කාටූන් කියැවීම… වෙඩි තැබීමේ කලාව උගන්වන සමාජය

297
badadaathi


අමෙරිකාවේ සිවිල් යුද්ධය 1861 දී ආරම්භ වී මාස කිහිපයකට පසු එංගලන්තයේ විසූ ඇමෙරිකානුවන් විසින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මගින් විවෘත ලිපියක් එවකට ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් සිටි ඒබ‍්‍රහ්ම් ලින්කන් වෙත යොමුකර යෝජනා කරන ලද්දේ ආර්. ජී. මෝල්ටන් සහ ආර්. බී. පෙරී විසින් ආරම්භ කරන ලද බි‍්‍රතාන්‍යයේ ජාතික රයිෆල් සංගමයට සමාන සංවිධානයක් පිහිටුවා ගන්නා ලෙසය.
 
 බි‍්‍රතාන්‍යයේ රයිෆල් සංගමය 1859 දී ආරම්භ කරන ලද අතර 1890 දී වික්ටෝරියා රැුජින විසින් එම ජාතික රයිෆල් සංගමයට රාජකීය තත්ත්වයක් ලබාදෙන ලදී. නාවික, ගුවන්, පාබල හමුදා සාමාජිකයන්ට සහ සාමාන්‍ය වෙඩික්කරුවන්ට පුහුණුව ලබාදීම හා ප‍්‍රවර්ධනය කිරීම, ගිලන්රථ සේවාවන්, ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් එහි පරමාර්ථය වූහ. එය රාජකීය ප‍්‍රඥප්තිය සමඟ ලියාදිංචි වූ පුණ්‍ය ආයතනයක්ද වන අතර පුණ්‍ය කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම ද සිදුකරයි.

cartoonkiyaveema1

1871 නොවැම්බර් 17 වැනි දින අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී ‘ජාතික රයිෆල් සමාජය’ (National Rifle Association) – කෙටිනම NRA පිහිටුවා  ගන්නා ලද අතර එහි භාර අධිපතිවරුන් වූයේ විලියම් කොනන්ට් චර්ච් (william Conant church) සහ ජේර්ජ් වුඞ් වින්ගම් (George wood wingate) යන දෙදෙනාය. NRA විසින් ස්ටේටන් දූපතේ ඇති කඳවුරේ පළමු වෙඩි තැබීමේ තරගයක් සංවිධානය කරන ලදී. ඒ සඳහා තාවකාලික කමිටුවක් පිහිටුවා ගන්නා ලද අතර ජනාධිපති ලින්කන්, යුද ලේකම් නිලධාරීන් සහ අනෙකුත් ප‍්‍රමුඛ නිව්යෝර්ක් වැසියන් එයට අයත්විය. 1871 නොවැම්බර් 17 දින NRA සභාපති ලෙස සිවිල් යුද්ධයේ ජෙනරාල්වරයකු වූ ඇම්බ්‍රෝස් බරන්සයිඞ් පත්වූ අතර 1872 අගෝස්තු 1වැනි දා දින ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු විලියම් කොනන්ටි චර්ච් සභාපති තනතුරට පතවිය.
 
 NRA හි වත්මන් සභාපති වනුයේ කැරොලින් ඞී. මෙඩොස්ය. ප‍්‍රධාන විධායක නිලධාරී වේන් ලැපියර් ය. ලියාපදිංචි කාර්යාලය නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති අතර එහි මූලස්ථානය වර්ජිනියාවේ ෆෙයර්ෆැක්ස් හි පිහිටුවා ඇත. NRA හි සාමාජික සංඛ්‍යාව මිලියන පහ ඉක්මවා ඇත. මෙම සමාජයට සම්බන්ධ සංගම් 10,700 ක් ලොව වටා ඒකරාශී වී තිබේ.
 
 NRA යනු ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් තුවක්කු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමකි. රයිෆල් වලින් වෙඩි තැබීමේ හැකියාව වැඩි දියුණු කිරීම සහ නූතන ගිනි අවිවල ආරක්ෂාව සහ නිපුණතාවය අඛණ්ඩව පවත්වාගෙන යෑම උගන්වන ආයතනයකි. මෙම සංවිධානය සඟරා කිහිපයක්ම ප‍්‍රකාශයට පත්කරයි. වෙඩි තැබීමේ තරගකාරී ඉසව් සඳහා අනුග‍්‍රහය දක්වයි.
 
 NRA ඇමෙරිකාව තුළ ප‍්‍රාන්තවල රයිෆල් සමාජ සංවිධානය කළ අතර බොහෝ රාජ්‍ය සහ ජාතික ආරක්ෂක සංවිධානවල සාමාජිකයෝ තම දක්ෂතාවයන් වැඩි දියුණු කර ගැනීම සඳහා NRA හි උපදෙස් ලබා ගතතේය. ඒ් සඳහා 1901 දී NRA ජාතික මණ්ඩලයක් නිර්මාණය කළේය. වාර්ෂිකව රයිෆල් හා පිස්තෝල තරග සඳහා වැඩසටහන් අනුමත කරන ලද අතර මිලිටරි සහ සිවිල් වෙඩික්කරුවන් සඳහා විවෘත ජාතික තරගයක්ද ඇතුළත් කළේය.
 
 ජාතික රයිෆල් සමාජය, ජාතික ගිනි අවි පනත 1934, ෆෙඩරල්
 
 ගිනි අවි පනත 1938, තුවක්කු පාලනය පනත 1968, අවි ආයුධවලින් නීත්‍යානුකූල වාණිජ්‍යය ආරක්ෂා කිරීමේ පනත 2005 සහ ආපදා ප‍්‍රතිසාධක පුද්ගලික ආරක්ෂණ පනත 2006 යන පනත් සඳහා සහය දැක්වීය. ෆෙඩර් ප‍්‍රහාර අවි තහනම පනත 1994, ප‍්‍රහාරක අවි තහනම පනත 2013 යන පනත්වලට විරුද්ධ විය.
 
 1970 දශක තුළ NRA රිපබ්ලිකන් පක්ෂය සමග වැඩි වැඩියෙන් පෙළ ගැසී තිබේ. 1977 න් පසු දේශපාලනකරණ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සහ කොන්සර්වේටිව් දේශපාලනය සමග සන්ධාන ගතවෙමින් සංවිධානය සිය සාමාජිකත්වය පුළුල් කළේය. මේ අයගෙන් වැඩි දෙනා රිපබ්ලිකානුවන්ය.
 
 1990 ගණන්වල මැද භාගයේදී NRA කොංග‍්‍රසයට සාර්ථකව බලපෑම් කළේය. 1976 දී NRA දේශපාලනය ජයග‍්‍රාහී අරමුදල පිහිටුවන ලදී. 1980 දී NRA ප‍්‍රථම වරට ජනාධිපති අපේක්ෂකයකුව අනුමත කරන ලද අතර ජිමි කාටර්ට එරෙහිව රොනල්ඞ් රේගන්ට සහාය දැක්වීය.
 
 එක්සත් ජනපද තුවක්කු හිමිකරුවන්ගෙන් 19% ක් තමන් NRA සාමාජිකයන් ලෙස සලකන බව 2017 දී පිච් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යයනයකින් හෙළිවිය. යුලිසන් එස්. ග‍්‍රාන්ට්, තියඩෝර් රූස්වෙල්ට්, විලියම් හොවාර්ඞ් ටාෆ්ට්, ඩිවයිඞ් ඞී අයිසන්හවර්, ජෝන් එෆ්. කෙනඩි, රිචඞ් නික්සන්, රොනල්ඞ් රේගන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ ඩොනල්ඞ් ට‍්‍රම්ප් යන ඇමෙරිකාවේ ජනාධිපතිවරුන් මෙහි සාමාජිකයන් වූහ. එක්සත් ජනපද උප ජනාධිපතිවරු තිදෙනෙක්, කොංග‍්‍රස් සභිකයන් කිහිපදෙනෙක් ව්‍යවස්ථාදායක සභාවේ කීපදෙනෙක් ප‍්‍රාන්ත ආණ්ඩුවල නිලධාරීන් මෙම NRA හි සාමාජිකයන් වී සිට ඇත. ඔක්ලහෝමා නගරයේ බෝම්බකරු තිමොති මැක්වී ද මෙහි සාමාජිකයකු වී සිටි බවට වාර්තා වේ.
 
 NRA පදනම ලාභ නොලබන සංවිධායක් වන අතර එළිමහන් කණ්ඩායම්වලට සහ බාලදක්ෂයන් සඳහා මුදල් රැුස්කරයි. 2010 දී NRA තුවක්කු ආශ‍්‍රිත පුහුණු හා අධ්‍යාපන වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 21.2ක ප‍්‍රධානයන් බෙදා හැරියේය. තරගකාරී වෙඩික්කරුවන්, තුවක්කු එකතුකරන්නන්, නීතිය ක‍්‍රියාත්මක කරන්නන් සඳහා සහ කාන්තාවන් හා තරුණ කණ්ඩායම් සඳහා ප‍්‍රජා වැඩසටහන් පවත්වයි. අරමුදල් රැුස්කිරීම්, විකුණුම් වෙළෙඳ දැන්වීම් සහ සාමාජික මුදල් මෙන්ම, 2005 සිට 2011 දක්වා ගිනි අවි ආශ‍්‍රිත සමාගම් 50කට වැඩි ගණනකින් ලැබූ අවම වශයෙන් ඩොලර් මිලියන 14.8 ක මුදල් වලින්ද NRA හි ගිණුම් සමන්විතය.
 
 ස්ටෝමන් ඩග්ලස් උසස් පාසල් වෙඩි තැබීම, සැන්ඩිහුක් ප‍්‍රාථමික පාසලේ වෙඩි තැබීම වැනි ඉහළ පෙළේ වෙඩිතැබීම්වලින් පසුව සංවිධානය දැඩි විවේචනයට භාජනය විය. 2017 ඔක්තෝබර් මාසයේ ලාස්වේගාස්හි පැවැති සංගීත ප‍්‍රසංගයක් වෙඩි තැබීමකින් 58 දෙනෙකු මියගොස් 851 දෙනෙකුට තුවාල සිදුවිය. මේ පිළිබඳව NRA හි නිශ්ශබ්දතාවය දැඩි විවේචනයට ලක්විය. දින හතරකට පසුව NRA අතිරේක තුවක්කු පාලන නීතිවලට විරුද්ධව ප‍්‍රකාශයක් නිකුත් කළේය. 2018 පෙබරවාරියේ ෆ්ලොරිඩාවේ මාජරි ස්ටෝමන් ඩග්ලස් උසස් පාසලේ සිදුවූ වෙඩි තැබීමකින් 17 දෙනෙකු  මියගොස් 17 දෙනෙකුට තුවාල සිදුවිය. දිවිගලවා ගත් අය තුවක්කු පාලනය කිරීමේ යම් යම් ක‍්‍රියාමාර්ග සම්මත කරන ලෙස ඉල්ලා Never Again MSD යනුවෙන් ව්‍යාපාරයක් දියත් කළේය. MUD යනු තුවක්කු පාලනය සඳහා ඇමෙරිකානු ශිෂ්‍ය නායකත්වයෙන් යුත් දේශපාලන ක‍්‍රියාකාරී කමිටුවක් වන අතර එය තුවක්කු හිංසනය වැළැක්වීම සඳහා දැඩි රෙගුලාසි ඉල්ලා සිටී.
 
 2013 දී ජාතික රයිෆල් සමාජය ඇමෙරිකාවේ ගිනි අවි පරිණාමය හා ඉතිහාසය පිළිබඳව ප‍්‍රදර්ශනාගාරයක් මිසුරි හි ස්ප‍්‍රිං ෆිල්ඞ් හි බාස්ප්‍රෝ සාප්පු සංකීර්ණයේ විවෘත කරන ලදී. එහි NRA විසින් ඓතිහාසික වශයෙන් වැදගත් ගිනි අවි සහ වෙනත් එකතු කිරීම් 10,000කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රදර්ශනයට තබා ඇත.
 
 මෙම රයිෆල් සමාජය පිළිබඳව ද ලොව පුරා සිටින කාටුන් ශිල්පීන් විසින් කාටුන් රාශියක්ම නිර්මාණය කර ඇති අතර බෙන් සාජන්ට් (Ben Sargent) නම් කාටුන් ශිල්පියා විසින් නිර්මාණය කර ඇති මෙම කාටුනය සංගමයේ යථාර්ථය කියා පායි. කාටුනයේ දැක්වෙන්නේ ස්ටූල් එකක වාඩිවී සිටින දැවැන්තයෙකි. ඔහුව හඳුන්වා දී ඇත්තේ තුවක්කු කර්මානතය (GUN Industry) නමිනි. එම දැවන්තයා අමෙරිකාවේ සියලූම ගිනි අවි කර්මාන්තකරුවන් නියෝජනය කරයි. එම දැවන්තයාගේ වම් කකුල මත වාඩිවී සිටින්නේ NRA ජාතික රයිෆල් සමාජය නියෝජනය කරන්නෙකි. ඉන් හැඟවෙන්නේ NRA පාලනය කරන්නේ ගිනි අවි නිෂ්පාදකයින් බවය. බලන්න NRA නම් මිනිසාගේ වම් කකුල මත වාඩිවී සිටින්නේ කොංග‍්‍රසයයි. (Congress) කොංග‍්‍රසය යනු එක්සත් ජනපදයේ ෆෙඩරල් ආණ්ඩුව සමග සමන්විත නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය හා සෙනෙට් සභාව හඳුන්වන නමයි. බෙන්ගේ කාටුනයෙන් පෙන්වා දී ඇත්තේ ගිනි අවි කර්මාන්තය NRA හරහා කොංග‍්‍රසයට බලපෑම් කරන බවයි.
 
 රුවන් තරස්වින්
 [email protected]

advertistmentadvertistment
advertistmentadvertistment