කාදිනල්තුමා ජාත්‍යන්තරටයට ගෙනයන්න හදන පාස්කු ප්‍රහාරයේ සැඟවුණු කතාව ඇත්තද?

243

රජය අපක්‍ෂපාතී නොවන බව කාදිනල් හිමියෝ කියති

ප‍්‍රමාදය ගැන සැමට සැකයක් පැවතීම සාධාරණ බව මතයක්

කුරිරු පාස්කු ප‍්‍රහාරය එල්ල වී අදට (30 වැනිදා) දින 1016 කි. 2019 වසරේ අපේ‍්‍රල් මස 21 වැනිදා සිදු වූ මහ පොළොව නුහුලන මෙම කුරිරු අපරාධය සහරාන් ප‍්‍රමුඛ මිථ්‍යා දෘෂ්ටිකයන් සිදුකළද, එකී අපරාධය වළක්වා නොගැනීමේ වරද සහ වගකීම නිතැතින්ම යොමු වූයේ එවකට යහපාලන රජයටය.

විදෙස් බුද්ධි සේවා මෙන්ම මෙරට ආරක්ෂක අංශද සහරාන් ගේ ප‍්‍රහාරයක් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සහ තොරතුරු ලබාදී තිබියදීත්, එම කුරිරු ප‍්‍රහාරය වළක්වා නොගැනීම අතිශය බරපතළ සහ ඛේදජනක සිදුවීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කතෝලික බැතිමතුන් ඇතුළු පුද්ගලයන් 207 ක ජීවිත අහිමි කරමින් තවත් පුද්ගලයන් 450 කට ආසන්න පිරිසක් තුවාල සහ සදාකාලික අබ්බගාතයන් කරමින් සිදුවූ මෙම උම්මත්තක ප‍්‍රහාරයේ වේදනාව දේශපාලනඥයන් ප‍්‍රමුඛ වගකිවයුත්තන් හිතාමතා හෝ වෙන යම් කාරණයක් මත අමතක කර දැමුවද එහි වින්දිතයන් තවමත් සිටිනුයේ මහත් වූ කම්පනයෙන් සහ වේදනාබර මානසිකත්වයකින් ය. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව, ප‍්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය හමුවේ දඬුවම් ලැබ නීතියෙන් සාධාරණත්වයක් ලැබීමය. ඔවුහු ඒ සඳහා බලාපොරොත්තු සහගතව සිටිති.

එම බලාපොරොත්තුව අත්නොහැර සිටීමට ප‍්‍රධානතම හේතුව, කිතුනු ජනතාවගේ මෙරට නායකත්වය වන කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මේ සම්බන්ධයෙන් සිදුකරමින් යන අනවරත අරගලය දැක්වීමට හැකිය. රට ඉදිරියේ පමණක් නොව ලොව ඉදිරියේ ඉහළ පිළිගැනීමක් ඇති උන්වහන්සේගේ හඬට මහා බරක් තිබීමම පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් වනු ඇතැයි යන පූර්ව නිගමනයට පැමිණීමට හැකි වූ තත්ත්වයක් වුවද තවදුරටත් පූර්ව නිගමනය ‘‘පූර්ව නිගමනයක්” ම පමණක් වී තිබීම නීතිය ක‍්‍රියාත්මක කරන බොහෝ තැන්හි සහ උපදෙස් දෙන තැන්හි හිස්තැන් කඩතොලූ මෙන්ම ආත්මාර්ථකාමිත්වය මැනවින් පිළිබිඹු කරන්නක්ව තිබේ.

පාස්කු ප‍්‍රහාරය සිදුවූ මුල් කාල වකවානුව තුළ හරි හැටි රටට නොදැනුන ද එය දැන් දේශපාලන මෙවලමක් වී හමාරය. ඇතැමුන් එය සිය දේශපාලන අභිප‍්‍රායන් වෙනුවෙන් භාවිත කර ඇති බව අදරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් පවසන්නේ ද ඒ නිසා විය යුතුය. වින්දිතයන්ට සාධාරණයක් අපේක්ෂාවෙන් එවකට රජය දැඩි ලෙස විවේචනය කරද්දී අත්පොළසන් නැඟූ උදවිය අද උන් වහන්සේව විවේචනය කරන්නේ ඉහත අදහස මොනවට සනාථ කරමිනි.

අදරදගුරු හිමිපාණන්ව එකල යහපාලන රජයේ බහුතර දෙනා දුටුවේ රාජපක්ෂ පාලනයක් බලයට ගෙන ඒම සඳහා වෙනමම න්‍යාය පත‍්‍රයක සිට කටයුතු කරන දේශපාලන ගැත්තෙකු ලෙසය. එකල එකී ආණ්ඩුවට එතුමන්ව නයාට අඳුකොළ හා සමානය. මේ වන විට වත්මන් ආණ්ඩුව නියෝජනය කරන බොහෝ අයවලූන්ට උන්වහන්සේ ගැන අද ඇත්තේ ද එවැනිම තත්ත්වයකි. ආණ්ඩුව පාර්ශ්වයේ ඇතැම් ප‍්‍රකාශ සහ කටයුතු දෙස බැලීමේදී එය අකැමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුව තිබේ.

සැබැවින්ම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යහපාලන ආණ්ඩු විරෝධියෙක්ද..? නැතහොත් වත්මන් ආණ්ඩුවේ විරෝධියෙක් ද…? විදේශීය බලවේගයන්ගේ අතකොළුවක් ද ..? එසේත් නැත්නම් නොපෙනෙන, නොහිතන කිසියම් පාර්ශ්වයකගේ ඉත්තෙක්ද..?

මේ සියල්ලටම උත්තර සෙවිය හැක්කේ පාස්කු ප‍්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව උන්වහන්සේ කළ කී දෑ අනුවය. එදා මෙදා තුර උන්වහන්සේ මාධ්‍ය හමුවේ සඳහන් කළ අදහස් පිළිවෙළකට පෙළ ගස්සද්දි උන්වහන්සේ කියවා ගැනීම එතරම් අසීරු නොවනු ඇත.

එකී ප‍්‍රහාරය සිදු වූ දින (2019 -04 -21 වැනිදා) බොරැල්ල අදරදගුරු මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අමානුෂික ප‍්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් උන්වහන්සේ සඳහන් කළේ ‘‘රජය අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මෙම ප‍්‍රහාරවලට වගකිව යුත්තේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතුය” යන්නය. පසුදින පිපිරීම් හි වගකීම ආණ්ඩුව බාරගත යුතු බවත්, බුද්ධි තොරතුරු දැන ගැනීමට අයිතියක් ජනතාවට ඇති බවත් කාදිනල් හිමි පැවසූහ. මෙම ප‍්‍රහාරය වළක්වාගත හැකිව තිබූ බව දැනගත් විට දැඩි වේදනාවක් දැනුණු බව ද එහිදී උන්වහන්සේ කීහ. එසේම එහිදී ‘‘මේ පිටුපස නොහිතන වෙන කිසිවකු සිටිය හැකියි. ඇතැම් විට එය මුහුදේ ඇති අයිස් කන්දක් සේ බොහොම අල්පයක් පෙනෙන්නා සේ විය හැකියි” යන්නද හඬ අවදි කරමින් උන්වහන්සේ පැවැසුවේ සිතන්න යමක් ඉතිරි කරමිනි.

හරීන් ප‍්‍රනාන්දු ඇමැතිවරයාට සැලවූ ආරංචිය රටට කීවේ නම් අහිමි වූ ජීවිත රැක ගන්න තිබුණු බවද කාදිනල් හිමි රටට කීවේ වේදනාත්මකවය. මෙය අවසානයේ කාදිනල් හිමි සහ හරීන් ඇමැතිවරයා අතර මතගැටුමක් දක්වාද දුර දිග කතාවක් වූ අතර උන්වහන්සේ දිගින් දිගටම ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත දැඩි දෝෂ දර්ශනයට ලක් කරන්න වූහ.

කෙටි කලක් ඇවෑමෙන් ජනාධිපති මැතිවරණය ප‍්‍රකාශයට පත් වූ අතර 2019 ජනාධිපතිවරණ වේදිකාවේ පාස්කු ප‍්‍රහාරය, ජාතික ආරක්ෂාව ප‍්‍රධානතම මාතෘකාවක් විය. වැරදිකරුවන්ට තම ආණ්ඩුවක් යටතේ උපරිම දඬුවම් ලබා දෙන බව මැතිවරණ වේදිකාව තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාද දැඩි ලෙස සඳහන් කළේය. මෙම ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා හැට නම ලක්ෂයක ඡන්ද ලබා 2019 නොවැම්බර් මස 16 වැනිදා ජයග‍්‍රහණය කළේ 52% ක ප‍්‍රතිශතයක් ලබා ගනිමිනි.

මෙම හැට නම ලක්ෂය තුළ පාස්කු ඉරිදා ප‍්‍රහාරය හමුවේ යහපාලන රජය පිළිබඳ අප‍්‍රසාදයට පත්වූ මෙරට කිතුනු ජනතාවගේ ඡන්ද විශාල ප‍්‍රමාණයක් තිබීම ප‍්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි.

කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව සමයේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාස්කු දින ප‍්‍රහාරය ප‍්‍රහාර මාලාව විමර්ශනය කොට වාර්තා කිරීමත්, ඉන් හෙළිවන කරුණු මත පදනම්ව අවශ්‍ය ක‍්‍රියාමාර්ග නිර්දේශ කිරීමත් මුල්කරගනිමින් ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ලැබ තිබිණි.

2019 වසරේ අවසන් භාගයෙහි අභිනවයෙන් බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ රජය එම කොමිෂන් සභාවේ කටයුතු කඩිනම් කර වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමේ ක‍්‍රියාවලියකට අත තැබුවේය. එම කොමිෂන් සභාවේ අවසන් වාර්තාව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට භාර දුන්නේය. මෙම වාර්තාවට පෙරාතුව 2019 වසරේ දෙසැම්බර් මස කොමිසමේ අතුරු වාර්තාව, දෙවෙනි අතුරු වාර්තාව 2020 වසරේ මාර්තු මාසයේදී භාරදී තිබිණි.

නව රජය පත්ව, පාස්කු ප‍්‍රහාරයෙන් පසුව එළඹි 2019 වසරේ ප‍්‍රධාන දේව මෙහෙය අගරදගුරු හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 24 වැනි දා මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්විණි. උන්වහන්සේ දේව මෙහෙය අතරතුර පාස්කු ප‍්‍රහාරය සිහි කරන අවස්ථාවේදී හඬා වැටී සංවේදී වූ අයුරු දැකගත හැකි සිදුවීමක් විය. එය විද්‍යුත් මාධ්‍යයන් හි ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයන් තුළ විකාශනය ද විය.

නව රජය යටතේ පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට කඩිනම් සාධාරණයක් ඉටුවේ යන්න කාදිනල් හිමියන් පූර්ව නිගමනයේ සිටි බවට එම වකවානුව තුළ උන්වහන්සේගේ අදහස් දෙස බැලීමේදී පෙනෙන්න තිබූ කරුණක් වුවත් කාලයාගේ ඇවෑමෙන් එම කටයුතු මන්දගාමී විය. ඒ බව ඒත්තු යත්ම උන්වහන්සේ වත්මන් ආණ්ඩුව ද විවේචනය කරමින් සිය අදහස් දක්වන්න වූ බව මාධ්‍ය වාර්තා පිරික්සීමේදී පෙනේ.

පාස්කු ප‍්‍රහාරයට වසරක් ගත වන තැන 2020 වසරේ අපේ‍්‍රල් මස 21 වැනිදා උන්වහන්සේ සඳහන් කළේ මියගිය අයගේ ජීවිත සමඟ කිසිවකුට සෙල්ලම් කරන්න ඉඩ දිය නොහැකි බවත් සේනාධිනායකයා ගේ සිට ප‍්‍රහාරයට වගකිව යුතු අන්තිමයා දක්වා නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවත්ය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිහි කැඳවමින් උන්වහන්සේ පැවසුවේ කිසිවකුගේ බලපෑමකට යටත් නොවන ලෙසත් රතුපලස යට මිනීමැරුම් සැඟවීමට ඉඩදිය නොහැකි බවත්ය. එසේම එදින සියලූ වින්දිතයන් වෙත ප‍්‍රකාශයක් කරමින් උන්වහන්සේ කීවේ, ‘‘බයවෙන්න එපා, ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා” යන්නය.

උන්වහන්සේගේ සටනේ එසේ ගලා යද්දී ප‍්‍රබල මුස්ලිම් දේශපාලනඥයකුගේ ඥාතියෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් සාක්ෂි නොමැති යැයි පවසමින් නිදහස් කෙරිණි. එය උන්වහන්සේ ගේ දැඩි උදහසට ලක් වූ කරුණක් වූහ. ත‍්‍රස්තවාදීන් සමග ගනුදෙනු කෙරුවේ යැයි කී සැකකරුවන් හිටි හැටියේ නිදහස් වන්නේ කෙසේ දැයි ප‍්‍රශ්න කළ උන්වහන්සේ ආණ්ඩුව සහ චෝදනාවට දැඩි ලෙස ලක් වූ මුස්ලිම් දේශපාලඥනයකු අතර අමුතුම සුහදතාවක් වර්ධනය වී ඇති බවත් සැලකර සිටියහ. වත්මන් රජය බලයට පැමිණෙන විට පොරොන්දු වූ පරිදි වැරදිකරුවන්ට දඬුවම් දීමේ පොරොන්දුව, ඒ ආකාරයටම ඉෂ්ට වේද යන්න ගැටලූවක් හා ප‍්‍රශ්නාර්ථයක් බවත් උන්වහන්සේ චෝදනාත්මකව සඳහන් කරන වූහ.

රාජපක්ෂ පාලනය යටතේ පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවූ තැන 2021 වසරේ පෙබරවාරි මස එකොළොස් වැනිදා කාදිනල් හිමියන් පැවසුවේ පාස්කු සිද්ධිය නොවිසිඳුන හොත් තමන් ජාත්‍යන්තරය හමුවට යන බවය. පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් තවමත් තමන් දෙස බලා සිටින බවත් එහෙයින් තවත් එදෙස බලා සිටි නොහැකි බවත් උන්වහන්සේ කීහ.

‘‘මීට වඩා අපේ ජනතාව ඉවසන්න සූදානම් නැහැ. රජයෙන් සහ කොමිෂන් සභා වාර්තාවෙන් සාධාරණයක් වුණේ නැත්නම් ජනතාව ලෙස වෙනත් තීරණ ගන්න වෙනවා.

එහෙම වුණත් ජාත්‍යන්තර අධිකරණයට වුණත් යන්න සූදානම්. මම බලාපොරොත්තු වෙනවා අපේ නායකයන් එහෙම දෙයක් නොකරාවි කියලා” යැයි උන්වහන්සේගේ අදහස වූහ.

ඉන් අනතුරුව දෙවර්ෂ පූර්ණ සිහිකිරීමේ ප‍්‍රධාන අනුස්මරණ උත්සවය 2021 වසරේ අපේල් මස 21 වැනිදා කොච්චිකඬේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ දී පැවති අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කළේ මෙම මිනිස් සංහාරයක් සිදු කළේ කළේ කවුද ?

එය කළේ කුමන හේතුවකට ද? යන්න රටට හෙළිදරව් කිරීමට වගකිවයුතු ආයතන මේ වන විට අපොහොසත් වී තිබීම තම සිත්හි විශාල ප‍්‍රශ්නාර්ථයක් නඟන දෙයක් බව පත්ව ඇති බවය. මෙම කුරිරු මිනීමැරුම කෙරෙහි එදා රජය සහ වත්මන් රජය පෙන්නූ සහ පෙන්වන උදාසීන දේශපාලන ක‍්‍රියා පිළිවෙත අනුව බලවත් ශෝකයක් ඇතිවන බවත් උන්වහන්සේ කීහ.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ‘‘මෙම පිටුපස දේශපාලන අරමුණු ඇති බව අප කාටත් දැන් පැහැදිලිය වෙමින් පවතිනවා. එම නිසා මෙම පාස්කු ප‍්‍රහාරය පිළිබඳව හැකි ඉක්මනින් යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. වින්දිතයන්ට සාධාරණයක් නොවන්නේ දේශපාලන යාන්ත‍්‍රණයේ ඇති ¥ෂිත භාවයන් හා ආත්මාර්ථකාමී බල අරගලය බව අපගේ හැඟීමයි” යන්නය.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ අධ්‍යයනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ක‍්‍රියාවට නංවන්න එලෙස උන්වහන්සේ දිගින් දිගටම සඳහන් කරන්න වූහ.

එම වාර්තාව අනුව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වරදකරුවකු ලෙස හඳුන්වා ඇති බවත් උන්වහන්සේ කීහ. ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරයේ එතුමන් දැඩි ලෙස සිටින බව එකී අදහස්වලින් පැහැදිලි ය.

”යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලා අප නිහඬව සිටින්නේ නෑ. රට කරවන්න නායකයන් එය මතක තබා ගන්න. කොමිසම් දමා එක එක්කෙනාව ආරක්ෂා කරන්න බැහැ. මෙම සෙප්පඩ විජ්ජාව තවත් අපිත් එක්ක කරන්න බෑ. තමන්ගේ අතේ වැරදි තබාගෙන අත්සෝදා ගන්න යන ‘‘පිලාතුලා” වෙන්න එපා” යැයිද උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කීහ.

දින, මාස, වර්ෂ ගෙවෙමින් පාස්කු දින ප‍්‍රහාරය ඉරුදින ප‍්‍රහාරයට දින දහසක් සැපිරීම 2022 ජනවාරි 14 වැනිදාට යෙදී තිබිණි. දින දහසක් යනතුරුත් වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමේ ප‍්‍රමාදය අගරදගුරු හිමියන් ප‍්‍රමුඛ කතෝලික ප‍්‍රජාවේ කනස්සල්ලට හේතු වී තිබිණි. ඒ අතරතුර ප‍්‍රහාරයට දින දහස සැපිරීමට තිබූ දින තුනකට පෙර බොරැල්ල සියලූ සාන්තුවරයන්ගේ පල්ලියේ දී අත්බෝම්බයක් සොයා ගැනීම සමාජය තිගැස්මකට ලක් කළ සිදුවීමක් විය. ආරක්ෂක අංශ වහා ක‍්‍රියාත්මක වී සැකකරුවන්ද අත්අඩංගුවට ගනු ලැබීය.

නමුත්, මෙම සිදුවීමට ප‍්‍රතිචාර දක්වමින් අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ, අහිංසකයන් අල්ලා වැරදිකරුවෝ නිදහසේ සිටින තත්ත්වයන් තිබෙන බවත් එවැනි වටපිටාවක් තුළ සත්‍ය සොයන්නේ කෙසේද යන්න ප‍්‍රශ්නාර්ථයක් මතු ඇති බවත්ය. ඇත්ත සොයා ගෙන යනවාට වඩා පොලිසිය කතන්දරයක් ගොතන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව උන්වහන්සේ චෝදනා කළහ.

පොලිසියේ මෙම වැඩපිළිවෙළ ප‍්‍රතික්ෂේප කරන බවත් සිදුවීම් සමුදාය කුමන්ත‍්‍රණයක් බවත් උන්වහන්සේ තවදුරටත් චෝදනා කළහ.

පාස්කු ප‍්‍රහාරයට දින දහස සම්පූර්ණ වන පසුගිය ජනවාරි මස 14 වැනිදා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාලකයන්ගේ ඇස් ඇරවෙන කතාවක් කළේය. ‘‘ජනතාවට බොරු කරන්න හදන අයගේ බොරු එකින් එක හෙළිදරව් වෙමින් තිබෙනවා. මේ වන වන විට ජනතාව දිනන ලකුණු අපි හැමෝටම පෙනෙන්න තිබෙනවා.

පාලකයන් දවසෙන් දවස අවුල් වියවුල් සහගත තත්ත්වයකට පත්වන බව පැහැදිලිය. පාස්කු බෝම්බය පිපිරී අවසන්. දැන් පත්තුවෙන බෝම්බය ඇත්ත එලියට එන බෝම්බයයි. සමහර නායකයන්ට ඕන වුණේ, කොහොම හරි දේශපාලන වාසි ලබා ගැනීමට ප‍්‍රහාරය පාවිච්චි කිරීමට බව දැන් පැහැදිලියි. රටේ ආරක්ෂාව නොමැතිබව ඔප්පු කරන කර ඡන්දය දිනා ගන්න සමහර ගහපු උප්පරවැට්ටියකින් බව වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ බෝම්බය පිපිරී අවසන් නැහැ. එදා අහිංසකයන් මැරවීමට පුපුරපු බෝම්බය අද එය තැබූ අය පුපුරවමින් තිබෙනවා” යැයි උන්වහන්සේ එහිදී කීහ.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ එක අරමුණක බව පැහැදිලිය. ඒ ගැන විවේචන තිබෙන්න පුළුවන. නමුත් එතුමන් එතැනය. එතුමන්ගේ එතැන හෝ වෙන කිසිවකුගේ ඉල්ලීම ගැන නොසිතා යහපාලන රජය යටතේ සිදු වූ පාස්කු දින ප‍්‍රහාරයේ පරීක්ෂණ කටයුතු කඩිනමින් නිම කොට ඊට වගකිව යුතු පාර්ශ්වයන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් දීම වත්මන් රජයට ඇති අත්නොහළ හැකි වගකීමක් බව අවසන සටහන් කළ යුතුමය. රජය ඒ ගැන රටට පොරොන්දුවක් දී හමාරය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment