කාන්තාව දූෂණය කළ නරුමයාට වසර 11 ක සිර දඬුවම්

618

වසර 11කට පෙර හම්බන්තොට, බදගිරියෙහි පිහිටි නිවසකට රාත්‍රී ඇතුළු වී එහි සිටි 49 හැවිරිදි කාන්තාවක දූෂණය කිරීමේ වරදට වරදකරු වු පුද්ගලයකුට වසර 11ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්, රුපියල් 15000ක දඩයක් හා අගතියටපත් කාන්තාවට රුපියල් ලක්ෂ 02ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා (14 දා) නියම කළේය.

මෙලෙස සිර දඬුවම් නියම කෙරුණේ අංක 172, යහන්ගල, බදගිරිය, හම්බන්තොට ලිපිනයේ පදිංචි ලොකු මරක්කලගේ ඩිෂාර නලින්ද නමැති 37 හැවිරිදි දෙදරු පියෙකුටය.

චුදිත 2011.12.22 වන දින බදගිරිය යහන්ගල ප්‍රදේශයේ නිවසක් අසල සැඟවී සිට රාත්‍රී කාලයේ එම වහළයෙන් නිවසට ඇතුළුවී එහි නිදාසිටි 49 හැවිරිදි එක් දරු මවක බලහත්කාරයෙන් අතවරයට ලක් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව පසුදින හම්බන්තොට පොලිසියට සිදුකළ පැමිණිල්ලට අනුව පොලිසිය විසින් චුදිත අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එහිදී පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චුදිතට එරෙහිව 2013.09.02 වන දින අධිචෝදනා දෙකක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. එහිදී පැවති නඩු විභාගයේදී චුදිතට එරෙහිව නගා තිබූ චෝදනා දෙක සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්වීම හේතුවෙන් චුදිත අදාළ චෝදනා දෙක සඳහා වැරදිකරු බවට පත් කෙරිණි.

ඉදිරිපත් වු සියළු සාක්ෂි සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චුදිතට පහත පරිදි දඬුවම් නියම කළේය. චෝදනා දෙක සඳහා චුදිතට වසර 11ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණු අතර රුපියල් 15,000ක දඩ මුදලක්ද නියම කෙරිණි. චුදිත දඩ මුදල් නොගෙවන්නේ නම් ඉහත දඬුවම්වලට අමතරව තවත් වසර එක හමාරක බරපතළ වැඩ සිහිත සිර දඬුවමක් නියම කෙරිණි. එමෙන්ම ඉහත දඬුවම්වලට අමතරව අගතියට පත් කාන්තාවට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට නියෝග කර තිබේ. වන්දි මුදල නොගෙවන්නේ නම් ඉහත දඬුවම්වලට අමතරව තවත් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ නිමංක ජයවික්‍රම මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.

සූරියවැව – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment