනය කරන ලදී. නත්තල් සමයේදී නත්තල් තෑග්ගක් නිර්මාණය කිරීමටද ඩිකන්ස් උත්සාහ කළේය. ඔහු විසින් හඳුන්වා දුන් ප‍්‍රමුඛ වැකිය වූයේ ‘Merry Christmas’ (Merry) සිනහව පිරි, සතුටින් පිරි, ප‍්‍රීතිමත් වූ Christmas- නත්තල) මෙම වැකිය ලොවපුරා ඉමහත් ජනප‍්‍රියම වචනයක් බවට පත්වී ඇත.

නත්තල් කාඞ් පත නත්තල් දිනට පෙර දිනවල හා පසු දිනවලද නෑදෑයින්, මිතුරන් අතර හුවමාරුවෙන දෙයකි. ශ‍්‍රීමත් හෙන්රි කෝල් විසින් ප‍්‍රථමවරට එළිදක්වන ලද එම කාඞ් පතේ සඳහන් වූයේ ‘‘ඔබට ප‍්‍රීතිමත් නත්තලක් සහ සුබ නව වසරකට ආශිර්වාදය’’ යන්නය. එම වචන පේළිය අදටත් එම විදියටම භාවිත වේ.

නත්තල් ගසෙහි ආරම්භය පිළිබඳ පුරාවෘත්තය ක‍්‍රි.ව. 723 දක්වා දිවයයි. ශාන්ත බොනිෆෙස් ජර්මනියේ ‘‘එවැන්ජලිසින්’’ Evangelize – මිෂනාරී කටයුතුවල යෙදෙන ගිහියා / ක‍්‍රිස්තුධර්ම දේශක) සේවය කරමින් සිටින විට ඕක් ගසක් යට ‘‘තෝර් Thor’’ නමින් යුත් දරුවෙකු බිලිදීමට නටමින් සිටි මිථාදෘෂ්ටික පිරිසක් දැක පොරොවක් ගෙන යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේව සිහිකර ගැසූ එකම පොරෝ පහරින් එම ගස බිම ඇද වැටුණි. මෙයින් අර පිරිස මවිතයට පත්විය. ඉන් පසු බොනිෆෙස් පැවසුවේ……‘‘ මෙම ගස සැබෑ දෙවියන්ගේ සංකේතයක් වේවා! එහි කොළ නිරතම කොළ පාටින් විය යුතු අතර මිය නොයනු ඇත. ගසේ අතු ස්වර්ගයට යොමුවනු ඇත.

කාටූන් කියැවීම - නත්තලේ අසිරිය
3 වාණිජකරණය වූ නත්තල් ගස

නත්තල් ගස් සම්ප‍්‍රදාය 18 වන සියවසේදී ජර්මනියෙන් ආරම්භවූ බවට විශ්වාසයක් පවතී. මුලින්ම ‘‘ ඕක් ගසක් ‘‘නත්තල් ගහ වශයෙන් භාවිතා කළ නමුත් පසුව ‘‘ෆර්ගස Fir Tree’’ ගෞරවයෙන් යුත් වස්තුවක් බවට සඳහන් කර ඇත. එම ගසේ මුදුන ත‍්‍රිත්වාකාර (තුන්හුලස්) හැඩයක් ගනී. උඩ ඇති උල්කොටස ස්වර්ගයට යොමුවී ඇති බවට විශ්වාසයක් ක‍්‍රිස්තියානි භක්තිකයන් අතර පවතී. ‘‘එන්සයික්ලොපීඩියා බි‍්‍රටනිකා’’ (Encyclopedia Britannica) අනුව සදාකාල ජීවනය සංකේතවත් කිරීම සඳහා සදාහරිත ගස්, මල්පොකුරු, මල්මාලා භාවිතා කිරීම පුරාණ ඊජීප්තුවරුන් චීන හා හෙබ්‍රෙව්වරුන්ගේ සිරිතක් විය. ස්කැන්ඩිනේවියානු චාරිත‍්‍ර වාරිත‍්‍රවල ක‍්‍රිස්තියානි ධර්මය යක්ෂයා බියගැන්වීම සහ නත්තල් සමයේදී කුරුල්ලන්ට ගසක් සැපයීම සඳහා නිවෙස් තුළ සහ පිටත සදාහරිතයෙන් සරසා ගැනීමද කර ඇත. ජෝර්ජියානුවන් ඔවුන්ගේම සාම්ප‍්‍රදායික නත්තල් ගස වශයෙන් කළු මුහුද හා ජොර්ජියාවේ ගුරියා සහ සමෙග්‍රෙලෝ ප‍්‍රදේශවල දක්නට ලැබෙන චිචිලකිස් ගස (Chichilakis) යොදා ගනී. නසාවු වේල්බර් හි හෙන්රිට්ටා කුමරිය (Princess Hennrietta of Nassau welburg) 1816 දී වියානා නත්තල් ගස හඳුන්වා දුන් අතර ඊළඟ වසර වලදී ඔස්ටි‍්‍රයාව පුරා මේ චාරිත‍්‍ර ව්‍යාප්ත විය. ප‍්‍රංශයද සිය ප‍්‍රථම නත්තල් ගස 1840 දී හඳුන්වා දෙන ලදී.

බි‍්‍රතාන්‍යයට නත්තල් ගස හඳුන්වා දෙන ලද්දේ 19 වන සියවසේ මුල් භාගයේදීය. මුලදී නත්තල් ගස ධනවතුන්ගේ නිවාසවලට පමණක් සීමා විය. 1906 පමණ වන විට පුණ්‍යායතන සහ රෝහල්වල නත්තල් ගස් වැඩි වැඩියෙන් භාවිතා කිරීමට පුරුදුවු අතර ලන්ඩන් මුඩුක්කු නිවාසවල දුප්පත් දරුවන්ට පවා නත්තල් ගස් තෑගිද සමග ලබාදීමට පුණ්‍යායතන කටයුතු කළේය. 1920 වන විට මෙය රට පුරාම ව්‍යාප්ත විය.

ජර්මනියේ නත්තල් ගස ගැන ගීතයක් වූ ‘‘O… Tannenbaum’’ ( ඕ ටැනන්බෝම්) යන්න ඇමෙරිකානුවන් ‘O… Christmas Tree’’ ( ඕ නත්තල් ගස) යනුවෙන් ගායනා කරන ලදී. ටැනන්බෝම් යන ජර්මානු වචනයේ තේරුම ‘‘නත්තල් ගස’’ යන්නය.

දෙවන ලෝක මහා යුද්ධ සමයේදී ඇමෙරිකාව විසින් නෝර්වේ රටට කරන ලද උපකාරයන්ට කෘතඥතාව පළ කිරීමට නෝර්වේ රට විසින් වාර්ෂිකව වොෂින්ටන් ඞී. සී. වෙත නත්තල් ගසක් තෑගි කරයි.

දෙවන පෝල් පාප්තුමා 1982 දී වතිකානයට නත්තල් ගස් චාරිත‍්‍රය හඳුන්වා දුන්නේය. ඉන්පසු වතිකානු නත්තල් ගස වතිකානු නත්තල් සැමරීමේ අනිවාර්ය අංගයක් බවට පත් විය.

කාටූන් කියැවීම - නත්තලේ අසිරිය
4 කැරොල් ගී ගායනය

නත්තල් ගීත ගායනය ආරම්භවූයේ 18 වන සියවසේ අග භාගයේදීය. එමගින් පැරැණි සංගීතය පිළිබඳව උනන්දුවක් ජනිතවූ අතර පැරැණි මධ්‍යකාලීන හා සම්භාව්‍ය සංගීත, ජනසංගීත ගායනා කරන කණ්ඩායම්වලින් යුත් ගීතත් ජෝන් රයිටර් විසින් රචනා කරන ලද Donkey Carol Jesus
Child, Shepherds Pipe Carol, Star Carol යන ගීතත් ලොව පුරා ජනප‍්‍රිය විය. ජේම්ස් ලෝඞ් පියර්පොන්ට් විසින් රචනා කරන ලද ‘‘ජිංගල් බෙල් Jingle Belle’’ ගීතය ලොව වඩාත්ම ප‍්‍රසිද්ධ නත්තල් ගීතයකි. එය 1857 දී ප‍්‍රකාශන අයිතිය තහවුරු කළ ගීතයක් විය.

නත්තල් සමයේදී ලොව වටා ජනප‍්‍රියම චරිතයක් බවට පත්වී ඇත්තේ ‘‘නත්තල් සීයා’’ය. සැන්ටක්ලෝස් Santa Claus නමින්ද හඳුන්වන ඔහු නත්තල් සමයේදී දරුවන්ට තෑගි බෙදා දෙමින් යන අතර ලොව පුරා කුඩා දරුවෝ ඔහුට බෙහෙවින් ආදරය කරති. කිතුනුවන්ගේ සංස්කෘතියට අනුව අතීතයේ සිට තෑගි ගෙන ඒම සිදු කළ බව කියන නත්තල් සීයා දෙසැම්බර් 24 වැනිදා රාත‍්‍රියේ සහ නත්තල් දිනය වන දෙසැම්බර් 25 වැනිදා තෑගි මල්ලක්ද රැගෙන නිවෙස් ඉදිරියේ පෙනී සිටියේය. නත්තල් සීයා සාමාන්‍යයෙන් මුව පුරා වැඩුණු සුදු පැහැති විශාල රැව්ලකින්ද, රතුපාට කබායක්, කලිසමක් සහ ඒ ඇඳුම් වාටි සුදු පැහැති ලොම්වලින් සරසාගෙන රතු පැහැති දිගු කේතු රූපාකාර කඩා හැලෙන තොප්පියක් දමා තවත් සමහර අවස්ථාවලදී දෙ ඇසට උපැස් යුවලක්ද දමාගෙන පෙනී සිටියේ ය.

නත්තල් සීයාගේ සිනහ වීම බොහෝ භාෂාවලින් Ho……Ho……Ho……Hoo…. (හො…..හො….හො…..හෝ) යනුවෙනි. මෙම සිනහවද නත්තල් සීයාගේ මේ චරිතය හඳුන්වන අනන්‍යතාවයක් බවට පත්වී ඇත. නත්තල් සීයා Santa Claus ගේ උපත හතරවැනි සියවස දක්වා දිවයන කතාන්දරයකි. ශාන්ත නිකලස් යනු හතරවැනි සියවසේ ජීවත්වූ බිෂොප්වරයෙකි. ඔහු සුළු ආසියාවේ පිහිටි ‘‘මීරා’’ (Myra) නම් ස්ථානයේ (එය දැන් තුර්කිය ලෙස හැඳින්වේ) ජීවත්වූ පුද්ගලයෙකි. නිකලස් තරුණ වියට පත්වු පසු දෙමාපියන් ඔහුට විශාල ධනයක් පවරා දුන්නේය. නිකලස් ඉතා කාරුණික මිනිසෙක් විය. දිළින්දන්ට උපකාර කිරීම සඳහා අප‍්‍රසිද්ධියේ ඔහු ක‍්‍රියා කළේය. ඔහු දිළින්දන්ට තෑගි දුන්නේ රහසිගතවය.

මෙම ශාන්ත නිකලස් Saint Nicholas තුමා ගැන පුරාවෘත්ත කිහිපයක් ඇත. එක කථාවක් මෙසේය. දියණියන් තිදෙනෙකු සිටින දුප්පත් මිනිසෙක් සිටියේය. ඔහු බෙහෙවින් දුප්පත් නිසාත් දෑවැද්දට ප‍්‍රමාණවත් මුදලක් නැති නිසාත් පළමු දියණිය විවාහ කර දීමට නොහැකිවූ නිසාත් ඔහු බෙහෙවින් දුකින් සිටියේය. මෙය දැනගත් නිකලස්තුමා කූඩයකට රත්තරන් දමා එම නිවසේ දුම් කව්ළුවෙන් පහතට හෙළුවේය. (ශීත රටවල ගෙතුළට උණුසුම ගැනීමට දර පත්තු කළ විට දුම මුදාහැරෙන කව්ළුව) මෙය ලැබූ මිනිසා පළමු දියණිය විවාහ කර දුනි. පසුව දෙවැනි දියණියත් විවාහ කරවීමට නිකලස්තුමා රන් පිරවූ කූඩයක් දුම් කව්ළුව තුළින් නිවස තුළට අතහැරියේය. මිනිසා දෙවැනි දියණිය විවාහ කරදී මේ තමාට ධනය ලබා දෙන්නා කවුරුන්දැයි දැන ගැනීමට විමසිල්ලෙන් සිටි අතර තෙවැනි දියණියගේ විවාහය සඳහා රන්කූඩය නිවසට හෙළන විටම සැඟවී සිටි පියා නිකලස් තුමාව හැඳින ගත්තේය. මේ කිසිවක් කිසිවෙකුටවත් නොකියන ලෙස නිකලස්තුමා එම මිනිසාට අවධාරණය කොට කීවේය.

කාටූන් කියැවීම - නත්තලේ අසිරිය
5- ශාන්ත නිකලස් තුමාගේ පැරැණි චිත‍්‍රයක්

මෙසේ සැමට උදව්කරන නිසා පූජකවරයෙක් වූ නිකලස්තුමා පසුව ශාන්තුවරයෙක් බවට පත්විය. පසුකලකදී ශාන්ත නිකලස් තුමාව ‘‘මීරා’’ වෙතින් පිටුවහල් කරන ලද අතර පසුව ඩයෙක්ලැතියන් අධිරාජයා Emperor Diocletian විසින් ඔහුව සිරගත කළේය. ශාන්ත නිකලස්තුමා දිවන්ගතවූ දිනය කිසිවෙක් ඇත්ත වශයෙන්ම දන්නේ නැත. එය දෙසැස්බර් 6 වැනි දින, එනම් වසරේ 345 වැනි දින හෝ 352 වැනි දින හෝ වියහැකි යැයි අනුමාන කෙරේ.

නිකලස්තුමා නත්තල් දිනයේදී දුප්පත් පොහොසත් සියලූ ළමයින්ට තෑගි බෙදා දුන්නේය. ඔහු ළමයින් සිටින ගෙවල්වල ඉදිරපස පඩි මත නත්තල් දා රෑ සෙල්ලම් බඩු රසකැවිලි පෙට්ටිවල බහා තබා ගියේය. ඒවා දුටු දරුවන්ගේ මා පියවරු ඒවා තම දරුවන් නිදා සිටින ඇඳ මත තැබුවේය. පසුදා අවදිවන දරුවෝ නත්තල් සීයා තමන්ට තෑගි දුන් බවට උජාරුවෙන් සිහිපත් කරයි. පුරා වෘත්තයන්ට අනුව නත්තල් සීයා පිනිමුවන් බැඳි හිම කරත්තයෙන් පැමිණ ළමයින්ට තෑගි බෙදා දුන්නේය. තෑගි ලබා ගැනීමට ළමයින් ඔහු එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය.

1863 ජනවාරියේදී ජර්මන් සම්භවයක් ඇති ඇමෙරිකානු කාටුන් ශිල්පී තෝමස් නැස්ට් (Thomas Nast 1840-1902) විසින් ශාන්ත නිකලස් තුමා නත්තල් සීයා ලෙස (Santa Claus) කාටුනයකින් නිර්මාණය කළේය. එය නත්තල් සීයා පිළිබඳ වූ ප‍්‍රථම චිත‍්‍රය විය. මෙය ‘‘හාපර්ස්ගේ වීක්ලි’’ (Harper’s Weekly) පුවත්පතේ පළවූ අතර ඊළඟ වසර 20 පුරාම ඔහු විවිධ ඉරියව් වලින් නත්තල් සීයාව ඇන්ද අතර එය බෙහෙවින් ජනප‍්‍රිය විය. අද චිත‍්‍ර ශිල්පීන් කාටුන් ශිල්පීන් අනුගමනය කරන්නේ එම චිත‍්‍රයයි.

1 – ඬේව් ග‍්‍රාන්ලූඞ් (Dave Granlund) ගේ කාටුනය දැන් ලොව පුරා පැතිර ඇති කොවිඞ් 19 වසංගතය නිසා නත්තල් සීයා අනුගමනය කළ යුතු ආරක්ෂිත ක‍්‍රමය ගැන කියාපායි. නත්තල් සීයා වීදුරු කුටියක් තුළ ඉඳගෙන සිටී. කුටිය පසෙකින් ‘‘සනීපාරක්‍ෂක නත්තල් සීයා (Sanitized Santa) යන දැන්වීම් පුවරුවක්ද තබා ඇත. වීදුරු කුටිය තුළ සිටින නත්තල් සීයා දෙස මුහුණු ආවරණයක් පැළඳ ඇති කුඩා දරුවෙකු බලාසිටී. ඔහු පැමිණ ඇත්තේ නත්තල් සීයාගෙන් නත්තල් තෑග්ගක් ලබාගැනීමටය. වීදුරු කුටියේ උඩ දැන්වීමක් අලවා ඇත. එහි සඳහන් කර ඇත්තේ ‘‘මට කෙටි පණිවිඩයකින් ලැයිස්තුව එවන්න’’ (Text me Your List) යන අදහසය. නත්තල් සීයා අත ජංගම දුරකථනය ඇත. ඔහු කුඩා දරුවට කෙටි පණිවිඩය එවන දුරකථන අංකය පෙන්වයි. ආරක්‍ෂිත ක‍්‍රම අනුගමනය කරන නත්තල් සීයා කෙටි පණිවිඩයක් මගින් වුවමනා කරන සෙල්ලම් බඩුව ලියා එව්වාම එය ආරක්‍ෂිතව එම කුඩා දරුවාට ලැබෙන්නට සලස්වනු ඇත. මෙයයි මෙම කාලයේදී නත්තල් තෑගි දීමට ඇති හොඳම ක‍්‍රමය.

2 – 1863 වර්ෂයේදී තෝමස් නැස්ට් (Thomas Nast) විසින් නිර්මාණය කරන ලද නත්තල් සීයාගේ ප‍්‍රථම කාටුන් චිත‍්‍ර නිර්මාණය.

3 – නිකලස් ලෙනාර්ඞ් සහ හෙලන් කොක්රාන් (Nicholas Leonard and Helen cochrane) විසින් නිර්මාණය කරන ලද කාටුනයේ දැක්වෙන්නේ සාප්පුවකින් නත්තල් ගසක් මිලදී ගැනීමට පැමිණි මවත් දරුවන් දෙදෙනෙක් සහ සාප්පුවේ වෙළෙඳ සේවිකාවකි. සාප්පු සේවිකාව නත්තල් ගස ගැන වර්ණනාවක් කරයි. මේසය මත තබා ඇති සටහනක දැක්වෙන්නේ නත්තල් මැජික මුදල් ගස (Nicholas Leonard and Helen cochrane) යනුවෙනි. මෙම නත්තල් ගසේ තෑගි වෙනුවට එල්ලා ඇත්තේ ස්ටර්ලින් පවුම් 50 හේ මුදල් නෝට්ටුය. වෙළෙඳ පොළ හමුවේ නත්තල් ගසද වාණිජකරණයට ලක්වී ඇති බවත් නත්තල් ගසේ එල්ලන සෙල්ලම් බඩු වෙනුවට මුදල් ඉස්මතු වී ඇති බව මේ කාටුනයේ අර්ථයයි.

4- නත්තල එක ජාතියකට පමණක් අයත් දෙයක් නොවේ. මෙම කාටුනයේ දැක්වෙන්නේ විවිධ රටවල් නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් එනම්, අප‍්‍රිකානු මැදපෙරදිග, ජපන්, චීන ආදී රටවල විවිධ ජාතීන්ට අයත් ළමුන් පිරිසක් නත්තල් කැරොල් ගීත ගායනා කරන ආකාරයයි.

5 – ශාන්ත නිකලස් තුමාගේ පැරැණි සාම්ප‍්‍රදායික බයිසැන්තියානු (Byzantine) චිත‍්‍රයක් බයිසැන්තියානු කලාව යනු නැගෙනහිර රෝම අධිරාජ්‍යයාගේ ග‍්‍රීක කලාත්මක නිර්මාණයන්ය. බයිසැන්තියානු කලාව ආරම්භවී පරිණාමය වූයේ නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ ය.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment