කාටූන් කියැවීම – සත්‍ය පවසන කෙන්යානු කාටූන් ගාඩෝ  

554

කෙන්යාවේ සිටින ප‍්‍රවීන කාටුන් ශිල්පියකු වූ ගොඞ්ෆ‍්‍රී මුවම්පැන්බුවා (Godfrey Mwampembwa) හෙවත් ‘‘ගාඩෝ’’ (Gado) 1969 අගෝස්තු මස 6 වැනි දින ටැන්සානියාවේ ඩාර්. එස්. සලාම් නගරයේදී උපත ලැබීය. ඔහු උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබා වසර කිහිපයකට පසු 1992 දී කෙන්යාවට සංක‍්‍රමණය විය. එම කාලය වන විට කෙන්යාවේ දේශපාලන ක්‍ෂේත‍්‍රයේ දැඩි විප්ලවයක් සිදු වෙමින්ද තිබුණේය. ඔහු නැගෙනහිර හා මධ්‍යම අප‍්‍රිකාවේ විශාලතම පුවත්පත් සමූහය වන කෙන්යාවේ නයිරෝබීහි Nation Media Group ආයතනයට සම්බන්ධ වී කතුවැකි කාටුන් ශිල්පියෙකු හා නිදර්ශකයෙකු ලෙස වැඩ කිරීමට පටන් ගත්තේය. ඔහු ඒ අතර ටැන්සානියාවේ ඬේලි නිව්ස්, බිස්නස් ටයිම්ස් සහ එක්ස්ප‍්‍රස් ඇතුළු තවත් පුවත්පත් කිහිපයක නිදහස් කාටුන් ශිල්පියකු වශයෙන්ද කටයුතු කළේය.

කාටූන් කියැවීම - සත්‍ය පවසන කෙන්යානු කාටූන්  ගාඩෝ  
වසර 23 ක් The Nation Media Group (NMG) හි කර්තෘ කාටුන් ශිල්පියා වූ ගාඩෝ එම පුවත්පත් සමාගමෙන් අස්කිරීම බොහෝ දෙනා කම්පනයට පත් වූ සිද්ධියක් බවට පත්විය. කෙසේ වුවද ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රවලට අනුව Nation Media Group හි කළමනාකාරීත්වයට ගාඩෝව ආරක්‍ෂා කිරීමට තවදුරටත් නොහැකි විය. ඒ Nation ආයතනය රජය විසින් මිලට ගෙන ඇති නිසාය. මෙම කීර්තිමත් කාටුන් ශිල්පියා එම ආයතනය ඉවත් කිරීමට හේතු වුයේ ටැන්සානියාවේ එවකට සිටි ජනපති ජකායෙ ක්වෙයිටි (Jakaya Kiwete) ගැන අඳින ලද ටැන්සානියාවේ රජයේ පව් හත නිරූපණය කරන මතභේදාත්මක මේ කාටුනය නිසාය. කාටුනයේ දැක්වෙන්නේ ජනපති ජකායෙ ක්වෙයිටි සෝපානයක වැතිරී සිටින ආකාරයයි. JK යනුවෙන් සඳහන් කර ඇත්තේ ඔහුගේ නමයි. ඔහු වටේට ඔහුට මිදිගෙඩි කවන සත්කාර කරන පවන් ගසන, නියපොතු සුද්ධ කරන නියපොතු කපන ඔහුව සම්බාහනය කරන සුරූපිනියන් සත් දෙනෙකු සිටී. ඔවුන් නම්කර ඇත්තේ ගජමිතුරුවාදය (Cronyism) මෙය මිතුරු සංග‍්‍රහවාදය යනුවෙන්ද හැඳින්විය හැකිය.) නොහැකියාව (Incompetence) දූෂණය (Corruption) යනුවෙනි. මෙම කාටුනය එකල එම රජයේ තත්ත්වය හා ජනපතිගේ ක‍්‍රියාදාමයන් හොඳ හැටියට විවේචනය කරන ලද කාටුනයක් විය.

ගාඩෝ මේ වන විට නයිරෝබී හි East African Standard පුවත්පතේ කර්තෘ කාටුන් ශිල්පියාය. ඔහු නැගෙනහිර හා මධ්‍යම අප‍්‍රිකාවේ වඩාත්ම ඒකාබද්ධ දේශපාලන කාටුන් ශිල්පියා වන අතර දශක දෙකකට වැඩි කාලයක් Daily Nation කෙන්යාව New African එක්සත් රාජධානිය Courrier International ප‍්‍රංශය, Business Day සහ Sunday Tribune යන දකුණු අප‍්‍රිකාවේ පුවත්පත් දෙකේම කාටුන් චිත‍්‍ර නිර්මාණය කිරීමේ කාර්යයේ යෙදී සිටී. ඔහු ප‍්‍රංශයේ La Monde සහ ඇමෙරිකාවේ The Washington Times යන ප‍්‍රකාශනවලත්, ඔස්ත‍්‍රියාවේ Der Standrd සහ ජපානයේ Japan Times යන පුවත්පත් සඳහාත් කාටුන් නිර්මාණය කරයි. ගාඩෝ 2016 මාර්තු මාසයේදී දේශපාලන අධිකාරියේ බලපෑම් මත Daily Nation පුවත්පතේ සේවයෙන් ඉවත් කරන තෙක් එහි කර්තෘ කාටුන් ශිල්පියා ලෙස වසර ගණනාවක්ම සේවයේ නියුක්ත වී සිටියේය.

ගාඩෝ 1991 දී ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීම සඳහා Ardhi ආයතනයට සම්බන්ධ විය. ඉන් වසරකට පසු ඔහු නේෂන් මීඩියා සමූහයේ (Nation Media Group) කාටුන් ශිල්පියා සහ නිර්මාණ ශිල්පියෙකු වීම සඳහා Ardhi ආයතනයෙන් ඉවත් විය. 2000 වර්ෂයේදී ගාඩෝ වැන්කුවර්හි චිත‍්‍රපටි පාසලේදී සම්භාව්‍ය සජීවිකරණය සහ චිත‍්‍රපට ශිල්පය හැදෑරීය.

කාටූන් කියැවීම - සත්‍ය පවසන කෙන්යානු කාටූන්  ගාඩෝ  
කාටුනයේ දැක්වෙන්නේ එවකට එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ ලේකම් කොෆි අන්නන් සහ සිරියාවේ ජනපති බෂාර් අල් අසාද්ගේ හමුවීමකි. යුද්ධය නිසා සිරියාවේ නායකයාගේ ඇඳුම්වල ලේ තැවරී ඇත. ඔහුගේ කාබායට, කලිසමට වෙඩි වැදී ද ඇත. දෑතම ලෙයින් තෙත්වී ඇත. ඔහු කොෆි අන්නන් අතට අතදීමට සැරසීගෙන තම දකුණත ඉදිරියට ගෙන සිනහවෙමින් බොහොම කඩිසර ගමනින් එයි. මෙය දුටු කොෆි අන්නන් වික්ෂිප්ත වෙයි. ඔහු අසාද්ට අතට අත දීමට බිය වෙයි. ඒ ඔහුගේ අතේ ලේ තියෙන නිසාය. ඒ නිසා කොෆි අන්නන් බොරු අතක් රිටක අමුණා එය අසාද්ට දිගු කරයි. කොෆි අන්නන් අසාද්ට තම ඇත්ත අත දීමට අකමැති වී ඇත්තේ අනන් සාමයට කැමැති පුද්ගලයෙක් නිසාය. ඔහු යුද්ධයට හා යුද්ධ කරන අයට කැමැති නැත.

ගාඩෝ ප‍්‍රාදේශීය කලාපීය සහ ජාත්‍යන්තර ප‍්‍රශ්න පිළිබඳව හාස්‍යජනක කාටුන් නිර්මාණය කරයි. ඔහු සමාජ, දේශපාලන හා සංස්කෘතික ගැටුම් පුද්ගලයා කෙරෙහි ඇති කරන බලපෑම පැහැදිලි කරයි. ගාඩෝ දේශපාලන මැදිහත් වීම්වලට විරුද්ධ වන අතර ඔහුගේ සීමාවන් ගවේෂණය කරන දේශීය පුරෝගාමියෙකි. නැගෙනහිර අප‍්‍රිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ප‍්‍රකාශනයේ නිදහස සඳහා එහි දායකත්වය තුළින් ඔහු අනෙකුත් කලාකරුවන්ට ආශ්වාදයක් වේ. ගාඩෝ නැගෙනහිර අප‍්‍රිකාවේ බොහෝ ප‍්‍රකාශන සඳහා කාටුන් නිර්මාණ සපයන ප‍්‍රමුඛතම කාටුන් ශිල්පියා ද වේ. ඔහු ඉතාලියේ ටෙ‍්‍රවිසෝ හි ෆ‍්‍රැබි‍්‍රකා පර්යේෂණ මධ්‍යස්ථානයේ (Fabrica Research Centre ලොව පුරා සිටින තරුණ කලාකරුවන්, නිර්මාණකරුවන්, මාධ්‍යවේදීන් සහ නිෂ්පාදකයින්ට මෙම මධ්‍යස්ථානයට ආරාධනා කර වසරක ශිෂ්‍යත්වයක් ලබා දෙයි. මෙය ඉතාලියේ සන්නිවේදන මධ්‍යස්ථානයකි.)

ශිෂ්‍යත්වයක් සඳහා සහභාගී වූ අවස්ථාවේදී ජාතිවාදය පිළිබඳව සජීවිකරණ චිත‍්‍රපටයක් නිෂ්පාදනය කළේය.

1999 දී ගාඩෝ කෙන්යාවේ වසරේ කාටුන් ශිල්පියා බවට පත්විය. 2014 සහ 2016 දී අප‍්‍රිකාවේ වඩාත්ම බලගතු සඟරාවක් වන The New African විසින් අප‍්‍රිකාවේ බලගතුම පුද්ගලයින් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස ගාඩෝව නම් කරන ලදී.

කාටූන් කියැවීම - සත්‍ය පවසන කෙන්යානු කාටූන්  ගාඩෝ  
ගල්කඳු දෙකක් අතර ඉදිකර ඇති වැල්පාලමකි. එය අබලන් තත්ත්වයේ පැවතුණු අතර ඉන් එගොඩවීමට පැමිණි කෙන්යාව Kenya නැමැති පුද්ගලයා එම වැල්පාලම කඩාගෙන පහළට වැටෙන විට ඔහු එම පාලමේ කැඩුණු කොටස් දෙක අත්දෙකෙන් අල්ලාගෙන ඉතා භයානක අවස්ථාවකට පත් වී එල්ලී සිටී. එක් අතක් හෝ අතහැරුණහොත් ඔහු පහළ අගාධයට ඇද වැටෙනු ඇත. කාටුන් ශිල්පී ගාඩෝ වැල්පාලම නම්කර ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය Democracy යනුවෙනි. මෙයයි එකල කෙන්යාවේ තිබූ දේශපාලන තත්ත්වය. මෙය එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය විග‍්‍රහ කරන ලද ප‍්‍රබල කාටුනයකි.

2005 දීත් 2007 දීත් ජනමාධ්‍යවේදය පිළිබඳ කෙන්යාවේ ජාතික මානව හිමිකම් කොමිසමේ සම්මානයෙන් පිදුම් ලැබීය. ගාඩෝ සාමය සඳහා වූ කීර්තිමත් කාටුනයක් නිර්මාණය කර 2016 දී ජාත්‍යන්තර කතුවැකි කාටුන් සම්මානයෙන් පිදුම් ලැබීය. 2007 දී ‘‘සංස්කෘතිය හා ගැටුම්’’ යන තේමාව යටතේ නෙදර්ලන්තයේ ප‍්‍රින්ස් ක්ලවුස් අරමුදලේ, ‘‘ප‍්‍රින්ස් ක්ලවුස් සම්මානය (Prince Claus Award) ඔහුට පිරිනමන ලදී. ඔහුගේ කාටුන් නිර්මාණයන් පිළිබඳව එහි ජුරි සභාව ඔහුට ප‍්‍රශංසා කරමින් කියා සිටියේ…. ‘‘ගාඩෝගේ නිර්භීත කාටුන්, ඔහු සමාජ හා දේශපාලන ගැටුම්වල පැති හාස්‍යජනක ලෙස පෙන්වන අතර නිදහස් ප‍්‍රකාශනයේ අරගලයට ඒවා ආශ්වාදයක්’’ යනුවෙනි. ගාඩෝ 2016 මැයි 3 වන දින ලෝක පුවත්පත් දිනයේදී මැලේසියාවේ කාටුන් ශිල්පී ‘සුනාර්’ සමගින් කොෆි අන්නන් වෙතින් ‘‘සාමය සඳහා කාටුන් සම්මානය’’ ලබා ගත්තේය.

ගාඩෝ කාටුන් ශිල්පීන්ගේ අයිතිවාසිකම් ජාලයේ (Cartoonists Legal Advisory Network – CRN) සාමය සඳහා කාටුන් ශිල්පියකු සහ කෙන්යාවේ මාධ්‍යවේදීන්ගේ සංගමයේ (KJU) සාමාජිකයෙකි. ඔහු නැගෙනහිර අප‍්‍රිකානු කාටුන් ශිල්පීන්ගේ සංගමයේ (Katuni) සහ කාටුන් ශිල්පීන්ගේ සහ ලේඛකයින්ගේ සංගමයේ (C&W) ද සාමාජිකයෙකි. බොහෝ පොත් හා නිදර්ශන කිරීමට සහ දායක වීමට අමතරව ගාඩෝ විසින් කාටුන් එකතු කිරීම් තුනක් ප‍්‍රකාශයට පත් කර ඇත. Abunuwagi (1996) කෙටි විකට කතා පොතකි. Democratic සහ The End of An Error යන කෘති සඳහා ඔහුට සම්මාන කිහිපයක්මද ලැබී ඇත.

කාටූන් කියැවීම - සත්‍ය පවසන කෙන්යානු කාටූන්  ගාඩෝ  
ගාඩෝ විසින් 2014 වර්ෂයේදී නිර්මාණය කරන ලද මෙම කාටුනයෙන් එවකට කෙන්යාවේ සිටි පොලිස්පතිවරයාව (Inspector General Of police) නිරූපණය කරයි. පොලිස්පතිගේ ඔළුව සහ මුහුණ බල්බයකට සම කර ඇත. කාටුනයෙන් ගාඩෝ යමක් අසනවා. ඒ රජයෙන්ය. ඔහු අසන්නේ මේ බල්බය වෙනස් කරන්න කී දෙනෙක් මැරෙන්න ඕනද? (How Many People Have To Die To Change This Bulb) මේ කාටුනය මගින් එකල කෙන්යාවේ තිබූ මර්දනකාරී පිළිවෙත් නිරූපණය කරයි.

‘‘ ඩොයිෂ් වෙලේ’’ Deutsche Welle (කෙටිනම DW) යනු ජර්මානු ෆෙඩරල් බදු අයවැය මත අරමුදල් සපයන ජර්මානු රජයේ පාලනය යටතේ තිබෙන ජාත්‍යන්තර විකාශනයකි. මෙම සේවාව භාෂා 30 කින් ලබාගත හැක. DW සිය පුවත් වෙබ් අඩවියේ නිතිපතා යාවත්කාලීන ලිපි ලබාදෙන අතර ජාත්‍යන්තර මාධ්‍ය සංවර්ධනය සඳහා තමන්ගේම මාධ්‍ය ඒකකයක් වන ..DW ඇකඩමිය.. පවත්වාගෙන යයි. 2019 වන විට මෙය රටවල් 60 ක ක‍්‍රියාත්මකයි. DW විශ්වාසවන්ත ප‍්‍රවෘත්ති ආවරණය නිෂ්පාදනය කරයි. මිනිසුන් අතර අවබෝධය ප‍්‍රවර්ධනය කරන මෙය අප‍්‍රිකානු රටවලටද සම්බන්ධ වී ඇත. DW ඉලක්කය වනුයේ මාධ්‍ය සාක්ෂරතාවය ශක්තිමක් කිරීම, තරුණ ජනතාව අතර දැණුම පදනම් වූ සමාජයක් ගොඩනැ`ගීමය. DW අප‍්‍රිකා රටවල් 18 ක ගුවන් විදුලි මධ්‍යස්ථාන හා බ්ලොක් කරුවන්ට උපදෙස් දෙයි. එමගින් ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් ඉස්මතු කර ගුණාත්මක ස්වාධීන මාධ්‍ය ශක්තිමත් කිරීම සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා පුහුණු පද්ධතිවල තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි.

නැගෙනහිර සහ මධ්‍යම අප‍්‍රිකාවේ විවිධ මාතෘකා ආමන්ත‍්‍රණය කිරීමට DW විසින් ගාඩෝවද තම ආයතනයට බඳවාගෙන ඇත. මාධ්‍යවේදී ජෝස්පට් චාරෝ (Josephat Charo) සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ගාඩෝ DW ගැන සහ තමාගේ වෘත්තිය ගැන මෙසේ අදහස් පළ කර ඇත.

කාටූන් කියැවීම - සත්‍ය පවසන කෙන්යානු කාටූන්  ගාඩෝ  
කාටුනයේ දැක්වෙන්නේ කාන්තාරයක් වැනි බිමක ඇති විශාල මිනී හිස් කබලකි. එය වටේ මියගිය අයගේ සිරුරු ඇත. හිස් කබලට වෙඩි වැදී ඇති බවද පෙනේ. ගාඩෝ විසින් නිර්මාණය කරන ලද මේ කාටුනය නම්කර තිබුණේ ‘‘ත‍්‍රස්තවාදය නැවත හසි ඔසවයි’’ (Terrorism Rears Its Ugly Head, Again) යනුවෙනි.

‘‘මම හිතන්නේ කෙන්යාවේ මාධ්‍ය නිදහසේ වැඩිවීමත් ඇති නිසා අපි විශාල දියුණුවක් දැක තිබෙනවා. ඒ නිසාම කලාකරුවන් සෑහෙන ප‍්‍රමාණයක් සේවයේ නියුක්ත වූ පුවත්පත් රාශියක් අපට තිබෙනවා. බොහෝ කලාකරුවන් සහ කාටුන් ශිල්පීන්ට ඔවුන්ගේ නිර්මාණ ප‍්‍රදර්ශනය කිරීමට සහ ඔවුන්ගේ නිෂ්පාදන අන්තර් ජාලය හරහා විකිණීමට හැකි වූ තත්ත්වයක්ද ඇත. එහෙත්, අපට එහෙන් මෙහෙන් අභියෝග ඇත. ඒවා සෑම විටම පවතිනු ඇත.

ජොස්පට් චාරෝ (ප‍්‍රශ්නය):
ඔබ කියන්නේ මාධ්‍ය කටගැස්ම එතරම් බැරෑරුම් නැති බවත්, කෙන්යාවේ මාධ්‍ය නිදහස සහ ප‍්‍රකාශනයේ නිදහස වැඩි වී ඇති බවද?

ගාඩෝ (පිළිතුර)

කෙන්යාවේ දේශපාලකයින් කිසිවිටෙකත් ඔවුන්ගේ මතයන් නවත්වන්නේ නැත. මගේ අත්දැකීම නම්, එක් පරිපාලනයකින් තවත් පරිපාලනයකට යෑම සෑම විටම අභියෝගයක් වන්නේ එය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න වටහා නොගැනීමයි. පසුගිය වසර දෙක තුළ අපි දුටුවේ වත්මන් පරිපාලනය පුවත්පත් සමඟ සතුටු නොවන බවය. නමුත් කෙන්යාව ලබාගෙන ඇති අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සෑම ආකාරයකින්ම ආරක්‍ෂා කළ යුතුය.

කාටූන් කියැවීම - සත්‍ය පවසන කෙන්යානු කාටූන්  ගාඩෝ  
කාටුනයේ දැක්වෙන්නේ 2012 සිට 2018 දක්වා ඉතියෝපියාවේ අගමැති වූ හයිලේමරියම් ඩැසලීන් සහ රූපවාහිනී හෝ ගුවන් විදුලි මාධ්‍යවේදියෙකුගේ හමුවීමකි. මාධ්‍යවේදියා ඩැසලීන්ගෙන් අහනවා.’’ මගේ අගමැතිතුමනි ඉතියෝපියාවේ සිරගත කරන ලද මාධ්‍යවේදීන්ට මොකද වෙන්නේ? කියා. (My Prime Minister what will Happen To Journalists Who Are Imprisoned In Ethiopia…….) එයට අගමැතිවරයා දෙන්නේ ඉතා දරුණු පිළිතුරකි. එම පිළිතුර කාටුනයේ භයානක සංකේත මගින් දක්වා ඇත. එම සැර පිළිතුර නිසා මාධ්‍යවේදීයාගේ ඔළුව ගැලවී ගොස් ඇත. මෙයයි එකල ඉතියෝපියාවේ පාලකයින්ගේ ක‍්‍රියාවන්හි සැබෑ තත්ත්වය.

ජොස්පට් චාරෝ (ප‍්‍රශ්නය):
දේශපාලන කාටුන් ශිල්පියෙකු ලෙස ඔබේ කාර්යයෙන් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද?

ගාඩෝ (පිළිතුර)

‘‘දේශපාලන කාටුන් ශිල්පීන් වන අප කතාව කිව යුතුය. ඇත්ත කතා කළ යුතුය. උපහාස රචකයකු වශයෙන්, අධිරාජ්‍යයා නිරුවතින් සිටින බවත්, එය පෙනෙන තරම් සියුම් බවත් පැවසීම යුතුකමකි.’’

ජොස්පට් චාරෝ (ප‍්‍රශ්නය):
මෑතකදී නැගෙනහිර සහ මධ්‍යම අප‍්‍රිකාවේ විවිධ මාතෘකා ආමන්ත‍්‍රණය කිරීමට DW ඔබව කාටුන් ශිල්පියෙකු ලෙස බඳවා ගත්තා. ඒ ගැන ඔබට හැෙඟන්නේ කෙසේද?

ගාඩෝ (පිළිතුර)

වසර ගණනාවක් පුරාම මම විවිධ අලෙවි සැල් සඳහා දායක වී ඇති අතර මම මීට පෙර කිසිදිනක DW වෙත දායක වී නොමැත. DW සමඟ එක්වීම ගැන මම බොහෝ සතුටු වෙනවා. මොකද ඒකෙන් මට වැඩි පේ‍්‍රක්‍ෂක පිරිසක් අතරට යන්න අවස්ථාව ලැබෙනවා. අද වනවිට අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය භාවිතයන් සමඟ මෙම මෙවලම් හැකිතාක් මිනිසුන් වෙත ළඟා කර ගැනීම වැදගත්.’’

දේශපාලකයන් විවේචනය කිරීම, දේශපාලකයින් කෑදර සහ දූෂිතයන් ලෙස නිරූපණය කිරීම සඳහා ගාඩෝගේ කළු සහ සුදු සිතුවම් අප‍්‍රිකාව පුරා විශාල අනුගාමිකයන් සංඛ්‍යාවකගේ ජනාදරය දිනා ගෙන ඇත. දේශපාලන කාටුන් ශිල්පියෙකු ලෙස ඔහුගේ භූමිකාව අප‍්‍රිකාව තුළ ඉහළම තලයක පිහිටා ඇත. ගාඩෝ වර්තමානයේදී නයිරෝබි නගරයේ තම බිරිඳ ස්ටෙෆනි උවිංගේබේ සහ දියණියන් දෙදෙනා වන ඕවාජි ඔඩෙටාත් කෙසා ඇංගනිල් සමඟ ජීවත් වේ.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment