කාටූන් කියැවීම… ලොවම දිනූ ‘ලේඩි ගාගා’

493

ජෝ බයිඩන් ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස 2021 ජනවාරි 20 වැනි දින දිවුරුම් දුන් උත්සවයේදී ඇමරිකානු ජාතික ගීය ගැයීමට වාසනාව හිමිවුයේ ගායිකාවක් ලෙස ලෝකයේ ඉහළම ස්ථානයක නම තබාගෙන සිටින ඇමරිකානු ජාතික ගායිකාවක වන ලේඩි ගාගා (Lady Gaga) ටය. 1986 මාර්තු 28 වැනි දින නිව්යෝර්ක් හි මෑන්හැටන්, ලෙනොක්ස්හිල් හිදී උපන් ස්ටෙෆානි ජොආන් ඇන්ජලිනා ජර්මනෝටා (Stefani Joanne Angelina Germanotta) ගේ මව වූයේ සින්තියා ජර්මනෝටාය. පියා දානපතියෙක්, ව්‍යාපාරික විධායක නිලධාරියෙක් හා අන්තර්ජාල ව්‍යවසායකයකු වූ ජෝසප් ජර්මනෝටාය. ස්ටෙෆානිගේ එකම සහෝදරිය නටාලි ජර්මනෝටා නම් විය.

ස්ටෙෆානි වයස අවුරුදු හතරේ සිට පියානෝ වාදනය කිරීමට පටන් ගත්තේය. ඇය පියානෝ වාදනය ළමා කාලය පුරාම අධ්‍යයනය කළ අතර කන් මගින් ශබ්දය අසා සංගීත නිර්මාණය කිරීමට ඇය ඉගෙන ගත්තාය. අධ්‍යාපනය ලැබීමට ‘පූජනීය හදවත් කන්‍යාරාමය’ ට ඇතුළත් කළ ඇයව ඇගේ දෙමව්පියන් විසින් සංගීතය හැදෑරීමට කලා කඳවුරකටත් ඇතුළත් කරන ලදි. 2003 දී ස්ටෙෆානි නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ ටිෂ් කලා පාසලේ ‘සහයෝගිතා කලා ව්‍යාපෘතිය 21’ සඳහා මුල් ප‍්‍රවේශයක් ලබා ගත්තාය. 2005 දී ඇය සිය සංගීත දිවිය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූවාය. එම වසරේදී ඇය MTV ys Boillingpoints හි රඟපෑවේය.

කාටූන් කියැවීම... ලොවම දිනූ ‘ලේඩි ගාගා’
ලේඩි ගාගා සොයා පැමිණි පිටස්තරයෝ

2005 දී ඇය මිතුරන් කිහිපදෙනකු සමග ‘SG Band’ නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තේය. ඔවුන් නිව්යෝර්ක්හි සමාජ ශාලාවල සංගීත වාදනයේ නිරත විය. 2006 දී නිව් ජර්සි වෙත ගිය ඇය එහිදී සංගීත නිෂ්පාදකවරයකු වූ රොබ් ෆුසාරි සමග පෙම් සබඳතාවයක් ද ආරම්භ කළ අතර ඔහු ඇයගේ දිගු නම අයින්කොට ඇයව ‘ලේඩි ගාගා’ (Lady Gaga) නමින් හැඳින්වීමට පටන් ගත්තේය. එම නම ‘Radio Gaga’ ගීතයෙන් උපුටා ගත්තක් විය. ගාගා, ෆුසාරි සමග ඇගේ ගීත වැඩිදියුණු කිරීමට සහ නව ගීත රචනා කිරීමට පටන් ගත්තේය. ඔවුන්ගේ සම්බන්ධතාවය 2007 වර්ෂය දක්වා පැවතිනි. ලේඩි ගාගා නත්තල් උත්සවය සඳහා නැවත ඇගේ පවුලේ නිවසට පැමිණියාය. ගාගා නව නිර්මාණ සංදර්ශනවල රඟ දැක්වීම් කිරීමට පටන්ගත් අතර ඇයට එහිදී වේදිකා පෞරුෂය හැඩගැස්වීමට උපකාර කළ රංගන ශිල්පිනි ‘ස්ටාර්ලයිට් ආර්යාව’ හමුවිය. (Lady Starlight) මෙම යුගල ‘මර්කරි ලවුන්ජි’ සහ ‘ද බිටර් එන්ඞ්’ වැනි නගර සමාජ ශාලාවල ප‍්‍රසංග ආරම්භ කළහ. ඔවුන්ගේ රංගන කලා කෘති ‘ලේඩි ගාගා සහ ස්ටාර්ලයිට් රිවිව්’ ලෙස හැඳින්වූයේය.

ඇවන්ට්ගාර්ඞ් ඉලෙක්ට්‍රොනික් නැටුම් සංගීතය (Avant-Garde Electronic Dance Music) කෙරෙහි මුලින් අවධානය යොමු කළ ගාගා පොප් තනු සහ රොක් විලාසිතා ඇගේ ගීතවලට ඇතුළත් කිරීමට පටන් ගත්තේය. ප‍්‍රසංග අතරතුර ගාගා, ෆුසාරි සහ ඇය විසින් නිර්මාණය කරන ලද ගීත දිගටම නිෂ්පාදනය කරමින් ගීත පටිගත කිරීමේ හසල දැනුමක් ඇති වින්සන් හර්බට් ද සහාය කර ගත්තේය. ගීත රචිකාවියක්ද වන ගාගා Britney Spears, Fergie යන ගායිකාවන්ටද, New Kids on the Block සහ The Pussycat Dolls යන ගායක ගායිකා කණ්ඩායම්වලටද ගීත රචනාකර දුන්නේය. මේ වන විට ගාගා ගායිකාවක්, ගීත රචිකාවියක්, නිළියක්, පොප් නර්තන ශිල්පිනියක්, පියානෝ වාදන ශිල්පිනියක් වශයෙන් තම ප‍්‍රතිරූපය ගොඩනඟාගෙන තිබුණි.

ගාගාගේ ලොව පුරා ජනපි‍්‍රය වූ ‘ෆේම් බෝල් චාරිකාව’ 2009 මාර්තු සිට සැප්තැම්බර් දක්වා දිව ගියේය. ලොව පුරා සංචාරය කරමින් සිටි ඇය The Fame සඳහා ගීත අටක් ලිවීය. මේ අතර ඇගේ Just Dance සහ Poker Face ඇල්බමයන් ඇමරිකාවේ අංක එකේ ස්ථානයට පත්විය. එය ඔස්ටේ‍්‍රලියාවේ, කැනඩාවේ සහ එක්සත් රාජධානියේ අංක දෙක විය. මේවා 2009 දී ලොව වැඩියෙන්ම අලෙවි වූ ගීතයන් වන අතර එය මිලියන 9.8 ක් විය. ඇයගේ Alejandro නම් ගීතය ෆින්ලන්තයේ අංක එකේ ස්ථානයට පත්විය. එහෙත් එහි සංගීත වීඩියෝව කතෝලික ලීගය විසින් අපහාසයක් ලෙස සලකන විට මතභේදයට තුඩු දුන්නේය.

2010 අපේ‍්‍රල් සිට ඔක්තෝබර් මාසය වන විට ගාගාට බිලියනයකට වඩා රසිකයන් සිටියේය. 2009 දී ඇයගේ ගීත අන්තර්ජාලය හරහා බාගත කිරීම් මිලියන 11.1 ක් වූ අතර එය ගිනස් ලෝක වාර්තාවක් බවට පත්විය. ඇයගේ Monster Ball නම් සංගීත චාරිකාව 2009 සිට 2011 මැයි දක්වා පැවැති අතර ඩොලර් මිලියන 227.4 ක ආදායමක් උපයා ගත්තේය. එය කලාකරුවකු සඳහා වැඩිම ආදායමක් වන අතර 2011 පෙබරවාරි වනවිට ඇගේ Born This Way ඇල්බමය දින පහක් ඇතුළත පිටපත් මිලියනයකට වඩා අලෙවි වූ අතර ‘අයි ටියුන්ස්’ හි (I Tunes) වේගයෙන් අලෙවි වූ ගීතය සඳහා ගිනස් ලෝක වාර්තාව දිනා ගත්තේය.

2011 ජූලි මාසයේදී ලේඩි ගාගා ‘ටේලර් කින්නි’ නම් නළුවා සමග පේ‍්‍රම සම්බන්ධයක් ආරම්භ කළාය. 2015 පෙබරවාරි මාසයේදී ඇය ටේලර් සමග විවාහ ගිවිස ගත්තාය. 2014 සැප්තැම්බර් මාසයේදී ගාගා ටොනි බෙනට් සමග ‘Cheek To Cheek’ නමින් ජෑස් ඇල්බමයක් නිකුත් කළේය. ඉන්පසු ඇය ‘Tony Bennett and Lady Gaga Cheek To Cheek Live’ නමින් සංගීත චාරිකාවක් 2014 දෙසැම්බර් සිට 2015 අගෝස්තු දක්වා ආරම්භ කළේය. මේ අතර ගාගා ඇගේ ප‍්‍රතිරූපය හා ශෛලිය නවීකරණය කිරීමට පටන් ගත්තේය. මෙම මාරුව Cheek To Cheek මුදා හැරීමත්, 87 වන ඇකඩමි සම්මාන උළෙලේ ඇය දැක්වූ රංගනයත් සමග ආරම්භ විය. එම ඇකඩමි සම්මාන උළෙලේදී ලේඩි ගාගා ප‍්‍රවීණ සිනමා නිළි ජුලී ඇන්ඩ‍්‍රෘස් වෙත උපහාරයක් වශයෙන් ‘ද සවුන්ඞ් ඔෆ් මියුසික්’ චිත‍්‍රපටයේ ගීත ගායනා කළාය.

ගාගා ඩයැන් වොරන්ගේ The Hunting Ground නම් වාර්තා චිත‍්‍රපටය සඳහා Til it Happens to you ගීතය සමව රචනා කළ අතර එයට Satellite Award සම්මානය හිමිවූ අතර ඇකඩමි සම්මාන උළෙලට නිර්දේශ විය. ගාගා සිය මුල් ජීවිතයේ වැඩි කාලය නිළියක් වීමට ආශාවෙන් සිටි අතර ඇය ‘American Horror Story Hotel’ හි රඟපා ඇගේ ඉලක්කය සපුරා ගත්තේය. ඇය ටොම් ෆෝඞ්ගේ Nick Knight නම් විලාසිතා චිත‍්‍රපටයේ 2015 දී පෙනී සිටියාය. 2016 පෙබරවාරි මාසයේදී ගාගා සුපර් බෝල් 50 තරගයේදී ඇමරිකාවේ ජාතික ගීතය ගායනා කළාය. මේ අතර ටේලර් කින්නි සමග ඇගේ විවාහ ගිවිස ගැනීම 2015 ජූලි මාසයේදී අවසාන වූ අතර ඇය කියා සිටියේ ඇගේ වෘත්තිය ඔවුන්ගේ සම්බන්ධතාවයට බාධාවක් වූ බවය. 2016 දී ලේඩි ගාගාගේ ‘Billboard 200’ ඇල්බමය අංක එකට පත්වූ අතර ඇය සිව් වතාවක් ඇමරිකානු ගීත ප‍්‍රස්ථාරයේ මුලට පැමිණි පළමු කාන්තාව බවට පත්විය.

1937 හැදූ චිත‍්‍රපටයක ප‍්‍රතිනිර්මාණයක් වූ ‘A Star is Born’ සංගීත චිත‍්‍රපටය 2018 දී බ්රැඞ්ලි කූපර් විසින් නිපදවූ අතර එහි ගීත බොහොමයක් ගාගා සහ කූපර් විසින් රචනා කරන ලදි. එහි ප‍්‍රධාන ගීතය වූයේ ‘ෂලෝ’ 2018 සැප්තැම්බර් 27 දින නිකුත් කළේය. චිත‍්‍රපටයට ගීත 34 ක් අඩංගු විය. ෂලෝ ගීතයට ගාගාට ඇකඩමි සම්මානය හා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හිමි විය.

2014 දී පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ගාගා පැවසුවේ තමා අවුරුදු 19 දී දූෂණය වූ බවයි. ඇය දූෂණය කළ පුද්ගලයා ‘තමා ගැබිනියක ලෙස මගේ දෙමාපියන්ගේ ගෙයි මුල්ලකට දමා ගියේ වමනය සහ අසනීප නිසා’ යැයි ඇය පැවසුවාය. පසුව ඇය මානසික හා ශාරීරික චිකිත්සාවට භාජනය වූ බව ඇය පැවසුවාය.

විලාසිතා කිරීමට උනන්දුවීමට ගාගාගේ මවගේ පෙළඹීම ඇතිවූ බව පවසන ගාගා කුඩා කල ‘චර්’ ගායිකාවගේ විලාසිතා උකහාගෙන ඒවා තමාගේ කරගත් බව පවසයි. නිතර නිතර ඇඳුම් මාරු කිරීම් සහ ප‍්‍රකෝපකාරී දර්ශන ඇතුළත් ගාගාගේ සංගීත වීඩියෝ බොහෝවිට කෙටි චිත‍්‍රපට ලෙස විස්තර කෙරේ. ඇගේ මියුසික් වීඩියෝවල තේමා වී ඇත්තේ ලිංගිකත්වය, ප‍්‍රචණ්ඩත්වය හා බලයයි. ලොව ශ්‍රේෂ්ඨතම සංගීත වීඩියෝ කලාකරුවන් 100 දෙනාගේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානය දැනට හිමිකරගෙන ඇත්තේ ලේඩි ගාගාය. සමාජ සේවයට සම්බන්ධ වී ඇති ගාගා හයිටි භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ටත්, හෝක භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ටත්, සැන්ඩි සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ටත් ආධාර ලබාදී ඇති අතර තවත් එවැනි දේවල් බොහෝය. Machete Kills (2013) Sin City: A Dame To Kill For (2014) Gaga:Five Foot Two (2017) A star is Born (2018) House of Gucci (2021) වැනි චිත‍්‍රපට වලද රඟපා ඇති ගාගා ග‍්‍රැමී සම්මානයත්, ඇකඩමි සම්මානයත්, බ්රීට් සම්මාන, MTV සංගීත වීඩියෝ සම්මාන, ජාතික කලා සම්මාන ආදී සම්මානත් තවත් බොහෝ සම්මාන හා ඇගයීම් ද ලබා ඇති කලාකාරිනියකි.

හෆීස් (Hafeez) නම් කාටූන් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද කාටූනයේ දැක්වෙන්නේ ගම්බද ප‍්‍රදේශයක පාළු මාවතක ඇවිදගෙන යන සංචාරක යුවළකට හමුවූ අමුතුම ජාතියේ දෙදනෙකි. ඔවුන් කාන්තා චරිත බවට හඳුනාගත හැකිය. ඔවුන් දෙදෙනා ඇඳ සිටින්නේ අමුතුම ඇඳුම්ය. දෙදෙනාම පිටසක්වලින් පැමිණි දෙදෙනකු බව පෙනේ. ඔවුන් පැමිණි පියාඹන පීරිසිය වැනි යානයක්ද ඈතින් නවත්වා ඇත. එම පිටසක්වල ජීවීන් දෙදෙනා සංචාරක යුවළට කියනවා… ‘අපිව ලේඩි ගාගා වෙත ගෙනයන්න’ කියලා. (Take us to Lady Gaga) කාටූන් ශිල්පියා කියන්නේ ‘ලේඩි ගාගා’ පිටස්තර ග‍්‍රහ ලෝකවල පවා ප‍්‍රසිද්ධ වී ඇති චරිතයක් බවය. මේ පැමිණ සිටින පිටසක්වල ජීවීන් දෙදෙනා ලේඩි ගාගාගේ රසිකාවියන් විය හැකිය. ඔවුන්ට ඕනෑ ගාගාව මුණගැසීමටය. කතා කිරීමටය. ඇයගෙන් සජීවීව ගීතයක් ඇසීමටය. ගාගාගේ ජනපි‍්‍රයතාවය මුළු විශ්වය පුරාම පැතිර ඇති බව මේ කාටූනයෙන් පෙනී යයි.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment