කාන්තාවගෙන් පළිගන්න ගම්පහ පාසලේ කැන්ටිමේ කුඩු හංගලා

488

දොස්තර ඇතුළු 06ක් අත්අඩංගුවට
අතවර නඩුවෙන් පුතා බේරාගන්න තාත්තෙක් කළ වැඩක්
අසරණ කතක බේරාගත් පොලිසියේ මෙහෙයුමට මහෙස්ත්‍රාත් තුති පුදයි

ගම්පහ මල්වතුහිරිපිටිය බුත්පිටිය මහා විද්‍යාලයේ ආපනශාලාවේ සඟවා තිබියදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය සහ මත් කරල් එම ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව අමාරුවේ දැමීමට සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිදුකළ සැලසුමක් බව හෙළිකරගත් පොලිසිය ඊට සම්බන්ධ වෛද්‍යවරයකු ඇතුළු පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති ආපන ශාලාව පවත්වාගෙන ගිය කාන්තාව මේ වනවිට රැඳවුම් නියෝග මත පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඇය අද (12 වැනිදා) නිදහස් කිරීමට නියමිතය.

පාසලේ ආපනය ශාලාව පවත්වාගෙන ගිය කාන්තාව විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් පැවැති ආරවුලක් මත පළිගැනීමේ චේතනාවෙන් විනී නැමැති පුද්ගලයකු විසින් මෙම සැලසුම ක්‍රියාත්මක කළ බව විමර්ශන වලින් හෙළිවී ඇත.

මෙම සැලසුමේ මහ මොළකරු වන විනී නමැත්තා සහ ඔහුට මත්පෙති ලබාදුන් තිහාරිය ප්‍රදේශයේ වෛද්‍යවරයෙක්ද අත්අඩංගුවේ සිටින සැකකරුවන් අතර සිටිති.

එම වෛද්‍යවරයා මහා පරිමාණයෙන් මත්පෙති අලෙවි කරන පුද්ගලයකු බවට හෙළි කරගත් පොලිසිය ඔහුට අයත් බෙහෙත් ශාලාවක තිබී මත් කරල් 6500 ක් සහ ඒවා අලෙවියෙන් උපයාගත් රුපියල් ලක්‍ෂ 55 ක්ද සොයාගෙන තිබේ.

ගම්පහ බුත්පිටිය මහා විද්‍යාලයේ ආපන ශාලාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබුණේ ඉකුත් 06 වැනිදා පෙරවරුවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආපන ශාලාව පවත්වාගෙන ගිය එක් දරු මව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම කාන්තාව පාසල තුළ මත්ද්‍රව්‍ය අලෙවි කළ බවට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක්ද දී තිබිණි.

මෙම සිද්ධිය පිළිබඳව සැක කළ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ගම්පහ කොට්ඨාස අපරාධ අංශය සහ බුද්ධි අංශ නිලධාරීන් යොදවනු ලැබීය.

එහිදී අනාවරණය වී තිබුණේ මෙම ආපන ශාලාව පවත්වාගෙන ගිය කාන්තාවට ලිංගික අපචාර කිරීමට උත්සාහ කළ තරුණයකුට එරෙහිව ගම්පහ අධිකරණයේ නඩුවක් විභාග වන බවයි.

එම සැකකාර තරුණයාගේ පියා විනී නමැති පුද්ගලයකු බවත් ඔහු ලියාපදිංචි අපරාධකරුවකු ලෙස සිටි අයකු බවත් හෙළිවී ඇත. මුදල් පොලියට දීම ඇතුළු විවිධ ක්‍රියාවන් වලින් මුදල් උපයන මෙම පුද්ගලයා ප්‍රදේශයේ චණ්ඩියකු ලෙස ජීවත්වන අයකු බවද පොලිසිය සොයාගෙන ඇත.

විනී නමැත්තාගේ පුත්‍රයාට එරෙහිව ඇති නඩුවේ තීන්දුව තවත් දින කීපයකින් ලබාදීමට නියමිතව තිබිණි.

විනී නමැත්තා තමන් දන්නා හඳුනන කීපදෙනෙකුටම පවසා ඇත්තේ තම පුත්‍රයා හිරේ යන්නේ ආපන ශාලාව පවත්වාගෙන යන කාන්තාවද කෙසේ හෝ සිරගත කිරීමෙන් පසුව බවයි. මේ බව සොයාගත් පොලිසිය විනී නමැත්තා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඉතාම සූක්‍ෂම ලෙස ආරම්භ කර ඇත.

විනී නමැත්තා දන්නා හඳුනන ඔහුට ඉතාම සමීප පොලිස් නිලධාරියකු යොදවා ඔහුට දුරකථනයෙන් කතා කර මෙම සිද්ධිය පිළිබඳව විමසා ඒ සියල්ල පටිගත කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

එම දුරකථන සංවාදයේදී විනී නමැත්තා තමන් කළ සැලසුම පිළිබඳ සියලු තොරතුරු පොලිස් නිලධාරියාට හෙළිකර ඇත.

එම හෙළිදරව්වෙන් පසු පොලිසිය විනී නමැත්තා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමන් මෙම සිද්ධියට සම්බන්ධ නැති බව ඔහු තරයේ ප්‍රකාශ කර ඇත. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් දුරකථන සංවාදයට අදාළ හඬපටය අසන්නට සලස්වා ඇති අතර පසුව ඔහු ඒ සියල්ල පිළිගෙන ඇත.

විනී නමැත්තාගේ උපදෙස් මත ආපන ශාලාව තුළ මත්ද්‍රව්‍ය සැඟවීම සඳහා කටයුතු කළ පුද්ගලයා, මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා ඇතුළු තවත් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි.

මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් රාජපක්‍ෂ මහතාට කරුණු වාර්තා කළ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ තම මහෙස්ත්‍රාත් දිවියේදී පොලිසිය විසින් මේ ආකාරයේ පරීක්‍ෂණයක් කර වාර්තා කළ මුල්ම අවස්ථාව මෙය බවයි.

නිර්දෝෂී කාන්තාවක් බේරාගැනීම වෙනුවෙන් පොලිසිය මේ ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා පොලිසියට විශේෂ ස්තූතියද පිරිනමා ඇත.

මෙම සිද්ධිය නිසා අගතියට පත්වූ කාන්තාව ඉතාම දිළිඳු ජීවිතයක් ගතකරන අහිංසක කාන්තාවකි. ඇගේ සැමියා මෙම විදුහලේම කම්කරුවකු ලෙස සේවය කරන අතර දියණිය 7 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන බව පොලිසිය පවසයි.

මොවුන්ගේ දිළිඳුකම නිසා එම දියණිය පාසලේදී ඇතැම් දරුවන්ගේ ගැරහුම්වලට ලක්ව ඇති බවද හෙළිවී ඇත.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීම නිසා නිකරුණේ බන්ධනාගාර ගතවීමට නියමිතව සිටි එක්දරු මවකට නිදහස ලැබීමට අවස්ථාව හිමිවූ බව ප්‍රදේශවාසීහු පවසති.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment