කාන්තාවකට ලොල්වී මුදු පහක් ඇඟිලිවල දාගෙන පැනගිය සැකකරු රිමාන්ඩ්

1281

ඉතා සමීපව ඇසුරු කරන 29 හැවිරිදි කාන්තාවක් වෙනුවෙන් වියදම් කිරීමට මුදල් සොයාගැනීම සඳහා ස්වර්ණාභරණ මිලදී ගැනීමට ගනුදෙනුකරුවකු ලෙස පැමිණ ලක්ෂ හතක් පමණ වටිනා රන්මුදු පහක් කොල්ල කනලද සැකකරුවකු නොවැම්බර් මස 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ මීගමුව දළුපොත සිරකඳවුර පාරේ පදිංචිකරුවකු බව කියන 23 හැවිරිදි විකුම් සංකලන නමැති සැකකරුය.

මෙම සැකකරු 2021 මැයි මස 8 දින මීගමුවේ පිහිටි ප‍්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි සැලකට පැමිණ මුද්දක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා ඇති අතර වෙළෙඳ සේවකයකු විසින් ලබාදුන් මුදු ඇඟිලිවල පළඳමින් ප‍්‍රමාණය පරීක්ෂා කරන බව අඟවමින් සිට මුදු පහක් ඇඟිළිවල පැළදගෙන යතුරු පැදියක නැග පලාගොස් තිබේ.

ආවේක්ෂණ කැමරාවල සටහන්ව තිබූ දර්ශන ඔස්සේ විමර්ශන කළ මිගමුව කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් 26 දින මීගමුව සිරකඳවුර ප‍්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන සිදුකළ ප‍්‍රශ්න කිරීම්වල දී අනාවරණයවූ තොරතුරු මත ගම්පහ සහ කොළඹ ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලට අලෙවිකර තිබූ ග‍්‍රෑම් 25.49 ක රත‍්‍රන් පොලිසිය භාරයට ගෙන තිබේ.

මීගමුව කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමින්ද සිල්වා මහතාගේ උපදෙස් අනුව පොලිස් පරීක්ෂක කරුණානායක මහතා සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමට සහ විමර්ශන කටයුතු සඳහා උප පොලිස් පරීක්ෂකවරුන් වන මාරසිංහ, මදුශංක පොලිස් සැරයන් (5775) විජේනායක, පොලිස් කොස්තාපල් (37928) වන්නිනායක, කන්තා පොලිස් කොස්තාපල් සවින්ද්‍යා, පොලිස් රියැදුරු (89904) යන නිලධාරීන් සහභාගිවී ඇත. මීගමුව පොලිසියේ නඩු මෙහෙයවන නිලධාරී නවරත්න බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවිය.

විමල් කීර්ති – මීගමුව

advertistmentadvertistment
advertistmentadvertistment